Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: විශේෂාංග මහපොළවේ හෙට දවස පළතුරු ගසෙහිම පුපුරන තත්ත්වයක්

පළතුරු ගසෙහිම පුපුරන තත්ත්වයක්

නිසි කලට වැසි වැටුණ ඒ කාලය අවසන් වූවා ද? එහෙම නැත්නම් අවසන් වෙමින් පවතින්නේද? එය ප්‍රශ්නයක්. සාමාන්‍ය ප්‍රශ්නයකටත් වඩා සමස්ත ලෝකයේම පැවැත්ම පිළිබද ප්‍රශ්නයක්.

මිහිතලය උණුසුම් වීම, අද මේ ගැන නොදන්නා අයෙක් නැති තරම්. එහෙත් ඒ නිසා සිදුවිය හැකි පාරිසරික සහ මානුෂික විපාක ගැනනම් තවමත් කවුරුත් හරියට දැනුවත් වෙලා නැති තරම්.

ලෝක මට්ටමේ පාරිසරික නිරීක්ෂණ වාර්තාවලට මිහිතලයේ උණුසුම දිගින් දිගටම ඉහළ යෑම තුළ බෝගවල ආයුකාලයද කෙටි වෙන්නට පටන් ගන්නවා. ප්‍රශස්ත බෝග ඵලදාවක් ලැබීමේ ඉඩ ප්‍රස්ථාවද ලෝකයට අහිමි වෙමින් පවතිනවා. එයට හේතුව වශයෙන් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලබන්නේ වායු ගෝලයේ කාබන්‍ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම නිසා බෝගවලට අවශෝෂණය විය යුතු නයිට්‍රජන්, යකඩ, තුත්තනායගම් වැනි පෝෂණීය සාධක බෝග වෙතින් ලබා ගැනීමේ අවස්ථාවද අඩු වෙමින් පවතින බවයි. වෙනත් ලෙසකට කියනවා නම් බෝග වල පෝෂණ ගුණය අධි කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රතාවය විසින් අවම කරනු ලබනවා.

අනිත් කාරණය තමයි පළතුරුවල හට ගන්නා පිපිරීම් සහිත තත්ත්වය. මුලදී මෙය හදුනාගත නොහැකි තත්ත්වයක් වශයෙන් කා තුළත් ඇති කළේ කුතුහලයක්. නමුත් පසුව නිකුත් වූ නිරීක්ෂණ වාර්තා පෙන්වා දුන්නේ පළතුරුවල ස්වභාවික තෙතමනය අධි උණුසුමට අසු වී වාෂ්ප වීම මත මේ ආකාරයෙන් ඇතැම් පළතුරු වර්ග වියලී පුපුරා යන බවයි. තවත් හේතුවක් වන්නේ කාල නියමයකින් තොරව ඇති වන වැසි තත්ත්වයයි. මේ අනුව එක දිගට පවතින නියං කාලවලදී එකපාරටම වැසි ඇද වැටෙන හදිසි කාලගුණ විපර්යාස දැන් ලොව තුළ නිර්මාණය වෙලා තියෙනවා. මේ නිසාත් අර කී ආකාරයට පලතුරු පිපිරී යන තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් බවයි විද්‍යාඥයන්ගේ මතය.

මෙසේ බලන විට වායුගෝලය තුළ කැකෑරෙන අධික උෂ්ණත්වය, අඩු ආර්ද්‍රතාව, ඌණ වර්ෂාපතනය, පස අභ්‍යන්තරයේ සිදුවන ක්ෂණික විපර්යාස යන මේ කාරණාවල අවසාන ඓක්‍යය ඇතැම් පළතුරු විශේෂ ගස්වල තිබියදීම පිපිරී යාම.

සුළග පවා අද කාලීන නෑ. අදාල සුළං මාරුත බහුලයි. අද අපි ගත කරන්නේ ස්වභාව ධර්මය විරූප වූ සමයක. ඒ අනුව අකාලයේ හමන සුළං ප්‍රවාහ නිසාද පළතුරුවල ස්වාභාවික තෙතමනය වාෂ්ප වෙනවා. පසුව එහි පොත්ත ඝන වෙනවා. එහි තිබිය යුතු නම්‍යශීලී ගතිය නැති වෙනවා. එහිම ප්‍රතිඵලය තමයි ඵලය පිපිරී යාම.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ආපදා විපත් නිසා ලොව පුරා මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසක් පමණ වෙනවා. ඉනුත් හරි අඩක්ම වාගේ අයත් වන්නේ ආසියා පැසිෆික් කලාපයට යි. ඒ වගේම ශ්වසන අබාධ, මදුරු ගහණය වැඩි වීම, ඒ නිසා ඇතිවෙන බෝවෙන රෝග වසංගත, ජලය දූෂණය නිසා ඇතිවන රෝග, ගංවතුර ආපදා මෙන්ම මන්ද පෝෂණය වශයෙන් ආසියානු ජනතාවට එල්ලකර ඇති තර්ජන සුළුපටු නෑ.

