Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: විශේෂාංග මහපොළවේ හෙට දවස

මහපොළවේ හෙට දවස

සමනලුන් වඳ වෙති

butterflyසමනලයා මල් පැණි බොන සතෙක්. එහෙම තමයි අපි කවුරුත් හිතාන ඉන්නේ. ඒත් හැම සමනලයෙක්ම ජීවත් වෙන්නේ මල් පැණි බීලාම නෙවෙයි. ඇතැම් සමනල විශේෂ සිය ආහාරය වශයෙන් ඉදුණ පලතුරුවල යුෂ උරාබොද්දී තවත් අය සත්ව වසුරුවල යුෂත් වෙනත් අය තෙත් පසෙහි ඇති ජලයත් උරා බොමින් ජීවත් වෙනවා.

අනිත් අතින් මල් පැණි බී ඉගිල යන සමනලයන් ගැන අපි අසා තිබෙනවා. ඒත් මල් පැණි බී මත් වී සිටින සමනලුන් ගැන ඔබ අසා තිබෙනවාද? ඔව් එහෙම අයත් ඉන්නවා. කොටිනියන් /TIGER සහ කාක දුඹුරුවන් CROW යන සමනල් විශේෂ ද්වය ඇති හොඩ සහ අඩනහිරිය කියන පුෂ්පවල මධු පානයට ගිජු කමක් දක්වනවා. මේ මල්වල පැණි අනිත් මල් පැණි වගේ නෙවෙයි සාන්ද්‍රතාවයෙන් වැඩියි. ගිජු කමට මේ මල් පැණි උරා බීම නිසා අවසානයේදී අර කියූ සමනලුන් මත්වී ඉගිල ගත නොහැකි ව සිටින අයුරු සත්වවේදීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා.

අනිත් අතින් සමනලයා කාලගුණ විපර්යාස හමුවේ සංවේදී සත්ත්ව විශේෂයක් වශයෙන් ද හඳුනාගෙන තිබෙන අතර පරිසර විද්‍යාර්ථීන්ට අනුව මොවුහු එකී වෙනස්කම් හඟවන දර්ශකයක් (indicator) වශයෙන් ද හඳුන්වන්නට පුළුවන්.

පරිසර හා ස්භාවික සම්පත් අමාත්‍යංශයේ අලුත්ම වාර්තාවකින් පෙන්වා දෙන අන්දමට සමනලයා ජෛව විද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් වැදගත්වන කාණ්ඩායකට අයත් ජීව විශේෂයක් වන බවත් මේ වන විට ශ්‍රී ලංකාවෙන් සමනල විශේෂ 243 ක් වාර්තා වෙන අතර ඉනුත් 20 ක්ම ආවේණික විශේෂ වශයෙන් හදුනාගෙන තිබෙනවා. ඊලඟට මේ අමාත්‍යංශ වාර්තාව සමනලුන්ගේ වදවී යාමට හේතු කිහිපයක් ද පෙන්වා දෙනවා. ඒ තමයි මේ සතුන්ගේ වාසස්ථානවල ගුණාත්මක බව පිරිහීම, කැබලිවීම, පරිසර දූෂණය යන කරුණු.

එහෙත් වඩාත් පුළුල් ආකාරයෙන් සොයා බැලුවහොත් සමනල විශේෂ වද වී යෑම ඇරඹෙන්නේ උන්ගේ දළඹු අවස්ථාවේ සිටය යනුවෙන් පෙන්වා දීමට සිදුව තිබෙනවා. ඒ අනුව විවිධ දළඹු විශේෂ එකම ශාක විශේෂයකින් නොවේ. ශාක විවිධත්වයකින්. පොදු තැඹිලි කොටිතියා වරා ශාකයෙන්ද ඉරි තැඹිලි කොටිතියා කිරි අගුණ ශාකයෙන් ද පෝෂණය ලබද්දී සප්සද ශාකයෙන් මහා රෝස පැපිලියා සහ පොදු රෝස පැපිලියා යන දෙදෙනාම පෝෂණය ලබනවා. රාවණ පැපිලියාගේ පෝෂණ ශාකය කුරුඳු, සෙවල බෝබු වුවත් මොනර පිපිලියා බුරුත ශාක ප්‍රශේදය තෝරාගෙන තිබෙනවා. මේ අතර කහ පැපිලියා බෙලි සහ දෙහි කුලයේ ශාකද නිල් පැපිලියා අලි ගැට පේරද කොල පැපිලියා කටු අනෝදා සහ වැලි ආතාද පොත් තිත් තැඹිලියා උගුරැස්සද කහ කොලයා කතුරු මුරුංගාද රතුපදුරු නීලයා අක්කපාන ද සිය පෝෂණය උදෙසා තෝරාගන සිටිද්දී තරණකොල කා උස්මහත් වන සමනල විශේෂ දෙකක් ද සිටිනවා. ඒ තමයි ඉරි පදුරු දුඹුරුවා සහ පොදු හීන් දුඹුරුවා. මේ අනුව ඉහත කී සමනල විශේෂවල දළඹූවෝ සිය පෝෂණය සදහා තෝරාගෙන ශාක විවිධත්වය වර්තමානයේ සිදු වන විනාශය, ඉඩම් කැබලි වීම යන කාරණා මත අහෝසි වී හෝ අවම වී යද්දී සමනලයන් දළඹු වියේදීම විනාශ වී යාම නොවැලැක්විය හැකි කරුණක් බවට පත් වෙලා තියෙනවා.

රටේ දේශගුණික කලාපවලට අනුව බලන කළ සමනලුන්ගේ වැඩිම ව්‍යාප්තියක් පෙන්වන්නේ වියලි හා අර්ධ ශුෂ්ක කලාපවල බව නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ අනුව මෙම කලාපයේ පමණක් සමනල විශේෂ 20 ක් පමණ දක්නට ලැබෙනවා.

තෙත් කලාපීය වනාන්තර වලද සමනල ව්‍යාප්තියක් තිබෙන අතර වනාන්තර ආශ්‍රිතව ගත් කළ පොහොසත් සමනල විශේෂ විවිධත්වයක් දක්නට ලැබෙනවා. එහෙත් ඔවුන්ගේ ගහනයේ ඝනත්වය අතින් බැලූ කළ පවතින්නේ අඩු මට්ටමක්.

එසේ වුවත් ගෙවතු හා කෘෂිකාර්මික පරිසර, තෙත් සහ වියලි කලාපීය වනාන්තර, තෙත් බිම්, තෘණ බිම්, මෙන්ම කඩොලාන යනුවෙන් හැඳින්වෙන සමනලයන් සුලබව ගැවසෙන පරිසර පද්ධති අද වන විට අවිධිමත් මානව ක්‍රියාකාරකම් (දේශපාලන මැදිහත් වීම්ද ඇතුළුව)නිසා බරපතල පාරිසරික හායනයන්ට ලක්වෙමින් පවතිනවා. ඒ නිසා සමනල ගහනයේ සීග්‍ර අඩුවීමකට මෙයද හේතුවක් වී තිබෙනවා.

පසුගියදා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය මැදිහත් වීමෙන් “ජාතික සමනලයා” හදුන්වා දෙන්නැයි රජයට යෝජනා කොට තිබුණා. ඒ සදහා ඔවුන් නිර්දේශ කොට තිබුණේ “ශ්‍රී ලංකා මහ කුරුණු පැපිලියා / Sri Lanka Bird Wing / Troides darsius. යන සමනල විශේෂයයි. එතැනදී විශේෂයෙන්ම මෙම විශේෂය තෝරා ගන්නට හේතු කාරණා වශයෙන් ඔවුන් පෙන්වා දුන් කරුණු පහත දැක්වෙනවා.

මොහු ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම සමනලයා වීම.

රට පුරා ම ව්‍යාප්තව සිටීම.

ශ්‍රී ලංකාවට ආවේණික වීම.

බාහිර රූපකාය අනුව ධජධාරී විශේෂයක් ලෙස නම් කළහැකි වීම.

ජීවන චක්‍රයේ පලිබෝධ අවධි නොපෙන්වීම.

රෝග වාහක ලක්ෂණ නොපෙන්වීම.

සංස්කෘතික සහ අධ්‍යාත්මික විශ්වාස පිළිබද සෘණාත්මක බලපෑමක් නැති වීම.

තවද මේ ආකාරයෙන් යම් ශාකයක් හෝ ජීවියෙක් ජාතික වශයෙන් නම් කිරීමෙන් එම ජීවියා හෝ ශාකය ගැන ජනතා අවධානය ඉහළ නැංවිය හැකිය යනුවෙන් ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා. එහෙත් මෙතැනදී අපට ඇතිවන ප්‍රශ්නය නම් මහජන අවධානය කොතෙක් තිබුණත් දේශපාලන මැදිහත් වීම් ඔස්සේ වැනසෙන පරිසර පද්ධති දෙස බලන විට සමනලයෙකුට තබා මැස්සෙකුටවත් පවතින්නට අනාගතයේ දී ඉඩක් තිබේද යන්නයි.

 

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

 

අනාගත දරුවෝ මන්ද බුද්ධිකයි

ලෝකය, අද එකම කසල ගොඩක් වීමේ බිහිසුනු තර්ජනය ගැන තවමත් අපි නිසි අවධානයක් යොමු කරලා නෑ. මේ අතරිනුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අතිශයින්ම බිහිසුණු යි. මෙයට හේතුව මෙම ද්‍රව්‍ය ජීව විද්‍යාත්මකව ක්ෂය නොවෙයි. එමෙන්ම ඒ මගින් නිරන්තරයෙන්ම විෂ රසායනික නිකුත් කෙරෙයි.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අදටත් මුළුමනින්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියා පිලිවෙතක් සොයාගෙන  නෑ. වෙනත් ලෙසකට කියනවා නම් අදටත් මේ අතරින් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙන්නේ සියයට 25 ක් විතරයි. ඉතිරි සියයට 75 ම බැහැර කෙරෙන්නේ පරිත්‍යාග  සහ ආධාර වශයෙන් සංවර්ධනය වන රටවල් විසින් තුන්වන ලෝකයේ රටවලට පිටත් කර හරිනු ලබනවා.

