Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: විශේෂාංග

විශේෂාංග

කෙරුමාගේ තරම කරවන්නාගේ ද තරම තමා

මහජනතාව ජන්දය දෙන්නේ නීතිය අතට ගන්නට නොවේ. එහෙම නමුත් කොහොම හරි ජන්දයෙන් දිනු අය හිතන්නේ තමන් ට ජන්දය සමග නොසෑහෙන බලයකුත් ලැබී ඇති හැටියටය. එහෙම හිතන්නට ද හේතුවක් තිබේ. මේ අය ට කැමති කණ්ඩායමක් රටේ ජීවත්වෙයි.

අද ප්‍රශ්න කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආචාර්ය මර්වින්ට ජන්දය දුන් බව ප්‍රසිද්ධියේ පිළිගන්නට සූදානමක් ඇති ලක්ෂ ගණනක් ඇත. තමන්ට වැඩක් කරන කෙනෙකු මහජන නියෝජිතයා කර ගන්නට මේ පිරිස කැමතිය. මහජන නියෝජිතයන් ප්‍රතිපත්ති ගැන කතා කරමින් රට ගොඩ නගන්නට වෙහෙසෙන විට ආචාර්ය මර්වින් හොදින් හෝ නරකින් තමන් හමුවට එන ජන්ද දායකයාගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නම් එයට වඩා වෙනස් උවමනාවක් නැත. මෙහෙම වී ඇත්තේ මේ රටේ බුද්ධිමත් ජනතාව නිහඩව ජන්දය නොදී සිටින අතර වඩා ගැඹුරට නොසිතා පටු ආකල්ප අනුව මහජන නියෝජිතයන් තොරාගන්නා පිරිස පෝලිමට ගොස් ආචාර්ය මර්වින් වැනි අයට ජන්දය පාවිච්චි කරයි.

ජනතාව කට ගැන හිතා ජන්දය දෙයි. බඩට යමක් දෙන නිසා ද ජන්දය දෙයි. මේ කට ගැනත් බඩ ගැනත් හිතා ජන්දය දෙන ජන්ද දායකයෝ හිතන්නේ අද ගැන පමණකි. හෙට පරම්පරාවට වෙන්නේ කුමක්දැයි කල්පනා කරන්නේ නැත.

මෙහෙම අය ඉන්නා එක නායකයන්ට අභියෝගයක් නොවේ. මාධ්‍යය පෙන්වන්නේ මේ වැඩ කාරයන්ගේ වීර ක්‍රියාය. සංවාද පැතිරෙන්නේ රටේ අවධානය ඇතිවන්නේ මේ අය ගැනය. යුද්ධයෙන් පසු ගතවූ අවුරුද්ද ඇතුලත සිරස ප්‍රහාරය, මාරාන්තික උපවාසය, මේ ඩෙංගු ගස් බැදීම වැනි දේ විනා රටට වැදගත් වෙනසක් වී තිබේද? මේ කැබිනට් ඇමතිවරු නොවේ නම් රටේ වැඩක් කෙරෙනවා යැයි මාධ්‍ය වලින් පෙන්නන්නට යමක් තිබේද?

වැඩ කරන ඇමතිවරු නොසිටිනවා නොවේ. ඔවුන් මහජනතාවගෙන් ඈතය. ජන්දයෙන් දිනන්නට බැරි තරමට මේ විහිලූ කාරයන් මෙන් ජනප්‍රිය නැත. එපමණක් නොවේ ඒ ජනප්‍රිය බව අහිමි හෙයින්ම රටේ දෙවැනි පෙළ නායකයන් ලෙස පෙනී සිටීමක් ද නැත. ඉතින් නායකයන්ට අභියෝග තිබේද? බලයේ සිටින කවර හෝ පුද්ගලයෙකු ගේ විධාන අනුව කාර්යය මෙහෙයවන ඔහු විසින් ගලවා ගන්නා අවස්ථාවේ විපතින් මිදෙන මහජනතාවගේ ආකර්ශනය ඇති මෙවැනි සංදර්ශන වලින් පමණක් රට ඉදිරියට ගෙන යා හැකිද? අපේ ප්‍රශ්නය එයයි.

තමන්ට කොයිතරමට වාසි ලැබුණත් යුක්තිය හා සාධාරණත්වය ගැන නොහිතන පිරිස අපේ රටේ අඩුය. ජන්දය දෙන්නේ නීතිය අතට ගෙන හිතට එන හැම දෙයම කරන්නට නොවෙන බව මේ කන්ඩායම හිතන්නට පටන් ගන්නා මොහොතක් තිබේ. ඒ මොහොත කොතැන කොයි අවස්ථාවක උදා වේ දැයි කලින් කියන්නට අපට හැකියාවක් නැත. මහජනතාවගේ ආකල්ප ගමන් කරන ආකාරය ගැන හොද ඉවක් ඇත්තේ මහජනතාවගේ නියෝජිතයන්ට ම පමණකි.

තැනින් තැන බෙලෙක් හඩ ඇසෙන හා හිස් දිය කළ සෙලවෙන බව පෙනෙන විට තමන් වටා ඉන්නා කණ්ඩායම මෙහෙම නම් තමන්ගේ තරම දැන ගැනීමට මෙයට වඩා අවස්ථාවක් නැත.

වරද්දාගත් ගුරු විසිනි

සමනලුන් වඳ වෙති

butterflyසමනලයා මල් පැණි බොන සතෙක්. එහෙම තමයි අපි කවුරුත් හිතාන ඉන්නේ. ඒත් හැම සමනලයෙක්ම ජීවත් වෙන්නේ මල් පැණි බීලාම නෙවෙයි. ඇතැම් සමනල විශේෂ සිය ආහාරය වශයෙන් ඉදුණ පලතුරුවල යුෂ උරාබොද්දී තවත් අය සත්ව වසුරුවල යුෂත් වෙනත් අය තෙත් පසෙහි ඇති ජලයත් උරා බොමින් ජීවත් වෙනවා.

අනිත් අතින් මල් පැණි බී ඉගිල යන සමනලයන් ගැන අපි අසා තිබෙනවා. ඒත් මල් පැණි බී මත් වී සිටින සමනලුන් ගැන ඔබ අසා තිබෙනවාද? ඔව් එහෙම අයත් ඉන්නවා. කොටිනියන් /TIGER සහ කාක දුඹුරුවන් CROW යන සමනල් විශේෂ ද්වය ඇති හොඩ සහ අඩනහිරිය කියන පුෂ්පවල මධු පානයට ගිජු කමක් දක්වනවා. මේ මල්වල පැණි අනිත් මල් පැණි වගේ නෙවෙයි සාන්ද්‍රතාවයෙන් වැඩියි. ගිජු කමට මේ මල් පැණි උරා බීම නිසා අවසානයේදී අර කියූ සමනලුන් මත්වී ඉගිල ගත නොහැකි ව සිටින අයුරු සත්වවේදීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා.

අනිත් අතින් සමනලයා කාලගුණ විපර්යාස හමුවේ සංවේදී සත්ත්ව විශේෂයක් වශයෙන් ද හඳුනාගෙන තිබෙන අතර පරිසර විද්‍යාර්ථීන්ට අනුව මොවුහු එකී වෙනස්කම් හඟවන දර්ශකයක් (indicator) වශයෙන් ද හඳුන්වන්නට පුළුවන්.

