Thursday, Mar 11th

Last update:01:56:56 PM GMT

Headlines:
You are here: නව පුවත් දේශපාලනය රට එකමුතු කළ යුත්තේ කවුරුද?

රට එකමුතු කළ යුත්තේ කවුරුද?

පසුගිය ඉරිදා එනම් පෙබරවාරි 7 දා ඉරිදා ලංකාදීප පත්‍රයේ සිය සුපුරුදු තීරු ලිපියෙන් අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පසුගිය ජනාධිපතිවරණය පිළිබඳ   මෙසේ ලියා තිබුණි. “ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් අනුව විධායක ජනාධිපතිධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ ජනාධිපතිවරණය අවසන් විය. තිස්වසරක් පමණ පැවති ගැටුම් නිරාකරණය වීමෙන් ඉක්බිතිව දිවයිනේ සමස්ථ පුරවැසියන්ටම ස්වකීය පාලකයා තෝරා ගැනීමේ අවස්ථාව මෙවර හිමිවීම විශේෂත්වයකි. ඒ හා සමානවම සමාජය තුළ දේශපාලන වශයෙන් විවිධ භේද මත ගැටුම් හා ආරවුල් මෙම ජනාධිපතිවරණය හමුවේ ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් බව පැහැදිලිව පෙණුනි.”

මෙලෙස විස්තර වූ සටහනින් පසු රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න ගැන මොරගොඩ ඇමතිතුමා මෙසේද පවසා ඇත. “සමාජය ගොඩනැගිය හැක්කේ එකමුතුකම හා සමග එක විට ගොඩනැගෙන ජවයකිනි. මෙතෙක් කල් අප ගමන් කර ඇත්තේ බෙදෙමින්, එකිනෙකා බෙදා වෙන්කර ගනිමින් අඩු ලුහුඩුකම් ගැන අතිශය කෲර අන්දමට චෝදනා හා ප්‍රතිචෝදනා කර ගනිමින්ය. දැන් පසුවී ඇත්තේ මේ සියළු දුර්මත පසෙකලා එකමුතුකම මගින්, ආර්ථිකය සමාජයීය බලවේගයක් ගොඩ නැගිය යුතු හෝරාවයි.

මැතිවරණය නොපවතින ක්‍රියාදාමයක් බවට පත්වී දැනට වර්ෂ දෙක තුනක් ගතවී ඇත. පළාත් සභා මැතිවරණ, ජනාධිපති මැතිවරණය දැන් පාර්ලිමේන්තු මැතිවරණය ඉන් පසු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබේ. අදට වර්ෂ දෙක තුනක් ගතවී ඇති මේ ඡන්ද නිසා සමාජය මෙතෙක් බෙදුන අතර තව වර්ෂයක් දෙකක් යන තුරුත් මෙම බෙදීම් නතර වෙනු ඇතැයි විශ්වාස කිරිමට බැරිය. මීට අමතරව බුරුතු පිටින් හමුදා සංස්ථා සහ රජයේ දෙපොර්තමේන්තු නිලධාරීන් විශ්‍රාම ගැන්වීම, තනතුරුවලින් ඉවත් කිරීම් සහ මාරුකිරීම් ගැන නිරතුරුව අසන්නට ලැබේ. අධිකරණ ඇමතිතුමා සදහන් කළ බෙදීම් තුළ ඇතිවෙන මෙම බෙදීම් නිසා සමාජය තව තවත් අසමගි බිදුන ස්වභාවයක් ගැනීම වළක්වාලන්නට බැරිය. මෙලෙස මෙම නොනවතින බෙදීම් සිදු කරනු ලබන්නේ දේශපාලන, ආගමික, මාධ්‍ය කලා පාලන ක්ෂේත්‍රවල බලවත් කොටස් විසිනි. “තව මොනවද බෙදෙන්නට තියෙන්නෙ. බෙදිලා ඉවරයිනෙ” යනුවෙන් කෙනෙක් ප්‍රකාශ කරන්නේ බෙදෙන්නට බෙදන්නට කිසිවක් ඉතිරිවී නැති නිසා වෙන්නට පුළුවන. නමුත් රටක් ඉදිරියට යා යුතුය. දියුණුවක් ගැන කථා කළ හැක්කේ අධිකරණ ඇමතිවරයා පෙන්වා දී ඇති පරිදි රටවැසියා සමගිවූ විට පමණි. මෙතැන මතුවන ප්‍රශ්ණයකි. බෙදීම් නිසා අසමගි වී ඇති පුරවැසියන් සමගි කළ හැක්කේ කාටද යන්න ඒ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ රට බෙදන අය විසින්ම ඒ කටයුත්තද කළ යුතු බවයි.