මෙම තුන්වෙනි ලෝකයේ රටවල් කොයි ආකාරයෙන්වත් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේලා දියුණු ක්‍රමවේද ඇති රටවල් නොවේ. ඒ නිසා ඒ රටවලට සිදු වෙනවා තමන්ගේ රටවල් තුළ මේ කසල ගොඩ ගසාගන්න. සංවර්ධනය වූ රටවල් ද මේ ගැන නොදන්නවා නොවෙයි. ඔවුන්ට අවශ්‍යයයි තමන්ගේ රටවලින් මේ කුණුගොඩ ඉවත් කරගන්න. එහෙම වුණත් ඒ දේත් හරියට පැස්බරා සිය හිස වැල්ලේ සගවාගෙන සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා වගේ වැඩක්. පරිසර විද්‍යාවේ එන සමනල තටු න්‍යායට අනුව, මේ ලෝකයේ කොහේ හෝ තැනක සිට සමනලයෙක් තටු ගැසුවොත් ඒ බව මුළු ලොවටම දැනෙනවා. ඒ අනුව සංවර්ධනය වූ රටවල් තමන්ගේ ඉලෙක්ට්‍රොනික කසල ලෝකයේ කොයි මුල්ලක ගොඩ ගැසුවත් එහි ප්‍රතිවිපාක වලින් ගැලවෙන්න ඔවුන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. අනිත් අතින් ඔවුන් මේ පරිත්‍යාග කරන තෙවෙනි ලොව රටවල් අතරට අපේ රටත් අයිතියි. ඒ අනුව මේ බිහිසුණු අපද්‍රව්‍ය ඉරණමට අපේ සූදානම ගැන සෑහීමකට පත් වෙන්න අපට පුළුවන්ද?

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කඩා බිද දැමීමට නොදියුණු රටවල වැසියන් බොහෝ දුරට යොමු වී සිටිනවා. ඒ ඔවුන්ගේ නොදන්නකම. ඒවා එසේ කඩා බිද දැමීමෙන් ඒවායේ අන්තර්ගත ප්ලැටිනම්, රිදී, රත්‍රන්, ලබාගන්න ඔවුන් සමත් වෙනවා. නමුත් ඒත් සමගම ඒවායින් වායු ගෝලයට නිදහස් වෙන විෂ රසායන සදහා සමස්ත ජන සමාජයම ගොදුරු වෙනවාය කියන කාරණය ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නෑ.

නිදර්ශනයක් ලෙස එසේ කඩා බිද දැමෙන පරිගණකයක් නිසා පරිසරයට එකතු‍ වෙන රසායනික විශේෂ ගණන 40 කටත් වැඩි යැයි සොයාගෙන තිබෙනවා. පරිගණකයක ඇති ඊයම් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2 කට ත් වැඩියි. ඊයම් රසායනිකයක් වශයෙන් මිනිස් ශරීරයට අතිශයින් ම විෂ සහිතයි. මිනිස් රුධිරය ලීටර් 1 කට ඊයම් මයික්‍රො ග්‍රෑම් 6 කට වඩා අන්තර්ගත වෙයි නම් උපදින දරුවන් මන්ද බුද්ධික වීමේ ප්‍රවණතාවය වැඩියි.

ඒ විතරක් නෙවෙයි මිනිසා ඇතුළු ජෛව ප්‍රජාවට මරණීය ප්‍රතිඵල අත්කර දීමට සමත් ආසනික්, කැඩ්මියම්, ඇන්ටිමනි, බේරලියම්, සෙලිනියම්,  ක්‍රෝමියම්, කොබෝල්ට් රස දිය ආදිය ද මේ නිසා අප අවට පරිසරයට එකතු වෙනවා. මෙය එක් අතකට පාරිසරික ප්‍රශ්නයක්. අනිත් අතින් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක්. නමුත් මේ පිළිබදව සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ අතර සාකච්ඡාවක් කෙසේ වෙතත් සාමාන්‍ය කථාබහක්වත් ඇතිවෙලා තියෙනවා යැයි අපි නම් සිතන්නේ නෑ.

මේ අතර එකතු වී තිබෙන සහ දිනෙන් දිනම විශාල වශයෙන් එකතු වෙන බිහිසුනු අපද්‍රව්‍යයක් වශයෙන් ජංගම දුරකථනයත් අවධානයට යොමු වී තිබෙනවා. එය නිර්මාණය කෙරෙන්නේ ම රසායනික ද්‍රව්‍ය සහ දිරා නොයන ද්‍රව්‍ය වලින්. මෙහිදී විශේෂයෙන් ම මතක තබාගත යුතුයි. මේ පිළබදව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් නිව්යෝක් ටයිම් පුවත්පත පවසන අන්දමට දිනෙන් දින ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් මිනිසා දිනෙන් දින තමන් සදහා අනාගත විනාශයක් නිර්මාණය කරගනිමින් සිටිනවා. මේ අනුව අද ලෝකයේ ජංගම දුරකථන භාවිතා කරන්නන් ගේ සංඛ්‍යාව ගණන් කළ යුත්තේ බිලියන ගණනින් වුවත් එය භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකිබව දන්නේ මේ අතරින් සියයට 10 ක් තරම් පිරිසක් විය යුතුයි. තොරතුරු තාක්ෂණයේ ඉහළම තලයකට ඇවිත් ඇතැයි පැවසෙන ලෝකය තොරතුරු දැනුම අතින් සිටින දුර්වල ස්ථානය ගැන කියන්නත් එයම හොද උදාහාරණයක්. මෙහිදී ඔබ දැනගත යුතුයි. මේ වන විට භාවිතයෙන් ඉවත්කළ ජංගම දුරකථන මිලියන 500 ක් තරම් සංඛ්‍යාවක් විනාශ කිරීම සදහා නියමිතව තිබෙනවාය යන කාරණය. එහි සම්පූර්ණ බර ප්‍රමාණය ටොන් දෙලක්ෂ පනස් දහසක්. විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට මෙහි බරපතලම ප්‍රශ්නය වී තිබෙන්නේ ඒ නිසා එකතු වෙන ප්ලාස්ටික් නොව විෂ රසායනික අපද්‍රව්‍ය යයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන අන්දමට මෙවැනි එක් දුරකථනයක ඇති බැටරියක අඩංගු කැඩ්මියම් නම් ලෝහයෙන් ජලය ගැලුම් ලක්ෂයක් පමණ දූෂණය කළ හැකියි. අප පැහැදිලිවම දන්නවා කැඩ්මියම් මිනිස් වකුගඩු බරපතල ලෙසින් හානියට පක් කරනවා. අනික රසදිය විශාල වශයේන පරිසරයට මුදා හැරෙන මෙම බර ලෝහය කොයි ආකාරයන්වත් මිනිස් සිරුරුවලට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම එය මොළයට බලපානවා.

මේ අනුව අද අප වෙසෙන මේ විද්‍යුත් ලෝකය හෙට දින සමස්ත මානව සංහතියට මරණීය විනාශයට ඇද දමන තත්ත්වයක් නිර්මාණය කළොත්....? ඔබ කරන්නේ කුමක්ද?

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

මුලින්ම විල්පත්තුව දුටුවේ විජය කුමරු ද?

vilpattuවිජය නම් වූ හෙතෙම තමන් පා වී ආ ඒ දූපත් රාජ්‍යය කුමක්දැයි හරිහැටි දැන සිටියේ නෑ. අනිත් අතින් වෙරළට ගොඩ බැසීමෙන් පසු දෑත් බිම ඔබා පස්සට වාරු වී හිද ගිමන් නිවාගන්නට ඒ කියපු දූපත් රාජ්‍යයේ වග වාසගම් ගැන අමුතු විස්තරයක් ඔහුට අවශ්‍ය වුනෙත් නෑ. ‍එහෙත් ගිමන් නිවාගත් ඉක්බිති එතැනින් නැගී සිටගත් ඔහු දෙ අත්ලෙහි තැවරුණ වැලි පිස දැමීමට ඒ දෙස බැලුවා පමණයි තමන් ගොඩ බට මේ අපූර්ව දූව කුමක් දැයි සොයා බැලීමට ඔහු ට දැඩි වුවමනාවක් හට ගත්තා විය හැකියි. මේ “තම්බපණ්ණිය” ක් යැයි ඔහු එදා එසේ කීවේ යැයි ඉතිහාසය පවසනවා. මේ කියන තම්පණ්ණී හෙවත් තඹ වන් වෙරළ අයත් වන්නේ විල්පත්තුවටයි. වසර තිස් ගණනක් පුරා ත්‍රස්තවාදී ප්‍රහාර නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, පරිසර සැරිසර වෙනුවෙන් දොරටු වැසුණ ශ්‍රී ලංකාවේ විශාලතම වනෝද්‍යානය වන විල්පත්තුව පසුගිය 27 වැනිදා යළිත් පරිසර සැරිසර උදෙසා දොරටු විවෘත කළා. ඒ පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

විල්පත්තුවට ඒ නම ලැබෙන්නේ වනය පුරාම දකින්නට ලැබෙන විශාල සංඛ්‍යාවක් වූ විල්ලු නිසායි. විල්ලූ සහිත පරිසර පද්ධතියක් ඇති එකම වනාන්තරය විල්පත්තුවයි. මේ ආකාරයෙන් එහි දකින්නට ලැබෙන විල් සංඛ්‍යාව 40 ක්. ඉනුත් සැලකිය යුතු ප්‍රමාණයේ විල් සංඛ්‍යාව 27 ක් යැයි වාර්තා වෙනවා. මේ විල් අතර කොක්කාරිය, ලුණුවිල යන විල් ලවණ ජලය සහිත විල් වන අතර එවැනි විල් 24 ක් විල්පත්තුවේ තිබෙනවා. කෙසේ වුව මෙතැනදී වැදගත්ම විල් සමූහය වශයෙන් අවධානයට ලක් වන්නේ, මුහුදු මට්ටමේ සිට මීටර් 250 ක් උසින් පිහිටියා වුද ඒ මෙන්ම මුහුදු සීමාවේ සිට කි.මී. 10 ක් දුරින් පිහිටියා වුද විල් සමුහයයි. මෙම විල් කිසිදා ජලය සිදී නොයන විල් වශයෙන් ප්‍රකටයි.

ඓතිහාසික ගවේෂණවලට අනුව, විල්පත්තුව මීට වසර මිලියන 12 කට පෙර මයෝසින යුගයටත් ජලයිසොසිත යුගයටත් අයත් පොසිල සාක්ෂි සහිත හමුවෙන බිමක්. මේ අතර ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් ආයුධ වැනි දැන් පූර්ව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වෙන වළං කැබලි, යකඩ වැනි පුරා සාක්ෂිත් තියෙනවා. වන පෙත පිළිබදව පුළුල් පර්යේෂණයක් සිදු කළ පර්යේෂකයෙක් වන විමුක්ති වීරතුංගට අනුව පොම්පරිස්පුව නම් ප්‍රදේශයට අයත් භූමියේ විශාල මැටි කලවල බහා වළ දැමූ මිනිස් ඇට කැබලි සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ ප්‍රදේශය එක්තරා ශිෂ්ඨාචාරයකට අයත් වන සොහොන් බිමක් වීමටත් ඉඩ තිබෙනවා. විමුක්තිට අනුව එය කොයි ආකාරයෙන්වත් දකුණු ඉන්දීය ශිෂ්ඨාචාරයට නොව මොහෙන්ජොදාරෝ, හරප්පා වැනි උසස් ශිෂ්ඨාචාර වලට අයත් වන උතුරු ඉන්දීය කලාපයට අයත්යැයි සිතිය හැකි පුරා විද්‍යාත්මක සාක්ෂි යි.

