Thursday, Apr 24th

Last update:09:02:32 PM GMT

You are here: විශේෂාංග දැයක් දිනවූ වදන්

දැයක් දිනවූ වදන්

මානවසිංහයන් ගීතයට රස ගෙනා හැටි

ගීතය නම් සාහිත්‍යාංගය නූතන ජන කවිය යැයි හඳුන්වමින් එක් සොඳුරු කතා බහකදී දවසක් දිලීප අබේසේකර ගීතයට අපූරු අර්ථකතනයක් ඉදිරිපත් කළේය. රසවත් ගීතයකින් දනවන දැඟලිල්ල නැළවිල්ල හැගෙන හැම විටකම මට ඒ කියමන සිහිපත් වෙයි. ජන කතාව, ජන කවිය, හදන ඒවා නොව හැදෙන ඒවාය, ලියන ඒවා නොව ලියවෙන ඒවාය, රසයක් ඇති ගීතයක හැටිත් එහෙමය, හොඳින් සිතා බැලූවොතින් ඒවා හැදූ හෝ ලියූ ඒවා නොව හැදුන හා ලියවුණු ඒවාය. කවදටත් පැරණි නොවන, වයස තරාතිරම ද නැතිව එක ලෙස නැළවෙන්නට සැනසෙන්නට හැකි එහෙම ගීත කාලීන ගීත වෙයි. එහෙම රසයක් දනවන කාලීන ගීත දැන් ටික කාලයන සිට අළුතින් නිර්මාණය වීම ඇණ හිට ඇතත් අන්න ඒ ගැන විමසීම මේ සාහිත්‍යාංගය මතුවටත් දළු ලෑමට පොහොර යෙදීමක් වනු ඇත.

‘මොනවද අම්මේ අකුරු ජාතියක් මල්පෙති වල කවුදෝ ලියලා’ ‘සමන් වැලේ මල් ජයට පිපීලා’ ‘කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ’ හා ‘මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’ වැනි ගීත අද නොහැදෙන්නේ හෝ නොලියවෙන්නේ ඇයි? ‘ආදරයේ රුචිරාණනියේ’ ‘පුන් සඳ එළියයි එන මඳ සුළඟයි’ ‘නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා’ හා ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා’ වැනි ගීත නොලිය වෙන්නේ හෝ නොහැදෙන්නේ ඇයි? රසවින්දනය පහත වැටීම ලූ. පාසල් අධ්‍යාපනයෙන් සාහිත්‍ය රස වින්දනයට ඉඩ නැති වීමලු. විවෘත ආර්ථිකයට මේ රට ඇරිය නිසා මෙහෙම වුණාලු. ඔය විදියට හේතු තර්ක ඇති තරම් ඉදිරි පත් වෙයි. එහෙත් ඉහතින් සඳහන් කළ ගීත ලියවුණ හෝ හැදුන යුගයේ තිබුණ කළ එළියනම් අදත් ඇත්තේ ඒ ගීත වලම පමණි. එය දැනෙන දෙයකි. හදවතට ම දැනෙන දෙයකි. එහෙත් අද සිදුවන්නේ කනට ඇහෙන දෙයක් ගැන මොන මොනවා හරි දෙයක් කතා කිරීම හැර හදවතට දැනෙන ඒ දේ මතු කිරීමවත් අගය කිරීමවත් නොවේ.

ඉහතින් සඳහන් කළේ ගීත රචකයින් හතර දෙනකු විසින් ලියන ලද ළමා ගීත හතරක් හා ඊට ඉහළ තලයක ගැයෙන ඔවුන් අතින්ම ලියැවුණු පේ‍්‍රමය තේමාව කර ගත් ගීත හතරකි. ඒ ගීත රචකයන් හතර දෙනානම් පිලිවෙලින් ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ, අරීසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර හා මහගම සේකර ය. මේ ගීත රචකයන් හතර දෙනා මෙලෙස උපුටා දක්වන්නට විශේෂ හේතුවක් තියේ. කවදටත් පැරණි නොවන, නැළවෙන්නට සැනසෙන්නට හැකි, අද ලියවෙන හෝ හැදෙන කාලීන ගීතයක් තියේනම් ඒ මේ රචකයන් හතර දෙනා විසින් සකසන ලද සොඳුරු බිමේ වැටුණු සංකල්ප බිජුවක් පැලවීමෙන් හට ගත්තකි. තවත් විදියකින් කියනවානම් ලියවෙන ගීතය හෙවත් නූතන ජන කවිය තහවුරු කර දෙන්නේ මේ රචකයන් හතර දෙනා විසිනි. ගායනයේ ද සංගීතයේ ද ඒ තරමට ම වටිනාකමක් තිබුණත් ඇතැම් විටෙක ගායනයටත් සංගීතයටත් ඒ නැළවිල්ල සැනසිල්ල සොයා යන්නට පොළඹවන්නේ මේ රචනාවල ඇති අපූර්වත්වයයි. ඇත්තට ම ඔවුන් අතින් මේ ගීත ලියවුණේ දෙවියන්ගේ ලෝකයට සමවැදී සිටියදී ලද වරමක් ඇතිව ද? එහෙම කල්පනා කරන්නට අකමැති නම් සොබාදහමට සම වැදී සිටියදී යැයි සිතා ගත්තත් වරදක් නැත.

