ලෝකය, අද එකම කසල ගොඩක් වීමේ බිහිසුනු තර්ජනය ගැන තවමත් අපි නිසි අවධානයක් යොමු කරලා නෑ. මේ අතරිනුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අතිශයින්ම බිහිසුණු යි. මෙයට හේතුව මෙම ද්‍රව්‍ය ජීව විද්‍යාත්මකව ක්ෂය නොවෙයි. එමෙන්ම ඒ මගින් නිරන්තරයෙන්ම විෂ රසායනික නිකුත් කෙරෙයි.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අදටත් මුළුමනින්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියා පිලිවෙතක් සොයාගෙන නෑ. වෙනත් ලෙසකට කියනවා නම් අදටත් මේ අතරින් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙන්නේ සියයට 25 ක් විතරයි. ඉතිරි සියයට 75 ම බැහැර කෙරෙන්නේ පරිත්‍යාග සහ ආධාර වශයෙන් සංවර්ධනය වන රටවල් විසින් තුන්වන ලෝකයේ රටවලට පිටත් කර හරිනු ලබනවා.
මෙම තුන්වෙනි ලෝකයේ රටවල් කොයි ආකාරයෙන්වත් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේලා දියුණු ක්‍රමවේද ඇති රටවල් නොවේ. ඒ නිසා ඒ රටවලට සිදු වෙනවා තමන්ගේ රටවල් තුළ මේ කසල ගොඩ ගසාගන්න. සංවර්ධනය වූ රටවල් ද මේ ගැන නොදන්නවා නොවෙයි. ඔවුන්ට අවශ්‍යයයි තමන්ගේ රටවලින් මේ කුණුගොඩ ඉවත් කරගන්න. එහෙම වුණත් ඒ දේත් හරියට පැස්බරා සිය හිස වැල්ලේ සගවාගෙන සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා වගේ වැඩක්. පරිසර විද්‍යාවේ එන සමනල තටු න්‍යායට අනුව, මේ ලෝකයේ කොහේ හෝ තැනක සිට සමනලයෙක් තටු ගැසුවොත් ඒ බව මුළු ලොවටම දැනෙනවා. ඒ අනුව සංවර්ධනය වූ රටවල් තමන්ගේ ඉලෙක්ට්‍රොනික කසල ලෝකයේ කොයි මුල්ලක ගොඩ ගැසුවත් එහි ප්‍රතිවිපාක වලින් ගැලවෙන්න ඔවුන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. අනිත් අතින් ඔවුන් මේ පරිත්‍යාග කරන තෙවෙනි ලොව රටවල් අතරට අපේ රටත් අයිතියි. ඒ අනුව මේ බිහිසුණු අපද්‍රව්‍ය ඉරණමට අපේ සූදානම ගැන සෑහීමකට පත් වෙන්න අපට පුළුවන්ද?
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කඩා බිද දැමීමට නොදියුණු රටවල වැසියන් බොහෝ දුරට යොමු වී සිටිනවා. ඒ ඔවුන්ගේ නොදන්නකම. ඒවා එසේ කඩා බිද දැමීමෙන් ඒවායේ අන්තර්ගත ප්ලැටිනම්, රිදී, රත්‍රන්, ලබාගන්න ඔවුන් සමත් වෙනවා. නමුත් ඒත් සමගම ඒවායින් වායු ගෝලයට නිදහස් වෙන විෂ රසායන සදහා සමස්ත ජන සමාජයම ගොදුරු වෙනවාය කියන කාරණය ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නෑ.
නිදර්ශනයක් ලෙස එසේ කඩා බිද දැමෙන පරිගණකයක් නිසා පරිසරයට එකතු වෙන රසායනික විශේෂ ගණන 40 කටත් වැඩි යැයි සොයාගෙන තිබෙනවා. පරිගණකයක ඇති ඊයම් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2 කට ත් වැඩියි. ඊයම් රසායනිකයක් වශයෙන් මිනිස් ශරීරයට අතිශයින් ම විෂ සහිතයි. මිනිස් රුධිරය ලීටර් 1 කට ඊයම් මයික්‍රො ග්‍රෑම් 6 කට වඩා අන්තර්ගත වෙයි නම් උපදින දරුවන් මන්ද බුද්ධික වීමේ ප්‍රවණතාවය වැඩියි.