එමෙන්ම මීට වසර 2500 කට පමණ පෙර කාලයකට අයත් වන සෙල්ලිපි මෙන්ම පුද බිම් යැයි සැලකිය හැකි ස්ථාන 60 ක් පමණද වනයට යට වී සැගවී තිබෙනවා. ඉනුත් වීරසෝලි හි ඇති නාග දරණය තුළ වැඩ සිටින බුද්ධ ප්‍රතිමාව සුවිශේෂ යි.

එමෙන්ම වන මැදට  යන විට හමුවන පල්ලන්කන්ද පල්ලිය, ඕලන්ද යුගයේ නිර්මාණයක් බව පැහැදිලියි. එහෙත් අද එහි යන ප්‍රදේශවාසීහු සිදු කරන්නේ යාග හෝම ආදී ස්වදේශික චාරිත්‍ර වාරිත්‍ර යැයි අපට කීවේ විමුක්ති වීරතුංග යි.

විල්පත්තුවේ පරිසර අගය

පාරිසරික පද්ධතියක් වශයෙන් ගත් කළ (තමන්ගේ ගවේෂණයේදී පමණක් හමු වූ) සත්ත්ව වර්ග 378 ක් සොයා ගැනීමට හැකි වී යැයි ද ඉනුත් කැමිලියොන් නම් කටුසු විශේෂය දක්නට ලැබෙන්නේ මෙම වන පෙතෙහි (ශුෂ්ක කලාපයේ) පමණක් යැයි ද විමුක්ති වීරතුංගගේ අදහස යි.

විල්පත්තු වන බිම මෙරට ඇති වන උයන් අතරින් පැරණිතම වනෝද්‍යානය වන අතර විශාලතම වනාන්තරය ද වෙනවා. පාරිසරික ගවේෂකයන්ගේ අත්දැකීම්වලට අනුව සුන්දරත්වයෙන් පිරිපුන් වන පියසක් වේ නම් ඒ ද මේ විල්පත්තුව යි.

හෙක්ටෙයාර් 131,667 ක් තරම් වන එය අනුරාධපුර, පුත්තලම සහ මන්නාරම වශයෙන් විශාල ප්‍රදේශයක් තුළ සිය මායිම් විහිදුවාගෙන තිබෙනවා. දකුණු මායිමෙන් කලා ඔයද උතුර මායිමෙන් මල්වතු ඔය සහ මොදරල් ගම් ආරු ද පිහිටියා වූ මෙහි බටහිර පැත්ත බොහෝ දුරට තැනි බිමක් වශයෙන් පිහිටියත් වෙරළබඩට වෙන්නට ඉහළට මතුවුණ පර්වත සහිත ස්වභාවයකින් යුක්තයි. හුනුවිලගම, විලච්චිය සහ තන්තිරිමලේ යන ගම්මාන වලින් මායිම් වන්නේ විල්පත්තුවේ නැගෙනහිර කලාපයයි.

විල් සමූහයකින් සැදුන නිසා විල්පත්තුව යැයි නම් ලද එහි ඇති විල් සංඛ්‍යාව 40 ක් වෙනවා. මේ අතරින් විල් 24 ක්ම ලවණ ජලය සහිතයි. ලුණුවිල සහ කොක්කාරිය කියන්නේ එවැනි ලවණ මිශ්‍ර ජලයෙන් යුත් විල් 2 ක්. මේ අතර බොරුපන විල, කුඹුක විල, කිඹිරි විල, කිල විල්ලු, මහ විල, කුඩා පතැස්ස, නෙළුම් විල, තල විල, උඩප්පු, සෙන්ගපත්තු, කොර විල්ලූ, කුමු විල්ලූ, කුරුත්තු පණ්ඩි, කොකාරිය, පහ පතැස්ස, පෙයින්කි විල, මනික්ක පොලූත්තු, අලම්විල්ලූ, මරික්කරම්, ඉරියකුරම්, මයිල විල, කැන්පුරාම, නෙමද සහ කන්පුරාන් යන විල් අයත් වෙන්නේ විල්පත්තුවේ විශාලතම විල් අතරට යි. මුහුදු මට්ටමේ සිට මීටර් 250 ක් ඉහළින් ද මුහුදු සීමාවේ සිට සැතපුම් 10 ක් ඈතින් ද පිහිටියා වූ මේ විල් සමූහය කිසිදා වියලීය නොයන ජලාශ වශයෙන්ද ප්‍රකට යි.

කදිරමලෙයි සහ පුලුගුතුරෙයි අයත් වන්නේ ද විල්පත්තු ප්‍රදේශයට වන අතර එම ප්‍රදේශ වල පවත්නා ඛනිජ සම්පත් සහ පාංශුමය විශේෂත්වය අතින් කිසිදු ප්‍රදේශයකින් දක්නට නොලැබෙන තරම් යැයි ද වාර්තා වෙනවා.

ඒ සියලු සම්පතින් මෙන්ම විල්පත්තුව වර්ෂාවෙන් ද පොහොසත්. වාර්ෂිකව මි.මී. 1000 ක් 1500 ක් අතර වූ වර්ෂාවක් ලබන මෙම වන පෙත අන්තර් මෝසම් වර්ෂාවට හිමිකම් කියනවා. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27.2 ක් වශයෙන් සටහන් වන අතර මැයි සහ සැප්තැම්බර් අතර කාලය සැලකෙන්නේ වියලි කාලගුණයක් සහිත කාල වකවානුවක් වශයෙනුයි.

ඝන වන වැස්මක් ඇති විල්පත්තුව පදුරු සහිත වන කලාපයක් වශයෙන් ද හැගෙනවා. තවද තණ බිම් ද සමග කඩොලාන කැළයක් ද ඊටම අයත් වෙනවා. ශාක අතරින් පලු, වීර, වෙලන්, දිවුල්, බුරුත, කොහොඹ, මෙන්ම තම්මැන්නා සුලබව දැකිය හැකියි.

පසුගිය අරාජික යුධ සමයේ දී බොහෝදුරට වැනසී ගිය මේ විල්පත්තු වනපෙත පොහොසත් සත්ත්ව විවිධත්වයක් ද සහිතයි. විශේෂයෙන් කොටි බහුල සුන්දර වන කලාපයක් වශයෙනුයි ප්‍රකට ව තිබුණේ. අලින්, තිත් මුවන්, සැම්බුරාවන්, කුළු හරකුන්ගේ ඉහළ ගහනයක් ඇති වනපෙතක් වශයෙන් එය සැලකෙනවා. විල්ලු අවට සරුවට වැඩුණ තෘණ බිම් මේ සතුන් ට හොදින් ආහාර සපයන පාරිසරික කලාප වශයෙන් සැලකෙනවා. කෙසේ වුව ත්‍රස්තවාදය නිසා පරිසර වේදීන්ටත් සංචාරකයන්ටත් අහිමි වූ ඒ සුන්දර වන පෙත පසුගිය 27 වැනිදා පරිසර අමත්‍ය පාඨලී චම්පික රණවක අතින් විවෘත කෙරුණා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අන්දමට ත්‍රස්තවාදයට සීමා මායිම් තිබුණේ නැත. මේ පොදු බිමක්ය, වන පෙතක් ය, පොදු සමාජය ය කියා වෙනසක් තිබුණේ නැත. එසේ හෙයින් මේ වනපෙත බොහෝ සේ දුක් ලබන්නට ද ඇත. එහෙත් තවදුරටත් එය එසේ නොවිය යුතු බවයි ඔහුගේ අදහස.

අමාත්‍යවරයා ගේ අදහස ගැන අපට ද අදහසක් තිබෙන බව මෙහිදී කිව යුතුව තිබෙනවා. ඒ අනුව අප කියන්නේ පැවැති ත්‍රස්තවාදී ග්‍රහණයෙන් වනය නිදහස් කරගත් අකාරයෙන්ම පවතින මානව ක්‍රියාකාරකම් වලින් ද ගලවා ගත යුතුය. වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ආධිපත්‍යය නැති කල්හි සිදුවූ සෑම සාවාද්‍යතාවයක්ම මෙතැන් සිට නිවැරදි විය යුතුයි.

 

අඹගසේ ශක්තිය ගැන

mango“මහරජ ඒ අඹ ගස් ද වෙනත් ගස් ද හැරණ කළ තවත් ගස් තිබේද?”

“ස්වාමීනී, ඒ මේ අඹ ගස ය.”

අපේ ජාතියේ මහා සංස්කෘතියේ ආරම්භය සිදු වන්නේ එවැනි අභියෝගතා පරීක්ෂණයකිනුයි. තවද ඒ පරික්ෂණයට පාදක වූයේ එසේත් නැත්නම් ප්‍රස්තූථය වූයේ අඹ ගසක් බව කවුරුත් දන්නවා. එහෙත් එවන් අඹ වෘක්ෂ ගැන අප නොදන්න බොහෝ දේ තිබෙනවා.

අඹ, පළතුරු ලෝකේ රජු වශයෙන් හැදින්වෙනවා. බෙංගාල බොක්ක වටා පිහිටි නැගෙනහිර ඉන්දියානු, බුරුම, අන්දමන් දූපත් කලාපය මුලින්ම අඹ හටගත් කලාපය වශයෙන් සැලකෙන අතර පසුව ඒවා ඉන්දු චීන කලාපයේ දී එනම් ලාඕසය, කාම්බෝජය හා වියට්නාමය ඇතුළත් පිලිපීනය ආශ්‍රිත ප්‍රදේශයේ දී ද ප්‍රභේදනය වී “පිලිපීන අඹ” නමින් උප මාදිලියක්ද නිර්මාණය වී තිබෙනවා.

නිවර්තන කලාපයේ ඇපල් වශයෙන් ද හැදින්වෙන අඹ බලාපොරොත්තු ඉටුකර දිය හැකි වෘක්ෂයක් ලෙසත් ඉන්දියාවේ දී සැලකෙනවා. එමෙන්ම භූමි අලංකරණය පිළබද තොරතුරු ඇතුළත් පුරාණ ග්‍රන්ථයක් වන “පුරාණ ඵලදාවලිය” ට අනුව අඹ කියන්නේ ගෙමිදුලක සිටිවිය යුතු සුබ වෘක්ෂයක්.