1957 දී සිය කෝමල රේඛා පොතට හැඳින්වීමක් ලියන ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඒ ගැන සඳහන් කරන්නේ මේ විදියටයි.

‘ළා කහ රෝස පැහැති කම්මුල් වලින් හෙබි සිටිනාමළුවේ දැරියක් මා සමඟ පාසැල් ගමනේදී මිතුරු වූවාය. පාසැලේ සිට එන ඉර මුදුන් වෙලාවේදී මා සමඟ කතා බහට වැටීම ඇගේ සිරිත විය. හුස්ම අල්ලා ළය පුම්බා හොස්ස හකුළුවා ඇස් මහත් කොට කියන කතා ඇසීමට වඩා කියන සැටි බැලීමට මගේ සිත පෙළඹී ගියේ ය. පන්සලේදී පුස්කොල තැනීමේදී ඉවත් කරනු ලැබූ දිග තල ඉරටු ගෙනවිත් ගෙදරට නුදුරු හේනේ ලොකු පේර ගසක් උඩ අලංකාර කූඩුවක් මෙන් මවිසින් තනා තිබුනු පැලට ඈ පැමිණි විට ළා තියඹරා ගෙඩියක් පලා පළුවක් ඇයට දිනිමි. ඒ දෙස බැලූ ඇය මේ ඇට පේලිය ඔයාගෙ දත් වගේයැ’යි කීවාය. සුදුට හුරු ළා කහ පැහැයෙන් යුත් තියඹරා පළුවේ පිට පැත්ත පෙන්නා ‘ඔයාගෙ කම්මුල්වල පාටත් මේ වගේයැ’ යි මම කීවෙමි.’

මානවසිංහයන් ලියූ එහි තවත් තැනක මෙසේ සඳහන් වේ.

‘ගැමි කෙල්ලන් අපූරු පිළිවෙලකට නිකට පදවා හිස හරවා උරය ගස්සා හොස්ස හකුළුවා නුවනග බැලූම් හෙළා උකුළු මුකුළු පා ඔමරි කරන විට එහි ලතාව පැහැර ගෙන ඔමරි විරිතක්’ තනා ගත හැකිය. කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වන මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැළි වලින් වෙලී ගිය බෝ ගසක නැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමඟ වෙළී ගියේය. ...........මේ කීයේ මහ බෝ වන්නම ගෙතුනු ආකාරයයි.’

ඉහතින් සඳහන් කළ මොනවද අම්මේ අකුරු ජාතියක්’ ගීය හෙවත් “බුදු මිහිර” ලියවුණු අයුරු ඔහු සඳහන් කරන්නේ මෙසේය.

‘අසන දකින සෑම දෙයක් ගැන ම කෙළවරක් නැති ප‍්‍රශ්න විසඳීමට වුවමනා කරන ළමා වියේ ‘චූටි පණ්ඩිතයන්’ අතරට බුදුන් වහන්සේ වැඩමවීමට ගත් පරිශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘බුදු මිහිර’ ගීතය ලීවෙමි. කට දොඩවන පොඩිත්තකුගේ බොළඳ කල්පනා හා එයට මවගෙන් ලැබුණු සහාය එක් වීමෙන් මෙහි වේදයිතය නැඟී එයි. කුරුල්ලන්, වන මල් පෙති, වන දෙවඟනන්, පාට වලාකුළු, සිනා ගලන්නාක් මෙන් දරුවකුට පෙනෙන පිළිමයේ මුහුණ හුරතලාගේ බොලඳ හැඟුම් වලට එක් කළ ආකාරයෙන් අසන්නා තුළ පහන් හැඟුම් පහල වෙයි.’

