පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සුදානම් වීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව වාර්තා වේ. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, 70% ක් කොට්ඨාශ ක්‍රමයත්, 30% ක් සමානුපාතික ක්‍රමයත් මිශ්‍ර වු නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති හෙයින් කඩිනමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද කටයුතු යොදන බවයි.
නව පුවත්
බොරුවට ආයුෂ නැත
ගුණයහපත්කමින්, නුවණින් අඩු රූමත් තරුණියක් විවාහ වූ විට ගමේ ගොඩේ වැඩිහිටියන් පවසන්නේ මෙවැන්නකි.
“පව් අහිංසකයා. පිට පොත්තට රැවටිලා” කියාය. පිට පොත්ත යනු ඇයගේ මතුපිට ස්වරූපයයි. පාට කෙතරම් සුන්දර වුවද, ඇයගේ අභ්‍යන්තරය සුන්දර නොවේ. කොතරම් තිත්ත වුවද සත්‍යය එයයි.
දැන් අපේ සමාජයද එවැනි යැයි සිතේ. එලෙස සිතෙන්නේ ඇයි?
අපේ රටේ දේශපාලකයින් යැයි කියා ගන්නා පිරිස අද අපට පෙන්වන්නේ කුමක්ද? “අපේ රට හෙට සුරපුරයක් ලෙසය” තවත් පැහැදිලිව කීවොත් එය මෙලෙසය.
අද අපේ රටේ කිසිම ආර්ථික ප්‍රශ්ණයක්, රැකියා ප්‍රශ්ණයක් නැත. රට උපයන ආදායම, රටට ලැබෙන ආධාර සමානවම බෙදී යයි. වෘත්තිකයන්ට ගැටළු නැත. සෞඛ්‍ය අංශයේ ගැටළු නැත. අධ්‍යාපනය නිරවුල්ය. නිවැරදිය. සාහිත්‍ය, කලාව ඉතා ඉහළ මට්ටමක පවතී. දියුණු කෘෂිකර්මාන්තයක් ඇත. ජනතාව කිසිදු අපහසුවකින් තොරව තුන්වේලම හොදින් කා බී සතුටින් සැපෙන් ජීවත්වෙයි. සමාජ සාධාරණකම් ඉහළය. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්නට, කියන්නට හැකිය. කිසිවකු පැහැරගන්නේ නැත. මරා දමන්නේ නැත. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි. විනය ඉතා ඉහළය. ඉදින් මෙවන් රටක් ලෝකයේ කොහේ නම් ඇතිද?
මේ සියළු කාරණා අද මැතිවරණ වේදිකාවල සජීවීකරණය වෙයි.
එහෙත් මේ සියල්ල යටින් ඇති සමාජය දෙස මදක් බැලීමට හැකිනම් මේ සියල්ල ප්‍රෝඩාකාරී මවාපෑම් බව මොනවට පැහැදිලි වනු ඇත. අද මෙරට නීතිය බිදවැටී ඇත. බොරුව හා රගපෑම සාර්ථකව සිදුවෙමින් පවතී. ප්‍රතිපත්ති නැත. පැලැස්තර ඇත. ඒ නිසා ගැටළු වලට විසදුම් අවශ්‍ය නැත. සාහිත්‍ය, කලාව බොහෝ ලාභ වී ඇත. අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් පවතින්නේ අතිශයින් අභියෝගකාරී තත්ත්වයකය. සමාජය පුරා පැතිර ඇති අසහනයන් පිටවන්නේ විවිධාකාර ස්වභාවයෙනි.
විවිධ දේශපාලන පක්ෂ, දේශපාලකයින් විසින් මවන ලෝකය, සමාජය සුන්දරය. එවන් සුන්දර සමාජයක් අපේ රටේ නිර්මාණය වේයැයි අපිද බලාපොරොත්තු වෙමු. එහෙත් මේ ප්‍රෝඩාකාරී රැවටිල්ල තුල එවන් බලාපොරොත්තුවක් තබා ගැනීමද සුදුසු නොවේ. ඔවුන් කියන බොහෝ දේ තුල ඇති බොරුව මතු දිනක නිරාවරණය වනු ඇත.
ඇමරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වන ඒබ්‍රහම් ලින්කන් මහතා මෙවැන්නක් පවසා ඇත. “ජනතාව රැවටිය හැක්කේ එක් වතාවක් පමණි. හැමදාම හැමවිටම රැවටිය නොහැක”
එය සැබෑවකි. බොරුවට ආයුෂ නැත.
යහ දේශපාලනයක ආරම්භයක්
නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කරනු ලබන පෝස්ටර් කටවුට් වැනි ප්‍රචාරක විධි පිළිබද පසුගිය සති කීපය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය. මේ රටේ නීතිය කිසි සැකක්, භයක්, ලැජ්ජාවක්, නොමැතිව මහා පරිමානික තලයක උල්ලංඝනය වූ අවස්ථාවක් මේ රටේ මීට පෙර දකින්නට නොලැබුන බව සෑම පුරවැසියෙකුම දන්නා කරුණකි. මේ මහා “නීති ඝාතනය” මේ රටේ අනාගතය වෙනුවෙන් සිදුවීම ඛේදවාචයකි. මේ “නීති ඝාතනය” මේ රටේ අනාගත පාලකයින් විසින් කරනු ලැබීම බියකරු අත්දැකීමකි. රටේ අනාගතය බියකරු අනාගතයක් වනු ඇති බවට කෙරෙන මහා ඉගියක්ද?
සාමාන්‍ය බුද්ධිය ඇත්තාවු සෑම කෙනෙක්ම අසනු ඇති ප්‍රශ්නය නම් මේ රට අවිචාරවත් සමයකට පත්වූයේ ඇයිද යන්නයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවේ සිට මේ රටේ නීතියත් විසුරුවා හරිනු ලැබුවේද? නීතිය විසුරුවා හැර දේශපාලන පැලැන්තියට තමන්ට රිසි පරිදි හැසිරෙන්නට ඉඩ සළසා දෙනු ලැබුවේ ඔවුන්ගේ බලය රජ කරවන යුගයක් ආරම්භ කිරීමටදැයි කෙනෙකු අසන්නට පුළුවන.
අවුරුදු ගණනාවක් ඇමති පදවි හොබවන ලද ඇමතිවරුන්ගේ අති විශාල පෝස්ටර් කටවුට් මාර්ග දෙපස අලවා ඇත. සවිකොට ඇත. ඇමතිවරුන් නොයෙකුත් පාඨවලින් තමාගේ චරිත ලක්ෂණ විදහා පා ඇත. මෙලෙස නොයෙකුත් පාඨවලින්, සිංහල භාෂාවේ ඇති අති උත්තම වචන වලින් තමන් කවුදැයි පෙන්වා දීමට උත්සාහ දරා ඇත. මේ තත්ත්වය තුලින් මතුවන අතිශය ඛේදජනක ප්‍රශ්නයක් වෙයි. රටේ ජනතාවගේ යහපත උදෙසා අවුරුදු ගණනාවක් ඇමති පදවිවල කටයුතු කළ අමැතිවරුන්ට ප්‍රදර්ශනය කළ හැකි එකම එක කරුණ නම් තමා ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවරයයි. තමන් කළ සේවයයි. එසේ නොමැතිව අතිවිශාල මුදලක් වැයකොට අතිවිශාල කටවුට් වලින් මාර්ග දෙපස සැරසීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? සියළුම මිනිස් ගුණවලින් පිරිපුන් වූ දේශපාලනඥයෙක්යයි ප්‍රකාශ කර සිටින්නේ තමන් කළ සේවයක් නැති නිසාද? ඇමතිවරයෙක් ලෙස තමා ඉටුකළ සේවය මෙය යයි කියා පෑම වෙනුවට තමන්ගේ චරිත ලක්ෂණ මේවායයි ප්‍රදර්ශනය කිරීමට දරණ උත්සාහය ලැජ්ජා නැති පුද්ගලයෙකුගේ ව්‍යායාමයක් ලෙස සැළකිය යුතු වන්නේය. අවුරුදු හයක් ඇමති පදවියක් හොබවා ඉන්පසු ඡනදදායකයා වෙනුවෙන් කළ සේවය වෙනුවට ලස්සන පාඨයක් සමග ප්‍රිය ජනක විශාල වර්ණවත් පිංතූරයක් ජනතාවට ඉදිරිපත් කරන දේශපාලන ක්‍රමයෙන් රටේ ඡන්දදායකයා ඉවත් විය යුතුය. ඒ සදහා කාලයද පැමිණ තිබේ.
