ලොව උතුරු අර්ධගෝලයේ ග්ලැෂියර දියවීම හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ නගිමින් තිබෙයි. මේ හේතුවෙන් දූපත් රාජ්‍යන් වෙත එල්ලවී ඇති තර්ජනය සුළුපටු නොවේ. ඒ තර්ජනය ඒ ලෙසින්ම අපේ රටටද ඇති බව අමතක නොකල යුතු මොහොතකි මේ. මේ අවදානමේ සිටින මාලදිවයින පසුගිය දිනක සිය කැබිනට් රැස්වීම පවත්වන ලද්දේ මුහුදු පතුලේදීය. නේපාලය එම රටෙහි කැබිනට් රැස්වීමක් එවරස්ට් කදු මුදුනේදී පැවැත්වීමට යයි. මේ රටවල් මේ ක්‍රියාදාමයන් සිදුකරන්නේ ලෝකයේ අවධානය දිනා ගනිමින් පරිසරයට සිදුකරන හානිය අවම කරමින් තම රටවල් වලට මුහුණදීමට ඇති බරපතල අවදානමෙන් මිදීම සදහාය.
ගෝලීය උණුසුම ඉහළයාමත් සමගම ඇතිවන තර්ජනය ඒත් කරුණකට පමණක් සීමා නොවේ. මේ නිසා ලෝකයේ සරුබිම් වේගයෙන් කාන්තාරීකරණය වෙමින් පවතී. පස නිසරු වෙයි. ලැව් ගිණි ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවති. මේ සියල්ල ලෝකයේ සියළු දෙනාටම පොදු වුවද මෙයින් වැඩි තර්ජනයක් එල්ල වන්නේ තුන්වන ලෝකයේ රටවලටයි.
කෝපන්හේගන් සමුළුව පිළිබද ලෝකයේම අවදානය වැඩිවී ඇත්තේ මෙකී කරුණු පිළිබද ලෝකයේ බහුතරයක් දෙනා දැනුවත්ව ඇති හෙයිනි. එහෙත් ගෝලීය උෂ්ණත්වයේ බලපෑමක් ලෙස මුහුදු ජල මට්ටම ඉහළයෑමේ තර්ජනයට සෘජුව මුහුණදීමට සිටින රටක් ලෙස අපේ රට තුල ඒ පිළිබද ඇත්තේ අඩු අවධානයක් බව නම් පෙනෙන්නට ඇත. කෙසේ වුවත් අප රටේ වගකිවයුත්තන්ද මේ පිළිබද දැඩිව අවධානය යොමු විය යුතු මොහොතකි මේ.
ලෝකය තුළ දැනටමත් සිදුවෙමින් පවතින දේශගුණ විපර්යාසයට එරෙහිව පියවර නොගතහොත් අනිවාර්යයෙන්ම දැවැන්ත ව්‍යසනයකට මුහුණදීමට සිදුවනු ඇති බව Global Climate Initiative හි ප්‍රධානී කිම් කාර්ස්ටන්සන් අවධාරණය කරයි.
“මෙම සමුළුවේදී පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් ලෝක නායකයන් සියලු දෙනාම පාහේ ශක්තිමත් හා ස්ථීර එකගතාවයකට පැමිණිය යුතුයි. එසේ නොමැති වුවුහොත් එය සදාකාලිකවම යම් දෙයක අහිමිවීමක් විය හැකියි.” ඔහු දැඩිව අනතුරු අගවයි.