නූතන ජන කවිය තවත් වසර ගනනනාවක් ඉදිරියට තහවුරු කර තබා දැයෙන් සමුගත් අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල ගැන මෙහිදී මගේ මතකයට නැගේ. ඔහු ගයන ගීත වැඩි හරියක් ලියූ කරුණාරත්න අබේසේකර වෙතින් ඔහු ගීත රචනාවක් ඉල්ලන්නේ නැතිලූ. ඔහු ඉල්ලා ඇත්තේ ‘කරු අයියෙ මට හැඟීමක් ලියා දෙන්න’ කියාය. ජන කවියේ මෙන්ම මේ නූතන ජන කවියේ ද පණ අන් දෙයක් නොව අව්‍යාජත්වය ම බවයි එයිනුත් කියාපාන්නේ. තර්කයෙන් දැනුමෙන් වචන සොයසොයා ලියන අප‍්‍රාණික ගී ‘ගේයපද’ ලෙස සිර කර එයට විදග්ධ සළු පිළි පොරවා මේ තමයි ගී ලොවේ ටාජ් මහල කීවාට ඒ දිහා බලා සිටින්නේ කවුරුන්ද? එහි සම්මාදම දැනුම ඇති විදග්ධ පිරිසකගේ වූවාට රසයක් නැති ගීතයක් පණ ගහන්නේ නැත. සිර කළ වැවකට වඩා ගලන ගඟුල නෙත සිත සනසයි. නූතන ජන කවිය හෙවත් හැඟීම් ගලන ගී ගඟුලත් එසේමයි. එහි අසබඩ වන අරණේ, සඳ එළියේ, වලා කුළේ, අනන්තයේ පාවී යන සිතල වෙන මොන දෙයින්ද සැනසෙන්නේ, නිවෙන්නේ? වටහා ගත යුතු තැන ඇත්තේ මෙතැනයි. හැඟීම් ගලන ගී ගඟුලට අළුතින් ගී උල්පත් එකතු නොවෙන හේතුව මේ හිර වීමයි. සාහිත්‍ය අංශයේ එක් පැත්තක් අල්ලා ගත් විදග්ධ තීන්දුකාරකයන්ගේ අණ විනත් ඊට බලවත් සේ බලපායි.

රසවින්දනයට මං අහුරන්නේ මේ හිර වීමට කැමති තැනකින් එන අණකට අනුව ය. දැනීමට ඉඩ නොදෙන දැනුමට වහල් වුණ අණකට අනුවය. සොබාදහම හා යා නොවී සොබා දහමත් තමන් කියන විදියට සිටිය යුතුයැයි සිතන විදග්ධ කොටුවකින් ලැබෙන අණකට අනුවය. අද පාසල් යන දරුවාගේද රසවින්දනය මොට කරමින් විභාග තරගයක දුවවන්නේ එහෙම සීමාන්තික අණකට අනුවය. එහෙම නැතිව රසවින්දනයේ පිරිහීම සිදුවන්නේ විවෘත ආර්ථිකය මෙහි ගෙන ඒම නිසා හෝ ඊට සමානව දක්වන අනෙක් හේතුවක් නිසා නොවේ. රසවින්දනය මොට වී යන්නේ විවෘත නොවීමේ වරදට ය. සොබා දහම සමඟ විවෘතවන සිතුම් පැතුම් හැගීම් මේ පිළිසඳරට එක් නොකරන බැවිනි. විවෘත ආර්ථිකය ආවේ 1977 දී ය. මානවසිංහයන් මෙය ලියන්නේ 1959 දී ය.

‘විභාගයෙන් සමත් වීමට පමණක් වුවමනා කරන දෙය දැන ගැන්මට මුළු කාලය සීමා කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුරුදු කර තිබේ.’

දැනුම පසුපසම හඹා යන විභාග තරගයට දරුවන් යොමු වන්නේ විවෘත ආර්ථිකයේ බලපෑම නිසා යැයි කීම වැරදි ය. වරද ඇත්තේ දැනෙන හැඟීමට ඉඩ නොදී දැනුමට පමණක් ඉඩ දී සොබා දහමටත් වඩා උඩින් ඉන්න කල්පනා කිරීම තුළ ය. මේ රටේ අධ්‍යාපනය එහෙම වැරදි පාරකට වැටුණේ විවෘත ආර්ථිකය ආවාට පසුව නොවේ. හරිනම් විවෘත වූවාට පසුව ලෝකයේ තවත් හොඳ දේ ලබා ගන්නට දරා ගන්නට ශක්තිය වැඩි විය යුතුය. එහෙත් කාලයක් තිස්සේ රස වින්දනයෙන් ඈත්ව සිටි නිසා ද විභාගයට ම ජීවිතය කැප කරමින් කොහේදෝ දෙයක් හඹා යාම නිසා ද දෙවියන්ගේ ලෝකය හා කළ ගනුදෙනු එහෙමත් නැතිනම් සොබා දහම සමඟ පැවත් වූ යාළුකම් බිඳී ගියේ ය.

