අපි 62 වන නිදහස මහත් අභිමානයෙන් යුතුව සැමරුවෙමු. හැට දෙවසරක් පුරා අපේ රට විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය තරමින් ලෝකය හා උරෙනුර ගැටෙන්නට තරම් ශක්තිමත්ව ගොඩ නැගෙමින් සිටියි. සමාජය තුල ක්‍රම ක්‍රමයෙන් ඇති වූ ආකල්පමය වෙනස්වීම් මෙකී ගොඩනැගීමට පදනම් වී ඇති බව පෙනේ. කාන්තාව පිළිබද අප සමාජයේ පැවති දුර්මතයන්ද යම්තාක් දුරට ඉවත්වීමට බලපා ඇත්තේ ඉහතින් සදහන් කල ආකල්පමය වෙනස බව පැහැදිලිව පෙනේ. කාන්තාව වෙනුවෙන් අද සමාජය තුල විවෘත වී ඇති දොරටු රැසකි. ඒ දොරටු තුලින් ඔවුන් ලෝකයට පා තබා තිබේ. අතීතයේදී කාන්තාවට අධ්‍යාපනය, පෝෂණය, සමාජයීය ජීවිතය පිළිබද ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවිය. දියණියකගේ ඉපදීම අවාසනාවකැයි විශ්වාස කල යුගයක් තිබුණි. නමුත් ඒ සීමාකම් ලිහිල් වී ගොස් අද මෙරට කාන්තාව ආර්ථික, සංවර්ධනයේ නියමුවා බවට පත්ව හිදියි.
සෑම ක්ෂේත්‍රයකම කාන්තා නියෝජනය ඉහළ අගයක් ගෙන තිබේ. අධ්‍යාපනය, කලාව, නීතිය, වෙළද ක්ෂේත්‍රයන් තුල පමණක් නොවේ, ආරක්ෂක අංශයෙහිද කාන්තා දායකත්වය අතිමහත්ය. එහෙත් දේශපාලනය උදෙසා ඇයගේ දායකත්වයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙයි.
මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් ලෝකයේ බොහෝ මිනිස් සමාජයන්හි පැවතියේ පුරුෂ මූලික සමාජ ක්‍රමයකි. පාලනය පුරුෂයාට අයිති කාර්යක් විය. විටින් විට මෙම සම්මතය බිද වැටුන අවස්ථාද නැතුවාම නොවේ. එහෙත් නායකත්වයක් දැරීමට වඩා සුදුසුම පුද්ගලයා පිරමියාය යන අදහස නූතන ලෝකයෙන් පවා මුළුමනින්ම ඉවත් වී නොමැත. බටහිර සමාජයට වඩා පෙරදිග සමාජයේ මේ අදහස මුල්බැසගෙන ඇති බවක් පෙනේ. මෙවැනි පසුබිමක් තුල කාන්තාවන් යම් පිරිසකට නායකත්වය දීමට හෝ දේශපාලනයට පැමිණීමට මැලිකමක් දක්වන්නේයැයි සිතිය හැකිය.
එමෙන්ම පෙරදිග සංස්කෘතික ලක්ෂණයන්ගේ බලපෑමද මෙවැනි තත්ත්වයක් ඇති කිරිමට ඉවහල් වූවායැයි සිතිය හැකිය. කාන්තාව යනු ජීවිත කාලය පුරා තම සුන්දරත්වය රැකගනිමින්, පවුල ආරක්ෂා කරගැනීම උදෙසා විවිධ කැපවීම් කල යුතු අයෙකුය යන මතය තවමත් පෙරදිග සමාජය තුලින් ඉවත්ව නොගිය බවක් පෙනේ. මේ සමාජ ආකල්පයන්ට අභියෝග කිරීමට ඇය තුල නිර්මාණය කොට ඇති බිය විසින් කාන්තාව දේශපාලනයට ඇතුළු වීමේ මග අහුරා ඇති බවක් පෙනේ.