පරිසර හා ස්භාවික සම්පත් අමාත්‍යංශයේ අලුත්ම වාර්තාවකින් පෙන්වා දෙන අන්දමට සමනලයා ජෛව විද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් වැදගත්වන කාණ්ඩායකට අයත් ජීව විශේෂයක් වන බවත් මේ වන විට ශ්‍රී ලංකාවෙන් සමනල විශේෂ 243 ක් වාර්තා වෙන අතර ඉනුත් 20 ක්ම ආවේණික විශේෂ වශයෙන් හදුනාගෙන තිබෙනවා. ඊලඟට මේ අමාත්‍යංශ වාර්තාව සමනලුන්ගේ වදවී යාමට හේතු කිහිපයක් ද පෙන්වා දෙනවා. ඒ තමයි මේ සතුන්ගේ වාසස්ථානවල ගුණාත්මක බව පිරිහීම, කැබලිවීම, පරිසර දූෂණය යන කරුණු.

එහෙත් වඩාත් පුළුල් ආකාරයෙන් සොයා බැලුවහොත් සමනල විශේෂ වද වී යෑම ඇරඹෙන්නේ උන්ගේ දළඹු අවස්ථාවේ සිටය යනුවෙන් පෙන්වා දීමට සිදුව තිබෙනවා. ඒ අනුව විවිධ දළඹු විශේෂ එකම ශාක විශේෂයකින් නොවේ. ශාක විවිධත්වයකින්. පොදු තැඹිලි කොටිතියා වරා ශාකයෙන්ද ඉරි තැඹිලි කොටිතියා කිරි අගුණ ශාකයෙන් ද පෝෂණය ලබද්දී සප්සද ශාකයෙන් මහා රෝස පැපිලියා සහ පොදු රෝස පැපිලියා යන දෙදෙනාම පෝෂණය ලබනවා. රාවණ පැපිලියාගේ පෝෂණ ශාකය කුරුඳු, සෙවල බෝබු වුවත් මොනර පිපිලියා බුරුත ශාක ප්‍රශේදය තෝරාගෙන තිබෙනවා. මේ අතර කහ පැපිලියා බෙලි සහ දෙහි කුලයේ ශාකද නිල් පැපිලියා අලි ගැට පේරද කොල පැපිලියා කටු අනෝදා සහ වැලි ආතාද පොත් තිත් තැඹිලියා උගුරැස්සද කහ කොලයා කතුරු මුරුංගාද රතුපදුරු නීලයා අක්කපාන ද සිය පෝෂණය උදෙසා තෝරාගන සිටිද්දී තරණකොල කා උස්මහත් වන සමනල විශේෂ දෙකක් ද සිටිනවා. ඒ තමයි ඉරි පදුරු දුඹුරුවා සහ පොදු හීන් දුඹුරුවා. මේ අනුව ඉහත කී සමනල විශේෂවල දළඹූවෝ සිය පෝෂණය සදහා තෝරාගෙන ශාක විවිධත්වය වර්තමානයේ සිදු වන විනාශය, ඉඩම් කැබලි වීම යන කාරණා මත අහෝසි වී හෝ අවම වී යද්දී සමනලයන් දළඹු වියේදීම විනාශ වී යාම නොවැලැක්විය හැකි කරුණක් බවට පත් වෙලා තියෙනවා.

රටේ දේශගුණික කලාපවලට අනුව බලන කළ සමනලුන්ගේ වැඩිම ව්‍යාප්තියක් පෙන්වන්නේ වියලි හා අර්ධ ශුෂ්ක කලාපවල බව නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ අනුව මෙම කලාපයේ පමණක් සමනල විශේෂ 20 ක් පමණ දක්නට ලැබෙනවා.

තෙත් කලාපීය වනාන්තර වලද සමනල ව්‍යාප්තියක් තිබෙන අතර වනාන්තර ආශ්‍රිතව ගත් කළ පොහොසත් සමනල විශේෂ විවිධත්වයක් දක්නට ලැබෙනවා. එහෙත් ඔවුන්ගේ ගහනයේ ඝනත්වය අතින් බැලූ කළ පවතින්නේ අඩු මට්ටමක්.

එසේ වුවත් ගෙවතු හා කෘෂිකාර්මික පරිසර, තෙත් සහ වියලි කලාපීය වනාන්තර, තෙත් බිම්, තෘණ බිම්, මෙන්ම කඩොලාන යනුවෙන් හැඳින්වෙන සමනලයන් සුලබව ගැවසෙන පරිසර පද්ධති අද වන විට අවිධිමත් මානව ක්‍රියාකාරකම් (දේශපාලන මැදිහත් වීම්ද ඇතුළුව)නිසා බරපතල පාරිසරික හායනයන්ට ලක්වෙමින් පවතිනවා. ඒ නිසා සමනල ගහනයේ සීග්‍ර අඩුවීමකට මෙයද හේතුවක් වී තිබෙනවා.

පසුගියදා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය මැදිහත් වීමෙන් “ජාතික සමනලයා” හදුන්වා දෙන්නැයි රජයට යෝජනා කොට තිබුණා. ඒ සදහා ඔවුන් නිර්දේශ කොට තිබුණේ “ශ්‍රී ලංකා මහ කුරුණු පැපිලියා / Sri Lanka Bird Wing / Troides darsius. යන සමනල විශේෂයයි. එතැනදී විශේෂයෙන්ම මෙම විශේෂය තෝරා ගන්නට හේතු කාරණා වශයෙන් ඔවුන් පෙන්වා දුන් කරුණු පහත දැක්වෙනවා.

මොහු ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම සමනලයා වීම.

රට පුරා ම ව්‍යාප්තව සිටීම.

ශ්‍රී ලංකාවට ආවේණික වීම.

බාහිර රූපකාය අනුව ධජධාරී විශේෂයක් ලෙස නම් කළහැකි වීම.

ජීවන චක්‍රයේ පලිබෝධ අවධි නොපෙන්වීම.

රෝග වාහක ලක්ෂණ නොපෙන්වීම.

සංස්කෘතික සහ අධ්‍යාත්මික විශ්වාස පිළිබද සෘණාත්මක බලපෑමක් නැති වීම.

තවද මේ ආකාරයෙන් යම් ශාකයක් හෝ ජීවියෙක් ජාතික වශයෙන් නම් කිරීමෙන් එම ජීවියා හෝ ශාකය ගැන ජනතා අවධානය ඉහළ නැංවිය හැකිය යනුවෙන් ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා. එහෙත් මෙතැනදී අපට ඇතිවන ප්‍රශ්නය නම් මහජන අවධානය කොතෙක් තිබුණත් දේශපාලන මැදිහත් වීම් ඔස්සේ වැනසෙන පරිසර පද්ධති දෙස බලන විට සමනලයෙකුට තබා මැස්සෙකුටවත් පවතින්නට අනාගතයේ දී ඉඩක් තිබේද යන්නයි.

