Wednesday, Sep 08th

Last update:09:39:35 PM GMT

Headlines:
You are here: නව පුවත් දේශපාලනය

දේශපාලනය

බහුතරයේ ආරක්ෂාවට අධිකරණ ව්‍යුහයක්

නීතිය සාධාරණව පැවැත්විය යුතුය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ කොතෙක්ද එපමණට සමාජයත් ජනතා හිතවාදී වනු ඇත. සමාජයක පැවැත්ම තීන්දු වන්නේද රටේ නීති සාධාරණ වූ විට පමණි. නීතිය සාධාරණ නිතියක් වූවත් එය කොටසකට සහනයක් ලබාදෙන අන්දමට ක්‍රියාත්මක වන්නේ නම් රටවැසියා තුල ඇතිවන්නේ විශ්වාසය කෙරෙහි යම්කිසි භංගත්වයකි.

නීතිය මත පදනම් වූ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන සමාජයක් තුල ජීවත්වීම ආරක්ෂා සහිතය. සැනසිලිදායකය. ඒ සමගම නීතිගරුක ජනතාවක්ද ඒ සමාජය තුළ මුල් බැස ගනී. මෙවැනි සමාජයක් බිහි කිරිම දේශපාලනමය කටයුත්තකි. එලෙස දේශපාලනයෙන් සාධාරණ සමාජයක් බිහිවීමට නම් එවැනි දේශපාලනයක් යහපත් දර්ශනයක් මත පදනම් විය යුතුය. මෙවැනි දර්ශනයක් අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් මෑතදි ආරම්භ වූ ශ්‍රි ලංකා ජාතික සංගමය සතු බව පෙනී යයි.

සමාජයක යහ පැවැත්ම නීතිය මගින් සිදුකෙරනෙ අතර එම සමාජයේ ජීවත්වන වැසියන් කෙරෙහිද යම් වගකීම් රැසක් ඉටුවිය යුතුය. මෙම ක්‍රියාදාමය අනෝන්‍ය පදනමක් මත ඉටුවීම ඉතා වැදගත්ය. නීතියක් පැවතුනත් එය පිළිපදින්නේ නැත්නම් එම නීතියෙන් බලාපොරොත්තු වන යහපත නොලැබී යයි. නීතියෙන් බලාපෙරෝත්තු වන සහනය ලබාගැනීමට පුරවැසියා උනන්දුකර විය යුතුය. මේ කටයුත්ත දේශපාලනමය හරයක් ඇති එකකි. මේ සම්බන්ධයෙන් බොහෝ අය සිංගප්පූරුව උදාහරණයක් ලෙස පෙන්වා දෙන බව කිව යුතුය.

සමාජයේ බොහෝ කටයුතු ප්‍රතිසංස්කරණයට භාජනය වන්නේ පවතින ක්‍රමයේ අඩුලුහුඩු මතුවන්නට පටන් ගත් අවස්ථාවේදීය. සමාජයක් ඉදිරියට ඇදී යන්නේ කෙසේද ඒ ඇදීයාමට නීතියෙන් අනුබලයක් ලැබිය යුතුය. ඒ අනුබලය අවශ්‍ය වන්නේ සමාජයේ ඉදිරි ගමන යහපත් ලෙස ඉටුවීමටය.

නීතිය කාටත් සුවදායක අන්දමට ක්‍රියාත්මක වීමට නම් නීතිය ගැන නිසි දැක්මක් සහ අවබෝධයක් ඇති නීතිවේදීන් සහ විනිසුරුවරු අවශ්‍ය බව කිවයුතු කරුණක් නොවේ. එවැනි දැක්මක් ආකල්පයක් සහ අවබෝධයක් ඉබේම ඒ අයට ලැබෙතැයි කියා විශ්වාස කිරිම අපහසුය. එවැනි නීතිවේදී සහ විනිසුරු පරපුරක් බිහිකිරීමට හැකි පසුබිමක් වාතාවරණයක් ඇති කළ යුතුවේ. එවැනි නීතිවේදී සහ විනිසුරු පරපුරක් ඇති කළ විට නූතනයේ පැනනගින අභියෝගයන්ට නිසි පරිදි මුහුණ දීමට මේ පරපුරට හැකි වනු ඇත.

අප විසින් සමාජය ගැන කථාකරන විට බොහෝවෙලාවට අප සිතට එන්නේ බාහිර වශයෙන් ඉදිරියට යාමය. නමුත් සාමජයතුල ජීවත්වන වැසියන් අතර පැන නගින ප්‍රශ්ණ - පවුල් ජීවිත සහ කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවී ඇති ගැටළු ගැන සෙවීම ප්‍රමාණවත් නැත. සමාජයේ අභ්‍යන්තරය තුල ඇතිවෙන මෙවැනි ගැටළු සහ වෙනත් ගැටළු ගැන ඕනෑම ආණ්ඩුවක අවධානය යොමු විය යුතුය.

ශ්‍රී ලංකා ජාතික සංගමය මහ මැතිවරණය සදහා ජනතාවට පිළිගන්වා ඇති න්‍යාය පත්‍රය යටකී කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.

තොරතුරු අයිතිය මගින් දූෂණය මැඩීම

අප සමාජය තුල පවතින විවිධ ලක්ෂණයන් ඇති දූෂණය රටේ ඉදිරිගමනට දැඩි බාධාවක් වී ඇති බව පොදු පිළිගැනීමකි. දූෂණය සමාජයෙන් තුරන් කළයුතු බවත් පොදු පිළිගැනීමකි. නමුත් මුළු සමාජයේම අහේතුවකට මෙන් එම පිළිලය වෙනසක් නොවී පවතී.

මෙම පිළිලය සමාජයෙන් ඉවත් කිරීම සදහා විවිධ මාර්ග තිබෙන බව දනිමු. නීතිය ඉන් එකකි. ඒ මග නොගත් රටක් නැත. පොලීසිය, කොමිෂන් සභා සහ එවැනි ක්‍රියාමාර්ග මීට ඇතුලත්ය. මේ මාර්ග වලටත් දූෂණය සතුටුදායක ලෙස මර්දනය කිරිමට බැරිව ඇත.