පැපුවා නිව්ගිනියා කියන්නේ මුහුදු මට්ටමේ සිට බොහෝ උසින් පිහිටා ඇති ප්‍රදේශයක්. ඒ නිසා අධික ශිත කාලගුණයක් එහි පැවැතුණ අතර ඒ නිසාම කිසිදාක මදුරුවන් බෝ නොවූ ප්‍රදේශයක් වශයෙනුයි මෙතෙක් වාර්තා වුණේ. ඒත් අද තත්ත්වය වෙනස්. අද පැපුවා නිව්ගිනියා කියන්නේ මැලේරියා ආදී මදුරු වසංගත බහුල රටක්. වසංගත රෝග ව්‍යාප්ත වන කාලයක්. අනිත් අතින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතැනදීත් පෙන්වා දෙන්නේ මදුරු ගහණය ඉහළ යාම නිසා ඇතිවන වසංගත රෝග වැඩිම බලපෑමක් කරනු ඇත්තේ ද ආසියානු කලාපයට බවයි. මෙසේ බලන විට අප හමුවේ පවතින්නේ රෝග කාරක බහුල අනාගතයක්.

අන්ධභාවය. එහි තේරුම එදාට වඩා අද මිනිසුන් වැඩියෙන් අන්ධ වෙන බවයි. එහෙම වෙන්නේ ඇසේ සුද මතුවීමේ තත්ත්වය බහුල වීම නිසා. සූර්යයාගේ පාර ජම්බුල කිරණ මිනිස් ඇස් සමග කරන ගනුදෙනුවක නියත ප්‍රතිඵලය,  ඒ තමයි ඇසේ සුද. මේ අතර ඇමරිකාවේ පර්යේෂණ වාර්තාවලට අනුව ඇසේ සුද විතරක් නොවෙයි, පවතින ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ පරිසරය තුළ කැසීම, කුෂ්ඨ වැනි චර්ම රෝග ඒ වගේම ඇදුම වැනි මිනිසුන්ට ඉතා අහිතකර අන්දමින් බලපාන අසාත්මිකතාවයන් හැරුණම දිලීර ආසාදනයන් ද ඉදිරි අනාගතයේදී මානව සමාජය දැඩි පීඩනයකට ලක් කරන ලකුණු තියෙනවා.

ඊළගට ගෝලීය උණුසුම ක්‍රමයෙන් ඉහළ යාම තුළ ජලයේ ක්ෂුද්‍ර ජීවී ගහනයේද වැඩිවීමක් අපේක්ෂා කළ හැකි යැයි ද පෙන්වා දී තිබෙනවා. සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් 1/3 ක් ම ජීවත් වන්නේ ජලය අර්බුදයක්ව ඇති රටවලයි. අනිත් අතින් 1990 වර්ෂයේ සිටම සෑම ශත වර්ෂයකදීම ජල පරිභෝජනය සියයට 20 කින් වත් ඉහළ යමින් තිබෙනවා. ලේක ජනගහනයෙන් මිලියන 1 ක් වත් පිරිසිදු ජලය පානය කිරීමට අවස්ථාවක් නොලබමින් ජීවත් වෙනවා. තවත් මිලියන 206 ක් වූ ජනතාවක් සනීපාරක්ෂක පහසුකම් වලින් තොරව ජීවත් වෙනවා. ඔවුන් පානය කරන්නේ දැඩි ලෙසින්ම අපවිත්‍ර වූ ජලය වීම ඒ ඛේදවාචකයේම එන තවත් පැත්තක්.

මේ වනාහි ගෝලීය උණුසුම ඉහළයාම නම් සමස්ත ලෝක පාරිසරික අර්බුදය තුළම ඇති අනුවේදනීය තත්ත්ව කිහිපයක් වුණත් ඉන් ලෝකයට ඇතිවිය හැකි බලපෑම කොයි ආකාරයෙන්වත් අවම තත්ත්වයක් වශයෙන් විග්‍රහ කරන්නට අපට පුළුවන් කමක් නැහැ.