 

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

 

උඩහ වැහැල

බකිනි ඇළේ සැර පාරේ

බකිනි මල් වැටී පාවේ

සිතිවිලි රොන්සුනු ඉහිරී

බලාපොරොත්තුව පෑරේ

 

කැලඹිලි රැළි මත මල් පෙති

පෙණ කැටි පොකුරට එළියකි

ඔය දෑසින් ගත් හැඩ ඇති

මිල් රළ දැඟලිලි දෙන හැටි

 

ඇළ දෑලෙන් නැමෙන පඳුරු

දිය මත කන් තබා මිතුරු

සුන්බුන් කැඳවා නිරතුරු

විමසයි දුක්මුසු තොරතුරු

 

මේ මහ ඇළ ගගේ ගිලෙයි

කතා පහුර එහි සැඟවෙයි

රෑට බකිනි සුවඳ දැනෙයි

ළඟ තරු එළියක් වැතිරෙයි

 

සොඳුරු අඳුර ලතාවකට

සිතිවිලි යළි යා කරාවි

බකිනි ගහට මල් අරගෙන

උදෑසනින් හිරු නැගේවි

 

ලක්ෂ්මන් පියසේන

මානවසිංහයන් ගීතයට රස ගෙනා හැටි

ගීතය නම් සාහිත්‍යාංගය නූතන ජන කවිය යැයි හඳුන්වමින් එක් සොඳුරු කතා බහකදී දවසක් දිලීප අබේසේකර ගීතයට අපූරු අර්ථකතනයක් ඉදිරිපත් කළේය. රසවත් ගීතයකින් දනවන දැඟලිල්ල නැළවිල්ල හැගෙන හැම විටකම මට ඒ කියමන සිහිපත් වෙයි. ජන කතාව, ජන කවිය, හදන ඒවා නොව හැදෙන ඒවාය, ලියන ඒවා නොව ලියවෙන ඒවාය, රසයක් ඇති ගීතයක හැටිත් එහෙමය, හොඳින් සිතා බැලූවොතින් ඒවා හැදූ හෝ ලියූ ඒවා නොව හැදුන හා ලියවුණු ඒවාය. කවදටත් පැරණි නොවන, වයස තරාතිරම ද නැතිව එක ලෙස නැළවෙන්නට සැනසෙන්නට හැකි එහෙම ගීත කාලීන ගීත වෙයි. එහෙම රසයක් දනවන කාලීන ගීත දැන් ටික කාලයන සිට අළුතින් නිර්මාණය වීම ඇණ හිට ඇතත් අන්න ඒ ගැන විමසීම මේ සාහිත්‍යාංගය මතුවටත් දළු ලෑමට පොහොර යෙදීමක් වනු ඇත.

‘මොනවද අම්මේ අකුරු ජාතියක් මල්පෙති වල කවුදෝ ලියලා’ ‘සමන් වැලේ මල් ජයට පිපීලා’ ‘කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ’ හා ‘මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’ වැනි ගීත අද නොහැදෙන්නේ හෝ නොලියවෙන්නේ ඇයි? ‘ආදරයේ රුචිරාණනියේ’ ‘පුන් සඳ එළියයි එන මඳ සුළඟයි’ ‘නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා’ හා ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා’ වැනි ගීත නොලිය වෙන්නේ හෝ නොහැදෙන්නේ ඇයි? රසවින්දනය පහත වැටීම ලූ. පාසල් අධ්‍යාපනයෙන් සාහිත්‍ය රස වින්දනයට ඉඩ නැති වීමලු. විවෘත ආර්ථිකයට මේ රට ඇරිය නිසා මෙහෙම වුණාලු. ඔය විදියට හේතු තර්ක ඇති තරම් ඉදිරි පත් වෙයි. එහෙත් ඉහතින් සඳහන් කළ ගීත ලියවුණ හෝ හැදුන යුගයේ තිබුණ කළ එළියනම් අදත් ඇත්තේ ඒ ගීත වලම පමණි. එය දැනෙන දෙයකි. හදවතට ම දැනෙන දෙයකි. එහෙත් අද සිදුවන්නේ කනට ඇහෙන දෙයක් ගැන මොන මොනවා හරි දෙයක් කතා කිරීම හැර හදවතට දැනෙන ඒ දේ මතු කිරීමවත් අගය කිරීමවත් නොවේ.

ඉහතින් සඳහන් කළේ ගීත රචකයින් හතර දෙනකු විසින් ලියන ලද ළමා ගීත හතරක් හා ඊට ඉහළ තලයක ගැයෙන ඔවුන් අතින්ම ලියැවුණු පේ‍්‍රමය තේමාව කර ගත් ගීත හතරකි. ඒ ගීත රචකයන් හතර දෙනානම් පිලිවෙලින් ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ, අරීසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර හා මහගම සේකර ය. මේ ගීත රචකයන් හතර දෙනා මෙලෙස උපුටා දක්වන්නට විශේෂ හේතුවක් තියේ. කවදටත් පැරණි නොවන, නැළවෙන්නට සැනසෙන්නට හැකි, අද ලියවෙන හෝ හැදෙන කාලීන ගීතයක් තියේනම් ඒ මේ රචකයන් හතර දෙනා විසින් සකසන ලද සොඳුරු බිමේ වැටුණු සංකල්ප බිජුවක් පැලවීමෙන් හට ගත්තකි. තවත් විදියකින් කියනවානම් ලියවෙන ගීතය හෙවත් නූතන ජන කවිය තහවුරු කර දෙන්නේ මේ රචකයන් හතර දෙනා විසිනි. ගායනයේ ද සංගීතයේ ද ඒ තරමට ම වටිනාකමක් තිබුණත් ඇතැම් විටෙක ගායනයටත් සංගීතයටත් ඒ නැළවිල්ල සැනසිල්ල සොයා යන්නට පොළඹවන්නේ මේ රචනාවල ඇති අපූර්වත්වයයි. ඇත්තට ම ඔවුන් අතින් මේ ගීත ලියවුණේ දෙවියන්ගේ ලෝකයට සමවැදී සිටියදී ලද වරමක් ඇතිව ද? එහෙම කල්පනා කරන්නට අකමැති නම් සොබාදහමට සම වැදී සිටියදී යැයි සිතා ගත්තත් වරදක් නැත.

1957 දී සිය කෝමල රේඛා පොතට හැඳින්වීමක් ලියන ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඒ ගැන සඳහන් කරන්නේ මේ විදියටයි.

‘ළා කහ රෝස පැහැති කම්මුල් වලින් හෙබි සිටිනාමළුවේ දැරියක් මා සමඟ පාසැල් ගමනේදී මිතුරු වූවාය. පාසැලේ සිට එන ඉර මුදුන් වෙලාවේදී මා සමඟ කතා බහට වැටීම ඇගේ සිරිත විය. හුස්ම අල්ලා ළය පුම්බා හොස්ස හකුළුවා ඇස් මහත් කොට කියන කතා ඇසීමට වඩා කියන සැටි බැලීමට මගේ සිත පෙළඹී ගියේ ය. පන්සලේදී පුස්කොල තැනීමේදී ඉවත් කරනු ලැබූ දිග තල ඉරටු ගෙනවිත් ගෙදරට නුදුරු හේනේ ලොකු පේර ගසක් උඩ අලංකාර කූඩුවක් මෙන් මවිසින් තනා තිබුනු පැලට ඈ පැමිණි විට ළා තියඹරා ගෙඩියක් පලා පළුවක් ඇයට දිනිමි. ඒ දෙස බැලූ ඇය මේ ඇට පේලිය ඔයාගෙ දත් වගේයැ’යි කීවාය. සුදුට හුරු ළා කහ පැහැයෙන් යුත් තියඹරා පළුවේ පිට පැත්ත පෙන්නා ‘ඔයාගෙ කම්මුල්වල පාටත් මේ වගේයැ’ යි මම කීවෙමි.’

මානවසිංහයන් ලියූ එහි තවත් තැනක මෙසේ සඳහන් වේ.

‘ගැමි කෙල්ලන් අපූරු පිළිවෙලකට නිකට පදවා හිස හරවා උරය ගස්සා හොස්ස හකුළුවා නුවනග බැලූම් හෙළා උකුළු මුකුළු පා ඔමරි කරන විට එහි ලතාව පැහැර ගෙන ඔමරි විරිතක්’ තනා ගත හැකිය. කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වන මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැළි වලින් වෙලී ගිය බෝ ගසක නැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමඟ වෙළී ගියේය. ...........මේ කීයේ මහ බෝ වන්නම ගෙතුනු ආකාරයයි.’