දූෂණය මැඩපැවැත්වීමේ මෙහෙය තවත් ඉදිරියට ගෙන යාම සදහා ඇති හොදම මගක් ලෙස පිළිගෙන ඇත්තේ රජයේ කටයුතු විනිවිද භාවයකින් කරගෙන යා යුතු බවයි. ඉන් අදහස් වන්නේ රජයේ කටයුතු පිළිබද තොරතුරු ලබාගැනීමට පුරවැසියෙකුට අයිතිය තිබිය යුතු බවය. මේ අයිතිය පුරවැසියෙකුට ලබාදිය හැක්කේ නීති මාර්ගයෙනි. එම අයිතිය නැතහොත් නිදහස ලබාදීම පනතක් මගින් සිදුවිය යුතුය.

මෙහිදී මතක් කර දිය යුතු කරුණක් ගැන සදහන් කිරීම වැදගත් වෙයි. තොරතුරු ලබාගැනීම සදහා පුරවැසියෙකුට හිමිවන අයිතිය ලබාදෙන පනතක් හැකි ඉක්මනින් සම්මත කොට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා ජාතික සංගමය විසින් අප්‍රේල් 8 දා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කිරීමය. මෙම සංගමය විසින් “යහපත් පාලනයක් උදෙසා රජයට ඉදිරිපත් කරන ශ්‍රි ලංකා ජාතික සංගමයේ න්‍යාය පත්‍රය” නමැති ප්‍රකා‍ශයෙහිය.

මෙම සංකල්පය බොහෝ රටවල ක්‍රියාත්මක වන එකකි. අපේ ආසන්න අසල්වැසි රටවන ඉන්දියාව මින් විශේෂ තැනක් ගනී. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ ඉන්දියාවේ මහ ආණ්ඩුවටත් පෙර ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු විසින් නීති මාර්ගයෙන් මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමය. උදාහරණයක් ගතහොත් රජයේ සුළු කටයුත්තක් සැළකිල්ලට ගනිමු. යම් යෝජනා ක්‍රමයක් ගනිමු. ගමක පාලමක් ඉදිකිරීමට මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වේ. මෙසේ ඉදිවෙන පාලම නිසි ලෙස ඉදිවෙනවාද? ඒ සදහා යන ඇස්තමේන්තු වියදම කොපමණද? ඒ අවස්ථාවලදී ඇස්තමේන්තු මුදලින් කොපමණ වියදම් කර තිබේද? යන කරුණු ගැන තොරතුරු ලබාගන්නට ඒ ගමේ වැසියෙකුට අයිතියක් නීති මාර්ගයෙන් ලැබේ. මෙවැනි ක්‍රියාමාර්ගයක් තුලින් දූෂණය සහමුලින්ම ඉවත්කර ගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට අවම කර ගත හැකි වනු ඇත.

රටක ජනතාව දැනුවත් වන තරමට එරට ඉදිරියට යනු ඇත. තොරතුරු ලබාගැනීමේ පනතක් ක්‍රියාත්මක කිරීමේදී එහි වලංගුභාවය රජයේ කටයුතු වලට පමණක් සීමා නොවන බව සැළකිය යුතුයි. රජයේ මුදල් යොදවනු ලබනනේ කොතැනද එහි කටයුතු ගැන තොරතුරු ලබාගන්නට පුළුවන. මුදල් පිළිබද ප්‍රශ්න පමණක් නොව පැසල්වලට ළමුන් ඇතුලත් කර ගැනීම වැනි ප්‍රශ්න වලදී පමණක් නොව යම් අපරාධයක් ගැන පොලීසිය කරන පරික්ෂා සහ ඒ පිළිබද විස්තර ලබා ගැනීමට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදෙන නීතියකින් පුළුවන් වනු ඇත. මෙවිට මුදල් පිළිබද දූෂණ පමණක් නොව වෙනත් ස්වභාවයන් උසුලන දූෂණ ඇතැයි සැකකරන කටයුතු ‍ගැනද තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇත. විනිවිද පෙනෙන සුළු ක්‍රියාකාරීත්වය දූෂණය මර්දනය කිරි‍මේ සාර්ථක මගකි.

පුරවැසියාට ගරුකරන සමාජයක්

ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියා වෙනුවෙන් ගොඩනැගුනු දේශපාලන සංකල්පයකි. සෑම මැතිවරණයකදීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට දේශපාලන පක්ෂ පොරොන්දු දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසාගේ, මිනිසා සඳහා, මිනිසා වෙනුවෙන් ගොඩනැගුනු දේශපාලන දර්ශනයක් නිසාය. මෙම පැහැදිළි විග්‍රහය දන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන්ය.

බෞද්ධ දේශපාලන දර්ශනයේ මූලික හරය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම දේශපාලන සංකල්පයේ වැදගත් වන්නේ පුරවැසියා දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා වීමය. එම නිසා ඔහුට හිමිවිය යුතු ගරුත්වය ඔහුට හිමිවිය යුතුය. පුරවැසියාට ලැබෙන ගරුත්වය සැබෑ බව කොතෙක්ද එතෙක් ඒ සමාජය ප්‍රජාතන්ත්‍රවාදී එකක් වනු ඇත. ඒ මන්ද  ප්‍රජාතන්ත්‍රවාදය ජිවන ක්‍රමයක් වීම් නිසාය.

පුරවැසියාට ගරුකරන දේශපාලන සංස්කෘතියක් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයේ අඩිතාලමයි. මෙවැනි සංස්කෘතියක් ගොඩනැගීම දේශපාලනයේ පළමු පියවර විය යුතුය. මෙතෙක් මෙවැනි පියවරක් ගැනීම සිය දේශපාලන ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තියක් කර ගනු ලැබූ දේශපාලන ව්‍යාපාරයක් ගැන අසන්නට නැත. එවැනි ව්‍යාපාරයක් බිහි වන්නේ නම් එය රටේ යහපතටම හේතු වනවා ඇත.

අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා ජාතික සංගමය මෙම කාර්යභාරය ගෙන ඇති බව මහ මැතිවරණය වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙනී යයි.