ඒ විතරක් නෙවෙයි මිනිසා ඇතුළු ජෛව ප්‍රජාවට මරණීය ප්‍රතිඵල අත්කර දීමට සමත් ආසනික්, කැඩ්මියම්, ඇන්ටිමනි, බේරලියම්, සෙලිනියම්, ක්‍රෝමියම්, කොබෝල්ට් රස දිය ආදිය ද මේ නිසා අප අවට පරිසරයට එකතු වෙනවා. මෙය එක් අතකට පාරිසරික ප්‍රශ්නයක්. අනිත් අතින් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක්. නමුත් මේ පිළිබදව සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ අතර සාකච්ඡාවක් කෙසේ වෙතත් සාමාන්‍ය කථාබහක්වත් ඇතිවෙලා තියෙනවා යැයි අපි නම් සිතන්නේ නෑ.
මේ අතර එකතු වී තිබෙන සහ දිනෙන් දිනම විශාල වශයෙන් එකතු වෙන බිහිසුනු අපද්‍රව්‍යයක් වශයෙන් ජංගම දුරකථනයත් අවධානයට යොමු වී තිබෙනවා. එය නිර්මාණය කෙරෙන්නේ ම රසායනික ද්‍රව්‍ය සහ දිරා නොයන ද්‍රව්‍ය වලින්. මෙහිදී විශේෂයෙන් ම මතක තබාගත යුතුයි. මේ පිළබදව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් නිව්යෝක් ටයිම් පුවත්පත පවසන අන්දමට දිනෙන් දින ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් මිනිසා දිනෙන් දින තමන් සදහා අනාගත විනාශයක් නිර්මාණය කරගනිමින් සිටිනවා. මේ අනුව අද ලෝකයේ ජංගම දුරකථන භාවිතා කරන්නන් ගේ සංඛ්‍යාව ගණන් කළ යුත්තේ බිලියන ගණනින් වුවත් එය භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකිබව දන්නේ මේ අතරින් සියයට 10 ක් තරම් පිරිසක් විය යුතුයි. තොරතුරු තාක්ෂණයේ ඉහළම තලයකට ඇවිත් ඇතැයි පැවසෙන ලෝකය තොරතුරු දැනුම අතින් සිටින දුර්වල ස්ථානය ගැන කියන්නත් එයම හොද උදාහාරණයක්. මෙහිදී ඔබ දැනගත යුතුයි. මේ වන විට භාවිතයෙන් ඉවත්කළ ජංගම දුරකථන මිලියන 500 ක් තරම් සංඛ්‍යාවක් විනාශ කිරීම සදහා නියමිතව තිබෙනවාය යන කාරණය. එහි සම්පූර්ණ බර ප්‍රමාණය ටොන් දෙලක්ෂ පනස් දහසක්. විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට මෙහි බරපතලම ප්‍රශ්නය වී තිබෙන්නේ ඒ නිසා එකතු වෙන ප්ලාස්ටික් නොව විෂ රසායනික අපද්‍රව්‍ය යයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන අන්දමට මෙවැනි එක් දුරකථනයක ඇති බැටරියක අඩංගු කැඩ්මියම් නම් ලෝහයෙන් ජලය ගැලුම් ලක්ෂයක් පමණ දූෂණය කළ හැකියි. අප පැහැදිලිවම දන්නවා කැඩ්මියම් මිනිස් වකුගඩු බරපතල ලෙසින් හානියට පක් කරනවා. අනික රසදිය විශාල වශයේන පරිසරයට මුදා හැරෙන මෙම බර ලෝහය කොයි ආකාරයන්වත් මිනිස් සිරුරුවලට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම එය මොළයට බලපානවා.
මේ අනුව අද අප වෙසෙන මේ විද්‍යුත් ලෝකය හෙට දින සමස්ත මානව සංහතියට මරණීය විනාශයට ඇද දමන තත්ත්වයක් නිර්මාණය කළොත්....? ඔබ කරන්නේ කුමක්ද?
මොහාන් ශ්‍රියන්ත ආරියවංශ