මෙම ඛේදජනක දේශපාලනය තුරන් කළ යුතු බවට මේ රටේ පුවත්පත් කතුවරු ලියා ඇති කතුවැකි එමටය. මෙම තත්ත්වය පිළිබද මේ රටේ පුවත්පත් අවබෝධ කරගත යුතුව තිබුණේ පසුගිය ජනාධිපතිවරණය පැවති කාලයේදීය. ප්‍රමාද වී හෝ මේ අශෝභන දේශපාලනය වෙනුවට යහපත් දේශපාලනයක් ඇතිකිරීමට ඔවුන‍්දෙන සහයෝගය අගේ කළ යුතුය.
මෙහිදී සදහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භවීමට පෙර පෝස්ටර් හෝ කටවුට් තම ව්‍යාපාරයෙන් ඉවත් කර ඇති අතර මේ අංශවලින් තොර දේශපාලනයක් කරන බවට ප්‍රතිඥා දුන් අමැතිවරු කිහිප දෙනෙක් විය. නමුත් සමහරු ප්‍රතිඥාව අමතක කර ඇති බව දැකිය හැකිය. මෙලෙස ප්‍රතිඥා දුන් ඇමතිවරුන්ගෙන් එක් අයෙකි අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ ඇමති මිලින්ද මොරගොඩමහතා. ඔහු එදා දුන් ප්‍රතිඥාව මත පදනම් වී තම ඡන්ද ව්‍යාපාරය ගෙන යන බව පෙනේ. මෙම ආදර්ශමත් පියවර මේ රටේ දේශපාලනය වෙනස් කිරීමේ ආරම්භය ලෙස සැළකීමට පුළුවන. තනිවම මොරගොඩ මහතා මෙරට දේශපාලනයට හදුන්වා දෙන මෙම පියවර අගේ කරන බුද්ධිමත් ජනතාව ඔහුට සහයෝගය දීමට ඉදිරිපත් වී ඇති බව පෙනේ.
2010 මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය 4,846,388 60.33% 144
එක්සත් ජාතික පෙරමුණ 2,357,057 29.34% 60
ඉලංකෙයි තමිල් අරසු කච්චි 233,190 2.90% 14
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ 441,251 5.491% 07
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය 59,784 42.78% 2
එක්සත් ජාතික පෙරමුණ 39,691 28.40% 1
ඉලංකෙයි තමිල් අරසු කච්චි 33,268 23.81% 1
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය 339,819 60.77% 8
එක්සත් ජාතික පෙරමුණ 192,798 34.48% 4
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය 23,728 4.241% 0
වැඩිහිටියන්ට සම්භාවනීය තත්ත්වයක්
මේ මැතිවරණ සමයයි. දේශපාලනඥයන්ට නැවතත් ජනතාව මතක් වී තිබේ. ඔවුන් ජනතාව අතරට පැමිණ සිටී. ඔවුන්ගේ මුහුණු පුරා සුන්දර සිනාවන්ය. කටපුරා හිතවත් කතාබහය. ඔවුන්ගේ මුවින් පිටවන සෑම වදනක්ම ආදරයෙන්, කරුණාවෙන් පිරී ඉතිරී යයි. පොරොන්දු ගලා එයි. මුළු රටම එකම ඝෝෂාවකි. ගාලගෝට්ටියකි. ඔවුන්ගේ මේ ගාල ගෝට්ටිය අපේ රටට නුහුරු නුපුරුදු නොවේ. බහුතරයක් නිහඩව සිටිද්දී සුළුතරයක් කෑ ගසා මොනතරම් දේ කීවද ඒ කියන දේ කොතෙක් බහුතරයට ප්‍රයෝජනවත්දැයි සිතා බැලිය යුතුය.