පුරවැසියාට ගරුකරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම මූලික පියවරක් ලෙස පිළිගැනීම මේ රටේ දේශපාලනය යහපත් මගකට යොමුකිරීමක් ලෙස සැළකිය යුතු අතර එය ප්‍රසංශනීය කටයුත්තකි. පුරවැසියාට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නගනවා යන්න ක්‍රියාත්මක කරන්නේ කෙසේද යයි යමෙකු අසන්නට පුළුවන. මෙම ප්‍රශ්නයට පිළිතුරක්ද ලැබී ඇති බව කිව යුතුය. මෙම ක්‍රියාමාර්ගය කරුණු 13 කින් සමන්විත එකකි. ඕනෑම සමාජයක හඩනගන පිරිසට වඩා හඩ නොනගන පිරිස වැඩිය. මේ නිසාම දේශපාලන ක්‍රියාදාමය විකෘති වී යාමට හැම ඉඩක්ම තිබේ. මේ “නිහඩ බහුතරය” ලෙස සැළකෙන ජන කොටසට අවකාශය ලබා දීම මේ රටේ දේශපාලනයට කරන ඵලදායක සේවයකි.

පුරවැසියාට ගරු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කළ හැක්කේ කෙසේද? ශ්‍රී ලංකා ජාතික සංගමය පෙන්වා දෙන පරිදි ඊට ඇති මාර්ගයේ ඇතැම් ලක්ෂණ මෙසේය.

නිහඩ බහුතරයට අවකාශයක් ලබාදීම. විශේෂ සැළකිලි දක්වන දේශපාලනය සහ වෛරක්කාර ක්‍රියා පිළිවෙත සහ දේශපාලන පලිගැනීම් අහෝසි කිරීම. කෝපාවිෂ්ඨ බවට පත්ව ඇති සමාජය කරුණාශීලී සාමජයක් කිරීම. අළුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරිම සදහා ආගමික නායකයින් සමග ක්‍රියා කිරීම. ජාතික සමගිය සහ එකමුතු බව ඇති කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා ගෞරවයට පාත්‍ර වූ ආගමික සහ සිවිල් සමාජයේ නායකයින්ගෙන් සැදුම්ලත් සභාවක් පත් කිරිම. ජනකොටස් බෙදනවා වෙනුවට එක්සත් කිරිම. දේශපාලනය තුල සභ්‍යත්වශීලී සංස්කෘතියක් ඇති කිරිම. ඉතාමත් අවශ්‍යව තිබෙන මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කිරීම. මැතිවරණ සදහා කරන වියදම් පිළිබද නීති රීති ක්‍රියාත්මක කිරීම.

මෙම පියවර වලින් පුරවැසියන්ගේ ගරුත්වය රැකෙන පරිදි ඔහුට සැළකිලි ලැබෙන දේශපාලන සංස්කෘතියක් ලැබෙනවාට කිසිම සැකයක් නැත.

මෙම පියවර අතරින් අළුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම සඳහා ආගමික නායකයින් සමග ක්‍රියාකිරීමේ යෝජනා විශේෂ තැනක් ගන්නා බව සඳහන් කළ යුතුය. ඒ මන්ද ආගමික ධර්මතාවයන්ගෙන් මිදුන කිසිම ක්‍රියාමාර්ගයකින් යුක්තිය සාධාරණය සහ උපේක්ෂාශීලීත්වය ඉටුනොවන බැවිනි. මෙවැනි සංස්කෘතියක් වෙනුවට සහනශීලී සංස්කෘතියක් ඇතිවූ විට සමාජයක වැසියන්ට සතුටින් සාමකාමීකම ජීවත්වීමට හැකිවෙනවා ඇත. ධර්මය හරය කරගත් රාජ්‍යයන් යහතින් පැවති ආකාරය අපේ ඉතිහාසය මෙන්ම පෙරදිග විශේෂයෙන්ම ඉන්දීය ඉතිහාසයෙන් අපට දැනගැනීමට පුළුවන. පුරවැසියාට ගරු කරන සමාජයක් බිහිවිය හැකි දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවය අවබෝධ නොවූ කෙනෙක් ඇතැයි කිව නොහැක. මේ රට අද පහුකරන යුගය වෙනුවට සහනශීලී දේශපාලන සංස්කෘතියක් නොපතන කිසිවෙක් ඇද්ද? මෙවැනි දේශපාන සංස්කෘතියක් ඇති කිරිමට උරදෙන ආගමික දේශපාලන නායකයින්ට, සංවිධානවලට මුළු සමාජයේම සහයෝගය ලැබිය යුතුය.

තොටිල්ල පදවන අත ආණ්ඩු කල යුතු යුගයයි මේ

අපි 62 වන නිදහස මහත් අභිමානයෙන් යුතුව සැමරුවෙමු. හැට දෙවසරක් පුරා අපේ රට විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය තරමින් ලෝකය හා උරෙනුර ගැටෙන්නට තරම් ශක්තිමත්ව ගොඩ නැගෙමින් සිටියි. සමාජය තුල ක්‍රම ක්‍රමයෙන් ඇති වූ ආකල්පමය වෙනස්වීම් මෙකී ගොඩනැගීමට පදනම් වී ඇති බව පෙනේ. කාන්තාව පිළිබද අප සමාජයේ පැවති දුර්මතයන්ද යම්තාක් දුරට ඉවත්වීමට බලපා ඇත්තේ ඉහතින් සදහන් කල ආකල්පමය වෙනස බව පැහැදිලිව පෙනේ. කාන්තාව වෙනුවෙන් අද සමාජය තුල විවෘත වී ඇති දොරටු රැසකි. ඒ දොරටු තුලින් ඔවුන් ලෝකයට පා තබා තිබේ. අතීතයේදී කාන්තාවට අධ්‍යාපනය, පෝෂණය, සමාජයීය ජීවිතය පිළිබද ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවිය. දියණියකගේ ඉපදීම අවාසනාවකැයි විශ්වාස කල යුගයක් තිබුණි. නමුත් ඒ සීමාකම් ලිහිල් වී ගොස් අද මෙරට කාන්තාව ආර්ථික, සංවර්ධනයේ නියමුවා බවට පත්ව හිදියි.

සෑම ක්ෂේත්‍රයකම කාන්තා නියෝජනය ඉහළ අගයක් ගෙන තිබේ. අධ්‍යාපනය, කලාව, නීතිය, වෙළද ක්ෂේත්‍රයන් තුල පමණක් නොවේ, ආරක්ෂක අංශයෙහිද කාන්තා දායකත්වය අතිමහත්ය. එහෙත් දේශපාලනය උදෙසා ඇයගේ දායකත්වයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙයි.

මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් ලෝකයේ බොහෝ මිනිස් සමාජයන්හි පැවතියේ පුරුෂ මූලික සමාජ ක්‍රමයකි. පාලනය පුරුෂයාට අයිති කාර්යක් විය. විටින් විට මෙම සම්මතය බිද වැටුන අවස්ථාද නැතුවාම නොවේ. එහෙත් නායකත්වයක් දැරීමට වඩා සුදුසුම පුද්ගලයා පිරමියාය යන අදහස නූතන ලෝකයෙන් පවා මුළුමනින්ම ඉවත් වී නොමැත. බටහිර සමාජයට වඩා පෙරදිග සමා‍ජයේ මේ අදහස මුල්බැසගෙන ඇති බවක් පෙනේ. මෙවැනි පසුබිමක් තුල කාන්තාවන් යම් පිරිසකට නායකත්වය දීමට හෝ දේශපාලනයට පැමිණීමට මැලිකමක් දක්වන්නේයැයි සිතිය හැකිය.

එමෙන්ම පෙරදිග සංස්කෘතික ලක්ෂණයන්ගේ බලපෑමද මෙවැනි තත්ත්වයක් ඇති කිරිමට ඉවහල් වූවායැයි සිතිය හැකිය. කාන්තාව යනු ජීවිත කාලය පුරා තම සුන්දරත්වය රැකගනිමින්, පවුල ආරක්ෂා කරගැනීම උදෙසා විවිධ කැපවීම් කල යුතු අයෙකුය යන ‍මතය තවමත් පෙරදිග සමාජය තුලින් ඉවත්ව නොගිය බවක් පෙනේ. මේ සමාජ ආකල්පයන්ට අභියෝග කිරීමට ඇය තුල නිර්මාණය කොට ඇති බිය විසින් කාන්තාව දේශපාලනයට ඇතුළු වීමේ මග අහුරා ඇති බවක් පෙනේ.

මුලින් සදහන් කල ආකාරයට කාන්තාව මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රධානතම දායක කරුවාය. අප රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙනු ලබන්නේ ඇයයි. අද ඇගළුම් ක්ෂේත්‍රය තුළ ඇයගේ ශ්‍රම දායකත්වය ඉහළ අගයක් ගෙන තිබේ. ගෘහ සේවිකාවන් ලෙස සේවය කරමින් ඔවුන් රටට උපයා දෙන මුදල් සම්භාරය අතිමහත්ය. තම පවුලේ දියුණුව උදෙසා සිය ශ්‍රමයත්, කාලයත් අසීමාන්තිකව වැය කරන ඇය රටේ ආර්ථික සංවර්ධනය උදෙසා දක්වන සහයෝගය කිසි විටෙකත් සුළුකොට තැකිය හැකි නොවේ. අද ග්‍රාමීය නාගරික වෙනසකින් තොරව කාන්තාව සිය පවුලේ ආර්ථික සංවර්ධනය උදෙසා අතිවිශාල දායකත්වයක් සපයයි. රබර්, තේ ආශ්‍රිත කර්මාන්තයන්හි යෙදෙන වතු කම්කරු කාන්තාවන්ද, විවිධ ස්වයං රැකියා වල නිරත වූවන්ද, දෛනික ගෙවීමකට යටත්ව විවිධ තාවකාලික රැකියා වල යෙදෙන කාන්තාවන්ද, තම ශ්‍රමය වැය කරනුයේ රට වෙනුවෙනි. ජීවත් වීමේ අරගලය ජය ගනු වස් ඇයද ආර්ථික යුද පිටියට වැද හමාරය. පවුලේ ආර්ථිකය වෙනුවෙන් සක්‍රීයව දායක නොවන කාන්තාවන් අද විරලය. පිරිමින් හා උරෙනුර ගැටෙමින්, විටෙක ඔවුන් අභිබවා යම්න් ඇය තම හැකියාවන් විදහා පාමින් සිටින යුගයකි මේ. රටේ ආර්ථික සංවර්ධනයේ පෙරගමන්කරුවා බවට ඇය පත්වෙමින් හිදී.

කාන්තාවගේ අධ්‍යාපන මට්ටමද ඉහළ ප්‍රතිශතයක් ගෙන තිබේ. විවිධ උසස් අධ්‍යාපන ආයතනයන්හි කාන්තා ප්‍රතිශතය ඉහළ අගයකි. අතීතයේ උගත් කාන්තාවකට ලද හැකි ඉහළම රැකියාව වූයේ ගුරු වෘත්තියයි.  එහෙත් අද ඉංජිනේරු, වෛද්‍ය, ඉදිකිරීම්, ආරක්ෂක, පරිපාලන ආදී විවිධ ක්ෂේත්‍රයන් වල ඇය සිය දැනුම, බුද්ධිය හා ශ්‍රමය බෙදාහරිමින් හිදී.  ගැහැණියකගේ නුවණ හැදිමිට තරම්යැයි කී අතීත පරපුරට ඇය අභියෝග කරයි. වර්තමාන කාන්තාවගේ පසුබිම මෙලෙස සකස් වී තිබුනද දේශපාලනයට පැමිණීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සිතේ. මෙරට කාන්තාවන් දේශපාලනයට පැමිණීමේ ප්‍රතිශතය අවම වීම මෙම සිතුවිල්ලට හේතුවයි. සක්‍රීයව දේශපාලන කාර්යට දායක වීම කෙසේවෙතත් එදිනෙදා සමාජයේදී දේශපාලනය පිළිබද කතා කීරීමට පවා කාන්තාවන් අතර ඇත්තේ අඩු කැමැත්තක් බව පෙනේ. දේශපාලනය සම්බන්ධයෙන් තමාට ඇති එකම හිමිකම ඡන්දය ප්‍රකාශ කිරීම පමණකැයි ඇය සිතනවා වන්නටද පුළුවන. දේශපාලනය සම්බන්ධයෙන් මෙරට සමාජයේ බහුතරයක් කාන්තාවන් දක්වනුයේ නිද්‍රාශීලී උනන්දුවකි.  මේ රටේ ආර්ථිකය සංවර්ධනයට වැඩිම දායකත්වයක් සපයන ඇය, දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධව හිදින ඇය පාලනයට දායක වීම කෙරෙහි දක්වන උනන්දුව අඩු වී ඇත්තේ ඇයිදැයි විමසා බැලිය යුතුය.

අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා මේ පිළිබද වරෙක ප්‍රකාශ කර ඇත. එතුමා පවසන ආකාරයට මෙරට දේශපාලනය තුල කාන්තාවන්ගේ ප්‍රතිශතය 5% කි. එය අනෙක් ක්ෂේත්‍රයන් හා සසදා බලන කල අවම ප්‍රතිශතයකි. “කාන්තාවන් බලගැන්වීම පිළිබද අද ඇති වී තිබෙන කතාබහ පුළුල් එකකි. ඔවුන් දේශපාලන ක්‍රියාවලියට සක්‍රීයව දායක කිරීම එම කතාබහ තුල එක් ප්‍රධාන තේමාවක් විය යුතුව ඇත.” මොරගොඩ මහතාගේ අදහස එපරිදිය. රජයේ ඇමතිවරයෙකුගේ අවධානය මේ පිළිබද යොමුවීමම පැසසුම් කටයුතුය.

මෙරට මැතිවරණයකදී ආසන‍යක් උදෙසා තරග කල පළමු කාන්තා කණ්ඩායම වන්නේ සිංහල දමිළ ග්‍රාමීය කාන්තාවන්ගේ ජාලය නම්න් හැදින්වෙන සංවිධානයකි. (The Sinhala Tamil Rural Women’s Network (STEWN) ) 1999 දී පැවති පළාත් සභා මැතිවරණය උදෙසා ඔවුන් තරග කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ වතු කම්කරු කාන්තාවන්ගෙන් සැදුම් ලත් මෙම සංවිධානය දිළිදුකම පිටුදැකීම, සෞඛ්‍ය, අධ්‍යාපනය, පරිසරය හා සාමය වැනි තේමාවන් මුල් කොට ගෙන ගොඩනැගුනකි. ඔවුන්ගේ සාමජික සංඛ්‍යාව 29,000 ක් පමණ විය. නමුත් එම මැතිවරණයෙන් ඔවුන්ට එක් ආසනයක් හෝ දිනාගැනීමට නොහැකි විය.

1989 වර්ෂයේදී පැවති පළාත් සභා මැතිවරණය සදහා අපේක්ෂකයින් 1327 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 38 ක් කාන්තාවන්ය. 1993 වර්ෂයේදී අපේක්ෂකයින් 2351 ක් ඉදිරිපත්ව ඇත. ඉන් 12 ක් කාන්තාවන්ය. 1999 වර්ෂයේදී අපේක්ෂකයින් 3677 ක් තරග කර ඇති අතර කාන්තා නියෝජනය 198 කි. 2004 වසරේ අපේක්ෂකයන් 4863 ක් විය. ඒ සදහා කාන්තා අපේක්ෂකයින් 373 ක් ඉදිරිපත් වී ඇත. 2008 හා 2009 වර්ෂයන් වලදී අපේක්ෂකයින් 9356 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 711 දෙනෙක් කාන්තාවන්ය. මේ අනුව පසුගිය මැතිවරණයන් සදහා කාන්තා දායකත්වය අවම ප්‍රමාණයකින් පැවති බව පැහැදිලිව පෙනෙයි. නමුත් ඉහත සංඛ්‍යා ලේඛණ අනුව දේශපාලනය සදහා කාන්තා දායකත්වයේ වර්ධනයක් පෙන්නුම් කිරිම සතුටුදායකය. 2008/2009 මැතිවරණවලදී කාන්තා අපේක්ෂිකාවන් වැඩිපිරිසක් තරගකර ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පමණකි. ඉන් සමහරෙක් දේශපාලනයට නවකයින්ය. දේශපාලනික පවුල් වටපිටාවක් තුල සමහරෙකුට අවස්ථාව හිමි වී ඇත.

සමාජය තුල මුල්බැසගත් යම් යම් සංස්කෘතික සාධකයන් හේතුවෙන් අසාධාරණයට හා අවතක්සේරුවට ලක් වූ කාන්තාවන් සංඛ්‍යාව අතිමහත්ය. එමෙන්ම පැවති යුදමය වාතාවරණය හේතුවෙන් වැන්දඹුවන් වූවන්ද, සැමියාගේ හා දරුවන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දුක් විදින කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ස්වාධීනව නැගී සිටින්නට තරම් ශක්තියක් ඔවුන් තුල නැත.  මේ නිසා පවතින දේශපාලන ව්‍යුහයට කාන්තා දායකත්වය මුසුවීම වෙනසක ආරම්භයක් වනු ඇතැයි සිතේ. මේ රටේ සංවර්ධනය උදෙසා කාන්තාවන්ගේ දායකත්වය තව තවත් අවශ්‍යය. විවිධ සමාජීය කරුණු හේතුවෙන් මුළු ගැන්වුන කාන්තාවන් සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගත යුතුව ඇත. දුක් විදින කාන්තාවන් වෙත ලගා වී ඔවුනට අත දිය යුතුව ඇත.  කාන්තාවන්ගේ බුද්ධියත් නිර්මාණශීලී හැකියාවත් රටේ යහපත වෙනුවෙන් යෙදවිය යුතුය. කාන්තාවන්ගේ ආර්ථිකය වර්ධනය කොට සමාජයේ ඔවුන්ට හිමි නිසි තැන ලබාදීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. ඔවුන් පිළිබද වඩාත් සංවේදී විය හැකි කාන්තා නායකත්වයක් මෙරට දේශපාලන ව්‍යුහය තුල සැකසිය යුතුව ඇත. ඒ වෙනුවෙන් උගත්, බුද්ධිමත්, පරිණත කාන්තාවන් පෙරමුණ ගැනීමට කාලය එළඹ තිබේ.

පටු ජීවන අරමුණු වලින් බැහැර වූ, විවෘත මනසකින් හා උණුසුම් හදවතකින් යුක්ත කාන්තාවන් දේශපාලනයට අවැසි යුගයකි මේ.

 

රට එකමුතු කළ යුත්තේ කවුරුද?