මුලින් සදහන් කල ආකාරයට කාන්තාව මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රධානතම දායක කරුවාය. අප රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙනු ලබන්නේ ඇයයි. අද ඇගළුම් ක්ෂේත්‍රය තුළ ඇයගේ ශ්‍රම දායකත්වය ඉහළ අගයක් ගෙන තිබේ. ගෘහ සේවිකාවන් ලෙස සේවය කරමින් ඔවුන් රටට උපයා දෙන මුදල් සම්භාරය අතිමහත්ය. තම පවුලේ දියුණුව උදෙසා සිය ශ්‍රමයත්, කාලයත් අසීමාන්තිකව වැය කරන ඇය රටේ ආර්ථික සංවර්ධනය උදෙසා දක්වන සහයෝගය කිසි විටෙකත් සුළුකොට තැකිය හැකි නොවේ. අද ග්‍රාමීය නාගරික වෙනසකින් තොරව කාන්තාව සිය පවුලේ ආර්ථික සංවර්ධනය උදෙසා අතිවිශාල දායකත්වයක් සපයයි. රබර්, තේ ආශ්‍රිත කර්මාන්තයන්හි යෙදෙන වතු කම්කරු කාන්තාවන්ද, විවිධ ස්වයං රැකියා වල නිරත වූවන්ද, දෛනික ගෙවීමකට යටත්ව විවිධ තාවකාලික රැකියා වල යෙදෙන කාන්තාවන්ද, තම ශ්‍රමය වැය කරනුයේ රට වෙනුවෙනි. ජීවත් වීමේ අරගලය ජය ගනු වස් ඇයද ආර්ථික යුද පිටියට වැද හමාරය. පවුලේ ආර්ථිකය වෙනුවෙන් සක්‍රීයව දායක නොවන කාන්තාවන් අද විරලය. පිරිමින් හා උරෙනුර ගැටෙමින්, විටෙක ඔවුන් අභිබවා යම්න් ඇය තම හැකියාවන් විදහා පාමින් සිටින යුගයකි මේ. රටේ ආර්ථික සංවර්ධනයේ පෙරගමන්කරුවා බවට ඇය පත්වෙමින් හිදී.
කාන්තාවගේ අධ්‍යාපන මට්ටමද ඉහළ ප්‍රතිශතයක් ගෙන තිබේ. විවිධ උසස් අධ්‍යාපන ආයතනයන්හි කාන්තා ප්‍රතිශතය ඉහළ අගයකි. අතීතයේ උගත් කාන්තාවකට ලද හැකි ඉහළම රැකියාව වූයේ ගුරු වෘත්තියයි. එහෙත් අද ඉංජිනේරු, වෛද්‍ය, ඉදිකිරීම්, ආරක්ෂක, පරිපාලන ආදී විවිධ ක්ෂේත්‍රයන් වල ඇය සිය දැනුම, බුද්ධිය හා ශ්‍රමය බෙදාහරිමින් හිදී. ගැහැණියකගේ නුවණ හැදිමිට තරම්යැයි කී අතීත පරපුරට ඇය අභියෝග කරයි. වර්තමාන කාන්තාවගේ පසුබිම මෙලෙස සකස් වී තිබුනද දේශපාලනයට පැමිණීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සිතේ. මෙරට කාන්තාවන් දේශපාලනයට පැමිණීමේ ප්‍රතිශතය අවම වීම මෙම සිතුවිල්ලට හේතුවයි. සක්‍රීයව දේශපාලන කාර්යට දායක වීම කෙසේවෙතත් එදිනෙදා සමාජයේදී දේශපාලනය පිළිබද කතා කීරීමට පවා කාන්තාවන් අතර ඇත්තේ අඩු කැමැත්තක් බව පෙනේ. දේශපාලනය සම්බන්ධයෙන් තමාට ඇති එකම හිමිකම ඡන්දය ප්‍රකාශ කිරීම පමණකැයි ඇය සිතනවා වන්නටද පුළුවන. දේශපාලනය සම්බන්ධයෙන් මෙරට සමාජයේ බහුතරයක් කාන්තාවන් දක්වනුයේ නිද්‍රාශීලී උනන්දුවකි. මේ රටේ ආර්ථිකය සංවර්ධනයට වැඩිම දායකත්වයක් සපයන ඇය, දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධව හිදින ඇය පාලනයට දායක වීම කෙරෙහි දක්වන උනන්දුව අඩු වී ඇත්තේ ඇයිදැයි විමසා බැලිය යුතුය.
අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා මේ පිළිබද වරෙක ප්‍රකාශ කර ඇත. එතුමා පවසන ආකාරයට මෙරට දේශපාලනය තුල කාන්තාවන්ගේ ප්‍රතිශතය 5% කි. එය අනෙක් ක්ෂේත්‍රයන් හා සසදා බලන කල අවම ප්‍රතිශතයකි. “කාන්තාවන් බලගැන්වීම පිළිබද අද ඇති වී තිබෙන කතාබහ පුළුල් එකකි. ඔවුන් දේශපාලන ක්‍රියාවලියට සක්‍රීයව දායක කිරීම එම කතාබහ තුල එක් ප්‍රධාන තේමාවක් විය යුතුව ඇත.” මොරගොඩ මහතාගේ අදහස එපරිදිය. රජයේ ඇමතිවරයෙකුගේ අවධානය මේ පිළිබද යොමුවීමම පැසසුම් කටයුතුය.