ඉහතින් සඳහන් කළ මොනවද අම්මේ අකුරු ජාතියක්’ ගීය හෙවත් “බුදු මිහිර” ලියවුණු අයුරු ඔහු සඳහන් කරන්නේ මෙසේය.

‘අසන දකින සෑම දෙයක් ගැන ම කෙළවරක් නැති ප‍්‍රශ්න විසඳීමට වුවමනා කරන ළමා වියේ ‘චූටි පණ්ඩිතයන්’ අතරට බුදුන් වහන්සේ වැඩමවීමට ගත් පරිශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘බුදු මිහිර’ ගීතය ලීවෙමි. කට දොඩවන පොඩිත්තකුගේ බොළඳ කල්පනා හා එයට මවගෙන් ලැබුණු සහාය එක් වීමෙන් මෙහි වේදයිතය නැඟී එයි. කුරුල්ලන්, වන මල් පෙති, වන දෙවඟනන්, පාට වලාකුළු, සිනා ගලන්නාක් මෙන් දරුවකුට පෙනෙන පිළිමයේ මුහුණ හුරතලාගේ බොලඳ හැඟුම් වලට එක් කළ ආකාරයෙන් අසන්නා තුළ පහන් හැඟුම් පහල වෙයි.’

නූතන ජන කවිය තවත් වසර ගනනනාවක් ඉදිරියට තහවුරු කර තබා දැයෙන් සමුගත් අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල ගැන මෙහිදී මගේ මතකයට නැගේ. ඔහු ගයන ගීත වැඩි හරියක් ලියූ කරුණාරත්න අබේසේකර වෙතින් ඔහු ගීත රචනාවක් ඉල්ලන්නේ නැතිලූ. ඔහු ඉල්ලා ඇත්තේ ‘කරු අයියෙ මට හැඟීමක් ලියා දෙන්න’ කියාය. ජන කවියේ මෙන්ම මේ නූතන ජන කවියේ ද පණ අන් දෙයක් නොව අව්‍යාජත්වය ම බවයි එයිනුත් කියාපාන්නේ. තර්කයෙන් දැනුමෙන් වචන සොයසොයා ලියන අප‍්‍රාණික ගී ‘ගේයපද’ ලෙස සිර කර එයට විදග්ධ සළු පිළි පොරවා මේ තමයි ගී ලොවේ ටාජ් මහල කීවාට ඒ දිහා බලා සිටින්නේ කවුරුන්ද? එහි සම්මාදම දැනුම ඇති විදග්ධ පිරිසකගේ වූවාට රසයක් නැති ගීතයක් පණ ගහන්නේ නැත. සිර කළ වැවකට වඩා ගලන ගඟුල නෙත සිත සනසයි. නූතන ජන කවිය හෙවත් හැඟීම් ගලන ගී ගඟුලත් එසේමයි. එහි අසබඩ වන අරණේ, සඳ එළියේ, වලා කුළේ, අනන්තයේ පාවී යන සිතල වෙන මොන දෙයින්ද සැනසෙන්නේ, නිවෙන්නේ? වටහා ගත යුතු තැන ඇත්තේ මෙතැනයි. හැඟීම් ගලන ගී ගඟුලට අළුතින් ගී උල්පත් එකතු නොවෙන හේතුව මේ හිර වීමයි. සාහිත්‍ය අංශයේ එක් පැත්තක් අල්ලා ගත් විදග්ධ තීන්දුකාරකයන්ගේ අණ විනත් ඊට බලවත් සේ බලපායි.

රසවින්දනයට මං අහුරන්නේ මේ හිර වීමට කැමති තැනකින් එන අණකට අනුව ය. දැනීමට ඉඩ නොදෙන දැනුමට වහල් වුණ අණකට අනුවය. සොබාදහම හා යා නොවී සොබා දහමත් තමන් කියන විදියට සිටිය යුතුයැයි සිතන විදග්ධ කොටුවකින් ලැබෙන අණකට අනුවය. අද පාසල් යන දරුවාගේද රසවින්දනය මොට කරමින් විභාග තරගයක දුවවන්නේ එහෙම සීමාන්තික අණකට අනුවය. එහෙම නැතිව රසවින්දනයේ පිරිහීම සිදුවන්නේ විවෘත ආර්ථිකය මෙහි ගෙන ඒම නිසා හෝ ඊට සමානව දක්වන අනෙක් හේතුවක් නිසා නොවේ. රසවින්දනය මොට වී යන්නේ විවෘත නොවීමේ වරදට ය. සොබා දහම සමඟ විවෘතවන සිතුම් පැතුම් හැගීම් මේ පිළිසඳරට එක් නොකරන බැවිනි. විවෘත ආර්ථිකය ආවේ 1977 දී ය. මානවසිංහයන් මෙය ලියන්නේ 1959 දී ය.

‘විභාගයෙන් සමත් වීමට පමණක් වුවමනා කරන දෙය දැන ගැන්මට මුළු කාලය සීමා කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුරුදු කර තිබේ.’

දැනුම පසුපසම හඹා යන විභාග තරගයට දරුවන් යොමු වන්නේ විවෘත ආර්ථිකයේ බලපෑම නිසා යැයි කීම වැරදි ය. වරද ඇත්තේ දැනෙන හැඟීමට ඉඩ නොදී දැනුමට පමණක් ඉඩ දී සොබා දහමටත් වඩා උඩින් ඉන්න කල්පනා කිරීම තුළ ය. මේ රටේ අධ්‍යාපනය එහෙම වැරදි පාරකට වැටුණේ විවෘත ආර්ථිකය ආවාට පසුව නොවේ. හරිනම් විවෘත වූවාට පසුව ලෝකයේ තවත් හොඳ දේ ලබා ගන්නට දරා ගන්නට ශක්තිය වැඩි විය යුතුය. එහෙත් කාලයක් තිස්සේ රස වින්දනයෙන් ඈත්ව සිටි නිසා ද විභාගයට ම ජීවිතය කැප කරමින් කොහේදෝ දෙයක් හඹා යාම නිසා ද දෙවියන්ගේ ලෝකය හා කළ ගනුදෙනු එහෙමත් නැතිනම් සොබා දහම සමඟ පැවත් වූ යාළුකම් බිඳී ගියේ ය.

මානවසිංහයන් තවත් තැනෙක මෙසේ සඳහන් කරයි.

‘වැවෙන් වෙලෙන් රුප්පා වලින් වන පඳුරු අස්සෙන් බඩ වැටි ඔස්සෙන් හේන් වලින් වනමල් වලින් කුරුල්ලන්ගෙන් මා එකතු කර ගත් ළමා සිතිවිලි වල නාඹුල් ගතිය කවදාවත් නොමැකෙයි.’