අඹ ගසෙහි ඇති විශේෂතා අතර එය ඕනෑම ප්‍රදේශයක වවා ගැනීමට ඇති හැකියාවත් දේශගුණ විපර්යාස වලට ඔරොත්තු දීමට එය දක්වන සමත් කමත් අතිශයින් වැදගත් ය. යනුවෙන් පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඒ අනුව ධ්‍රැව පෙදෙස්, කෙත් බිම්, කාන්තාර වැනි ප්‍රදේශ හැරුණ කළ ලෝකයේ සෑම ප්‍රදේශයකම හොදින් ව්‍යාප්ත වීමට අඹ ගසට පුළුවන් වී තිබෙනවා. අද වන විට ඇමරිකාවේ ‍ෆ්ලෝරීඩා, කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල පවා සාර්ථක ව අඹ වගා කරනු ලබනවා. එයට හේතුව වන්නේ අඹ ගස සතුව ඇති පරිසරයට අනුවර්තනය වීමේ පුළුල් හැකියාවයි. ඒ නිසාම අහිතකර පාරිසරික තත්ව ජයගත හැකි අඹ ප්‍රභේද අභිජනනය හා වරණය මගින් නිපදවා ගන්නාටත් පුළුවන් වී තිබෙනවා.

අනිත් අතින් පවතින දේශගුණික විපර්යාස හමුවේ ඊට හොදින් ඔරොත්තු දිය හැකි බෝග වර්ග මෙන්ම ගොවිපල සතුන් අභිජනනය කරගැනීමේ නව අභියෝගයක් ලෝකය හමුවේ පවතිනවා. එතැනදී අඹ, අපේ ප්‍රධාන ආහාරය නොවුණත් පෝෂක ද්‍රව්‍ය ඌනතාවය (වර්තමාන ආහාර වේල තුළ මෙය ඉතා බරපතල ව පවතින කරුණක්.) නිසා ඇතිවන සැගවුණ වඩගින්න (Hidden Hunger) නැති කිරීමට එයට ඇති හැකියාව නිසාද ආහාර අනාරක්ෂිත බව ඉදිරියේ හොද විසදුමක් වශයෙන් පෙන්වා දී තිබෙනවා. ඉහතදීත්  කී ලෙස අඹ වල ප්‍රදේශ හා භූමි දර්ශ සංඛ්‍යාව ඉතා ඉහළ බැවින් අහිතකර පාරිසරික තත්ත්ව යටතේ වුණත් හොදින් පැවතීමේ හැකියාවක් එය සතු වීම මේ සදහා හොද පිටුවහලක් වෙනවා.

අනිත් අතින් ජාන ඉංජිනේරු විද්‍යාව මගින් බෝග ලක්ෂණ වැඩි දියුණු කිරීම, නව ප්‍රභේද වැඩි දියුණු කිරිම වැනි කටයුතුවලට යොමු කිරීමේදී ජාන පදනම වෙනස් වීම නිසා ඇති විය හැකි අනතුරුදායක බලපෑම (වෙනත් බෝග වලට සාපේක්ෂව) අඹ සම්බන්ධයෙන් අවම මට්ටමක යි පවතින්නේ. ආහාරයක් වශයෙන් අඹ වලට ලොකු වටිනාකමක් ද ඒ නිසා ලැබෙනවා.

ලෝක මට්ටමින් ගත් කළ අඹ නිෂ්පාදනයෙන් සියයට 75 ක් ම අයත් වෙන්නේ නිවර්තන සහ උප නිවර්තන කලාපයට යි. ඉනුත් ලෝකයේ විශාලම අඹ වගාකරන්නා වන්නේ ඉන්දියාව යි. එහෙම වුණත් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් රට තුළ දීම ආහාරයට ගන්නා ඔවුන් අපනයන කරන ප්‍රමාණය සුළු යි. එහෙත් මෙක්සිකෝව, චීනය වැනි රටවල් විශාල වශයෙන් අඹ අපනයනය කරන රටවල් වශයෙන් ප්‍රසිද්ධියට පත් ව තිබෙනවා.

වර්ගීකරණ විද්‍යාවට අනුව Anacardicaceac කුලයට අයත් වන අඹ හොද ජල සම්පාදනයක් සහිතව වියලි කලාපයේ  වගා කරන්නේ නම් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අධික වර්ෂාවෙත් උණුසම් ආර්ද්‍ර නිවර්තන තත්ත්වයක් තෙත් කලාපයේ දී අඹ, සිය ප්‍රජනක ශක්තිය යටපත් කරගන්නා බවක් දක්නට ලැබෙනවා. වෙනත් ලෙසකට කියනවා නම් ගස හොදින් වැඩෙනවා. ඒත් ඵලදාව අඩු යි.

මේ වන විටත් ලෝකය පුරාම ව්‍යාප්ත වූ අඹ වර්ග 1365 ක් පමණ සොයගෙන ඇති අතර එයින් ප්‍රභේද 1000 ක් ම අයත් වෙන්නේ ඉන්දියාවට යි. නේපාලය එම සංඛ්‍යාවෙන් 135 කට හිමිකම් කියනවා.

කෙසේ හෝ වේවා අඹ ශරීර සුවතාවය නගා සිටුවන පළතුරු ආහාරයක්. විටමින්, ඛනිජ ලවණ හා ප්‍රති ඔක්සිකාරක (antioxidants) වලින් පොහොසත් වන අතරම පැපොල්වල අන්තර්ගත ආමාශයට ඉතා හිතකර පැපේන් එන්සයිමය හා සමාන එන්සයිමයක් ද අඹවල අඩංගුයි. ඊට අමතරව එක අඹ ගෙ‍ඩියකින් දවසකට අවශ්‍ය වන තන්තු ප්‍රමාණයෙන් සියයට 40 ක් වත් ලබාගත හැකි බවට ත් වෙහෙස මහන්සියෙන් වැඩ කරන අයට ශරීරයෙන් වැය වෙන පොටෑසියම් ප්‍රමාණය පහසුවෙන් ලබාගත හැකි ආහාරයක් වශයෙනුත් අඹ ඇගැයීමට ලක් කොට තිබෙනවා.

නමුත් අවාසනාවකට මෙන් සෙසු රටවලට සාපේක්ෂව අපේ රට අඹ ගැන දක්වන සැලකිල්ල ඉතා අවම මට්ටමක පවතින බවකුයි දක්නට ලැබෙන්නේ. කොයි ආකාරයෙන් හෝ මේ තත්වය අප විසින් ම වෙනස් කරගනු ලැබිය යුතු යි. සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩ නගා ගැනීමේ දී පළවෙනිම කොන්දේසිය විය යුත්තේ අපේ ආහාර රටාව කළමනාකරණය කර ගැනීම මිස ඖෂධ වර්ග වැඩි වැඩියෙන් භාවිතා කිරිම නොවන බව මතක තබා ගැනීම වැදගත්.

(තොරතුරු ලබා දීමෙන් සහාය වූ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලීල් රන්දෙනි මහතාට ස්තූතියි.)

අපේ මා වී යළිත් නැග ඒවි

සෑම අවුරුද්දකදීම අපේ රටට ආහාර ආනයනය කරන්නට යන වියදම රුපියල් බිලියන සියයක්. එහෙම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව මූලික අර්ථයෙන්ම කෘෂිකාර්මික රටක් යැයි මහ හඩ නගා ප්‍රකාශ කරන යුගයක යි. ඉතා පැහැදිලිවම මෙතැන වෙලා තියෙන්නේ ප්‍රමාණවත් ආහාර සුරක්ෂිත ප්‍රතිපත්තියක් නැතිකම. අතීතයේ අපේ සාම්ප්‍රදායික සමාජ පැවැත්ම තුළ වී බිස්සක් නැති ගෙදරකට හිරයක් (විවාහයක්) දෙන්නවත් කැමති වුණේ නෑ. වී බිස්සක් තියෙනවාය කියන්නේ ආහාර සුරක්ෂිතතාවයක් පවතිනවාය කියන එකයි. අනිත් අතින් 1815 වන තුරුම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු විජාතික බලවේගවලට මේ රට මුළුමනින්ම යටත් කරගැනීමට නොහැකි වුයේ ඔවුන‍්ගේ යුධ ශිල්පීය අඩුපාඩුවක් නිසා නොවේ. අප සතුව මහා ආහාර සුරක්ෂිතතාවයේ පැවැත්ම නිසයි. අද ජී.එස්.පී. + ඇතුළු සකල විධ බලපෑම්වලට මේ රට යටත් වන්නේත් ඒ ආකාරයේ ආහාර (‍පොදුවේ ආර්ථික) සුරක්ෂිත තත්ත්වයක් අප සතුව නැති නිසා යි.

ඒ අනුව “වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි” යන්න අප සතුව පැවති ඒ ප්‍රචලිත ආර්ථික පැවැත්ම පෙන්වා දුන් සංකේතාර්ථයක්. ඒත් අද එය කවි කල්පනාවක්. අපට තිබුණේ ස්වයංපෝෂිත යැපුම් කෘෂිකර්මයක්. ඒ යටතේ වී, කුරක්කන්, අමු, මෙනේරි, කව්පි, මුං, මිරිස් ආදී භෝග වගා වුණා. සෑම වගාවක් ම පරිසරයට හිතකර වූ අතර රෝග හා පලිබෝධ මර්දනයට භාවිතා වුණේ විවිධ කෙම් ක්‍රම.

ඒත් 16 වන සියවසෙන් පසු මේ කියන යැපුම් කෘෂිකර්මය වෙනස් වෙනවා. අලුත්ම තත්ත්වය වුණේ ව්‍යාපාරික කෘෂිකර්මය. තේ, රබර්, පොල්, උක්, කෝපි, කොකෝවා, කුරුදු වැනි කෘෂි බෝගවලට මුල් තැන ලැබෙන අතර මධ්‍ය කදුකරය, පහත් බිම් එලි පෙහෙලි කිරීමෙන් කිසිදු නෛතික විධි විධානයකින් තොරව ඒ සදහා අනුබල ලැබීමෙන් පරිසර අර්බුදයක් ද ගොඩ නැගෙනවා. අද ‍වන විට වගා බිම්වල මතුව ඇති ශාක පෝෂණ ඌනතාවය, ජලය හිගකම, ඒ නිසා දිගින් දිගටම රසායනික පෝර මත යැපෙන්නට සිදු වීම, රෝග පලිබෝධ හා දිලීර මර්දනයට කෘමිනාශක ආනයනය කරන්නට සිදුවීම, අද වන විට මෙරට ආහාර සුරක්ෂිතතාවය බිද දමන ප්‍රධාන පෙලේ ව්‍යාසනකාරක බවට පත්ව තිබෙනවා.

ඊළගට 1960 දශකයේ දී සිදු වූයේ කුමක්ද? වැඩි අස්වනු ලබාදෙන බීජ වර්ග, ශාක ප්‍රභේද වැඩි වටිනාකමක් ලබාගනිමින් ඉදිරියට එනවා. අතීතයේ වූ ඇතැම් ප්‍රභේද මේ යටතේ දී අස්වැන්න අඩුයි කියන තර්කය යටතේ ප්‍රතික්ෂේප වෙනවා. අස්වැන්න වැඩි විය යුතුයි යන්න තමයි ව්‍යාපාරික කෘෂිකර්මයේ එකම සටන් පාඨය.