කෙසේවුවද රටේ ජනතාවගේ ගෞරවය පිළිබද හැගීමකින් කටයුතු කරන දේශපාලකයින් අතලොස්සක් අප රටේ සිටීම සතුටට කරුණකි. ඒ කීපදෙනා අතර මිලින්ද මොරගොඩ ඇමතිතුමා මට පෙනෙන්නේ සුවිශේෂී පුද්ගලයෙකු ලෙසටයි. එයට හේතුව අන් කිසිවක් නොවේ. දුරදක්නා නුවණ කැටිකොටගත් එතුමාගේ අදහස්ය.
එතුමා විසින් ඉරිදා දිවයින පුවත්පතට සපයන කාලෝචිත ලිපි මාලාවේ මාගේ අවධානය බොහෝ සෙයින් ඇද ගැනීමට සමත් වූ ලිපියක් පසුගිය පුවත්පතක පලවිය. එහි ශීර්ෂපාඨය මෙපරදිය. “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවිය යුතු සම්භාවනීයත්වය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක්”.
මෙතෙක් දේශපාලකයෙකුගෙන් අසන්නට හෝ නොලැබුන කරුණක් නිසා පළමුව මා වික්ෂිප්තභාවයට පත්විය. මේ වික්ෂිප්තභාවය නිසාම එම සටහන කියවා බලන්නට මට සිත්විය. එතුමා විසින් අමුණා තිබූ වටිනා අදහස් ගොන්නට තවත් කරුණු කීපයක් එක් කිරීම මගේ මේ සටහනේ අරමුණයි.
රටක වැඩිහිට ජනගහනය ඉහළ යෑම සැබැවින්ම ගැටළුවකි. එය සෘජුවම එරටෙහි ආර්ථිකයට, සමාජයීය කාරණාවන්ට බලපෑම් කරයි. රටක අඩු තරුණ පිරිසකට වැඩි වැඩිහිටියන් ප්‍රමාණයක් රැකබලා ගැනීමට සිදුවන්නේ නම් එය ගැටළුවකි. එහෙත් එම පිරිස රටට වැඩදායි ලෙස යොදා ගැනීමට හැකි බව මොරගොඩ මහතාගේ අදහසයි. ඔවුන් සතු දැනුම, ශ්‍රමය, කාලය සමාජයේ සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් ලබාගත හැකි බව එතුමාගේ අදහසයි.
මොරගොඩ මහතාගේ මෙම අදහසට තවත් කරුණක් එක් කල යුතුයැයි සිතේ. කිසිවෙකුගේ අවධානයට ලක් නොවන එහෙත් මහගු පල ප්‍රයෝජන ගත හැකි ඥාණ සම්භාරයකින් යුත් පිරිසක් හිදී. ඒ මෙරට විශ්‍රාමික ගොවි ජනතාවයි. ඔවුන් සතු පාරම්පරික ගොවි ඥාණය පිළිබද අපට කිසිසේත් සුළුකොට තැකිය හැකි නොවේ. කෘෂිකාර්මික රටක් වන අපේ රටේ කෘෂි කර්මාන්තය නංවාලීම සදහා මේ ඥානය පිටිවහලක් කරගත හැකිය. ඒ සදහා වඩා විධිමත් ක්‍රියාමාර්ගයන් සැලසිය යුතුව ඇත. එයින් එම ජනතාව ලබන සම්භාවනීයත්වය ඉමහත් වන අතර රටට අත්වන ලාභයද සුළුපටු නොවේ.
පරිගණක තාක්ෂණය සම්බන්ධ රැකියා සදහා වැඩිහිටි ජනතාව යොමුකල හැකිවුවත් එය ප්‍රායෝගික කාරණාවක් නොවන්නේ ග්‍රාමීයව ජීවත් වන වැඩිහිටියන් පිළිබද සිතද්දීය. එම නිසා ග්‍රාමීය වැඩිහිටි පිරිසගේ දැනුම, කාලය , හැකියාව නිසිපරිදි යොදා ගතහැකි සැලසුමක් මෙකී කරුණ යටතේ ක්‍රියාත්මක වන්නේ නම වටින්නේය.