පසුගිය ඉරිදා එනම් පෙබරවාරි 7 දා ඉරිදා ලංකාදීප පත්‍රයේ සිය සුපුරුදු තීරු ලිපියෙන් අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පසුගිය ජනාධිපතිවරණය පිළිබඳ   මෙසේ ලියා තිබුණි. “ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් අනුව විධායක ජනාධිපතිධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ ජනාධිපතිවරණය අවසන් විය. තිස්වසරක් පමණ පැවති ගැටුම් නිරාකරණය වීමෙන් ඉක්බිතිව දිවයිනේ සමස්ථ පුරවැසියන්ටම ස්වකීය පාලකයා තෝරා ගැනීමේ අවස්ථාව මෙවර හිමිවීම විශේෂත්වයකි. ඒ හා සමානවම සමාජය තුළ දේශපාලන වශයෙන් විවිධ භේද මත ගැටුම් හා ආරවුල් මෙම ජනාධිපතිවරණය හමුවේ ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් බව පැහැදිලිව පෙණුනි.”

මෙලෙස විස්තර වූ සටහනින් පසු රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න ගැන මොරගොඩ ඇමතිතුමා මෙසේද පවසා ඇත. “සමාජය ගොඩනැගිය හැක්කේ එකමුතුකම හා සමග එක විට ගොඩනැගෙන ජවයකිනි. මෙතෙක් කල් අප ගමන් කර ඇත්තේ බෙදෙමින්, එකිනෙකා බෙදා වෙන්කර ගනිමින් අඩු ලුහුඩුකම් ගැන අතිශය කෲර අන්දමට චෝදනා හා ප්‍රතිචෝදනා කර ගනිමින්ය. දැන් පසුවී ඇත්තේ මේ සියළු දුර්මත පසෙකලා එකමුතුකම මගින්, ආර්ථිකය සමාජයීය බලවේගයක් ගොඩ නැගිය යුතු හෝරාවයි.

මැතිවරණය නොපවතින ක්‍රියාදාමයක් බවට පත්වී දැනට වර්ෂ දෙක තුනක් ගතවී ඇත. පළාත් සභා මැතිවරණ, ජනාධිපති මැතිවරණය දැන් පාර්ලිමේන්තු මැතිවරණය ඉන් පසු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබේ. අදට වර්ෂ දෙක තුනක් ගතවී ඇති මේ ඡන්ද නිසා සමාජය මෙතෙක් බෙදුන අතර තව වර්ෂයක් දෙකක් යන තුරුත් මෙම බෙදීම් නතර වෙනු ඇතැයි විශ්වාස කිරිමට බැරිය. මීට අමතරව බුරුතු පිටින් හමුදා සංස්ථා සහ රජයේ දෙපොර්තමේන්තු නිලධාරීන් විශ්‍රාම ගැන්වීම, තනතුරුවලින් ඉවත් කිරීම් සහ මාරුකිරීම් ගැන නිරතුරුව අසන්නට ලැබේ. අධිකරණ ඇමතිතුමා සදහන් කළ බෙදීම් තුළ ඇතිවෙන මෙම බෙදීම් නිසා සමාජය තව තවත් අසමගි බිදුන ස්වභාවයක් ගැනීම වළක්වාලන්නට බැරිය. මෙලෙස මෙම නොනවතින බෙදීම් සිදු කරනු ලබන්නේ දේශපාලන, ආගමික, මාධ්‍ය කලා පාලන ක්ෂේත්‍රවල බලවත් කොටස් විසිනි. “තව මොනවද බෙදෙන්නට තියෙන්නෙ. බෙදිලා ඉවරයිනෙ” යනුවෙන් කෙනෙක් ප්‍රකාශ කරන්නේ බෙදෙන්නට බෙදන්නට කිසිවක් ඉතිරිවී නැති නිසා වෙන්නට පුළුවන. නමුත් රටක් ඉදිරියට යා යුතුය. දියුණුවක් ගැන කථා කළ හැක්කේ අධිකරණ ඇමතිවරයා පෙන්වා දී ඇති පරිදි රටවැසියා සමගිවූ විට පමණි. මෙතැන මතුවන ප්‍රශ්ණයකි. බෙදීම් නිසා අසමගි වී ඇති පුරවැසියන් සමගි කළ හැක්කේ කාටද යන්න ඒ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ රට බෙදන අය විසින්ම ඒ කටයුත්තද කළ යුතු බවයි.

රාජ්‍ය සේවයෙහි පාරිභෝගික නැඹුරුව

ශ්‍රී‍්‍ර ලංකාව යටත් විජිතයක් බවට පත් වීමත් සමඟම ඒතාක් පැවති වැඩවසම් ක‍්‍රමය යටතේ පැවති “රාජ්‍ය සේවය” වෙනසකට භාජනය වීම ඇරඹුනි. රජ තුමාගේ සිට ගම් මට්ටමේ ගම්මුලාදෑනි දක්වා විහිදී පැවති දේශීය පරිපාලන රටාව යටත් විජිත රජය යටතේ ක‍්‍රමයෙන් දේශීය ප‍්‍රභූවරුන් වෙතින් ඉංගී‍්‍රසි ජාතිකයින් අතට පත්වන්නට විය. විශේෂයෙන්ම ඉහළ මට්ටමේ පරිපාලන තනතුරු මෙසේ වෙනසකට භාජනය විය.යටත් විජිත පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී අරමුණු වලට ගැලපෙන සේ මෙම පරිපාලන ක‍්‍රමය සකස් කරන ලදී. ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ වූයේ යටත් විජිතයක් ලෙස මෙරට පාලනය කරමින් මෙරට සම්පත් වලින් ප‍්‍රයෝජන ගනිමින්  තම මව්බිම වෙත ධනය රැස්කර ගැනීමයි. ඒ අනුව එම ආදායම් රුස්කර ගැනීම සඳහා නිළධාරීන් පත් කරන ලදී.ඊට අවශ්‍ය පරිදි වාතාවරණය සකස් කිරීමත් නීති රීති රෙගුලාසි පැනවීමත් සිදුවිය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය පරිදි පහල මට්ටමේ රාජ්‍ය සේවය සඳහා දේශිය පුරවැසියන්ද යොදා ගන්නා ලදී.තම අරමුණු වලට ගැලපෙන පරිදි ඔවුන් මෙභෙය වීම සඳහා පරිපාලන රෙගුලාසි, මුදල් රෙගුලාසි ආදිය පනවන ලදී. මේ අනුව දේශිය ජනතාව පාලනය කරමින් ඔවුන් තුලින් ධනය උපයා ගැනීම සඳහා දේශ්‍රීය පුරවැසියන්ව රාජ්‍ය සේවයට යොදාගැනීම ඔවුන්ගේ පරිපාලන ක‍්‍රම වේදය විය.

