Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: විශේෂාංග මහපොළවේ හෙට දවස ජගත් සමුලුවෙන් බලවතුන්ට නියෝගයක්

ජගත් සමුලුවෙන් බලවතුන්ට නියෝගයක්

පසුගියදා ජගත් සමුළුවට සහභාගී වන චීන ජනාධිපතිවරයා හූ ජින් තාඕ මහතා ලෝක දේශගුණික විපර්යාස පිළිබද ගෝලීය සමුළුවේදී වැදගත් කථාවක් කරනවා. ඔහු එහි දී ප්‍රකාශ කරන්නේ හරිතාගාර වායු නිකුත් කිරිම අඩු කිරීම අවශ්‍යම දෙයක් බවයි. මෙතැනදි චීනය කියන්නේ අද ලෝකයේ සිටින ආර්ථික යෝධයෙක්. තව වසර කීපයකින් ඇමරිකාවත් සමග කරට කර සිටින්නට පුළුවන් ලොව ආර්ථික බලවතාත් චීනයම තමයි. ඉතින් එහෙම චීනය අර ආකාරයේ ප්‍රකාශයක් කරනකොට එතැන සෑහෙන වැදගත්කමක් තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නෑ.

අනිත් අතින් ඇමරිකාවත් චීනයත් එකතුවෙලා වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය, ලෝකයම මුදා හරින ප්‍රමාණයත් සමග බලනකොට 40% ක ප්‍රතිශතයක් යැයිද වාර්තා වෙනවා. එවැනි පසුබිමක සිටිමින් චීන ජනාධිපතිවරයා අර විදිහට කියපු එකත් සැලකිය යුතු දෙයක්. එහෙම වුණත් එතැනදී ඔහු හරිතාගාර වායු මුදා හැරීම අඩු කළ යුතු යැයි ප්‍රකාශ කොට තිබුණත් එය කොපමණ ප්‍රමාණයකින් අඩු කරනවාදැයි නොකියා සිටින්නටත් ප්‍රවේශම් වෙලා තියෙනවා.

ඒත් සමගම ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාත් ඊට අදාලවම බලාපොරොත්තු සහගත ප්‍රකාශයක් කරනවා. තමා මෙම තනතුරේ සිටින තුරු දේශගුණික විපර්යාස වැළැක්වීමට කැප වී කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ඇමරිකන් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තමාතුළ ඇති සූදානම ගැනත් ඔබාමා පෙන්වා දෙනවා.

මෙම ප්‍රකාශ දෙක තුළම තියෙන සුබදායක බලාපොරොත්තු සහගත බව මේ වන විටත් ලොවපුරා පරිසරවේදීන්ගේ අවධානයට ලක් වී ඇතුවාට සැකයක් නැහැ.
කොහොම වුණත් ගෝලීය උණුසුම ගැන ලෝකය පුරා පුළුල් කතිකාවතක් ආරම්භ වන්නේ අසූවේ දශකයේ අවසානයත් සමගයි. ඒ අනුව වාතය, ජලය, ආහාර මිහිතලය යන මේ සියලු සම්පත් සම්බන්ධයෙන් සමස්ත ලෝකයම බරපතල අර්බුදයකට තල්ලුවෙන බව ලෝක විද්වතුන් විසින් පෙන්වා දුන්‍නා. ඒත් සමගම 1992 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ප්‍රශ්නය සම්බන්ධව සිය නිල අවධානය යොමු කරනවා. ඒ අනුව මිහිතල සමුළුව (එක්සත් ජාතීන්ගේ පරිසරය හ සංවර්ධනය පිළිබද මහා සමුළුව) එම අවුරුද්දේ පැවැත්වෙන අතර ඒ සදහා ලෝක නායකයින් 92 ක් සහභාගි වෙනවා.