පුද්ගලයෙකු වයසට යන්නේ නිකම්ම නොවේ. කාලයක් පුරා තමන් විසින් එක් කරගත් ජීවන අත්දැකීම් වලින් ජීවිතය පෝෂණය වෙමිනි. මේ අත්දැකීම් හා යම් යම් විෂයන් ගැන ලබන්නා වූ පරිණතභාවය ඒ පුද්ගලයන්ට වඩා වැදගත් වන්නේ සමාජයටය. සමාජයේ ගමන්මග වෙනස කරන බලවේගය වන්නට මේ අත්දැකීම් සමුදායන්ට හැකිය. මේ නිසා කිසිවිටෙකත් රටක වැඩිහිටි ජනගහනය ගැන සුළුවෙන් තැකිය හැකි නොවේ. ඔවුන්ගේ නියම ප්‍රතිඵලය රට විසින් ලබා ගත යුතුව ඇත. එසේ බලන කල මොරගොඩ මහතා විසින් කර ඇති යෝජනාව ඉතා වැදගත් එකකි.
වරකාපොල බණ්ඩාර
සමාජ පරිහානිය ගැන තවත් ඉගියක්
මීට දින කීපයකට පෙර ඇසුණු පුවතක් නිසා මුළු රටම කම්පාවට පත්විය. ඒ පුවත මෙසේය.
“කවුදෝ ගෑණියෙක් දරුවෙක් කළු ගඟට විසිකරලා.”
මේ ගැන ඇසූ බොහෝ දෙනෙක් මෙසේ කියනවා ඇසිණි.
“අම්මලද මුන්? හොදක් නම් වෙන්න එපා මේ වගේ ගෑණුන්ට.”
මේ සිදුවීම මෑතකදී අසන්නට දකින්නට ලැබුණ සිදුවීම් වලින් එකක් පමණි. මෙම සිදුවීමට අමතරව තවත් මෙවැනි සිදුවීම් ගණනාවක්ම අසන්නට ලැබුණි. දරුවෙකු කැලයට විසිකල මවක්, බඩඉරිඟු ගෝනියක දරුවකු හැංගූ මවක්, දරුවන් තිදෙනෙකු දමාගිය මවක් ආදී වශයෙන් එම සිදුවීම් පෙලගැස්විය හැකිය.
මුළු මහත් සමාජයම මේ කාන්තාවන්ට ඇඟිල්ල දිගු කරමින් හිදී. ඔවුන් දරු සෙනෙහස නොදැනෙන ගැහැණුන්ය. නපුරු ගැහැණුන්ය. යක්ෂණියන්ය. සමාජය පවසන්නේ එලෙසය.
“ඔවුන් වැරදිකාරියන්. ඔවුන් එල්ලුම්ගස් යැවිය යුතුයි.” තවත් අයෙක් එසේ පවසනවා ඇත.
සැබෑය. ඔවුන් වැරැද්දක් කර ඇත. මිනිසෙකු මැරීමද, මරණයට තැත්කිරීමද වරදකි. ඔවුන් ඒ වරද කොට හමාරය. මතුපිටින් බැලූ කල අපටත්, ඇතැම්විට නීතියටත් පෙනෙන කාරණාව එයයි.
එහෙත් මේ වරද තවත් දෙකොටසකට සමව බෙදී යායුතු බව ඔබට නොහැගේද?
ඉන් එක් කොටසක් වන්නේ මේ කාන්තාවන්ට උපන් දරුවන්ගේ පියවරුය. දරුවකු සාදාගැනීම කාන්තාවකට තනිව කල නොහැක්කකි. හුදෙක් දරුවන් හදන්නට පමණක් දන්නා මේ මිනිසුන් දරුවාගේ මුළු වගකීමම ගැහැණිය පිට පටවන්නට මැලි නොවෙති. ඒ මිනිසා කසිප්පු ගසයි. සූදු කෙලියි. තමාගේ සතුට ගැන පමණක් සිතයි. එපමණක් නොවේ ඇතැම් විට තමාගේ සල්ලාල ජීවිතය පවත්වාගෙන යන්නට මුදල් සැපයිය යුත්තේද බිරින්දෑවරුය. ඉහතින් කී බොහොමයක් කථා වල ආකෘතිය මෙපරිදිය. තම අවශ්‍යතාවය සපුරා ගන්නට පමණක් ගැහැණියක් සමග එක්වන පිරිමියෙකුට තමන්ට දාව උපන් දරුවා පිළිබද ඇතිවන වගකීම ගැහැණියකට ඇති අයිතියට සමාන නොවන්නේද?