1948 දී ශ‍්‍රී ලංකාව දේශපාලන නිදහස ලබාගෙන රට සංවර්ධනය කිරීම අරඹන ලදී. දේශිය අරමුණු පදනම් කරගත් ජාතික ප‍්‍රතිපත්ති සැකසුනි. ඊට ගැලපෙන ලෙස නීති රෙගුලාසි ක‍්‍රමයෙන් සකස් වන්නට විය.පරිපාලන ව්‍යුහයේ වෙනස් කම් ඇතිවිය. පරිපාලන තනතුරු දේශිය පුද්ගලයින් අතට ක‍්‍රමයෙන් පත්විය. පැරණි ප‍්‍රභූ මුලාදෑනි ක‍්‍රමය වෙනුවට නව උගත් නිළධාරී ක‍්‍රමයක් ඇතිවිය.ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම අරමුණු කරගෙන සංවර්ධන ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැංවීමට පියවර ඇරඹුනි. ධනවාදී මෙන්ම සමාජවාදී ප‍්‍රතිසංස්කරණ වරින් වර විවිධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයන් යටතේ හදුන්වා දුනි. මෙම පරිවර්ථනය තුලින් සාමාන්‍ය පන්තියේ උගතුන් රාජ්‍ය සේවයට ඇතුල් වීම 1950 ගනන් වලින් පසුව නිදහස් අධ්‍යාපනයත් සමඟ සිදුවිය. එභෙත් යටත් විජිත සමයේ නටඹුන් ලෙස අපට ඉතිරි වු රාජ්‍ය නිළධාරියා කෙරෙහි සමාජය තුල තිබූ පිළිගැනීම, බලය හා පාලකයෙක් ලෙස තිබූ තත්ත්වය කෙතෙක් දුරට වෙනස් වී තිබේද ?

නිදහසින් පසු රාජ්‍ය සේවාවන් ලෙස නිෂ්පාදන හා වෙළඳ ව්‍යාපාර වැනි කටයුතුද නීති මඟින් සිදුකෙරෙන යම් පාලන කාර්යයන්ද ඉටු කිරීම සඳහා රාජ්‍ය ආයතන බිහිවිය. සමහර සේවාවන් පෞද්ගලික අංශයෙන්ද ඉටු කල හැකි වුවද ඒවා එකාධිකාරී රජයේ ආයතන ලෙස පවත්වාගෙන යන ලදී.සමහර සේවාවන් රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙන්ම කි‍්‍රයාවට නංවන ලදී. 1977 න් පසු විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමත් සමඟ ආර්ථික කටයුතුවල යෙදුන බොහෝ රාජ්‍ය සේවාවන් පෞද්ගලීකරණය කරන ලදී. පෞද්ගලික අංශයේ වෙළඳපල තරඟකාරීත්වය මේ තුලින් වර්ධනය විය.ඒ අනුව පෞද්ගලික අංශයේ සෙවාවන් වල පාරිභෝගික නැඹුරුව වැඩි විය. පෞද්ගලික අංශය වර්තමානයේ ලාභ උපරිම කිරීම යන අරමුණ වෙනුවට  පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත් කිරීම යන සංකල්පය අනුගමනය කරයි.

රාජ්‍ය අංශයේ සේවාවන්ද මහජනයා සඳහා සපයන සේවාවන් වේ. එසේනම් පෞද්ගලික අංශය මෙන් පාරිභෝගියා තෘප්තියට පත් කිරීමට රාජ්‍ය සේවාවන්ද පෙලඹිය යුතු නොවේද ? විශේෂයෙන්ම පෞද්ගලික අංශය සමඟ වෙළදපලේ තරඟකාරී ලෙස කි‍්‍රයාත්මක වන රාජ්‍ය සේවාවන්හීදි වෙළඳපල ජය ගැනීමට නම් තරඟකාරීලෙස පාරිභෝගිකයා තෘප්තිමත් කළ යුතු නොවේද? අනෙක් අතට රාජ්‍යය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අරමුදල් සපයන්නේ එහි පාරිභෝගික ජනතාවමයි. එසේනම් ඔවුන්ගේ අරමුණු ඉටුකිරීමට රාජ්‍ය සේවාවන් සැකසිය යුතු නොවේද.‍ මෙම තත්ත්වය කොතෙක් දුරට රාජ්‍ය සේවකයින් අවබෝධ කරගෙන තිබේද? මේවා වර්තමානයේදී විමර්ශනයට භාජනය කල යුතු කරුණුය.

යටත් විජිත ක‍්‍රමය තුලින් උරුමකර දුන් රාජ්‍ය සේවකයින්ගේ ගෞරවය, නම්බුව හා තමා පාලකයෙකු යන හැඟීම මෙතෙක් වෙනස් වී නැති බව පෙනේ. මේ නිසා තම සේවාලාභී ජනතාව තමන්ගේ පාලිතයින්ය යන හැඟීම රාජ්‍ය සේවකයා තුලින් පහව නැත.රාජ්‍ය සේවාවන්වල ගුණාත්මක තත්ත්වයන් පිරිහීමට මෙය බලපා ඇති බව කිව යුතුය. තමා වෙත පැමිනෙන සේවා ලාභියා තමාගේ පාරිභෝගිකයෙකු ලෙස සලකා එම පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත්වන ලෙස කටයුතු කිරීමට උත්සුක වෙනවා වෙනුවට තම ගාම්භීරත්වය පෙන්වීමට, තමාගේ වටිනාකම පෙන්වීමට, තමන් සපයන සේවාවන් වල අගය වැඩිකර පෙන්වීමට රාජ්‍ය සේවාවල යෙදී සිටින්නන් කටයුතු කරනු නිරන්තරයෙන් දැකිය හැක. මෙවැනි ආකල්පමය ව්‍යුහයක් වෙනස් කිරීමට රාජ්‍ය ආයතන වෙන් වෙන් වශයෙන් හෝ පරිපාලන ප‍්‍රතිසංස්කරණ තුලින් පොදුවේ හෝ කොතරම් දුරට සාර්ථක උත්සාහයන් දරා තිබේද යන්න විමසා බැලිය යුතුය.