එසේම ලියවෙන හැදෙන ගීතයක රසයත් කවදාවත් පැරණි නොවෙයි. රසවිඳීම අණ දීමෙන් හදන්නට නොහැක. රසය හිතට දැනෙන විදියකි. මානවසිංහ, අහුබුදු, අබේසේකර හා සේකර මෙය දැන සිය ලිවීම කළ අය වූහ. මානව චින්තනය නැමති මිටියාවතට අති රමණීය සුපිරිසිදු දිය දහරක් දෙන්නට සොබා දහමට වුවමනා කළේය. ඈත කැළේ තැනෙක ගලන දිය කඳුර වෙතින් ඒ දියවර හැරවීමට පිරිසිදු නල මාර්ගයක්ද වුවමනාවිය. නල මාර්ගය මළ කෑ එකක්නම් ඒ හරහා ගලන දිය දහර කොතරම් පිරිසිදු වුවද බලාපොරොත්තු ඉටු නොවෙයි. ඒ නිසා දියවර තරමටම පිරිසිදු නල මාර්ගයකුත් වැඩේට වුවමනා විය. මේ රචකයන් හතර දෙනා එහෙම පිරිසිදු නල මාර්ග හතරකි. ඔවුන් සොබා දහම පැත්තේ සිටිය නිසා ඔවුන් අතින් ලියවුණු ගීත රචනා තව කොතරම් කලක් ගියත් පැරණි නොවන ලෙසින් මානව චින්තනය හා බැඳී ගියේ ය. මමායනය හෝ විදග්ධ දැනුම වෙතින් ඒ නල මාර්ග මළ කන්නට ඉඩ දී නොතිබුණි. සොබා දහම බෙදූ ලෙසම ඒ නල මාර්ග හරහා හරහා එන හැඟීම් ගඟුල මානව චින්තනය නැමති මිටියාවත තෙමා ගෙන ගලා යයි.

මානවසිංහයන් සිය ගීතයට රස ගෙනාවේ එලෙසයි. පැරණි නොවෙන හැම කාලීන ගීතයකම රහස නම් ඒ රසයමයි.

ලක්‍ෂමන් පියසේන

www.idakada.org

යස ද නොවෙන - මනමේ ද නොවන විට

සුබ සහ යස කතාන්දරයේ හැටියට දොරටුපාලයාට රජ වෙන්නට අවස්ථාවක් හිමි විය. එය ඓතිහාසිකව පැවරුණ නමුත් සුබ කුමාරයා තුන් හිතකින්වත් අපේක්ෂා නොකළ සිද්ධියකි. සුබ හා යස පෙනුමෙන් එක සමාන හෙයින් රජතුමා තමන් හමුවේ බලූගැතියන් වෙන ඇමතිවරු හා පරිවාර සේනාව රගනා රැගුම් සියැසින් අලූත් කෝණයකින් දකින්නට ලොබ බැන්දේය. දෙතුන් වතාවක් එසේ කරන්නට බොහොම කැමැත්තෙන් දොරටුපාලයා එකග කර ගත් නමුත් තීරණාත්මක අවස්ථාවේ දී දොරටුපාලයා සුබ රාජ නමින් රජ විය. එසේ වූයේ දොරටුව ලග හිදගෙන රජුගේ ක්‍රියාදාමයන්ට හිනා වූ දොරටුපාල රගපෑමට කැමැත්තෙන් සිටි හැබෑ රජ්ජුරුවන්ගේ හිස ගසා දැමීමෙන් අනතුරුවය.

මනමේ කුමාරිය වැදි රජ්ජුරුවන්ට කඩුව දී සිය වල්ලභයා මරුමුවට පත් කළේ තීරණාත්මක අවස්ථාවේ දී කඩුව ඉල්ලා සිටින විට කඩු කොපුව මනමේ කුමරුන්ටත් හා කඩුව වැදි රජු දෙසටත් පැති මාරු කර පිරිනමන්නට ගත් ක්ෂණික සිතිවිල්ල නිසාය. මේ සිතිවිල්ල එන්නට ඇත්තේ මහා ඝන වනාන්තරයේ වැදි රජු සමග හුදකලාව සටනකට සිය කුමාරයා පිවිසි නමුත් හැබෑවටම දන්නා ස්වාමි පුරුෂයාට වඩා මේ පෙනෙන හැඩි දැඩි මිනිසා නිර්භීත බව අවබෝධ කරගත් හෙයිනි.

දොරටුපාලයා රජ වෙන්නේත් - වැදි රජුට මනමේ හිමි වන්නේත් උරුමයෙන් පැවරුණ රාජකීයත්වය වෙනුවට අලූත් ආකල්ප හා අලූත් දැක්මක් ජාතියට ප්‍රකාශවීමේ සැබෑ උවමනාව ස්වභාව ධර්මයෙන්ම නියම වූ හෙයින් බවට සැකයක් නැත.

ඉතිහාසයේ අවස්ථා යළි මැවෙන නමුත් එහි නියම මොහොත අනුව තීන්දු ගන්නේ නැති බවක් පෙනෙන්නේ නම් රටට අලූත් ජවයක් ප්‍රබෝධයක් අපේක්ෂා කළ නොහැකිය.

අභ්‍යය‍න්තර කැරැල්ලකින් අනතුරුව පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස පොළඹවන ලද එක් අවස්ථාවක නායකත්වයට එරෙහිව යාමේ පාපයක් බව ප්‍රකාශ විය. ලෙන්ගතු අණ පිළිපදින්නා මිස මෙහෙයවන්නා වීම තමන් සතු බලවේගය බව නොවන පක්ෂයේ සියල්ලෝම පිළිගෙන සිටියහ. අවසානයේ දී කැරළිකරුවන්ට නායකයෙකු සොයාගත නොහැකිවීමෙන් කැරැල්ල දියවී ගියේය.

පරාජයවන හැම අවස්ථාවකම නායකත්වයට එරෙහිව අභියෝග මතුවන නමුත් ඒ සියල්ල වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නෙක් නැත. නායකයා පන්නා දැමිය යුතු බවට ඝෝෂා කරන කිසිවෙකු මීළග නායකයා කවුදැයි කියන්නේ නැත. ඒ තනතුරට තමන් සුදුසු බව එක හිතින් තම තමන් ම හිතනනමුත් එකතු වී පුද්ගලයෙකු නම් නොකරන්නේ මන්ද?

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ පළමු වතාවට වැඩ බලන නායකයෙකු පත්කර විදේශ ගත වන්නට පක්ෂයේ නායකයා තීන්දු කළා පමණක් නොව එය ප්‍රායෝගිකව සිදුකර මාධ්‍යය මගින් ද අනාවරණය කළේය. එහි හැබෑ අර්ථය කුමක්ද? එක්සත් ජාතික පක්ෂයේ දොරටු පාලයන් මෙන්ම සටනට පිවිසි විට අඩු තරමින් කඩුව වෙනුවට කඩු කොපුව දෙන්නටවත් සමතෙක් නැති බවය.

සාතිශය සංවේගය එය නොවේ. මේ සියලූ වේදනා සංසිද්ධීන් දරාගත නොහැකි ජන කොටසක් ද ශ්‍රී ලංකාවේ සිටින බව ඔප්පු වීමයග එක්සත්

ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ සිය දිවි නසා ගෙන එක්ව ජයගනිල්ලායැයි අභියෝග කරන්නට රියන්සි අල්ගම මහතා ඉක්මන්විය.

දේශපාලකයන් වනාහි හොරුන්, වංචාකාරයන් අල්ලස් හා පගා ගන්නා වැදගම්මකට නැති පිරිසක් හා සමාජයේ කිසිම බුහුමනකට ලක්විය යුතු නැති පිරිසක් බව අර්ථ දැක්වෙන යුගයක ඒ දේශපාලනඥයන් වෙනුවෙන් හා ඒ දේශපාලන ක්‍රමය වෙනුවෙන් ජීවිතය පුදන්නට ලාංකිකයෙකු ඉදිරිපත්වීම මෙරට ඉතිහාසයේ දැවැන්ත අවස්ථාවක් නොවේද?

දොරටු පාලකයන්ටත්, මනමේලාටත් ඒ අතුල්පහර හොදටම ඇතිය.

