Friday, Aug 01st

Last update:03:36:08 PM GMT

You are here: විශේෂාංග මහපොළවේ හෙට දවස සමනලුන් වඳ වෙති

සමනලුන් වඳ වෙති

butterfly

සමනලයා මල් පැණි බොන සතෙක්. එහෙම තමයි අපි කවුරුත් හිතාන ඉන්නේ. ඒත් හැම සමනලයෙක්ම ජීවත් වෙන්නේ මල් පැණි බීලාම නෙවෙයි. ඇතැම් සමනල විශේෂ සිය ආහාරය වශයෙන් ඉදුණ පලතුරුවල යුෂ උරාබොද්දී තවත් අය සත්ව වසුරුවල යුෂත් වෙනත් අය තෙත් පසෙහි ඇති ජලයත් උරා බොමින් ජීවත් වෙනවා.

අනිත් අතින් මල් පැණි බී ඉගිල යන සමනලයන් ගැන අපි අසා තිබෙනවා. ඒත් මල් පැණි බී මත් වී සිටින සමනලුන් ගැන ඔබ අසා තිබෙනවාද? ඔව් එහෙම අයත් ඉන්නවා. කොටිනියන් /TIGER සහ කාක දුඹුරුවන් CROW යන සමනල් විශේෂ ද්වය ඇති හොඩ සහ අඩනහිරිය කියන පුෂ්පවල මධු පානයට ගිජු කමක් දක්වනවා. මේ මල්වල පැණි අනිත් මල් පැණි වගේ නෙවෙයි සාන්ද්‍රතාවයෙන් වැඩියි. ගිජු කමට මේ මල් පැණි උරා බීම නිසා අවසානයේදී අර කියූ සමනලුන් මත්වී ඉගිල ගත නොහැකි ව සිටින අයුරු සත්වවේදීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා.

අනිත් අතින් සමනලයා කාලගුණ විපර්යාස හමුවේ සංවේදී සත්ත්ව විශේෂයක් වශයෙන් ද හඳුනාගෙන තිබෙන අතර පරිසර විද්‍යාර්ථීන්ට අනුව මොවුහු එකී වෙනස්කම් හඟවන දර්ශකයක් (indicator) වශයෙන් ද හඳුන්වන්නට පුළුවන්.

පරිසර හා ස්භාවික සම්පත් අමාත්‍යංශයේ අලුත්ම වාර්තාවකින් පෙන්වා දෙන අන්දමට සමනලයා ජෛව විද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් වැදගත්වන කාණ්ඩායකට අයත් ජීව විශේෂයක් වන බවත් මේ වන විට ශ්‍රී ලංකාවෙන් සමනල විශේෂ 243 ක් වාර්තා වෙන අතර ඉනුත් 20 ක්ම ආවේණික විශේෂ වශයෙන් හදුනාගෙන තිබෙනවා. ඊලඟට මේ අමාත්‍යංශ වාර්තාව සමනලුන්ගේ වදවී යාමට හේතු කිහිපයක් ද පෙන්වා දෙනවා. ඒ තමයි මේ සතුන්ගේ වාසස්ථානවල ගුණාත්මක බව පිරිහීම, කැබලිවීම, පරිසර දූෂණය යන කරුණු.

එහෙත් වඩාත් පුළුල් ආකාරයෙන් සොයා බැලුවහොත් සමනල විශේෂ වද වී යෑම ඇරඹෙන්නේ උන්ගේ දළඹු අවස්ථාවේ සිටය යනුවෙන් පෙන්වා දීමට සිදුව තිබෙනවා. ඒ අනුව විවිධ දළඹු විශේෂ එකම ශාක විශේෂයකින් නොවේ. ශාක විවිධත්වයකින්. පොදු තැඹිලි කොටිතියා වරා ශාකයෙන්ද ඉරි තැඹිලි කොටිතියා කිරි අගුණ ශාකයෙන් ද පෝෂණය ලබද්දී සප්සද ශාකයෙන් මහා රෝස පැපිලියා සහ පොදු රෝස පැපිලියා යන දෙදෙනාම පෝෂණය ලබනවා. රාවණ පැපිලියාගේ පෝෂණ ශාකය කුරුඳු, සෙවල බෝබු වුවත් මොනර පිපිලියා බුරුත ශාක ප්‍රශේදය තෝරාගෙන තිබෙනවා. මේ අතර කහ පැපිලියා බෙලි සහ දෙහි කුලයේ ශාකද නිල් පැපිලියා අලි ගැට පේරද කොල පැපිලියා කටු අනෝදා සහ වැලි ආතාද පොත් තිත් තැඹිලියා උගුරැස්සද කහ කොලයා කතුරු මුරුංගාද රතුපදුරු නීලයා අක්කපාන ද සිය පෝෂණය උදෙසා තෝරාගන සිටිද්දී තරණකොල කා උස්මහත් වන සමනල විශේෂ දෙකක් ද සිටිනවා. ඒ තමයි ඉරි පදුරු දුඹුරුවා සහ පොදු හීන් දුඹුරුවා. මේ අනුව ඉහත කී සමනල විශේෂවල දළඹූවෝ සිය පෝෂණය සදහා තෝරාගෙන ශාක විවිධත්වය වර්තමානයේ සිදු වන විනාශය, ඉඩම් කැබලි වීම යන කාරණා මත අහෝසි වී හෝ අවම වී යද්දී සමනලයන් දළඹු වියේදීම විනාශ වී යාම නොවැලැක්විය හැකි කරුණක් බවට පත් වෙලා තියෙනවා.