මෙරට මැතිවරණයකදී ආසනයක් උදෙසා තරග කල පළමු කාන්තා කණ්ඩායම වන්නේ සිංහල දමිළ ග්‍රාමීය කාන්තාවන්ගේ ජාලය නම්න් හැදින්වෙන සංවිධානයකි. (The Sinhala Tamil Rural Women’s Network (STEWN) ) 1999 දී පැවති පළාත් සභා මැතිවරණය උදෙසා ඔවුන් තරග කර ඇත. නුවරඑළිය ප්‍රදේශයේ වතු කම්කරු කාන්තාවන්ගෙන් සැදුම් ලත් මෙම සංවිධානය දිළිදුකම පිටුදැකීම, සෞඛ්‍ය, අධ්‍යාපනය, පරිසරය හා සාමය වැනි තේමාවන් මුල් කොට ගෙන ගොඩනැගුනකි. ඔවුන්ගේ සාමජික සංඛ්‍යාව 29,000 ක් පමණ විය. නමුත් එම මැතිවරණයෙන් ඔවුන්ට එක් ආසනයක් හෝ දිනාගැනීමට නොහැකි විය.
1989 වර්ෂයේදී පැවති පළාත් සභා මැතිවරණය සදහා අපේක්ෂකයින් 1327 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 38 ක් කාන්තාවන්ය. 1993 වර්ෂයේදී අපේක්ෂකයින් 2351 ක් ඉදිරිපත්ව ඇත. ඉන් 12 ක් කාන්තාවන්ය. 1999 වර්ෂයේදී අපේක්ෂකයින් 3677 ක් තරග කර ඇති අතර කාන්තා නියෝජනය 198 කි. 2004 වසරේ අපේක්ෂකයන් 4863 ක් විය. ඒ සදහා කාන්තා අපේක්ෂකයින් 373 ක් ඉදිරිපත් වී ඇත. 2008 හා 2009 වර්ෂයන් වලදී අපේක්ෂකයින් 9356 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 711 දෙනෙක් කාන්තාවන්ය. මේ අනුව පසුගිය මැතිවරණයන් සදහා කාන්තා දායකත්වය අවම ප්‍රමාණයකින් පැවති බව පැහැදිලිව පෙනෙයි. නමුත් ඉහත සංඛ්‍යා ලේඛණ අනුව දේශපාලනය සදහා කාන්තා දායකත්වයේ වර්ධනයක් පෙන්නුම් කිරිම සතුටුදායකය. 2008/2009 මැතිවරණවලදී කාන්තා අපේක්ෂිකාවන් වැඩිපිරිසක් තරගකර ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පමණකි. ඉන් සමහරෙක් දේශපාලනයට නවකයින්ය. දේශපාලනික පවුල් වටපිටාවක් තුල සමහරෙකුට අවස්ථාව හිමි වී ඇත.
සමාජය තුල මුල්බැසගත් යම් යම් සංස්කෘතික සාධකයන් හේතුවෙන් අසාධාරණයට හා අවතක්සේරුවට ලක් වූ කාන්තාවන් සංඛ්‍යාව අතිමහත්ය. එමෙන්ම පැවති යුදමය වාතාවරණය හේතුවෙන් වැන්දඹුවන් වූවන්ද, සැමියාගේ හා දරුවන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දුක් විදින කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ස්වාධීනව නැගී සිටින්නට තරම් ශක්තියක් ඔවුන් තුල නැත. මේ නිසා පවතින දේශපාලන ව්‍යුහයට කාන්තා දායකත්වය මුසුවීම වෙනසක ආරම්භයක් වනු ඇතැයි සිතේ. මේ රටේ සංවර්ධනය උදෙසා කාන්තාවන්ගේ දායකත්වය තව තවත් අවශ්‍යය. විවිධ සමාජීය කරුණු හේතුවෙන් මුළු ගැන්වුන කාන්තාවන් සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගත යුතුව ඇත. දුක් විදින කාන්තාවන් වෙත ලගා වී ඔවුනට අත දිය යුතුව ඇත. කාන්තාවන්ගේ බුද්ධියත් නිර්මාණශීලී හැකියාවත් රටේ යහපත වෙනුවෙන් යෙදවිය යුතුය. කාන්තාවන්ගේ ආර්ථිකය වර්ධනය කොට සමාජයේ ඔවුන්ට හිමි නිසි තැන ලබාදීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. ඔවුන් පිළිබද වඩාත් සංවේදී විය හැකි කාන්තා නායකත්වයක් මෙරට දේශපාලන ව්‍යුහය තුල සැකසිය යුතුව ඇත. ඒ වෙනුවෙන් උගත්, බුද්ධිමත්, පරිණත කාන්තාවන් පෙරමුණ ගැනීමට කාලය එළඹ තිබේ.
පටු ජීවන අරමුණු වලින් බැහැර වූ, විවෘත මනසකින් හා උණුසුම් හදවතකින් යුක්ත කාන්තාවන් දේශපාලනයට අවැසි යුගයකි මේ.