- වරද්දාගත් ගුරු විසිනි

අනාගත දරුවෝ මන්ද බුද්ධිකයි

ලෝකය, අද එකම කසල ගොඩක් වීමේ බිහිසුනු තර්ජනය ගැන තවමත් අපි නිසි අවධානයක් යොමු කරලා නෑ. මේ අතරිනුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අතිශයින්ම බිහිසුණු යි. මෙයට හේතුව මෙම ද්‍රව්‍ය ජීව විද්‍යාත්මකව ක්ෂය නොවෙයි. එමෙන්ම ඒ මගින් නිරන්තරයෙන්ම විෂ රසායනික නිකුත් කෙරෙයි.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අදටත් මුළුමනින්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියා පිලිවෙතක් සොයාගෙන  නෑ. වෙනත් ලෙසකට කියනවා නම් අදටත් මේ අතරින් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙන්නේ සියයට 25 ක් විතරයි. ඉතිරි සියයට 75 ම බැහැර කෙරෙන්නේ පරිත්‍යාග  සහ ආධාර වශයෙන් සංවර්ධනය වන රටවල් විසින් තුන්වන ලෝකයේ රටවලට පිටත් කර හරිනු ලබනවා.

මෙම තුන්වෙනි ලෝකයේ රටවල් කොයි ආකාරයෙන්වත් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේලා දියුණු ක්‍රමවේද ඇති රටවල් නොවේ. ඒ නිසා ඒ රටවලට සිදු වෙනවා තමන්ගේ රටවල් තුළ මේ කසල ගොඩ ගසාගන්න. සංවර්ධනය වූ රටවල් ද මේ ගැන නොදන්නවා නොවෙයි. ඔවුන්ට අවශ්‍යයයි තමන්ගේ රටවලින් මේ කුණුගොඩ ඉවත් කරගන්න. එහෙම වුණත් ඒ දේත් හරියට පැස්බරා සිය හිස වැල්ලේ සගවාගෙන සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා වගේ වැඩක්. පරිසර විද්‍යාවේ එන සමනල තටු න්‍යායට අනුව, මේ ලෝකයේ කොහේ හෝ තැනක සිට සමනලයෙක් තටු ගැසුවොත් ඒ බව මුළු ලොවටම දැනෙනවා. ඒ අනුව සංවර්ධනය වූ රටවල් තමන්ගේ ඉලෙක්ට්‍රොනික කසල ලෝකයේ කොයි මුල්ලක ගොඩ ගැසුවත් එහි ප්‍රතිවිපාක වලින් ගැලවෙන්න ඔවුන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. අනිත් අතින් ඔවුන් මේ පරිත්‍යාග කරන තෙවෙනි ලොව රටවල් අතරට අපේ රටත් අයිතියි. ඒ අනුව මේ බිහිසුණු අපද්‍රව්‍ය ඉරණමට අපේ සූදානම ගැන සෑහීමකට පත් වෙන්න අපට පුළුවන්ද?

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කඩා බිද දැමීමට නොදියුණු රටවල වැසියන් බොහෝ දුරට යොමු වී සිටිනවා. ඒ ඔවුන්ගේ නොදන්නකම. ඒවා එසේ කඩා බිද දැමීමෙන් ඒවායේ අන්තර්ගත ප්ලැටිනම්, රිදී, රත්‍රන්, ලබාගන්න ඔවුන් සමත් වෙනවා. නමුත් ඒත් සමගම ඒවායින් වායු ගෝලයට නිදහස් වෙන විෂ රසායන සදහා සමස්ත ජන සමාජයම ගොදුරු වෙනවාය කියන කාරණය ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නෑ.

නිදර්ශනයක් ලෙස එසේ කඩා බිද දැමෙන පරිගණකයක් නිසා පරිසරයට එකතු‍ වෙන රසායනික විශේෂ ගණන 40 කටත් වැඩි යැයි සොයාගෙන තිබෙනවා. පරිගණකයක ඇති ඊයම් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2 කට ත් වැඩියි. ඊයම් රසායනිකයක් වශයෙන් මිනිස් ශරීරයට අතිශයින් ම විෂ සහිතයි. මිනිස් රුධිරය ලීටර් 1 කට ඊයම් මයික්‍රො ග්‍රෑම් 6 කට වඩා අන්තර්ගත වෙයි නම් උපදින දරුවන් මන්ද බුද්ධික වීමේ ප්‍රවණතාවය වැඩියි.

ඒ විතරක් නෙවෙයි මිනිසා ඇතුළු ජෛව ප්‍රජාවට මරණීය ප්‍රතිඵල අත්කර දීමට සමත් ආසනික්, කැඩ්මියම්, ඇන්ටිමනි, බේරලියම්, සෙලිනියම්,  ක්‍රෝමියම්, කොබෝල්ට් රස දිය ආදිය ද මේ නිසා අප අවට පරිසරයට එකතු වෙනවා. මෙය එක් අතකට පාරිසරික ප්‍රශ්නයක්. අනිත් අතින් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක්. නමුත් මේ පිළිබදව සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ අතර සාකච්ඡාවක් කෙසේ වෙතත් සාමාන්‍ය කථාබහක්වත් ඇතිවෙලා තියෙනවා යැයි අපි නම් සිතන්නේ නෑ.

මේ අතර එකතු වී තිබෙන සහ දිනෙන් දිනම විශාල වශයෙන් එකතු වෙන බිහිසුනු අපද්‍රව්‍යයක් වශයෙන් ජංගම දුරකථනයත් අවධානයට යොමු වී තිබෙනවා. එය නිර්මාණය කෙරෙන්නේ ම රසායනික ද්‍රව්‍ය සහ දිරා නොයන ද්‍රව්‍ය වලින්. මෙහිදී විශේෂයෙන් ම මතක තබාගත යුතුයි. මේ පිළබදව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් නිව්යෝක් ටයිම් පුවත්පත පවසන අන්දමට දිනෙන් දින ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් මිනිසා දිනෙන් දින තමන් සදහා අනාගත විනාශයක් නිර්මාණය කරගනිමින් සිටිනවා. මේ අනුව අද ලෝකයේ ජංගම දුරකථන භාවිතා කරන්නන් ගේ සංඛ්‍යාව ගණන් කළ යුත්තේ බිලියන ගණනින් වුවත් එය භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකිබව දන්නේ මේ අතරින් සියයට 10 ක් තරම් පිරිසක් විය යුතුයි. තොරතුරු තාක්ෂණයේ ඉහළම තලයකට ඇවිත් ඇතැයි පැවසෙන ලෝකය තොරතුරු දැනුම අතින් සිටින දුර්වල ස්ථානය ගැන කියන්නත් එයම හොද උදාහාරණයක්. මෙහිදී ඔබ දැනගත යුතුයි. මේ වන විට භාවිතයෙන් ඉවත්කළ ජංගම දුරකථන මිලියන 500 ක් තරම් සංඛ්‍යාවක් විනාශ කිරීම සදහා නියමිතව තිබෙනවාය යන කාරණය. එහි සම්පූර්ණ බර ප්‍රමාණය ටොන් දෙලක්ෂ පනස් දහසක්. විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට මෙහි බරපතලම ප්‍රශ්නය වී තිබෙන්නේ ඒ නිසා එකතු වෙන ප්ලාස්ටික් නොව විෂ රසායනික අපද්‍රව්‍ය යයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන අන්දමට මෙවැනි එක් දුරකථනයක ඇති බැටරියක අඩංගු කැඩ්මියම් නම් ලෝහයෙන් ජලය ගැලුම් ලක්ෂයක් පමණ දූෂණය කළ හැකියි. අප පැහැදිලිවම දන්නවා කැඩ්මියම් මිනිස් වකුගඩු බරපතල ලෙසින් හානියට පක් කරනවා. අනික රසදිය විශාල වශයේන පරිසරයට මුදා හැරෙන මෙම බර ලෝහය කොයි ආකාරයන්වත් මිනිස් සිරුරුවලට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම එය මොළයට බලපානවා.