මානවසිංහයන් තවත් තැනෙක මෙසේ සඳහන් කරයි.

‘වැවෙන් වෙලෙන් රුප්පා වලින් වන පඳුරු අස්සෙන් බඩ වැටි ඔස්සෙන් හේන් වලින් වනමල් වලින් කුරුල්ලන්ගෙන් මා එකතු කර ගත් ළමා සිතිවිලි වල නාඹුල් ගතිය කවදාවත් නොමැකෙයි.’

එසේම ලියවෙන හැදෙන ගීතයක රසයත් කවදාවත් පැරණි නොවෙයි. රසවිඳීම අණ දීමෙන් හදන්නට නොහැක. රසය හිතට දැනෙන විදියකි. මානවසිංහ, අහුබුදු, අබේසේකර හා සේකර මෙය දැන සිය ලිවීම කළ අය වූහ. මානව චින්තනය නැමති මිටියාවතට අති රමණීය සුපිරිසිදු දිය දහරක් දෙන්නට සොබා දහමට වුවමනා කළේය. ඈත කැළේ තැනෙක ගලන දිය කඳුර වෙතින් ඒ දියවර හැරවීමට පිරිසිදු නල මාර්ගයක්ද වුවමනාවිය. නල මාර්ගය මළ කෑ එකක්නම් ඒ හරහා ගලන දිය දහර කොතරම් පිරිසිදු වුවද බලාපොරොත්තු ඉටු නොවෙයි. ඒ නිසා දියවර තරමටම පිරිසිදු නල මාර්ගයකුත් වැඩේට වුවමනා විය. මේ රචකයන් හතර දෙනා එහෙම පිරිසිදු නල මාර්ග හතරකි. ඔවුන් සොබා දහම පැත්තේ සිටිය නිසා ඔවුන් අතින් ලියවුණු ගීත රචනා තව කොතරම් කලක් ගියත් පැරණි නොවන ලෙසින් මානව චින්තනය හා බැඳී ගියේ ය. මමායනය හෝ විදග්ධ දැනුම වෙතින් ඒ නල මාර්ග මළ කන්නට ඉඩ දී නොතිබුණි. සොබා දහම බෙදූ ලෙසම ඒ නල මාර්ග හරහා හරහා එන හැඟීම් ගඟුල මානව චින්තනය නැමති මිටියාවත තෙමා ගෙන ගලා යයි.

මානවසිංහයන් සිය ගීතයට රස ගෙනාවේ එලෙසයි. පැරණි නොවෙන හැම කාලීන ගීතයකම රහස නම් ඒ රසයමයි.

ලක්‍ෂමන් පියසේන

www.idakada.org

මහ පඩිරුවනක අනගි මෙහෙය

මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතානන් පිළිබද ඔබ අප බොහෝ දෙනෙකු හදුනන්නේ ඔහු මෙරට තවත් එක් මහාචාර්යවරයෙකු නොවූ නිසාවෙනි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය ජීවිතයේ එක වරක් හෝ ඔබ පරිහරණය කරන්නට ඇත. පරම්පරා ගණනක් පවතින ඒ මහා ශබ්ද කෝෂය රචනා වූයේ මාහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ සුරතිනි. එතුමානන්ගේ 110 වැනි ජන්ම දිනය අදට යෙදී ඇත.

1899 නොවැම්බර් 09 වන දින ජෝර්ජ් පීරිස් මලලසේකර දරුවා උපන්නේය. ඒ පානදුරේ මාලමුල්ල ප්‍රදේශයේදීය. පසුකලක අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි සිංහල නම් භාවිතා කිරිමේ ප්‍රතිපත්තිය යටතේ ඔහු ගුණපාල පියසේන මලලසේකර නමින් හැදින්විය.

ඔහු සිය පාසැල් අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ වර්තමානයේ සිරිල් ජෑන්ස් විදුහල නමින් හැදින්වෙන පානදුරේ ශාන්ත ජෝන් විදුහලෙනි. ඉන් අනතුරුව ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් විය. එහෙත් තම පියාගේ අභාවය නිසා ‍වෛද්‍ය අධ්‍යාපනය අතරමග නතර කර දමන්නට ඔහුට සිදුවිය. නමුත් කිසි විටෙක තම උත්සාහ අත් නොහල ඒ මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බී.ඒ. උපාධිය සදහා අධ්‍යාපන කටයුතු  සිදුකලේය. 1919 වසරේදී ඔහු ඉන් සමත් වුයේ පළමු පෙළ සාමාර්ථයක්ද සමගිනි. ඔහු ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් හා ප්‍රංශ භාෂාවන් සිය උපාධිය සදහා තෝරාගෙන තිබුණි.

