Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: නව පුවත් දේශපාලනය කලාකරුවා කොයිබටද?

කලාකරුවා කොයිබටද?

මිනිසෙකු හට යම් කලා හැකියාවක් උපතින්ම ලැබී ඇත්නම් එය වාසනා ගුණයකැයි අපි විශ්වාස කරමු. අපගේ සිත ඒකාත්මික කරන විශ්වය අභිබවා යන තරම් ගායන හැකියාවක්, නර්තන හැකියාවක් පමණක් නොව මේ විශ්වයේ රිද්මය දැනෙන හදවතක් හෝ ඇතිව උපන්නේ නම් ඔවුන් සැබෑවටම වාසානාවන්තයෝය.

දෙවියන්ගෙන් ඔවුන් ලද මහගුම දායාදය එයයි. අප කලාකාරයින්යැයි කියන්නේ එවන් වාසනාවන්ත පිරිසකටය. අති රමණීය කටහඩක් හිමිව එක් රැයින් ජනප්‍රිය තරුවක් බවට පත්වන ගායකයෙකුට හෝ ගායිකාවකට මෙන්ම ඈත එපිට ගම්මානයක දැව කඳක තම සිතැගි රූපය නෙලන අයෙකුටද අප කියන්නේ කලාකරුවා කියායි.

කලාකරුවා යනු අතිශයින් සංවේදී පුද්ගලයෙකි. ඔහුට මේ විශ්වයේ රිද්මය දැනෙනවායැයි හැගෙනවායැයි මුලින්ම කීවේ ඒ නිසාය. තමා ලග සිටින මිනිසා හුස්ම ගන්නා හඩ ඔහුට දැනෙයි. ඔහුගේ දුක, සතුට, කලාකාමී හිතක් ඇති ඔහුට දැනිය යුතුමය. ස්වභාවය නම් එයයි. සාමාන්‍ය මිනිසෙකුට වඩා මනුෂ්‍යත්වය ඔහුගේ හද තුල දෝරේ ගලන්නේය.

ඒ නිසාය කලාකරුවා සිය නිර්මාණ මිනිසුන් වෙනුවෙන් සිදුකරන්නේ මිනිස් චිත්ත සන්තානයෙහි අතිශයින් සියුම් තැන් ස්පර්ශ කිරීමට ඔහුට හැකියාව පවතී. කලාකරුවා ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට දේශපාලන මතවාදයක් තිබෙන්නට හැකිය. එහෙත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ඔහුට අවශ්‍යතාවයක් නැත. ඔහු පිනවන්නේ පොදු මහජනතාවයි. ඔහුගේ පැවැත්ම රඳා පවතින්නේ පොදු මහජනතාව මතය. ඒ නිසා ඔහු සෑම විටම සිටිය යුත්තේ ජනතාවගේ පැත්තේය. ජීවිතය ගියද ඔහුගේ ස්වාධීනත්වය පාවා නොදෙන්නේය. කලාකරුවන් නම් එවන් පිරිසකි. එහෙත් අද අප ජීවත් වන්නේ එවන් කලාකරුවන් සිටින රටකදැයි සැක සහිතය. (සමාවන්න, රිදීතිරයේ හෝ පුංචි තිරයේ තම හැකියාව උපරිම ලෙස තම ජනතාව වෙනුවෙන් කැපකරන අප්‍රසිද්ධ මානව හිතවාදී කලාකරුවන් රැසක් සිටින බව අපි දනිමු. සියල්ල මුදලට යට වූ සමාජයේ ඔවුන් තම හෘද සාක්ෂිය රැකගනිමින් ජිවත් වීම පිළිබද අප උපහාර කල යුතුව ඇත.) ඒ තරමට අද අපේ රටේ කලාකරුවන් පරිහානියට පත්ව ඇත. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙවර මැතිවරණයේදී කලාකරුවන් යැයි ප්‍රසිද්ධියට පත්වූවන්ගේ සක්‍රීය දායකත්වයක් පෙන්නුම් කරයි.

ඔවුන් කියන ලෙසට එයට හේතු කීපයක්ම හදුනාගත හැකිය. ප්‍රධානතම කාරණය වන්නේ ඔවුන්ට හිමි දේශපාලන වරප්‍රසාදයි. දෙවැන්න ලෙස පවසන්නේ රටට ඇති ආදරයයි. තෙවැන්න නම් යුතුකම ඉටුකිරීමයි. මෙකී කාරණා මුල්කොට ගනිමින් ඔවුන‍් දේශපාලනයට පැමිණ ඇත. අද අප රටේ දේශපාලනය පිළිබද කතා කිරිමටවත් දෙයක් නොමැති තරම්ය. එය එකම මඩ ගොහොරුවකි.

ඒ මඩ ගොහොරුවටම මේ කලාකාරයින්ද වැටී තිබේ. එය කණගාටුවට කරුණකි. ඔවුන් අද එම මඩවලට වැටී මඩ ගසති. ගා ගනිති. කලාකරුවන් බහුතරයක් තම භූමිකාව නිවැරදිව හදුනාගෙන නැති බවක් පෙනේ. ඔවුන් බොහෝ දෙනෙක් විවිධ දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටිති. ඒ මතවාදයන් කරපින්නාගෙන ගමන් කරන ඔවුන් යලිත් ජනතාව අතරට පැමිණෙන්නේය.

ඉදින් ප්‍රශ්ණයක් ඇත. පටු දේශපාලන අරමුණු ඉටුකර දීමට හා තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට උගුර කට වේලෙනතුරු කෑ ගසන මේ කලාකරුවන්යැයි කියාගන්නා පිරිස පිළිගැනීමට මේ රටේ ජනතාව සූදානම් නම් එකී ජනතාවගේ කලා රසඥතාවය පිළිබදව කතා කිරිමට දෙයක් නැත. එම කලාකරුවන්ගේ සංවේදී බව හෝ බුද්ධිමත් බව පිළිබදවද කතා කිරිමට දෙයක් නැත. ඔවුන් සතුව යම් හැකියාවක් ඇතත් ඔවුන් සැබෑ කලාකාරයින්ද යන්න පිළිබද ගැටළුවක් ඇත.