මේ අනුව අද අප වෙසෙන මේ විද්‍යුත් ලෝකය හෙට දින සමස්ත මානව සංහතියට මරණීය විනාශයට ඇද දමන තත්ත්වයක් නිර්මාණය කළොත්....? ඔබ කරන්නේ කුමක්ද?

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

ඉන්දිකාගෙන් නව ආරක ප්‍රසංගයක්

upamaliඉන්දිකා උපමාලිගේ “සද පහන් රැයේ” සංයුක්ත තැටිය එළිදැක්වීම සහ සජීවී ප්‍රසංගය මේ මස 18 වනදා එල්ෆින්ස්ටන් රගහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී ඇය පැරණි ගීත සහ නව නිර්මාණ ගීත කිහිපයක් ගායනා කරන අතර මෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස ප්‍රවීන කලා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් රචිත ඉන්දිකා උපමාලියේ සප්ත ස්වරයෙන් මුසු වූ “කුවේණි” ගීතය නර්තනයක් සමගින් ප්‍රේක්ෂකයන් වෙත ලබාදීමට ඇය සැදී පැහැදී සිටී. ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් ලත් දැනුම සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තුලින් ලබාගත් දැනුම මත ප්‍රසාංගික කලාව උපයෝගී කරමින් වෙනස් ආරක නිර්මාණයක් කිරීමට වුවමනා වූ බව ඇය පවසයි.

upamali_2විශාරද නන්දා මාලනී, අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා සමග ඩබ්ලිව්. ඩී. ආරියසිංහ යුග ගීත ගායනා කරනු ලබයි. මෙහිදී සංයුක්ත තැටිය එළිදැක්වීම මියුසික් බොක්ස් වෙතින්ද මෙහෙයවීම කැලුම් ශ්‍රීමාල් ගෙන් හා සංගීතය සමන්ත පෙරේරාගෙනි. සමරු දේශනය ශාස්ත්‍රපති කෝලිත භානු දිසානායකයන් විසින් සහ උපුල් ශාන්ත සන්නස්ගලයන් විසින්ද පැවැත්වීමට නියමිතය.

නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රසංගය සදහා සහභාගි වන්නැයි ඉන්දිකා සිය රසික රසිකාවියන්ට ආරාධනා කර සිටියි.

 

ඡායාරූප - සුජාතා ජයරත්න

 

 

මහ පඩිරුවනක අනගි මෙහෙය

මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතානන් පිළිබද ඔබ අප බොහෝ දෙනෙකු හදුනන්නේ ඔහු මෙරට තවත් එක් මහාචාර්යවරයෙකු නොවූ නිසාවෙනි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය ජීවිතයේ එක වරක් හෝ ඔබ පරිහරණය කරන්නට ඇත. පරම්පරා ගණනක් පවතින ඒ මහා ශබ්ද කෝෂය රචනා වූයේ මාහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ සුරතිනි. එතුමානන්ගේ 110 වැනි ජන්ම දිනය අදට යෙදී ඇත.

1899 නොවැම්බර් 09 වන දින ජෝර්ජ් පීරිස් මලලසේකර දරුවා උපන්නේය. ඒ පානදුරේ මාලමුල්ල ප්‍රදේශයේදීය. පසුකලක අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි සිංහල නම් භාවිතා කිරිමේ ප්‍රතිපත්තිය යටතේ ඔහු ගුණපාල පියසේන මලලසේකර නමින් හැදින්විය.

ඔහු සිය පාසැල් අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ වර්තමානයේ සිරිල් ජෑන්ස් විදුහල නමින් හැදින්වෙන පානදුරේ ශාන්ත ජෝන් විදුහලෙනි. ඉන් අනතුරුව ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් විය. එහෙත් තම පියාගේ අභාවය නිසා ‍වෛද්‍ය අධ්‍යාපනය අතරමග නතර කර දමන්නට ඔහුට සිදුවිය. නමුත් කිසි විටෙක තම උත්සාහ අත් නොහල ඒ මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බී.ඒ. උපාධිය සදහා අධ්‍යාපන කටයුතු  සිදුකලේය. 1919 වසරේදී ඔහු ඉන් සමත් වුයේ පළමු පෙළ සාමාර්ථයක්ද සමගිනි. ඔහු ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් හා ප්‍රංශ භාෂාවන් සිය උපාධිය සදහා තෝරාගෙන තිබුණි.

තමා ලත් දැනුමෙන් මේ මහා ව්ද්වතානන් රටටත් ජාතියටත් සිදු කල මෙහෙය සුළුපටු නොවේ. එතුමා පිළිබද පාඨක ඔබ දන්නේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය නිර්මාණය කිරිම පමණක්ම විය හැකිය. එහෙයින් එතුමා ගැන දැනගැනීම සදහාම එතුමා සිදුකල සුවිසල් මෙහෙය පිළිබද තතු බිදක් මෙසේ සටහන් කරන්නෙමි.

1942 දී යුනිවර්සිටි ඔෆ් සිලෝන් ආරම්භ විය. එහි සිංහල, පාලි, සංස්කෘත සහ බෞද්ධ ශිෂ්ඨාචාරය යන විෂයන් පිළිබද මහාචාර්ය ධූරයට පත්වූයේ මලලසේකර මහතාය. එවකට එතුමා එම විෂයන් ඉංග්‍රීසියෙන් ඉගැන්වීය. ඒ නිසාම බෞද්ධ විශ්ව කෝෂයෙහි ප්‍රධාන කර්තෘ තනතුරෙන්ද එතුමා පිදුම් ලැබීය.

1950 වෙසක් මස පුර පසලොස්වක දිනයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියස රටවල් 27 ක නියෝජිතයෙන් 129 දෙනෙකු සහ ලාංකික නියෝජිතයන් ඇතුළු විශාල බෞද්ධ පිරිසක් සහභාගී කොටගෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කළේය. ලෝකයේ වසන බෞද්ධයින් සමගිසම්පන්න කිරීම, ‍ථේරවාදී, මහායාන, වජිරයාන ආදී කොටස්වලින් සැදුම් ලද බුදුදහම ඒකරාශී කිරිම මෙහි අරමුණය. බුද්ධ ධර්මය පිළිබද එතුමා තුල තිබූ පුළුල් දැනුම මේ ආශ්චර්යවත් ක්‍රියාව සිදුකිරීමට මහා පිටිවහලක් විය. 1950 සිට 1958 දක්වා එතුමා එහි සභාපති ධූරය හෙබවීය.

මලලසේකර මහතා රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයෙකි. එතුමා විසින් සංස්කරණය කරන ලද මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය, පාලි සර්වනාම පිළිබද ශබ්දකෝෂය ජනප්‍රිය ශබ්දකෝෂ දෙකක් වෙයි. මෙම ශබ්දකෝෂ විදේශ විශ්ව විද්‍යාල වල පුස්තකාල වල පවා පරිහරණය වෙයි.

එතුමාගේ තවත් වැදගත් කටයුත්තක් වන්නේ Extended Maha Vama (Pali Language) යන ග්‍රන්ථයන් වෙළුම් දෙකකින් යුකත් වූ මහාවංශ ටීකා හෙවත් වංසත්තප්පකාසිනිය පාලි ග්‍රන්ථයෙන් සංස්කරණය කිරිමයි. 1958 වර්ෂයේදී එතුමා ඉන්දියාවේ තානාපති වශයෙන් පත්විය. පසුව කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ආදී රටවල ලංකා තානාපති වශයෙන්ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන්ද එතුමා කටයුතු කලේය.

