තවත් මැතිවරණයක් අත ලගටම පැමිණ තිබේ. මේ දිනවල රටේ සෑම නගරයකම, ගමකම, සෑම ගසකම, ගලකම, තාප්පයකම සිනාසෙන මුහණුවල අඩුවක් නැත. උදේ සිටින්නා නොවේ හවසට සිටින්නේ. මාධ්‍ය යොදාගනිමින් බොරු පොරොන්දු දෙන්නටද තවත් නොබෝ දිනකින් ආරම්භ කරනවා ඇත. මේ සියල්ල මේ රටේ ජනතාවට අමුතු දේවල් නොවේ.
දේශපාලකයින් මේ දිනවල ජනතාවට බොහෝ ආදරය කරයි. ඔවුන්ට ජනතාව පෙනෙන්නේ තමන්ගේම සහෝදර සහෝදරියන් ලෙසිනි. ඔවුන් ගෙයින් ගෙට යයි. ජනතාව හමුවී ඔවුන්ගේ සුවදුක් අසයි. ගැටළුවලට වහා විසදුම් සපයයි. එහෙත් මේ සියල්ල තාවකාලිකය. මැතිවරණය ඉවර වූ පසු මේ අපේක්ෂකයින් කොහේද? මේ ජනතාව කොහේද?
අපේ රටේ ඇත්තේ එවැනි පසුබිමකි. ජනතාවද මේ බව දනියි. තමන් රැවටෙන බව දනියි. එසේ දැන දැනත් මෙවැනි දේශපාලකයින් පිළිගනියි. අද දේශපාලකයින් තම ඡන්දය සදහා භාවිතා කරන්නේ සිංහල භාෂාවේ සුන්දරම වචනයි. ජාතියේ අභිමානය, පංචායුධය, අයෝමය ශක්තිය, රටවෙනුවෙන් ලෝකය දිනූ ආදී සුන්දර වචන යොදා ඔවුන් නැති වටිනාකමක් ඇති කර ගැනීමට උත්සාහ දරමින් හිදී. එහෙත් මේ වචන යට පැගවී ඇති ව්‍යාජත්වයත්, මේ මුහුණු යට සැගවී ඇති ව්‍යාජත්වය ජනතාවට වැටහෙයි.
අද ඇතිවී තිබෙන මෙම තත්ත්වය රටට හිතකර නොවේ. දේශපාලකයින් තනි තනිව මහා යුද්ධයක යෙදී සිටියි. ඒ ජනතාව වෙනුවෙන් නොවේ. තමන්ම වෙනුවෙනි. තමන්ගේ ප්‍රතිවාදියා වෙනුවෙන් භාෂාවේ නරකම වචන භාවිතා කරමින් වෛරී ලෙස කටයුතු කරන මහජන නියෝජිතයින් ජනතාවට ආදරය කරයි. මේ පරස්පර හැසිරීම් පෙන්වන්නේ දේශපාලකයින් තුල ඇති ව්‍යාජත්වයම පමණි. දේශපාලකයින් යනු ජනතාවගේ සේවකයින්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ බලය ඇත්තේ ජනතාවටය. දේශපාලකයින් පත් කරන්නේත් ඔවුන් බලයෙන් පහ කරන්නේත් ජනතාවය. එහෙත් ජනතාව සතු මේ බලය දේශපාලකයින් දන්නේ නැත. ඊටත් වඩා ජනතාව දන්නේ නැත.