පිරිමියෙකු විසින් දරුවන් සමග හුදකලා කරන ගැහැණියක මුහුණ දෙන සමාජයීය ගැටළු සුළුපටු නොවේ. එවන් ගැහැණියකට පිහිටවීමට මේ රටේ දේශපාලන නායකත්වය විසින් නිර්මාණය කල වැඩපිළිවෙලක් හෝ නැත. පවතින ආර්ථික යුද්ධයට ඇය තනිව මුහුණ දිය යුතුය. සමාජ ආකල්ප වල හා සමාජ අසාධාරණයන්හි අභියෝගවලට ඇය තනිව මුහුණ දිය යුතුය. හිතවත් නෑදෑ පිරිසක්, මිතුරු පිරිසක් ඇයට නොසිටින්නේනම්, නූගත්නම්, රැකියා විරහිතනම් සිදුවන හානිය දෙගුණ වෙයි.
අපේ සමාජය අද දැඩි පරිහානියකට පත්වෙමින් තිබේ. එක් අතකින් එය අප මුහුණදෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික පීඩනයේ අනිසි ප්‍රතිඵලයකි. ඉහතින් විස්තර කල ආකාරයේ සමාජ ගැටළු රැසක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. වර්තමාන ශ්‍ර්‍රී ලාංකික සමාජ බිදවැටීම පෙන්වන රතු එළි කිහිපයකි මේ සිදුවීම් දාමය.
මේ ගැන සොයා බලන්නට කෙනෙක් නැත. මෙවන් ගැටළු පිළිබද සංවේදී වෙමින්, ඒවා වඩාත් ගැඹුරින් විග්‍රහ කිරීමේ වගකීම මෙරට විශ්ව විද්‍යාල, ජනමාධ්‍ය භාරගත යුතුව ඇතත් එම ආයතන ද්විත්වයම තම කාර්යභාරය හරිහැටි සිදු නොකරන බවකි පෙනෙන්නේ. දේශපාලකයන්ට මෙවැනි සමාජ ගැටළු පෙනෙන්නේ නැත. ඔවුන්ට කරන්නට ඊට වඩා වැඩ රාජකාරී තිබේ.
වඩාත් හැගීම්බර සමාජ ව්‍යුහයක ජීවත් වන මේ රටේ බහුතරයක් පොදු මහ ජනතාව මෙවැනි ගැටළු දකින්නේ ඔවුන් විසින් දමා ගත් කණ්ණාඩි වල පැහැයෙනි. මේවා නිවැරදිව අර්ථකථනය කරන්නට හෝ එය සමාජ ගැටළුවක් ලෙස දකින්නට ඔවුන්ට හැකියාවක් නොමැත. මේ නිසා අවසානයේ සිදුවන්නේ මෙම සිදුවීම් වලට සම්බන්ධ කාන්තාවන්ම වරදකාරියන් වීමයි.
ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 55% ඉක්මවයි
මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 12ක් තෝරා ගැනෙන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 4 ක් තෝරා පත්කර ගැනේ.
මෙම දිස්ත්‍රික් දෙකෙහිම ප්‍රතිඵල මධ්‍යම රාත්‍රියට ප්‍රථම ලබාදීමට හැකියාව පවතින බව එම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් ප්‍රකාශ කරයි.
දේශප්‍රේමී දේශපාලනයේ ආරම්භයද?
මගේ මිත්‍රයා මැතිවරණ කීපයක් පසු කරපු කෙනෙක්. විවිධ නායකයින් මේ මැතිවරණ මෙහෙයවූවා. ඩඩ්ලි සේනානායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ජේ. ආර්. ජයවර්ධන මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ආර්. ප්‍රේමදාස මහතා, මහින්ද රාජපක්ෂ මහතා ඒ නායකයින්ගෙන් සමහරරෙක්. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, දොස්තර වික්‍රමසිංහ යන මහත්වරු එවැනි තවත් නායකයින් කීප දෙනෙක්.