සෑම රැයකම නින්දයාමට පෙර වෙනත් භාෂාවකින් සොයාගත් වචන 10 ක් සිත්හි ධාරණය කිරීම එතුමාගේ දින චරියාවේ කොටසක් විය.

1973 අප්‍රේල් 23 වනදා එතුමා අභාවප්‍රාප්ත විය. මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකුට කලහැකි උපරිම සේවාව කොට එතුමා නික්ම ගියේ අනාගත පරපුරට මහගු ආදර්ශයක් සපයමිනි.

බර අඩුවන විට රට හෑල්ලුවීම

මුරලිදරන් අවසන් දිනයට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන දවසේ එහි අසිරිය බලන්නට ජනාධිපති තුමා ගාල්ල ටෙස්ට් කී‍්‍රඩාංගනයට ගියේය. ඒ සමග එහි ගිය අමාත්‍ය විමල් වීරවංශ ගැන මාධ්‍ය කතා කළේ අඩුවෙන්ය. මෙම අඩුව සිදුවූයේ ඇයිදැයි  හිතන්නට මහජනතාවට අයිතියක් ඇත.

සුප‍්‍රකට මාරාන්තික උපවාසය ඇත්තටම සිදුවූවක් බව ඔප්පු කරන්නට පපුව පලා පෙන්නවන්නට ඉදිරිපත්වූ විමල් වීරවංශ ඇමතිතුමා ඉදිරිපත්වූයේ ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ජාවකදිය. එහෙම කියන්නටඑතුමායට සිදුවූයේ ඒ වන විටත්එය වනාහි හොදින් පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද නාට්‍යයක් බවට වේගයෙන් පැතිර යමින් තිබුණ  කටකතා නිසාය. තමන්ගේ බර මේ ආහාර නොගෙන මාරාන්තික උපවාසයක යෙදී සිටි දින දෙක තුළ කිලෝ තුනකින් අඩුවු බව ඔහු කියා සිටියේ උපවාසියට කලින් තරාදියෙන් මැන එය අවසන් වූ වහා යළි බර සංසන්දනය කිරීමෙන් නොව හිතට දැනෙන හිතිවිලි අනුව බවට සැකයක් නැත.

මේ බර අඩු වීම හා ඔහු කි‍්‍රකට් පිටියට ගිය විට මාධ්‍ය අවධානය අඩු වීම අන්ත දෙකකි. මේ දෙක අතරට හෑල්ලූවීම එකතු වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගය. තුන් දෙනෙකුගෙන් සමන්විත වූ හැබෑවටම මොකක් කරගන්නදැයි එහි සභාපතිට උපදෙස් දෙන්නට පත් කළ තුන් දෙනාගේ කමිටුව මේ මාරාන්තික උපවාසය සමග තවත්අට දෙනෙකගෙන් ඉහල නංවා තිබේ. බෑන් කි මුන් මහතා එවැනි තීරණයකට ගියේ තමන් ගත් තීරණය වඩා යුක්ති සහගත කරන අරමුණෙන් නමුත් එක්සත් ජාතීන්ගේ සාමාජික ශ‍්‍රී ලංකාව එයින් හෑල්ලූ වූ බව පමණක් සදහන් කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු මිත‍්‍ර පාක්ෂික රටවල් වල අනාගතය ගැන කල්පනා කිරීමටය. බලවත් රටවල් වලං කඬේට පැන්න අහවලූන් මෙන්කි‍්‍රයා කරන්නට ගියහොත් ආර්ථික හා භූගෝලීය වශයෙන් කුඩා රටවල් ජාත්‍යන්තර සමාජයේ දී පත්වන අපහසුතාවය තේරුම් ගත් බුද්ධිමත්හු ඒ වෙනුවෙන් සංවිධානයක් හදා එයින් යුක්තිය අපේක්ෂා කළහ.

මේ සංවිධානයේ බලවත් ජාතීන්ට නිෂේධ බලය ඇති බව ඇත්තකි. එහෙත් කවදාවත් මේ ආයතනයේ මුල් පුටුවට බලවත් රටවල් තරග කරන්නේ නැත. හැම අවස්ථාවකම සභාපති පදවිය පිරිනැමෙන්නේ අවධානයට ලක් නොවූ කුඩා රටකටය. මේ වග එහි නායකයන් ගැන ආපසු හැරී බලන විට පෙනී යනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය නඩත්තු කරන වියදමෙන් වැඩි ප‍්‍රතිශතයක් දරන්නේ ඇමරිකාව නිසා එහි ආයතනික කටයුතු ඇමරිකානු නියෝජිතයෙකු සිටී. චීනය බලා ගන්නේ ආර්ථික  පැත්තයි.  මේවායේ රුස්වීම් අවස්ථාවේ  ඕනෑම භාෂාවකින් කතාකර තම තමන්ගේ රට තුළ ජන මතයක් ඇති කර ගැනීමේ  ආශ්චර්යවත් අවස්ථාවක් එහි සාමාජික රටවලට හිමිය.

බෑන්කී මුන් ටඑක්සත් ජාතීන්ගේ නායකත්වය ගන්නට හැකි වූයේ මේ වතාවේ එහි අවස්ථාව ආසියාවට හිමිව තිබූ බැවි හෙළ උරුමය මේ පුටුවට දෙවන වතාවට එන්නට මූන් මහතාට ඉඩ නොදෙන වග දැනටමත් පුවත් පත් සාකච්ජාවක දී ප‍්‍රකාශ කර ඇති අතර එය එසේ වන්නට ඉඩ ඇත්තේ ඇමරිකාව කොහොමටත් මේ විද්වතාගේ කි‍්‍රයා කලාපය ගැන ඒ තරම් මනාපයක් නොදක්වන නිසාය. ලෝක පොලිස් කාරයා තමුං  අතින් වියදං කරගෙන පවත්වා ගෙන යන ආයතනයේ ලොක්කා වෙනස් කරන්නට මීළග වාරයේ දී තීරණයක් ගත්තොත් එහි සම්පූර්ණ ගෞරවය අයත් වන්නේ ලංකාවේ හෙළ උරුමයටය.

එයින් ආයෙත් වතාවක්විමල් වීරවංශ මහතා හෑල්ලූවට ලක්වනු ඇත. මෙය බර අඩු වීමක් නොවන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරුද්ධව මාරාන්තික උපවාසයක් කළ නමුත් ඒ ගැන නොසලකා සිටි  බෑන් කී මුන් මහතා දෙවන වතාවේ පදවි ප‍්‍රාප්ත වීම වලක්වන්නට එක පුවත් පත් සාකච්ජාවකින් පසු ගත් උපායශීලී කි‍්‍රයා පිළිවෙල අනාගතයේ ලාංකිකයන්ගේ හිත තුළ පැල පදියම් වනු ඇත.

එය වඩා නරක අතට හැරෙන්නට ද ඉඩ තිබේ. ජාත්‍යන්තර සංවිධානයක ප‍්‍රධානියා එයින් නෙරපන්නට හෙළ උරුමයට හැකි වූවා නම් රටේ නායකයා තවත් අවස්ථාවක් විධායක පුටුවේ වාඩි වෙන්න සූදානම් වන විට එයට ඉඩ දීම හෝ නොදීම සම්බන්ධයෙන් පුලූල් අතිදැකීම් ඇත්තේ හෙළ උරුමයට වන්නට ඉඩ තිබේ. ඒ අනුව ආයෙමත් වීරවංශ මහතා හෑල්ලූවට ලක්වනු වැලැක්විය නොහැකිය.

JPAGE_CURRENT_OF_TOTAL