මෙරට කීර්තිමත් දේශපාලකයෙක් එක් දිනක් දුෂ්කර පළාතක සංචාරයක නිරත විය. ගම් වැසියෙක් ඔහුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔය මැතිඇමති වරු පාර්ලිමේන්තුවේ සත්තු වගේ හැසිරෙන්නේ? ඒ අය පාලනය කරන්න කාටවත් බැරිද?” දේශපාලකයාගේ පිළිතුර මෙවැන්‍නක් විය. ”කාගෙද වැරැද්ද? ඔය ඔබතුමන්ලම තෝරලා එවන උදවියනේ.....” . මේ සටහන කියවන පාඨක ඔබට සිනහා යනු ඇත. එහෙත් සැබෑවටම අප සිනහා විය යුතුද? හැඩිය යුතුදැයි සිතෙන්නේ දැන්ය. දැන් යැයි කියන්නේ අප විසින් වරක් තෝරා ගත් යලිත් වරක් තෝරා ගැනීමට අවස්ථාවක් පැමිණ තිබෙන අපේ නායකයින් යැයි කියා ගන්නා මේ දේශපාලකයින් පාර්ලිමේන්තුවට රිංගන්නට දරන උත්සාහය දකින විටය.
මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වී ඇති මහජන නියෝජිතයින් සංඛ්‍යාව 7000 ඉක්මවා ඇත. මෙරට මැතිවරණයක් සදහා ඉදිරිපත් වූ වැඩිම අපේකෂකයින් සංඛ්‍යාවක් මෙවර මැතිවරණයෙන් වාර්තා වෙයි. එපමණක් නොවේ දිගින් වැඩිම ඡන්ද සලකුණු පත්‍රිකාවද මෙවර මැතිවරණයේදී දැකිය හැක. මේ ආකාරයට මෙවර මැතිවරණය විශේෂතා රැසක් පෙරටු කොට ගෙන ඇති බව පෙනේ.
මේ නියෝජිතයින් විවිධ තේමා පාඨයන්ගෙන් පෙනී සිටිති. එම තේමා පාඨයන්ගේ අර්ථයන් තිව්‍ර කිරීම සදහා විවිධ සංකේතයන්ද භාවිතා කරනු ලබයි. මෙතෙක් සංස්කෘතික ලක්ෂණ දේශපාලනමය කාරණා සදහා යොදාගනු ලැබුණේ අවම වශයෙනි. එහෙත් දැන් දැන් කිසිදු චකිතයකින් තොරව දේශපාලකයින් මෙකී සංස්කෘතික ලක්ෂණ භාවිතයට ගනියි. මේ සියල්ල කරනුයේ කුමක් සදහාද? රට හදන්නට නායකත්වය දෙන්නටය. ඉදින් යම් දිනක බුදුන් වහන්සේගේ රුව පවා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්නේ නම් ඒ පිළිබද පුදුම විය යුතු නැත. මක් නිසාද ඔවුන්ට අවශ්‍ය වන්නේ රට හදන්නටය. ඒ වෙනුවෙන් ඔවුන්ට ඇති වුවමනාව පුදුම උපදවන සුළුය.
එහෙත් පුදුමය නම් මෙයයි. මෙලෙස රට හදන්නට, ජනතාවට උදව් කරන්නට ඔවුන් පාර්ලිමේන්තුවටම පැමිණීමට උත්සාහ දැරීමයි. තමන්ගේ වියදමෙන්, ශ්‍රමයෙන් රටේ ජනතාවට උදව් කරන්නට ඔවුන් කැමති නැත. ඒ සදහා පාර්ලිමේන්තුවටම පැමිණිය යුතුමය.
එහෙත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට කැමති මේ අය ඒ වෙනුවෙන් කරන වැඩ පිළිබද ප්‍රතිපත්තියක් ජනතාව ඉදිරියේ තබන්නේ නැත. න්‍යාය පත්‍රයක් නැත. ඇත්තේ සම්ප්‍රදායි බොරු ගොඩක් පමණි. රට පිළිබද මතයක් ඔවුන්ට නැත. ජනතාව පිළිබද මතයක් ඔවුනට නැත. ඔවුන් විසින් මේ දරන්නේ පටු දේශපාලන අරමුණ ඉටුකරගැනීමට උත්සාහයක් පමණි.
මේ බව මේ රටේ ජනතාව හොදින් අවබෝධ කොට ගත යුතුය. මේ ජනතාව ඇස් ඇරගෙන කල්පනාවෙන් සිටිය යුතු කාලයයි. රට දියුණු කරන්නට භාර දිය යුත්තේ කාටද යන්න පිළිබද ඔවුන් තීරණය කල යුත්තේ වඩාත් කල්පනාකාරීවය. සම්පූර්ණ වගකීම ඇත්තේ ජනතාව අතේය.
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් කිසිදු පලක් නැත. උදා වී ඇත්තේ වටිනා අවස්ථාවකි.එයට පැන යන්නට නොදී වටිනා පුද්ගලයින් තෝරා ගත යුතුව ඇත.