රටේ දේශගුණික කලාපවලට අනුව බලන කළ සමනලුන්ගේ වැඩිම ව්‍යාප්තියක් පෙන්වන්නේ වියලි හා අර්ධ ශුෂ්ක කලාපවල බව නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ අනුව මෙම කලාපයේ පමණක් සමනල විශේෂ 20 ක් පමණ දක්නට ලැබෙනවා.

තෙත් කලාපීය වනාන්තර වලද සමනල ව්‍යාප්තියක් තිබෙන අතර වනාන්තර ආශ්‍රිතව ගත් කළ පොහොසත් සමනල විශේෂ විවිධත්වයක් දක්නට ලැබෙනවා. එහෙත් ඔවුන්ගේ ගහනයේ ඝනත්වය අතින් බැලූ කළ පවතින්නේ අඩු මට්ටමක්.

එසේ වුවත් ගෙවතු හා කෘෂිකාර්මික පරිසර, තෙත් සහ වියලි කලාපීය වනාන්තර, තෙත් බිම්, තෘණ බිම්, මෙන්ම කඩොලාන යනුවෙන් හැඳින්වෙන සමනලයන් සුලබව ගැවසෙන පරිසර පද්ධති අද වන විට අවිධිමත් මානව ක්‍රියාකාරකම් (දේශපාලන මැදිහත් වීම්ද ඇතුළුව)නිසා බරපතල පාරිසරික හායනයන්ට ලක්වෙමින් පවතිනවා. ඒ නිසා සමනල ගහනයේ සීග්‍ර අඩුවීමකට මෙයද හේතුවක් වී තිබෙනවා.

පසුගියදා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය මැදිහත් වීමෙන් “ජාතික සමනලයා” හදුන්වා දෙන්නැයි රජයට යෝජනා කොට තිබුණා. ඒ සදහා ඔවුන් නිර්දේශ කොට තිබුණේ “ශ්‍රී ලංකා මහ කුරුණු පැපිලියා / Sri Lanka Bird Wing / Troides darsius. යන සමනල විශේෂයයි. එතැනදී විශේෂයෙන්ම මෙම විශේෂය තෝරා ගන්නට හේතු කාරණා වශයෙන් ඔවුන් පෙන්වා දුන් කරුණු පහත දැක්වෙනවා.

මොහු ශ්‍රී ලංකාවේ වෙසෙන විශාලතම සමනලයා වීම.

රට පුරා ම ව්‍යාප්තව සිටීම.

ශ්‍රී ලංකාවට ආවේණික වීම.

බාහිර රූපකාය අනුව ධජධාරී විශේෂයක් ලෙස නම් කළහැකි වීම.

ජීවන චක්‍රයේ පලිබෝධ අවධි නොපෙන්වීම.

රෝග වාහක ලක්ෂණ නොපෙන්වීම.

සංස්කෘතික සහ අධ්‍යාත්මික විශ්වාස පිළිබද සෘණාත්මක බලපෑමක් නැති වීම.

තවද මේ ආකාරයෙන් යම් ශාකයක් හෝ ජීවියෙක් ජාතික වශයෙන් නම් කිරීමෙන් එම ජීවියා හෝ ශාකය ගැන ජනතා අවධානය ඉහළ නැංවිය හැකිය යනුවෙන් ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා. එහෙත් මෙතැනදී අපට ඇතිවන ප්‍රශ්නය නම් මහජන අවධානය කොතෙක් තිබුණත් දේශපාලන මැදිහත් වීම් ඔස්සේ වැනසෙන පරිසර පද්ධති දෙස බලන විට සමනලයෙකුට තබා මැස්සෙකුටවත් පවතින්නට අනාගතයේ දී ඉඩක් තිබේද යන්නයි.

 

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