Friday, Oct 24th

Last update:10:20:17 AM GMT

You are here: නව පුවත් කතුවැකිය සමාජ පරිහානිය ගැන තවත් ඉගියක්

සමාජ පරිහානිය ගැන තවත් ඉගියක්

මීට දින කීපයකට පෙර ඇසුණු පුවතක් නිසා මුළු රටම කම්පාවට පත්විය. ඒ පුවත මෙසේය.

“කවුදෝ ගෑණියෙක් දරුවෙක් කළු ගඟට විසිකරලා.”

මේ ගැන ඇසූ බොහෝ දෙනෙක්‍ මෙසේ කියනවා ඇසිණි.

“අම්මලද මුන්?  හොදක් නම් වෙන්න එපා මේ වගේ ගෑණුන්ට.”

මේ සිදුවීම මෑතකදී අසන්නට දකින්නට ලැබුණ සිදුවීම් වලින් එකක් පමණි. මෙම සිදුවීමට අමතරව තවත් මෙවැනි සිදුවීම් ගණනාවක්ම අසන්නට ලැබුණි. දරුවෙකු කැලයට විසිකල මවක්, බඩඉරිඟු ගෝනියක දරුවකු හැංගූ මවක්, දරුවන් තිදෙනෙකු දමාගිය මවක් ආදී වශයෙන් එම සිදුවීම් පෙලගැස්විය හැකිය.

මුළු මහත් සමාජයම මේ කාන්තාවන්ට ඇඟිල්ල දිගු කරමින් හිදී. ඔවුන් දරු සෙනෙහස නොදැනෙන ගැහැණුන්ය. නපුරු ගැහැණුන්ය. යක්ෂණියන්ය. සමාජය පවසන්නේ එලෙසය.

“ඔවුන් වැරදිකාරියන්. ඔවුන් එල්ලුම්ගස් යැවිය යුතුයි.” තවත් අයෙක් එසේ පවසනවා ඇත.

සැබෑය. ඔවුන් වැරැද්දක් කර ඇත. මිනිසෙකු මැරීමද, මරණයට තැත්කිරීමද වරදකි. ඔවුන් ඒ වරද කොට හමාරය. මතුපිටින්  බැලූ කල අපටත්, ඇතැම්විට නීතියටත් පෙනෙන කාරණාව එයයි.

එහෙත් මේ වරද තවත් දෙකොටසකට සමව බෙදී යායුතු බව ඔබට නොහැගේද?

ඉන් එක් කොටසක් වන්නේ මේ කාන්තාවන්ට උපන් දරුවන්ගේ පියවරුය. දරුවකු සාදාගැනීම කාන්තාවකට තනිව කල නොහැක්කකි. හුදෙක් දරුවන් හදන්නට පමණක් දන්නා මේ මිනිසුන් දරුවාගේ මුළු වගකීමම ගැහැණිය පිට පටවන්නට මැලි නොවෙති. ඒ මිනිසා කසිප්පු ගසයි. සූදු කෙලියි. තමාගේ සතුට ගැන පමණක් සිතයි. එපමණක් නොවේ ඇතැම් විට තමාගේ සල්ලාල ජීවිතය පවත්වාගෙන යන්නට මුදල් සැපයිය යුත්තේද බිරින්දෑවරුය. ඉහතින් කී බොහොමයක් කථා වල ආකෘතිය මෙපරිදිය. තම අවශ්‍යතාවය සපුරා ගන්නට පමණක් ගැහැණියක් සමග එක්වන පිරිමියෙකුට තමන්ට දාව උපන් දරුවා පිළිබද ඇතිවන වගකීම ගැහැණියකට ඇති අයිතියට සමාන නොවන්නේද?

පිරිමියෙකු විසින් දරුවන් සමග හුදකලා කරන ගැහැණියක මුහුණ දෙන සමාජයීය ගැටළු සුළුපටු නොවේ. එවන් ගැහැණියකට පිහිටවීමට මේ රටේ දේශපාලන නායකත්වය විසින් නිර්මාණය කල වැඩපිළිවෙලක් හෝ නැත. පවතින ආර්ථික යුද්ධයට ඇය තනිව මුහුණ දිය යුතුය. සමාජ ආකල්ප වල හා සමාජ අසාධාරණයන්හි අභියෝගවලට ඇය තනිව මුහුණ දිය යුතුය. හිතවත් නෑදෑ පිරිසක්, මිතුරු පිරිසක් ඇයට නොසිටින්නේනම්, නූගත්නම්, රැකියා විරහිතනම් සිදුවන හානිය දෙගුණ වෙයි.

අපේ සමාජය අද දැඩි පරිහානියකට පත්වෙමින් තිබේ. එක් අතකින් එය අප මුහුණදෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික පීඩනයේ අනිසි ප්‍රතිඵලයකි. ඉහතින් විස්තර කල ආකාරයේ සමාජ ගැටළු රැසක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. වර්තමාන ශ්‍ර්‍රී ලාංකික සමාජ බිදවැටීම පෙන්වන රතු එළි කිහිපයකි මේ සිදුවීම් දාමය.

මේ ගැන සොයා බලන්නට කෙනෙක් නැත. මෙවන් ගැටළු පිළිබද සංවේදී වෙමින්, ඒවා වඩාත් ගැඹුරින් විග්‍රහ කිරීමේ වගකීම මෙරට විශ්ව විද්‍යාල, ජනමාධ්‍ය භාරගත යුතුව ඇතත් එම ආයතන ද්විත්වයම තම කාර්යභාරය හරිහැටි සිදු නොකරන බවකි පෙනෙන්නේ.  දේශපාලකයන්ට මෙවැනි සමාජ ගැටළු පෙනෙන්නේ නැත. ඔවුන්ට කරන්නට ඊට වඩා වැඩ රාජකාරී තිබේ.

වඩාත් හැගීම්බර සමාජ ව්‍යුහයක ජීවත් වන මේ රටේ බහුතරයක් පොදු මහ ජනතාව මෙවැනි ගැටළු දකින්නේ ඔවුන් විසින් දමා ගත් කණ්ණාඩි වල පැහැයෙනි. මේවා නිවැරදිව අර්ථකථනය කරන්නට හෝ එය සමාජ ගැටළුවක් ලෙස දකින්නට ඔවුන්ට හැකියාවක් නොමැත. මේ නිසා අවසානයේ සිදුවන්නේ මෙම සිදුවීම් වලට සම්බන්ධ කාන්තාවන්ම වරදකාරියන් වීමයි.