එතැනදී ඔවුන්ගේ එකම පැහැදිලි කිරීම වුණේ දවසින් දවස මොහොතින් මොහොත ජනගහනය වැඩි වෙනවාය කියන කාරණය යි. ඔවුන් මෙය හැදින්වූයේ “ජනගහන බෝම්බය” කියන අන්වර්ථ නාමයෙන්. නමුත් අද වන විට ලෝක මට්ටමින් පැහැදිලි වෙලා තියෙනවා ඊටත් වඩා දරුණු සාධකයක් මේ සදහා හේතු වෙලා තියෙනවාය කියළා. ඒ තමයි සංවර්ධිත රටවල අධි පාරිභෝජනය. වෙනත් විදිහකට කියනවා නම් ලෝකයේ එක් පාර්ශවයක් අසීමිත ලෙසින් ආහාර අහේනියකට මුහුණ පා සිටියදී තවත් සීමිත පාර්ශවයක් අධික ලෙසින් එහෙමත් නැත්නම් විනාශකාරී ලෙසින් ආහාර ගිලදමමින් සිටිනවා.

අපේ යැපුම් කෘෂිකර්මය විනාශයට පොදු දැවැන්තම කාරණාවක් වන රසායනික පෝර සහ කෘමිනාශක භාවිතය ගැන අමුතුවෙන් පෙන්වා දිය යුතු නෑ. කොහොම වුණත් අද මේ තත්ත්වය ගැඹුරින් සලකා බැලෙමින් පවතිනවා. ප්‍රතිඵලත් අත් කරගෙන තිබෙනවා. ඒ සදහා හොදම උදාහරණයක් තමයි “අලුත් සහල් මංගල්‍යය”. මෙය මෙතෙක් පැවැතුණේ ජාතික උත්සවයක් විදිහට නොවෙයි. තවත් එක උත්සවයක් විදිහටයි. ඒ නිසාම ඒ සදහා ජාතියේ නායකයාගේ සහභාගිත්වය අනිවාර්ය වුණේ නෑ. එහෙම වෙනකොට ජාතික වගකීම කියන දේත් ලිහිල් වෙනවා. කොහොම වුණත් 2009 වසර වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙනවා. අලුත් සහල් මංගල්‍යය ගැසට් කොට ජාතික උත්සවයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඒ අනුව පසුගිය වර්ෂයේ අලුත් සහල් මංගල්‍යයට ජනාධිපතිවරයා සහභාගි වෙනවා. නමුත් එතැන වැදගත්ම කථාව තමයි ජාතියේ නායකයා සහභාගි වූ ඒ ජාතික උත්සවයේදී උපයෝගී කරගත්තේ විදේශීය සහල් ප්‍රභේදයක් නොවෙයි. දේශීය සහල් ප්‍රභේදයක්. ඒ තමයි මා වී. අපේ සාම්ප්‍රදායික රතු නිවුඩු සහල් විශේෂයකට තමයි මා වී කියලා කියන්නේ. මේ බව අපත් සමග පවසන්නේ හේමන්ත අබේවර්ධන. ඔහු නියෝජනය කරන දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනය තමයි අලුත්ම අලුත් සහල් මංගල්‍යයක් මේ රටේ නිර්මාණය දායක වන්නේ.

ඒත් සමගම 2007 සැප්තැම්බර් 3 දා දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික මෙහෙයුම (2007 – 2010) ප්‍රතිපත්ති සහා උපාය මාර්ග යටතේ පාරම්පරික වී වර්ග සහ වගා තාක්ෂණයෙන් යළි භාවිතා කිරීම යෝග්‍ය උපායමාර්ගයක් විදිහට නිර්දේශ කරලා තියෙනවා. කොහොම වුණත් මේ කටයුතුවල අනාගත සාර්ථකත්වය පිළිබදව දිගින් දිගටම අවදියෙන් සිටීමට “සන්නස” බලාපොරොත්තු වෙනවා.

පළතුරු ගසෙහිම පුපුරන තත්ත්වයක්

නිසි කලට වැසි වැටුණ ඒ කාලය අවසන් වූවා ද? එහෙම නැත්නම් අවසන් වෙමින් පවතින්නේද? එය ප්‍රශ්නයක්. සාමාන්‍ය ප්‍රශ්නයකටත් වඩා සමස්ත ලෝකයේම පැවැත්ම පිළිබද ප්‍රශ්නයක්.

මිහිතලය උණුසුම් වීම, අද මේ ගැන නොදන්නා අයෙක් නැති තරම්. එහෙත් ඒ නිසා සිදුවිය හැකි පාරිසරික සහ මානුෂික විපාක ගැනනම් තවමත් කවුරුත් හරියට දැනුවත් වෙලා නැති තරම්.

ලෝක මට්ටමේ පාරිසරික නිරීක්ෂණ වාර්තාවලට මිහිතලයේ උණුසුම දිගින් දිගටම ඉහළ යෑම තුළ බෝගවල ආයුකාලයද කෙටි වෙන්නට පටන් ගන්නවා. ප්‍රශස්ත බෝග ඵලදාවක් ලැබීමේ ඉඩ ප්‍රස්ථාවද ලෝකයට අහිමි වෙමින් පවතිනවා. එයට හේතුව වශයෙන් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලබන්නේ වායු ගෝලයේ කාබන්‍ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම නිසා බෝගවලට අවශෝෂණය විය යුතු නයිට්‍රජන්, යකඩ, තුත්තනායගම් වැනි පෝෂණීය සාධක බෝග වෙතින් ලබා ගැනීමේ අවස්ථාවද අඩු වෙමින් පවතින බවයි. වෙනත් ලෙසකට කියනවා නම් බෝග වල පෝෂණ ගුණය අධි කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රතාවය විසින් අවම කරනු ලබනවා.

අනිත් කාරණය තමයි පළතුරුවල හට ගන්නා පිපිරීම් සහිත තත්ත්වය. මුලදී මෙය හදුනාගත නොහැකි තත්ත්වයක් වශයෙන් කා තුළත් ඇති කළේ කුතුහලයක්. නමුත් පසුව නිකුත් වූ නිරීක්ෂණ වාර්තා පෙන්වා දුන්නේ පළතුරුවල ස්වභාවික තෙතමනය අධි උණුසුමට අසු වී වාෂ්ප වීම මත මේ ආකාරයෙන් ඇතැම් පළතුරු වර්ග වියලී පුපුරා යන බවයි. තවත් හේතුවක් වන්නේ කාල නියමයකින් තොරව ඇති වන වැසි තත්ත්වයයි. මේ අනුව එක දිගට පවතින නියං කාලවලදී එකපාරටම වැසි ඇද වැටෙන හදිසි කාලගුණ විපර්යාස දැන් ලොව තුළ නිර්මාණය වෙලා තියෙනවා. මේ නිසාත් අර කී ආකාරයට පලතුරු පිපිරී යන තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් බවයි විද්‍යාඥයන්ගේ මතය.

මෙසේ බලන විට වායුගෝලය තුළ කැකෑරෙන අධික උෂ්ණත්වය, අඩු ආර්ද්‍රතාව, ඌණ වර්ෂාපතනය, පස අභ්‍යන්තරයේ සිදුවන ක්ෂණික විපර්යාස යන මේ කාරණාවල අවසාන ඓක්‍යය ඇතැම් පළතුරු විශේෂ ගස්වල තිබියදීම පිපිරී යාම.

සුළග පවා අද කාලීන නෑ. අදාල සුළං මාරුත බහුලයි. අද අපි ගත කරන්නේ ස්වභාව ධර්මය විරූප වූ සමයක. ඒ අනුව අකාලයේ හමන සුළං ප්‍රවාහ නිසාද පළතුරුවල ස්වාභාවික තෙතමනය වාෂ්ප වෙනවා. පසුව එහි පොත්ත ඝන වෙනවා. එහි තිබිය යුතු නම්‍යශීලී ගතිය නැති වෙනවා. එහිම ප්‍රතිඵලය තමයි ඵලය පිපිරී යාම.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ආපදා විපත් නිසා ලොව පුරා මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසක් පමණ වෙනවා. ඉනුත් හරි අඩක්ම වාගේ අයත් වන්නේ ආසියා පැසිෆික් කලාපයට යි. ඒ වගේම ශ්වසන අබාධ, මදුරු ගහණය වැඩි වීම, ඒ නිසා ඇතිවෙන බෝවෙන රෝග වසංගත, ජලය දූෂණය නිසා ඇතිවන රෝග, ගංවතුර ආපදා මෙන්ම මන්ද පෝෂණය වශයෙන් ආසියානු ජනතාවට එල්ලකර ඇති තර්ජන සුළුපටු නෑ.

පැපුවා නිව්ගිනියා කියන්නේ මුහුදු මට්ටමේ සිට බොහෝ උසින් පිහිටා ඇති ප්‍රදේශයක්. ඒ නිසා අධික ශිත කාලගුණයක් එහි පැවැතුණ අතර ඒ නිසාම කිසිදාක මදුරුවන් බෝ නොවූ ප්‍රදේශයක් වශයෙනුයි මෙතෙක් වාර්තා වුණේ. ඒත් අද තත්ත්වය වෙනස්. අද පැපුවා නිව්ගිනියා කියන්නේ මැලේරියා ආදී මදුරු වසංගත බහුල රටක්. වසංගත රෝග ව්‍යාප්ත වන කාලයක්. අනිත් අතින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතැනදීත් පෙන්වා දෙන්නේ මදුරු ගහණය ඉහළ යාම නිසා ඇතිවන වසංගත රෝග වැඩිම බලපෑමක් කරනු ඇත්තේ ද ආසියානු කලාපයට බවයි. මෙසේ බලන විට අප හමුවේ පවතින්නේ රෝග කාරක බහුල අනාගතයක්.

අන්ධභාවය. එහි තේරුම එදාට වඩා අද මිනිසුන් වැඩියෙන් අන්ධ වෙන බවයි. එහෙම වෙන්නේ ඇසේ සුද මතුවීමේ තත්ත්වය බහුල වීම නිසා. සූර්යයාගේ පාර ජම්බුල කිරණ මිනිස් ඇස් සමග කරන ගනුදෙනුවක නියත ප්‍රතිඵලය,  ඒ තමයි ඇසේ සුද. මේ අතර ඇමරිකාවේ පර්යේෂණ වාර්තාවලට අනුව ඇසේ සුද විතරක් නොවෙයි, පවතින ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ පරිසරය තුළ කැසීම, කුෂ්ඨ වැනි චර්ම රෝග ඒ වගේම ඇදුම වැනි මිනිසුන්ට ඉතා අහිතකර අන්දමින් බලපාන අසාත්මිකතාවයන් හැරුණම දිලීර ආසාදනයන් ද ඉදිරි අනාගතයේදී මානව සමාජය දැඩි පීඩනයකට ලක් කරන ලකුණු තියෙනවා.

