ඊශ්‍රායලය මැද පෙරදිග සාම ක්‍රියාදාමයෙන් ඉවත් වේද? චීනය සහ ඉන්දියාව දෙරටේ දේශසීමා පිළිබද අරවුලක් ඇතිවේද? පකිස්තානයේ සිදුවෙන තලිබාන් ත්‍රස්තවාදීන් සහ හමුදා අතර සටන් උග්‍රවෙයිද? අප්‍රිකාවේ රටවල් කීපයක පවතින දරුණු නියගය නිසා නිරාහාරව සිටින වැසියන්ට ආධාර දීමට මුදල් නොමැතිකම නියගය තරම්ම උග්‍රවෙයිද? මේ අද දවසේදී ලෝකය මුහුණ දී සිටින ගැටලුය.
ගෝලීය උෂ්ණත්වය නිසා ඇති වී තිබෙන ප්‍රශ්නවලට විසදුම් සෙවීම සදහා දෙසැම්බර් මාසයේදී කෝපන්ගේටන් නගරයේ පැවැත්වීමට නියමිත සම්මේලනය සාර්ථක කර ගැනීමට විශාල උනන්දුවක් ලොවපුරාම දකින්නට තිබේ.
දේශපාලන න්‍යාය ධර්ම දෙස බලන විට දියුණු රටවල ඡන්දදායකයින් සමාජවාදී ආකල්පවලට වඩා දක්ෂිණාංශික අදහස් කෙරෙහි උනන්දුවක් දක්වන බව පසුගිය අවුරුදු දෙක තුන තුල පැවති මැතිවරණ වලින් පෙනී යයි.
පවතින ක්‍රම වෙනස් කර ගැනීමට දරණ උත්සාහයක් සමහර රටවලින් පෙන්නුම් කෙරේ.
මෙතෙක් ලෝකයේ කටයුතු මෙහෙයවන ලද්දේ දියුණු වූ ධනවාදී රටවල අපේක්ෂාවන් අනුවය. ඒ තත්ත්වය දැන් වෙනස් වෙමින් පවතී. ඊට හේතුව ඇත්තේ දියුණුවෙමින් පවතින රටවල් කීපයක් තීරණ ගන්නා කණ්ඩායමට ඇතුල් වී ඇති නිසාය. ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ රුසියාව මෙසේ පෙරට පැමිණි රටවල් කීපයකි.
මැද පෙරදිග ගාසා තීරයේ පදිංචි පලස්තීනුවන් මෙල්ල කිරීම සදහා පසුගිය ජනවාරි මාසයේදී ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කළ අවස්ථාවේදී ඊශ්‍රායල හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවට එක්සත් ජාතීන්ගේ මාන හිමිකම් කාරක සභාවට ලැබුන වාර්තාවක් පසුගියදා සම්මත විය. මෙම වාර්තාව එක්සත් ජාතීන් විසින් සම්මත කිරිමට නියමිත අතර ඒ අවස්ථාවේදී යුරෝපීය රටවල් ඊශ්‍රායලය වෙනුවෙන් ඡන්දය නොදුනහොත් සාම සාකච්ඡාවලින් ඉවත් වෙන බව ඊශ්‍රායලය කියා සිටී.
මෙම වාර්තාව සකස් කර ඇත්තේ දකුණු අප්‍රිකානු නීතිවේදී රිචඩ් ග්ලැඩ්ස්ටන් විසින්ය. යුද අපරාධ කිරිම සම්බන්ධයෙන් මොහු පලස්තීනුවන්ටද චෝදනා එල්ලකර ඇත.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා මුළු ලොවම මුහුණදෙන තත්ත්වය ඉතාමත් දරුණු විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දී ඇත. ලෝක රාජ්‍ය නායක මට්ටමින්ද මෙම අර්බුදය ගැන විශාල උනන්දුවක් ඇති වී තිබේ. මෙම අර්බුදය මාලදිවයින් දූපත් කෙරෙහි බලපානු ඇති අන්දම කෙරෙහි ලෝකයේ අවධානය යොමු කිරිම සදහා එරට ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දියයට පැය භාගයක සාකච්ඡාවක් පැවැත්වීය. මුහුදු මට්ටමින් අඩි තුනක් උසැති මෙම දූපත් මුහුදු මට්ටමින් ඉහල ගිය හොත් සම්පූර්ණයෙන්ම යටවී යනු ඇත. කැබිනට් රැස්වීම් පවත්වනු ලැබුවේ අඩි 20 ක් යට මට්ටමක සිටය.
සටහන - දසත විත්ති විචාරක