සමාජවාදය, ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වැනි තේමාවන් ඒ මැතිවරණ වල දකින්නට ලැබුන නමුත් මගේ මිතුරා දැන් පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරයේ දකින ලක්ෂණයක් ඒ මැතිවරණවල දැක්කේ නැහැ. “මව්බිම” ආරක්ෂා කිරීම අද ඔහු දකින අළුත් තේමාවයි. මව්බිමට ආදරය කරන දේශපාලන පැලැන්තියක් දැන් බිහිවෙලා තියෙනව. රට ඇතුලේ ඉන්න කුමන්ත්‍රණකාරයින්ගෙන් පමණක් නොව රටින් පිට ඉන්නා කුමන්ත්‍රණකාරයින්ගෙනුත් මව්බිම ආරක්ෂා කරන්න මේ දේශපාලන පැලැන්තිය ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ රටේ ජනතාව කොටස් දෙකකට මේ අය විසින් බෙදනව. ඒ කියන්නේ රටට ආදරය කරන අයයි. රටට ආදරය නොකරන අයයි. මගේ මිත්‍රයාට මේක ලොකු ගැටළුවක්. මේ දේශපාලනය විසින් මෙරටට රජකෙනකුත් නම් කරලා තියෙනවා. ඔය කියන විදියට මේ දේශපාලනය ගමන් කරන කොට මේ රටේ ජනතාව රටට ආලය කරන ජනතාවක්ම විය යුතුයි. රටට ආලය කරන දේශපාලන පැලැන්තියයි රටට ආදරය කරන ජනතාවයි බිහි වුනාම මේ පාර්ශව දෙකම එක්වූ විට කොහොම තත්ත්වයක් ඇති වෙයිද කියන එක මිත්‍රයාට හරි ප්‍රහේලිකාවක්. රටට එක ඡන්දයක් දෙන්න කියල දැන්වීමක් පුවත් පතක මොහු දැක්ක. ඒ කියන්නේ මනාප වලින් එකක් රටට දෙන්න කියන එක. මෙතන ඇති මේ දැන්වීමෙන් කියන්නේ මෙතැනදි අපි කලින් කිව්වා සේ දේශපාලන පැලැන්තියයි රටයි එකක් වන තැනකට දැන් ලංකාව එමින් තිබෙන බවේ ඉගියක් වෙන්න ඇති මේ සිද්ධිය. අන්තිමේ බලන කොට මේ ඉල්ලීම කරල තියෙන්නේ රටට ආදරේ කරන දේශපාලනඥයෙක්. දේශපාලනඥයත් රටත් මෙතැනදි එකක් වෙලා. ඉන් පස්සෙ මොකක් වෙයිද? මගේ මිත්‍රයා දැන් මුහුණ දීලා ඉන්නෙ ඒ ප්‍රශ්නයටයි. මව්බිම තේමාව කරගත් දේශපාලනය තිබුන රටවල් ගැන මගේ මිතුරා අහල තිබෙනවා ඒ රටවල මව්බිමේ දේශපාලනය අවසන් වන්නේ පැසිස්ට්වාදයෙන් බව.
ඉන්දියාවට ඕනෑ කරල තියෙනවා යාපනයේ උප තානාපති කාර්යාලයක් විවෘත කරන්න. ඊයේ පෙරේදා මෙරටට පැමිණියා ඉන්දියානු ආණ්ඩුවේ ලොකු නිලධාරිණියක්. යාපන වැසියන්ගේ අවශ්‍යතාවයක් ඉටු කිරීම සදහා මෙම කාර්යාලය විවෘත කිරීමට අදහස් කරන බව අද වාර්තා වී තිබෙනව.
මෙවැනි කාර්යාල මගින් ලංකාවේ සහ ඉන්දියාවේ තමිල්නාඩුව අතර පවතින සංස්කෘතික සම්බන්ධකම් ශක්තිමත් කිරීමට ඉන්දියානු ආණ්ඩුව බලාපොරොත්තුවන බව ඉන්දියාවේ පලවන පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඉන්දියාව උතුරුකරය සහ තමිල්නාඩුව අතර පවතින සම්බන්ධකම් තහවුරු කරන විට ලංකාවේ සිටින දේශප්‍රේමී දේශපාලන පැලැන්තිය ඒ පියවර ගැන කුමක් කියනු ඇද්ද කියන එකත් ප්‍රශ්ණයක්.