ඊළගට ගෝලීය උණුසුම ක්‍රමයෙන් ඉහළ යාම තුළ ජලයේ ක්ෂුද්‍ර ජීවී ගහනයේද වැඩිවීමක් අපේක්ෂා කළ හැකි යැයි ද පෙන්වා දී තිබෙනවා. සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් 1/3 ක් ම ජීවත් වන්නේ ජලය අර්බුදයක්ව ඇති රටවලයි. අනිත් අතින් 1990 වර්ෂයේ සිටම සෑම ශත වර්ෂයකදීම ජල පරිභෝජනය සියයට 20 කින් වත් ඉහළ යමින් තිබෙනවා. ලේක ජනගහනයෙන් මිලියන 1 ක් වත් පිරිසිදු ජලය පානය කිරීමට අවස්ථාවක් නොලබමින් ජීවත් වෙනවා. තවත් මිලියන 206 ක් වූ ජනතාවක් සනීපාරක්ෂක පහසුකම් වලින් තොරව ජීවත් වෙනවා. ඔවුන් පානය කරන්නේ දැඩි ලෙසින්ම අපවිත්‍ර වූ ජලය වීම ඒ ඛේදවාචකයේම එන තවත් පැත්තක්.

මේ වනාහි ගෝලීය උණුසුම ඉහළයාම නම් සමස්ත ලෝක පාරිසරික අර්බුදය තුළම ඇති අනුවේදනීය තත්ත්ව කිහිපයක් වුණත් ඉන් ලෝකයට ඇතිවිය හැකි බලපෑම කොයි ආකාරයෙන්වත් අවම තත්ත්වයක් වශයෙන් විග්‍රහ කරන්නට අපට පුළුවන් කමක් නැහැ.

 

 

ජනගහන බෝම්බයෙන් පසු හරිත විප්ලවය. ඊට පස්සේ........

“පුත, අනාගතයේ දි නුඹට නුඹේ කුස යහමින් පුරවා ගන්නට  අවශ්‍ය නම් දැන් සිටම නුඹ නුඹේ හිස දැනුමින් සහ ප්‍රඥාවෙන් පුරවා ගනිං.” එහෙම කිව්වේ නෙල්ස් ඔල්සන් බොලොග්. ඔහු ශූර ගොවියෙක්. මේ නෙල්ස් බොලොග් නම් දැනුම් තේරුම් ඇති මිනිසාට සිටියා මුණුබුරෙක්. ඒ මුණුබුරාට තමයි ඔහු අර කීර්තිමත් අවවාදය දුනනේ. මුණුබුරාගේ නම තමයි නෝමන් බොලොග්. ඉතා පැහැදිලිවම නෝමන් බොලොග් සම්පූර්ණ මිනිසෙක් වෙන්නේ අර කියපු අවවාදයෙන් පසුවයි.

කවුද මේ නෝමන් බොලොග්? ඉතිහාසය අදටත් ඔහුට කියන්නේ “විස්මිත මිනිසා” කියලයි. ඔහු විස්මිත මිනිසෙක් වුණේ මෙහෙමයි.

නෝමන් උසස් පෙළ සමත් වීමෙන් පසු මිනෙසෙටා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒ 1933 අවුරුද්දේ. 1930 දශකය ඇමරිකා එක්සත් ජනපදයට අභාග්‍ය සම්පන්න අදුරු කාලයක් වුණා. නෝමන් කියන්නේත් ඒ අදුරු කාල පරිච්ඡේදයේ කොටස්කාරයෙක්. ඒ කාලයේදී ඇමරිකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පානවා. රැකියා අහිමි වීම්, බඩගින්න ඇමරිකන් වැසියන් ගේ පොදු අත්දැකීමක් බවට පත් වෙනවා.

මේ තත්ත්වය යම් ආකාරයකින් හෝ ජයගන්න එහෙම නැත්නම් ඊට සහනයක් වෙන්න සංවිධානයක් ද මේ කාලයේදී බිහිවෙනවා. “සිවිල් ජනතාව සුරැකීමේ බලකාය” නමින් හැදින්වෙන එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් නෝමන් ද කටයුතු කරනවා. මෙහිදී තමන් සමග කටයුතු කරන බොහෝ දෙනා නිසා අහර නොමැති කමින් හාමත්ව සිටිනු ඔහු දකිනවා. එසේ දකිත්ම දකිත්ම ඔහුගේ සිතින් බොහෝ දේ ඉවත් වෙනවා. එනම් එක දෙයක් පමණක් සිත තුළ රැදෙනවා. කුස ගින්නෙන් පෙළෙන්නවුන්ගේ කුස පිරවිය හැකිනම් එය කෙතරම් විශාල පුණ්‍ය කර්මයක් ද කියන සිතුවිල්ල තමයි එසේ ස්ථීර ලෙසත් තීරණාත්මක ලෙසත් ඔහු තුළ ඉතිරි වෙන්නේ.

ඒ 1937 අවුරුදද යි. ඔහු වන සංවර්ධන විද්‍යාව පිළිබද උපාධිය දිනා ගන්නවා. පසුව වසංගත රෝග මගින් ඉරිගු, ඕට්ස්, බාර්ලි වැනි ධාන්‍ය විනාශයට පත්කරන දිලීර නිරික්ෂණය කොට ඒවාට සාර්ථකව මුහුණ දිය හැකි බීජ සහ පැළෑටි ජාන තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවීමට ඔහු සිය පර්යේෂණ කටයුතු මෙහෙයවනවා. 1940 දී ජාන තාක්ෂණ විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය ඔහු ලබනවා. ඒ අර කියපු පර්යේෂණ කටයුතුවල ප්‍රතිඵලයක් විදිහටයි. ඒත් සමගම ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක් ලෙස ඔහු සිය ප්‍රථම රැකියා පත්වීමද ලබනවා.

ඉන් කාලයකට පසු ඔහු මෙක්සිකෝවට යනවා. ඒ ඇමරිකන් රජයේ ඉල්ලීමකට අනුව එරට තිරිගු පර්යේෂණ වැඩ සටහනේ ප්‍රධානියා විදිහටයි. එසේ වසර 16 ක කාලයක් එහි සේවය කරන නෝමන් බොලෝග් දිලීර රෝග වලට සාර්ථකව මුහුණදිය හැකි ඉහළ ඵලදාවක්ද ඇති තිරිගු බීජ විශේෂ කිහිපයක්ම හදුන්වා දීමත් සිදු කරනවා. මෙසේ දිනෙන් දින නව බීජ විශේෂ හදුන්වා දීමට නොමන් සමත් වෙන අතර 1963 පමණ වන විට මෙක්සිකෝවේ වහා කරන ලද තිරිගු බෝග වලින් සියයට 95 ක්ම නෝමන් බොලොග්ගේ සොයා ගැනීම් වශයෙන් සටහන් වෙනවා. මෙහිදී මතක තබාගත යුතුයි. ඔහු මෙක්සිකෝවට ආවේ 1944 දී. එදා රටක් වශයෙන් මෙක්සිකෝව ලැබූ ඵලදාවත් තිබුණා නම් 1962 වෙනකොට ඒ වගේ හය ගුණයක් විශාල අස්වැන්නක් ලබන්නට මේ රට සමත් වෙනවා. මෙන්න මෙතැනදි තමයි‍ ලෝකය මුලින්ම විශ්මයට පත් වෙන්නේ.

“විශ්මිත කෘෂි විද්‍යාඥයා” යන පටබැදි වගේම ගෞරව නාමය ඔහුට ලැබෙන්නේ ඒ අනුවයි.

The Population Bomb සිංහල අර්ථයට අනුව ජනගහන බෝම්බය ජීව විද්‍යාඥයෙක් වන පෝල් ආර්. අර්ලිට් රචනා කරන්නේ 1968 දී යි. එය විද්‍යාත්මක අනාවැකි වලින් පිරුණ පොතක්. මේ විද්‍යාත්මක අනාවැකි ලෝක ප්‍රජාව අතර ඇති කළේ මහත් වූ කුතුහලයක්. ඒ වගේම එය ලෝකය පුරාම ප්‍රචලිතවුණා. පහත එන්නේ එවැනි එක් අනාවැකියක්.

“ලෝකයේ මිනිසුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නිෂ්පාදනය කළ හැකිය යන අරමුනින් පටන් ගන්නා ලද වගා සංග්‍රාමය ඉතා දුක්ඛදායක අවසානයකට ළගා වී තිබෙනවා. ඒ අනුව 1970 හා 1980 දශක ඉදිරියේ දී එළැඹෙන අතර එවිට මිලියන ගණනින් මිනිසුන් නිරාහාරව මිය යනවා. එය කිසිදු කෘෂිකාර්මික යෝධයෙකුට නවත්වන්න පුළුවන් වෙන්නේ නෑ.”

නෝමන් බොලොග් නම් ලෝකයේ විස්මිත කෘෂි විද්‍යාඥයා මෙන්න මේ අනාගත තත්ත්වය අභියෝගයක් විදිහට බාර ගන්නවා. එතැනදී ඔහු සම්පූර්ණ විශ්වාසය තබන්නේ ජාන තාක්ෂණය මගින් සොයා ගන්නා ලද නව බීජ ප්‍රභේද ගැනයි. එය ලොව පුරාම සාර්ථක වෙනවා. උදාහරණයක් ලෙස 1965 දී පකිස්ථානයේ පමණක් නිපද වූ තිරිගු ප්‍රමාණය ටොන් මිලියන 7.6 ක්. එහෙත් ඊට පෙර ඒ කියන්නේ බොලොග් මේ කටයුත්තට අත ගහන්නට පෙර ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව ටොන් මිලියන 4.6 කටයි සීමා වී තිබුණේ. ඊළගට ඔහු ඉන්දියාවට යනවා. 1965 දී ටොන් මිලිනය 12.3 ක් ඉන්දියා වේ තිරිගු අස්වැන්න 1970 වන විට ටොන් මිලියන 20.1 ක් දක්වා ඉහළට ගෙන එන්නට ඔහු සමත් වෙනවා.

පෝල් ආර්. අර්ලිට්ගේ ජනගහන බෝම්බයට එරෙහිව නෝමන් බොලොග් කටයුතු කරන්න පටන් ගත්තේ ඒ ආකරයට යි. ඒ ආකාරයෙන් කටයුතු කළ ඔහු අර කියපු ජනගහන බෝම්බය ඇත්තක් නොව නැත්තක් බවට පත් කරනවා. අනාවැකියට අනුව ලොව පුරා හටගන්නා මහා ආහාර අහේනියකින් මිය යාමට ආසන්නව සිටි බිලියනයක් තරම් වූ ජනකායක් සිය විස්මිත බීජ ප්‍රභේද වලින් ගලවා ගැනීමට ඔහු සමත් වෙනවා. “හරිත විප්ලවය” යනනමින් එය ලොව පුරා ව්‍යාප්තියක් කීර්තියත් එකවර අයත් කර ගන්නවා.