යටත් විජිත යුගයෙන් උරුම කර දුන් පරිපාලන රෙගුලාසි, මුදල් රෙගුලාසි වැනි පාලන රෙගුලාසි තුලින් කාර්්‍යක්ෂම රාජ්‍ය සේවාවක් සඳහා වු වත්මන් අරමුණු සාර්ථකව ඉටුවන්නේනම් එම රෙගුලාසි පොත්වල පිටු  සංඛ්‍යාවන් වැඩි වෙමින් මහා පුස්තක බවට පත්වීමට හේතුවක් නැත. මේ තුලින් ඉහතකි රාජ්‍ය සේවකයන්ගේ ගාම්භීරත්වය වැඩිවීමට නම් බලපා ඇති බව පෙනේ. පාරිභෝගිකයා අතෘප්තියට පත්කර තමාගේ අගය පෙන්වීමට අවශ්‍ය වාතාවරණය මෙම රෙගුලාසි වලින්ම සපයා ගැනීම බොහෝ රාජ්‍ය සේවකයින්ගේ සිරිතක් වී ඇත. එසේනම් පෞද්ගලික අංශයේ මෙන් පාරිභෝගිකයා තෘප්තියට පත්කිරීමට නම් රාජ්‍යය සේවකයා පළමුවෙන්ම දැනගතයුතු කරුණක් ඇත. එනම් තම සේවාලාභියා පාරිභෝගිකයෙකු බව හදුනා ගැනීමයි.

එසේ නොමැතිව සේවාලාභියා තමාගේ පාලිතයෙකු යන හැගීම ඉවත් කල යුතුය. එසේනම් ඊලඟට පාරිභෝගිකයාට තමා විසින් සත්කාර කල යුතු බවත් පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත් කිරීමට උත්සුක විය යුතු බවත් අවබෝධ කර ගත යුතුය. මේ සඳහා අවශ්‍ය පසුබිම රාජ්‍ය ආයතන තුල ඇතිවිය යුතුය. මීට ගැලපෙන අයුරින් තම ආයතනවල දැක්ම හා මෙභෙවර ප‍්‍රකාශය සකස් කර ගත් ආයතන කීයක් වර්තමානයේ තිබේ දැයි සොයා බැලීම වටී. එපමණක් ප‍්‍රමාණවත් නොවේ. ඊට ගැලපෙන අයුරින් ආයතනයේ අරමුන සකස් විය යුතුය. ඊට ගැලපෙන අයුරින් ආයතන වල ඉදිරි සැළසුම් සකස් විය යුතුය. ඊට අනුකූලව සේවක ආකල්ප වෙනස් කිරීම සඳහා උපක‍්‍රම අනුගමනය කල යුතුය. තවද ඊට ගැලපෙන සේ සේවාවන් වලට අදාල කි‍්‍රයාවලීන්, රෙගුලාසි, කාර්යපරිපාටි ආදිය සකස් කල යුතුය. මේ සඳහා නවීන ලෝකයේ ප‍්‍රමුඛ පෞද්ගලික ආයතන අනුගමනය කරන නවීන එලදායිතා සංකල්ප හා තත්ත්ව වර්ධන සංකල්ප කි‍්‍රයාවට නැංවිය හැක. මේ සඳහා සාර්ථක උත්සාහයන් ගන්නා රාජ්‍ය ආයතන කීපයක් දැනට මෙරට රාජ්‍ය සේවය තුල දැකිය හැකි බවද කිව යුතුය.ජාතික එලදායිතා සම්මාන, ජාතික තත්ත්ව සම්මාන, ජාත්‍යන්තර තත්ත්ව සහතික වැනි ඇඟයීම් වලට ලක්ව ඇත්තේ එවැනි වෙනසකට මුල පුරා ඇති ආයතන බව කිව යුතුය.

මෙරට රාජ්‍ය සේවාවන් හි පරිපාලන ප‍්‍රතිසංස්කරන ඇති කිරිමේදී සැලකිල්ලට භාජනය විය යුත්තේ මෙම වෙනස ඇති කිරීමේ ක‍්‍රම වේදය බව කිව යුතුය.

 

 

කලාකරුවා කොයිබටද?

මිනිසෙකු හට යම් කලා හැකියාවක් උපතින්ම ලැබී ඇත්නම් එය වාසනා ගුණයකැයි අපි විශ්වාස කරමු. අපගේ සිත ඒකාත්මික කරන විශ්වය අභිබවා යන තරම් ගායන හැකියාවක්, නර්තන හැකියාවක් පමණක් නොව මේ විශ්වයේ රිද්මය දැනෙන හදවතක් හෝ ඇතිව උපන්නේ නම් ඔවුන් සැබෑවටම වාසානාවන්තයෝය.

අමිල හිමි නිදහස් කෙරේ

අත්අඩංගුවට පත්ව සිටි පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමියන් අද පෙරවරුවේ ඇපමත නිදහස් කිරීමට හොරණ මහේස්ත්‍රාත්වරිය නියෝග කොට ඇත. පුද්ගලයන් පිටරට යවමින් මුදල් ඉපයූ බව අමිල හිමියන්ට එල්ල වූ චෝදනාවයි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පලකරමින් මල්වතු මහාවිහාරවාසී අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමු කොට ති‍බිණ.

ජෙනරාල්ගෙන් පොරොන්දු 10 ක්

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වයි. “විශ්වාසනීය වෙනසක්” තේමාව කර ගනිමින් කොළඹ පැවති විශේෂ උත්සවයකදී මෙම එළිදැක්වීම සිදුවිය. මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ තමා දේශපාලකයෙකු නොවන බවත්, පිළිගත් රාජ්‍ය සේවකයෙක් බවත්ය. තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඒ මහතා ප්‍රතිඥා 10 ක් ජනතාව ඉදිරියේ තැබීය.

JPAGE_CURRENT_OF_TOTAL