Wednesday, Sep 08th

Last update:09:39:35 PM GMT

Headlines:
You are here: සන්නස පුවත්

සන්නස පුවත්

තෙවන පාසැල් වාරය අද ඇරඹේ

තෙවන පාසැල් වාරයේ කටයුතු අද ආරම්භ වේ. අ.පො.ස. උ.පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ නොකරන බවත් ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් ලබන 13 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර සෙසු පාසල් ලබන 20 වැනිදා සහ 27 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ලබන 13 වැනිදා ය.

එක්සත් ජාතික පක්ෂයේ 65 වැනි සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 65 වන සංවත්සරය අදට යෙදී ඇත. ඒ නිමිත්තෙන් විශේෂ ආගමික වැඩ සටහන් මාලාවක් සංවිධානය කර  ඇති අතර එම ආගමික වැඩසටහන් අද දවස පුරා කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඉන්දීය හමුදාපතිවරයා දිවයිනට

Imageඉන්දීය යුද හමුදාපති ජෙනරාල් වී. කේ. සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණේ

යුද හමුදාමය ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම ඉන්දීය හමුදාපතිවරයාගේ මේ සංචාරයේ අරමුණ වී තිබේ.

මේ සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිත ය. එසේ ම ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග ද සිං මහතා සාකච්ඡා පවත්වයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ක්ෂේත්‍රවලින් ඓතිහාසික සබඳතාවන් ගොඩනැඟී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටවල් ලෙසත් නොබැඳී ජාතීන්ගේ සමුළුවේ සාමාජිකයින් ලෙසත් දකුණු ආසියානු සහයෝගිතාව සුරකින සාක් රාජ්‍ය නායක සමුළුවේ සාමජිකයින් ලෙසත් වර්තමානයේ එම සබඳතාවන් තවදුරටත් තහවුරු වී ඇත.

ලෝක සාමය සහ චිරස්ථිතිය පිළිබඳ සමාන පොදු දැක්මක් දෙරට ම සතුය. හමුදාමය පාර්ශවයෙන් මෙන් ම රාජ්‍ය තාන්ත්‍රිකව ද දෙරටේ ජනතාව අතර ද සුවිශේෂී සබඳතාවක් ගොඩනැඟී තිබේ. එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මේ සංචාරය ඉවහල් වනු ඇත.

උසස් පෙළ / ශිෂ්‍යත්ව ඇගයීම් ඇරඹේ

Imageඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද (05) ආරම්භ වන අතර එය ලබන 18 වනදා දක්වා සිදු කෙරේ.

ජනප්‍රිය පාසසල්වලට සිසුන් තෝරාගැනීමට පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් ද අද ආරම්භ වේ.

පාසල් 46 ක දී අදියර තුනක් යටතේ මෙම ඇගයීම් කටයුතු සිදු කෙරෙන අතර මෙහි ප්‍රථම අදියර 12 වැනි දා අවසන් කෙරේ. තෙවන අදියරේ ඇගයීම් 13 වනදා සිට 24වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.

මේ අනුව පළමු අදි‍යරේ ඇගයීම් සිදු කරන පාසල් ලබන 13වන දා නව පාසල් වාරය සඳහා ආරම්භ කෙරේ.

දෙවන අදියර සඳහා යොදාගන්නා පාසල් 20වන දා සහ තෙවන අදියරේ ඇගයීම් සිදු කෙරෙන පාසල් 27වන දා ආරම්භ කෙරේ.

මේ අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පාසල් 28ක දී ලබන 09 වනදා දක්වා පැවැත්වෙන අතර එම පාසල් ද 13වන දා නැවත ආරම්භ කෙරේ.

නීති විරෝධි නම් කෙලින්ම රේගුවට කියන්න

Imageනීති විරෝධී ලෙස අපනයනය හෝ ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා රේගුව විශේෂ දුරකතන අංකයක් මහජනතාවට විවෘත කර ඇත.

තීරු ගාස්තු පැහැර හැරීම, මත් ද්‍රව්‍ය, සිගරට්, විදේශ මුදල්, දුර්ලභ සත්ත්ව හා ශාක, කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් නීති විරෝධි ව ආනයන අපනයනයන් සිදුකරන විට එම තොරතුරු වහා ම රේගුවට දැනුම්දීමට මෙමගින් ඉඩකඩ ලැබේ.

මීට අමතර ව මෙම විශේෂ අංකය මගින් රේගු නීතියට පටහැනි යැයි සැකකරන ඕනෑම කටයුත්තක් පිළිබඳ ව විමසීමේ හැකියාව ද පවතී.

011-2471471 යන මෙම දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

මෙම අංකය වෙත ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කෙරෙන අතර නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයන් වෙත ත්‍යාග මුදල් ලබා දී ම ද සිදු කෙරේ.

එබැවින් සමාජය හා ආර්ථිකය සුරැකීම සඳහා සහය වන්නැයි ශ්‍රී ලංකා රේගුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්විය යුතුයි -එජාප නියෝජ්‍ය මහලේකම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය.
කොළඹ වෝඩ් පෙදෙස පිහිටා ඇති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ නිවසේ අද (03) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙම ව්‍යවස්ථා සංශෝධනට සහයෝගය ලබාදීමෙන් පක්ෂයට, විපක්ෂය හෝ ජනතාට හානියක් සිදු නොවන බව මෙම අවස්ථාවට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.

ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වසර 30ක යුද්ධය අවසන් කර අද වන විට රටට යහපත් කාලයක් උදා වී ඇති බවයි.

තද සුළඟකින් මොණරාගල නිවාස කිහිපයකට හානි

මොණරාගල දිස්ත්‍රික්කයේ උළුගොඩ ග්‍රාම නිලධාරී වසම තුළ අද පෙරවරුවේ ඇති වූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 30කට පමණ අර්ධ හානි සිදුවී ඇත.

මේ වන විට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාබලමින් පවතී.

මෙම සිදුවීමෙන් පුද්ගල හානි සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.

විපක්ෂනායක ඉන්දියාවේ සංචාරයක

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක් සදහා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර විපක්ෂ කාර්යාලය පවසනුයේ පෞද්ගලික සංචාරක් සදහා එතුමා ඉන්දියාවට ගොස් ඇති බවයි. හෙට යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59 වැනි සංවත්සරය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(02)අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
1951 වසරේ සැප්තැම්බර් මස 2වෙනි දා හිටපු අගමැති දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ විය.

ශ්‍රී ලංකාව, ත්‍රස්තවාදයෙන් තොර සංවර්ධනාත්මක ඉදිරි පියවර රැසක් තැබූ අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එහි සභාපති අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයේ 59 වැනි සංවත්සරය සැමරීම ඓතිහාසික අවස්ථාවකි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතවරු,පාක්ෂිකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල් බැදගෙන සිටින පක්ෂ නායකයෝ ද  සහභාගී වීමට නියමිතය.

JPAGE_CURRENT_OF_TOTAL