ඊළගට එළඹුණේ 1980 දශකය යි. ලොව පුරා පරිසරවේදීන් සහ මේ මහා කෘෂි විද්‍යාඥයා අතර බරපතල විවාදයක් හට ගන්නවා. පරිසරවේදීන් පවසන්නේ මේ හරිත විප්ලවය අනාගත පාරිසරික අර්බුද රැසක්ම ඇති කරනු ඇති බවයි. විශේෂයෙන්ම රසායනික පෝර සහ රසායනික කෘමිනාශක පසට එකතු කරමින් වැඩි අස්වැන්න සියඑකම ඉලක්කය බවට පත් කරගත් හරිත විප්ලවය ගැන පරිසරවේදීන් නැගූ විරෝධය නෝමන් බොලොග්ගේ  විවේචනයටත් අප්‍රසාදයටත් හේතු වූ බව මෙහිදී කියන්නට සිදුවෙනවා. මෙතැනදි බොලොග්ගේ එකම ඉලක්කය වූයේ වැඩිවන ජනගහනයට සරිලන වේගවත් ආහාර ඵලදාවක් ලබාදිමයි. ඔහු සිය ජිවිත කාලයෙන් හරි අඩක් ම ගතකළේ ඒ වෙනුවෙනුයි. එතැනදි පරිසරවේදීන් මෙය පාරිසරික දූෂණයක් ලෙසින් සලකා ඊට විරෝධය පාන්නේ ඇයි ද කියා මුලින්ම විස්මයට පත්වන ඔහු පසුව කෝපයට පත් වෙනවා.

එහිදී ඔහු දිගින් දිගටම පෙන්වා දෙනවා. රසායනික පෝර අත්හැර කාබනික පෝර කෙරෙහි පමණක් විශ්වාසය තැබීමෙන් ඉහල ඵලදාවක් අත්පත් කරගන්නට නොහැකිය කියන කාරණය. එවැනි අඩු ඵලදාවකින් වැඩි වන ජනගහනයේ බඩකට පුරවන්න පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් විශාල වශයෙන් වනාන්තර එලි කරන්න සිදු වේවි. එහෙත් රසායනික හෙවත් කාබනික පෝර භාවිතා කළොත් අඩු වහා ඉඩම් ප්‍රමාණයකින් ඉහළම අස්වැන්නක් ලබන්න පුළුවන්කම තියෙනවා.

උදාහරණයක් වශයෙන් 1950 වසරේ දී ටොන් මිලියන 692 ක් වූ ගෝලීය ධාන්‍ය නිෂ්පාදනය සදහා අවශ්‍ය වූයේ අක්කර බිලියන 1.7 ක ඉඩම් ප්‍රමාණයක් පමණයි. 1992 දී ගෝලීය ධාන්‍ය නිපැයුම ටොන් බිලියන 1.9 ක් වූ අතර අවශ්‍ය වූ බිම් ප්‍රමාණය අක්කර බිලියන 1.73 ක්. ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ ගෝලීය ධාන්‍ය ඵලදාව සියයට 170 කින් ඉහළ නැංවීම සදහා අවශ්‍ය වී ඇතතේ සියයට 1 ක් තරම් වූ වැඩිපුර ඉඩම් ප්‍රමාණයක් පමණයි.

ඒ අනුව නෝමන් බොලොග් පවසන්නේ සිය අධි ඵලදා කෘෂිකර්මයෙන් ඔහු ඉන්දියාව ට ඔවුන්ගේ කැලෑ ඉඩම් අක්කර මිලියන 100 ක් ආරක්ෂා කර දී තිබෙන බවයි. 1980 දශකයේ දී ඉතියෝපියාවේ, ඝානාවේ, නයිජීරියාවේ සහ ටැන්සානියාවේ සිදු කළා වූ මිශ්‍ර ධාන්‍ය වගාව නිසා ඒ රටවලද කෘෂිකාර්මික ඵලදාව දෙගුණ නොව තෙගුණ වූ බවට වාර්තා වෙනවා.

නෝමන් බොලොග් 2009 සැප් 12 දා අවුරුදු 95 ක් ආයු විද මිය ගියා. මෙතැනදි අපිට පිලිගන්න සිදු වෙනවා ඔහු තමා විසූ යුගයට සාපේක්ෂව ‍ඓතිහාසික කාර්යභාරයක් කළාය කියන එක. එහෙත් කාබනික පෝර වලට ඔහු දැක් වූ විරෝධය ගැන අපට නැවතත් සිතන්න සිද්ද වෙනවා. රසායනික පෝර වල පවත්නා සීමිත බව සහ පාරිසරික විරෝධී බව අද ලෝක මට්ටමින් පිලිගත් සත්‍යයක්. පිලිගත් සමීක්ෂණ සහ පර්යේෂණ පෙන්වා දෙනවා කාබනික පෝර රසායනික පෝර වලට සාපේක්ෂව ඉහළ ඵලදාවක් ලබත හැකි ක්‍රමයක් කියලා.

ඒ නිසා අදටත් අපට නෝමන් බොලොග් කෙනෙක් අවශ්‍යයි. එහෙත් ඔහු වර්තමාන පාරිසරික යථාර්තය පිලිගන්නා අයෙක් විය යුතුයි. කොටින්ම ඔහු හොද පරිසරවාදියෙක් විම අවශ්‍යයයි. ඔහු අපේ කාලයේ මිනිසෙක් විය යුතුයි.

 

අද බොරැල්ල කනත්ත එදා මුහුදක්

1990 අවුරුද්දේ එක් අපූරු පුවත්පත් වාර්තාවක් පළවුණා. එයින් කියැවුණේ බොරැල්ල කනත්ත අසල ප්‍රදේශයේ නලමාර්ගයක් වෙනුවෙන් පොළව කනිද්දී එහි යටි පස් තට්ටුවෙන් මුහුදු වැලිත් සිප්පිකටුත් ගොඩ දැමුණා ය කියලයි. පසුව ඒ පිළිබදව නිරීක්ෂණය කළ භූ විද්‍යාඥයෝ එදා පෙන්වා දුන්නේ ඒ මුහුදුවැලි සහ සිප්පි කටු ඉපැරණි වෙරළකට අයත් වෙනවාය කියලයි. ඒ විතරක් නෙවෙයි ඒ ආශ්‍රිතව තැන්පත්ව තිබුණ මඩ තට්ටු ඉපැරණි යුගයක කලපුවකට අයත් බවද හදුනාගෙන තියෙනවා.

මේ අනුව අද අපිට මේ ප්‍රදේශය බොරැල්ල කනත්ත වුණත් එක්තරා යුගයකදී මේ ප්‍රදේශය සාගරයට අයත් ප්‍රදේශයක් වූ බව පැහැදිලියි. ඒත් කාලයාගේ ඇවෑමෙන් මේ සාගර ජලය බොරැල්ල ප්‍රදේශය අත්හැර පසුබැස යද්දී ඒ ප්‍රදේශය කිවුල් දිය රැදුණ කලපුවක් වශයෙන් ඉතිරි වෙන්න ඇතැයි අනුමාන කෙරෙනවා.

තවද මෙවැනිම උදාහරණ පුත්තලම, මීගමුව, නැගෙනහිර වෙරළ, කුමන මෙන්ම ඊසාන දිග වෙරළ කල්කුඩාවලදීත් හමු වී තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය පවතින්නට ඇත්තේ මීට අවුරුදු දහස් ගණනකට පෙර යැයිද උපකල්පනය කෙරෙනවා. සාමාන්‍යයෙන් එතැනදී කාලය සොයාගන්නට අපට උපකාර වෙන්නේ සිප්පි කටු බවත් කියන්න ඕනේ. එසේ සොයා ගන්නා වයස පදනම් කරගෙන වෙරලේ වයසත් ආසන්න වශයෙන් ගණනය කෙරෙනවා. මේ ආකාරයෙන් කාලය නීර්ණය කිරිම නූතන විද්‍යාවේදී හදුන්වන්නේ අංගාර කාල නීර්ණය යනුවෙනුයි.

මිහිතලයේ උණුසුම්වීම නිසා සාගර මට්ටමේ ඉහළ යාමක් ගැන අද අපි කථා වෙනවා. ඒත් ඉහත නිදර්ශන අපට පෙන්වා දෙන්නේ මීට අවුරුදු දහස් ගණනකට කලිනුත් සාගර මට්ටම ඉහලට නැග අද ගොඩබිම් වශයෙන් පවතින ප්‍රදේශ ආක්‍රමණය කරලා තියෙනවාය කියලයි. මේ ආකාරයෙන් එක් එක් කාලවකවානු තුළ සිදුවූ සාගර මට්ටම ඉහළ යෑම කියන ක්‍රියාවලිය තුළ විටින් විට ගොඩබිම් සාගර ප්‍රදේශ බවටත් සාගර ගොඩබිම් ප්‍රදේශ බවටත් පත්වීම සිදුවෙලා තියෙනවා. එදා සාගර බිමක් වූ බොරැල්ල කනත්ත ප්‍රදේශය අද ගොඩබිමක් වන්නේ ඒ අනුවයි.

මේ පිළිබද වාර්තා අපට පෙන්වා දෙන අන්දමට සමුද්‍රික තටාගයේ රැදී තිබුණ මුහුදු මට්ටම මීට වසර 13,000 කට පෙර කාලයකදී ඉහළ නැග තිබෙනවා. ඒ අනුව ඒ කාලයේදී ශ්‍රී ලංකාවට මීට වඩා විශාල ගොඩබිම් ප්‍රදේශයක් හිමිවෙලා තියෙනවා. එයට හේතුව වශයෙන් හදුනාගෙන තියෙන්නේ  මුහුදු මට්ටම දැනට පවතින මට්ටමට වඩා මීටර් 58-60 ක් පමණ පහලින් පිහිටා තිබීම. ඒ වගේම තවත් කාලයකදී ක්‍රමයෙන් ඉහළ නැගි මුහුදු මට්ටම වසර 5000 ක් තරම් කාලයකදී උපරිමය තෙක් නැග පසුව ක්‍රමයෙන් පසුබැස ගොස් අද පවතින තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. නිරිත දිග වෙරලේ ගොඩබිම් පිහිටා ඇති කොරල්පර අපට ඒ බව පෙන්වා දෙනවා.