දේශප්‍රේමී පාලනයකුත්, දේශප්‍රේමී දේශපාලන පැලැන්තියකුත්, දේශප්‍රේමී ජනතාවකුත්, එක්වූ විට දේශද්‍රෝහී පැලැන්තියට කුමක් වෙයිද? දේශප්‍රේමී පැසිස්ට්වාදය තුල නම් දෙවන පාර්ශ්වයකට ඉඩ නැති බව මගේ මිතුරා අහල තියෙනවා.
තවත් කාන්තා දිනයක්
අද මාර්තු අට වැනිදාය. ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. මින් පෙර ගත වූ සෑම කාන්තා දිනයක්ම ගෙවී ගිය ආකාරයටම මෙවර කාන්තා දිනයද ගත වී යනු ඇත. කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ දිනයක් සැබෑවටම අවශ්‍ය වන්නේ ඇයි? කාන්තාවගේ වටිනාකම ලෝකයට දැන්වීමට සැලැස්වීම මේ දිනයේ අරමුණයි.
කාන්තාව පිළිබද මෙවැනි සටහනක් තැබිය හැකිය. ලෝකයා වේගයෙන් දිව යයි. හති වැටෙයි. හති හරියි. නවතියි. ආයෙත් දුවයි. මේ යන ගමනේ සැනසුමක් සතුටක්, විදීමක් ලබා ගන්නට නම් කාන්තාවක් අහලක පහලක සිටිය යුතුමය. එසේනම් අපට මෙවැන්නක් කිව හැකිය. ජීවිතයේ වෙහෙස නිවන්නේ කාන්තාවයි. ලෝකය නලවන්නේත්, සිසිල් කරන්නේත්, සෞන්දර්ය කරා රැගෙන යන්නේත් කාන්තාවයි. ලෝකයට පැවැත්මක් ඇති වන්නේ කාන්තාවන් සතු මෙකී ගුණාංගයන් ආරක්ෂා කර ගැනීම තුලින් ඇතිවන සමබරතාවය නිසාවෙනි.
අද කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබද මහ ඉහළින් කතාකරනු ලබයි. එය සැබෑවකි. කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් තිබේ. අධ්‍යාපනය, දේශපාලනය, ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය, රැකියාවක් කිරීමේ අයිතිය ඇයට හිමිවිය යුතුය. මේ සියල්ලටම අද සමාජයේ දොරටු විවෘතව පවතී. එය කාන්තාවන් ලද මහගු ජයග්‍රහණයකි.
මේ සියළු දේටම වඩා කාන්තාවට කල හැකි වෙනත් කිසිවකුටත් කල නොහැකි කාර්යයක් තිබේ. වඩා යහපත් සමාජයක් බිහිකරනු වස් ඇයට කලහැකි කාර්ය අතිමහත්ය. මවක ලෙස ඇයට කලහැකි කාර්ය අතිමහත්ය. අධ්‍යාත්මිකව පෝෂණය වූ දරුවකු හැදීම එම කාර්යයි. මනුෂ්‍යත්වය හදුනන, සමාජයට ආදරය කරන, අසාධාරණය නොඉවසන, සාධාරණයට හිස නමන, යහපත් ආකල්ප වලින් හෙබි, උත්සාහවන්ත දරුවකු හැදීම යනු අතිශයින් අභියෝගයකි. එකී අභියෝගය ජයගත හැක්කේ මවකටම පමණි. ගැහැණියකටම පමණි. අන් කිසිවකුටත් කල නොහැකි කාර්යයක් ගැහැනියකට කල හැකියයි මේ සටහන ආරම්භයේදීම සදහන් කලේ ඒ නිසාවෙනි.
කාන්තාව විශේෂ තැනැත්තියක් වන්නේ ඇය ලෝකය සනසන නිසාවෙන්ය. ඇය ලෝකය නලවන නිසාවෙන්ය. ඒ සියල්ලට වඩා ඇය ලොව මහා බලවේගයකි. වඩාත් සුවදායී ලෝකයක් තනන්නට ඇය දක්වන සහය සුළුපටු නොවේ. මේ වටිනාකම් කාන්තාව විසින් අවබෝධ කරගෙන කටුයුතු කරන්නේ නම් ඇය ලබන වටිනාකම සුළුපටු නොවේ.
JPAGE_CURRENT_OF_TOTAL