සමුළුව තුළ පාරිසරික ප්‍රශ්නය පිළිබදව ඇති වූ කථාබහ අවසානයේ දී දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීම ගැනත් මෙහිදී මතක් කර දියයුතුව තිබෙනවා. කොහොම වුණත් උග්‍ර කාර්මීකරණය නිසා බරපතල ලෙසින් මතු වී ඇති පාරිසරික හානිය අවම කරගත යුතුයි කියන තැනට එසේත් නැත්නම් එකගතාවයකට ඔවුන් පැමිණෙනවා.
ඒත් සමගම මේ දැවැන්ත පාරිසරික අර්බුදයට අධික පාරිභෝජනය මූලික හේතුවක් කියන කාරණාවක් මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. වරෙක මහාචාර්ය සරත් කොටගම ඒ අරබයා මෙසේ පැවසුවා. ජනගහනය පැත්තෙන් බැලුවොත් චීනය ලෝකයෙන්ම මුල් තැනට ආවත් පාර්භෝජනය අතින් එක් ඇමරිකානුවෙක් චීනුන් දොළොස් දෙනෙකුට වග කියනවා. ඔහු තවදුරටත් මෙසේ ද පැවසුවා. ලෝක සංවර්ධන කටයුතු සිදුකරන අතරම පරිසර ආරක්ෂණ කටයුතු සිදු කිරිමත් හරියට හාවුන් සමග දුවන අතරම බල්ලොත් සමග දඩයම් කරනවා වගේ වැඩක්.
අනිත් අතින් ගෝලීය උණුසුම කියන ප්‍රශ්ණයේදී කියෝතෝ ප්‍රඥප්තිය අදටත් සාකච්ඡාවට ගැනෙනවා. එතැනදී ගත්ත වැදගත්ම තීරණය තමයි චීන ජනාධිපතිවරයා සහ ඇමරිකන් ජනාධිපතිවරයා මේ අවුරුද්දේදී කළ ප්‍රකාශයන්ට ඇතුළත් වෙන්නේ. ඒ තමයි ලෝකයට මුදා හැරෙන විෂ වායු අවම කරගත යුතුයි කියන එකගතාවය. කොහොම වුණත් කියෝතෝ එකගතාවයේ ප්‍රතිඵලයක් තමයි අන්තර් රාජ්‍ය උපදේශන කමිටුව. එම කමිටුව ඒ දවස්වලම පෙන්වා දුන්නා ගෝලීය උණුසුම තවත් සෙන්ටිග්‍රේඩ් 2 කින් ඉහළ ගියහොත් ඉදිරි කාලය දීර්ග නියගයන් පිට පිටම ඇතිවන කුණාටු තත්ත්වයන් ඇතිවන ආකාරයේ විපරීත කාලගුණික විපර්යාසවලට මුහුණ පාන්නට සිදුවීම නොවැළැක්විය හැකියි කියලා.
මේ කමිටුව වාර්ෂිකව රැස් වෙන අතර ඒ ගැන විමර්ශණය කිරීම්ද සිදු වෙනවා. ඒ රැස්වීම් හදුන්වන්නේ පාර්ශවකරුවන්ගේ රැස්වීම් කියළයි. එතකොට මේ පාර්ශවකරුවන් අතර කණ්ඩායම් කීපයක් සිටිනවා. චීනයත් සමග අපේ රට අයත් වන්නේ G 77 කියන කණ්ඩායමට. යුරෝපා සංගමය වෙනම කණ්ඩායමක්. Umbrella Group කියන්නේ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තර, නෝර්වේ මෙන්ම අයිස්ලන්තය අයිති කණ්ඩායමට යි.

මේ දේශගුණික විපර්යාස නිසා බරපතල අවදානමකට ලක්වෙන කුඩා දූපත් (සංවර්ධනය වෙමින් පවතින) අයත් වෙන්නේ වෙනම කණ්ඩායමකට. එතැන තියෙනවා රටවල් 42 ක්.
මේ අතර තවත් රටවල් 62 ක් තියෙනවා. ණය බරින් පීඩිත වුණ දරිද්‍රතාවයෙන් හෙම්බත්වුණ රටවල් සමූහයක් තමයි ඒ 62 ක් වූ රටවල් අතරට අයත් වෙන්නේ.
උපදේශක කමිටුව යුරෝපා කණ්ඩායමටත් විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා, 2020 වන විට තමන් විසින් නිකුත් කරනු ලබන විෂ වායු සංචිතය 20% කින් අඩු කළ යුතුයි කියළා.  මේ අනුව මෙවර ජගත් සමුළුවේදී චීනයත් ඇමරිකා එක්සත් ජනපදයත් ප්‍රතිචාර දැක්වූයේ අන්න ඒ නියෝගයටය කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒක යහපත් ප්‍රතිචාරයක් වන්නේත් ඒ නිසයි.

සටහන - මොහාන් ශ්‍රියන්ත