අද අපි මුහුදු මට්ටමේ ඉහල නැගීම ගැන කථාකරන්නේ මිහිතලය උණුසුම් වීම යන සාධකය මත වුණත් එය කුමක් හෝ හේතුවක් මත සිදුවිය හැකිය යන්න පෘථිවි ඉතිහාසය විසින් අපට පෙන්වා දෙනු ලබනවා. සමහර විට හේතු කීපයක් නිසා වෙන්නත් පුළුවන්.

එවැනි එක් හේතුවක් වශයෙන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පෘථිවියේ කඩොල්ල නිර්මාණය කළ පාෂාණ තට්ටු ඇතැම් විට එහෙට මෙහෙට වීම නිසා ඇති වන ඉඩ ඇහිරීම යි. ඒ ආකාරයෙන් ඉඩ ඇහිරීම නිසා ජල මට්ටම ඉහලට නැගීම සිදු වෙන අතර එය මුහුද ගොඩ ගැලීමක් බවට පත් වෙනවා. ඒ අනුව මුහුද ගොඩ ඒම අප වෙසෙන භූ තලය විවිධ කාල වකවානුවලදී විවිධ ආකෘති වලට වෙන්කර තිබෙනවා.

උදාහරණයක් ලෙස පෘථිවි ඉතිහාසයේ වසර ලක්ෂ 22-18 ක් මෙහා පැත්ත අපි හදුන්වන්නේ ජලයි‍ටොසින යුගය යන නමිනු යි. හොලොසින යුගය කියා හදුන්වන්නේ 20 වන ශතවර්ෂයේ සිට වසර 10,000 ක කාලයට.

මුලින් කියපු ජලයි‍ටොසින යුගය ග්ලැසියර සමයක්. ඒ කාලයේ දී සාගර ජලය අයිස් තට්ටු වශයෙන් තැන්පත් වීම සිදු වූ අතර ඒ නිසාම සාගර ජල මට්ටම පැවතුණේ පහත් අඩියක. මේ අයිස් මිදුන කාලයට තමයි Ice – Age අයිස් යුගය කියා කියන්නේ. ඒ කාලයේ දී අපේ රට වටා ඇති මුහුදු මට්ටම ද පහත බැස තිබුනායැයි උපකල්පනය කෙරෙන අතර අනික් අතින් උත්තර ප්‍රදේශය ඉන්දියානු අර්ධද්වීපයට සම්බන්ධව තිබූ බව ද පැවසෙනවා.

එහෙත් අයිස් යුගයේ අවසානයේදී පෘථිවියට උදාවෙන්නේ පැවැති යුගයට වඩා උණුසුම් අන්තර ග්ලැසියර් සමය යි. ඒ උණුසුම නිසා ඇතැම් අයිස් ප්‍රදේශ දියවීමද සිදුවුණා. එහි ප්‍රතිඵලය වුණේ සාගර ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ නැගීම. එතකොට ඇතැම් ගොඩබිම් ප්‍රදේශ වසා ගෙන සාගරය පැතිරෙනවා. මුහුද ගොඩ ගලනවාය කියා සාමාන්‍ය ව්‍යවහාරයේ දී අපි කියන්නේ මේ ආකාරයේ පාරිසරික විපර්යාසයකටයි.

කන්නෙලිය ජෛව පර්යේෂණාගාරයක්

Kan_1කාලයකින් වැසි පොදක් නොලද ඒ මහා ජීවප්‍රවාහය විඩාපත් යෝධයෙක් මෙන් බලා සිටියි. එහි නම කන්නෙලියයි. පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2009 වසර අවසානයේ පරිසර මාධ්‍යවේදී හමුව පැවැත්වූයේ ජෛව සම්පත අතින් සිංහරාජ වනාන්තරය ද නොදෙවෙනි කන්නෙලිය නම් ඒ වනාන්තරයේදී යි. වනය පුරා පැවැති වියලි ස්වභාවය නිසා වෙනදා මෙන් සතුන් දක්නට නොලැබුණත් ජල දහරා ඇසුරේ වෙසෙන මසුන්, දුවමින්  පනිමින් මෙන්ම සැගවෙමින් සුපුරුදු කෙලි දොලෙන් සිටිනු දකින්නට ලැබුණා. මේ අතර ගස් කදක යටි පැත්තේ එල්ලීගෙන සිටියේ වෙනින් කවුරුවත් නෙවෙයි පිනුම් කටුස්සෙක්.

Kan_2“පවතින කාලගුණ විපර්යාස නිසා වියලි කලාපය දිගින් දිගටම වියලී යාමේ තර්ජනයෙන් අපේ රටටත් ගැලවෙන්න බැහැ.” එදා රාත්‍රියේ වන නිවහන තුළ දී අමාත්‍යවරයා පුවත්පත් කලාවේදීන් හා පැවැත්වූ සාකච්ඡාවේදී එසේ පැවසුවා.

ඊලගට තෙත් කලාපය තවදුරටත් තෙත් වෙනවා. නිරන්තරයෙන් ම වැසී ඇතිවීමත් සිද්ද වෙනවා. එතකොට මේ අකාරයෙන් වියලි කලාපය දිගටම වියලී යාමෙන් ඇතිවන ජල අර්බුදයත් නිරන්තර වැසි නිසා ජල ගැලීම් වලින් ඇතිවන ආපදාත් ඉදිරි කාලයේ ලෝක පරිසර අර්බුද වශයෙන් හදුනාගෙන තිබෙනවා. මේක බරපතල තත්ත්වයක්.

Kan_3කන්නෙලිය වනය දකුණු ආසියාවේ ඇති ඒකක ක්ෂේත්‍ර ඵලයක වැඩිම ශාක ඝනත්වයක් ඇති වනාන්තරයක් මෙන්ම මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙසින් ද නම් කොට තිබෙනවා.

තවද පහතරට තෙත් කලාපීය දුර්ලභ ජීව විශේෂ ඇති විශාල ප්‍රමාණයක් මේ වනපෙත ඇසුරේ ජීවත් වෙනවා. අනිත් එක තමයි කන්නෙලිය කියන්නේ හුදෙකලා වනාන්තරයක් නෙවෙයි. වනාන්තර සංකීරණයක්. ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නාකියාදෙනිය (හෙක්. 2236) කන්නෙලියට දකුණු පසින් පිහිටා තිබෙන එවැනි එක් පරිවාර වනාන්තරයක්. අනිත් වනය තමයි දෙදියගල (හෙක්. 3866) කියන්නේ. 1940 සැප්තැම්බර් මාසයේදී වන රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් වූ එය පිහිටා තිබෙන්නේ ගිනිකොන පාර්ශ්වයේ. මේ ආකාරයෙන් පරිවාර වනාන්තර දෙකක්ද සමගින් වැඩී ඇති මේ මහා වනපෙත සතු මුළු බිම් වර්ග ප්‍රමාණය හෙක්ටෙයාර් 12,216 ක් වෙනවා.

Kan_4ගිං ගගේ ජල පෝෂක ප්‍රදේශය ලෙසින්ද වටිනාකමක් අත්පත් කොටගෙන තිබෙන මේ මහා වනපෙත තුළ කන්නෙලිය ඇල, උඩුගම දොළ, මෙන්ම හෝම දොළද ඇතුළු ප්‍රධාන ජල මාර්ග හා සම්බන්ධ කුඩා ජල දහරා 111 ක් ගලා බසිනවා. ඒ විතරක් නෙවෙයි මීටර් 46 ක් පමණ උසක සිට පහලට ගලා හැලෙන අනගිමල ඇල්ලත් මීටර් 70 ක් පමණ වෙන නාරංගස් ඇල්ලත් වනය පොහොසත් කරන වැදගත් ජල මූලාශ්‍ර දෙකක්.

වනාන්තරයේ පිහිටීම ගත් කළ මීටර් 60 ත් 425 ත් අතර උස් බිම් පරාසයක් තමයි දකින්නට ලැබෙන්නේ. එයින් ප්‍රධාන කදුබිම තමයි කම්බලේ කන්ද ඒ හැරුණ කළ කොන්ඩගල කන්ද, කටු කිතුල්ගල කන්ද, තිරුවානා කන්ද වශයෙන් හැදින්වෙන්නේ සෙසු කදු බිම් ප්‍රදේශ යි.

Kan_5පහතරට තෙත් කලාපයට අයත් වැසි වනාන්තරයක් වන කන්නෙලියට වාර්ෂිකව මී.මී. 4445 ක වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වන දීර්ග වැසි සමයකින් මේ වන පෙත පොහොසත්. අනිත් අතින් එයට හේතුව තමයි මෙය නිරිත දිග කලාපයට අයත් වී පිහිටීම. වැසි සමයෙන් පසු පැමිණෙන වියලි කාලයේදී වනාන්තරයේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 27 ක් වෙනවා.

වනය මැදින් ගලා බසින දිය මං ඇසුරේ සාරවත් මීවන ශාක ප්‍රජාවක්ද දක්නට ලැබෙනවා. එති උඩයන්, කෙටල  සහ කෙකටිය කියන්නේ ඉන් ප්‍රභේද කිහිපයක්. මහාචාර්ය බී.එස්. සිංහකුමාරට අනුව මේ වන විටත් ශාක විශේෂ 305 ක් හදුණාගෙන ඇති අතර ඉනුත් විශේෂ 155 ක් ම අපේ රටට ආවේනික යි. තවද දැවමය ශාක විශේෂ 234 ක් ඇති අතර එයින් ලංකාවට ආවේණික සංඛ්‍යාව 141 ක් වෙනවා. කෙසේ වුව මේ සියල්ල  අතරේ ඇති “මැන්ඩෝරා” නම් ශාක ප්‍රභේදය කන්නෙලිය වනාන්තරයේ දී දක්නට ලැබීම සාඩම්බරයට කරුණක් ලෙසිනුයි පරිසරවේදීන් සලකන්නේ.

වනපෙත සරසන උඩවැඩියා ශාක ප්‍රජාව අතර වැජඹෙන වන රාජ, ඉරු රාජ, නාරිලතා,  අපූර්ව සිත්තම් සමූහයක් සේ විටින් විට නෙත හමුවෙනවා.

ඉහතදීත් මතක් කළ මීවන ශාක විශේෂ 22 ක් දැකගත හැකි අතර එයින් විශේෂ 9 ක් ම මෙරටට ආවේණිකයි. ඒ අතර කුඩා හැඩයා, මහ හැඩයා, කුරුළු කූඩු මීවන මෙන්ම ගිනි හොට ඒ අතර විශේෂ අවධානය දිනාගෙන තිබෙනවා.

කන්නෙලිය එක් අතකින් සුන්දර වනාන්තරයක්. අනිත් අතින් ජෛව පර්යේෂණාගාරයක්. කොහොම කොහොම ගත්තත් වනාන්තර යනු අවතක්සේරු නොකළ යුතු මහා ජෛව සම්පතක්.

ඡායාරූප - අරුණී මුතුමලී

JPAGE_CURRENT_OF_TOTAL