තමා ලත් දැනුමෙන් මේ මහා ව්ද්වතානන් රටටත් ජාතියටත් සිදු කල මෙහෙය සුළුපටු නොවේ. එතුමා පිළිබද පාඨක ඔබ දන්නේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය නිර්මාණය කිරිම පමණක්ම විය හැකිය. එහෙයින් එතුමා ගැන දැනගැනීම සදහාම එතුමා සිදුකල සුවිසල් මෙහෙය පිළිබද තතු බිදක් මෙසේ සටහන් කරන්නෙමි.

1942 දී යුනිවර්සිටි ඔෆ් සිලෝන් ආරම්භ විය. එහි සිංහල, පාලි, සංස්කෘත සහ බෞද්ධ ශිෂ්ඨාචාරය යන විෂයන් පිළිබද මහාචාර්ය ධූරයට පත්වූයේ මලලසේකර මහතාය. එවකට එතුමා එම විෂයන් ඉංග්‍රීසියෙන් ඉගැන්වීය. ඒ නිසාම බෞද්ධ විශ්ව කෝෂයෙහි ප්‍රධාන කර්තෘ තනතුරෙන්ද එතුමා පිදුම් ලැබීය.

1950 වෙසක් මස පුර පසලොස්වක දිනයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියස රටවල් 27 ක නියෝජිතයෙන් 129 දෙනෙකු සහ ලාංකික නියෝජිතයන් ඇතුළු විශාල බෞද්ධ පිරිසක් සහභාගී කොටගෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කළේය. ලෝකයේ වසන බෞද්ධයින් සමගිසම්පන්න කිරීම, ‍ථේරවාදී, මහායාන, වජිරයාන ආදී කොටස්වලින් සැදුම් ලද බුදුදහම ඒකරාශී කිරිම මෙහි අරමුණය. බුද්ධ ධර්මය පිළිබද එතුමා තුල තිබූ පුළුල් දැනුම මේ ආශ්චර්යවත් ක්‍රියාව සිදුකිරීමට මහා පිටිවහලක් විය. 1950 සිට 1958 දක්වා එතුමා එහි සභාපති ධූරය හෙබවීය.

මලලසේකර මහතා රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයෙකි. එතුමා විසින් සංස්කරණය කරන ලද මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය, පාලි සර්වනාම පිළිබද ශබ්දකෝෂය ජනප්‍රිය ශබ්දකෝෂ දෙකක් වෙයි. මෙම ශබ්දකෝෂ විදේශ විශ්ව විද්‍යාල වල පුස්තකාල වල පවා පරිහරණය වෙයි.

එතුමාගේ තවත් වැදගත් කටයුත්තක් වන්නේ Extended Maha Vama (Pali Language) යන ග්‍රන්ථයන් වෙළුම් දෙකකින් යුකත් වූ මහාවංශ ටීකා හෙවත් වංසත්තප්පකාසිනිය පාලි ග්‍රන්ථයෙන් සංස්කරණය කිරිමයි. 1958 වර්ෂයේදී එතුමා ඉන්දියාවේ තානාපති වශයෙන් පත්විය. පසුව කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ආදී රටවල ලංකා තානාපති වශයෙන්ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන්ද එතුමා කටයුතු කලේය.

සෑම රැයකම නින්දයාමට පෙර වෙනත් භාෂාවකින් සොයාගත් වචන 10 ක් සිත්හි ධාරණය කිරීම එතුමාගේ දින චරියාවේ කොටසක් විය.

1973 අප්‍රේල් 23 වනදා එතුමා අභාවප්‍රාප්ත විය. මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකුට කලහැකි උපරිම සේවාව කොට එතුමා නික්ම ගියේ අනාගත පරපුරට මහගු ආදර්ශයක් සපයමිනි.

චීනයේ නොමියෙන මිනිසා

mao_tse_thungමේ සටහන ජාතියක් ගොඩ නැගූ තවත් නායකයෙකු පිළිබදවය. ඒ චීනයේ මා ඕ සේතුං ය. මා ඕ සේතුං තුමා පිළිබද දැනගැනීමට පෙර ඔහු උපන් දේශය චීනය පිළිබදව සරල කරුණු කීපයක් දැනගත යුතුයැයි සිතේ.