අප සමාජය තුල පවතින විවිධ ලක්ෂණයන් ඇති දූෂණය රටේ ඉදිරිගමනට දැඩි බාධාවක් වී ඇති බව පොදු පිළිගැනීමකි. දූෂණය සමාජයෙන් තුරන් කළයුතු බවත් පොදු පිළිගැනීමකි. නමුත් මුළු සමාජයේම අහේතුවකට මෙන් එම පිළිලය වෙනසක් නොවී පවතී.
මෙම පිළිලය සමාජයෙන් ඉවත් කිරීම සදහා විවිධ මාර්ග තිබෙන බව දනිමු. නීතිය ඉන් එකකි. ඒ මග නොගත් රටක් නැත. පොලීසිය, කොමිෂන් සභා සහ එවැනි ක්‍රියාමාර්ග මීට ඇතුලත්ය. මේ මාර්ග වලටත් දූෂණය සතුටුදායක ලෙස මර්දනය කිරිමට බැරිව ඇත.
දූෂණය මැඩපැවැත්වීමේ මෙහෙය තවත් ඉදිරියට ගෙන යාම සදහා ඇති හොදම මගක් ලෙස පිළිගෙන ඇත්තේ රජයේ කටයුතු විනිවිද භාවයකින් කරගෙන යා යුතු බවයි. ඉන් අදහස් වන්නේ රජයේ කටයුතු පිළිබද තොරතුරු ලබාගැනීමට පුරවැසියෙකුට අයිතිය තිබිය යුතු බවය. මේ අයිතිය පුරවැසියෙකුට ලබාදිය හැක්කේ නීති මාර්ගයෙනි. එම අයිතිය නැතහොත් නිදහස ලබාදීම පනතක් මගින් සිදුවිය යුතුය.
මෙහිදී මතක් කර දිය යුතු කරුණක් ගැන සදහන් කිරීම වැදගත් වෙයි. තොරතුරු ලබාගැනීම සදහා පුරවැසියෙකුට හිමිවන අයිතිය ලබාදෙන පනතක් හැකි ඉක්මනින් සම්මත කොට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා ජාතික සංගමය විසින් අප්‍රේල් 8 දා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කිරීමය. මෙම සංගමය විසින් “යහපත් පාලනයක් උදෙසා රජයට ඉදිරිපත් කරන ශ්‍රි ලංකා ජාතික සංගමයේ න්‍යාය පත්‍රය” නමැති ප්‍රකාශයෙහිය.
මෙම සංකල්පය බොහෝ රටවල ක්‍රියාත්මක වන එකකි. අපේ ආසන්න අසල්වැසි රටවන ඉන්දියාව මින් විශේෂ තැනක් ගනී. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ ඉන්දියාවේ මහ ආණ්ඩුවටත් පෙර ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු විසින් නීති මාර්ගයෙන් මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමය. උදාහරණයක් ගතහොත් රජයේ සුළු කටයුත්තක් සැළකිල්ලට ගනිමු. යම් යෝජනා ක්‍රමයක් ගනිමු. ගමක පාලමක් ඉදිකිරීමට මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වේ. මෙසේ ඉදිවෙන පාලම නිසි ලෙස ඉදිවෙනවාද? ඒ සදහා යන ඇස්තමේන්තු වියදම කොපමණද? ඒ අවස්ථාවලදී ඇස්තමේන්තු මුදලින් කොපමණ වියදම් කර තිබේද? යන කරුණු ගැන තොරතුරු ලබාගන්නට ඒ ගමේ වැසියෙකුට අයිතියක් නීති මාර්ගයෙන් ලැබේ. මෙවැනි ක්‍රියාමාර්ගයක් තුලින් දූෂණය සහමුලින්ම ඉවත්කර ගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට අවම කර ගත හැකි වනු ඇත.
රටක ජනතාව දැනුවත් වන තරමට එරට ඉදිරියට යනු ඇත. තොරතුරු ලබාගැනීමේ පනතක් ක්‍රියාත්මක කිරීමේදී එහි වලංගුභාවය රජයේ කටයුතු වලට පමණක් සීමා නොවන බව සැළකිය යුතුයි. රජයේ මුදල් යොදවනු ලබනනේ කොතැනද එහි කටයුතු ගැන තොරතුරු ලබාගන්නට පුළුවන. මුදල් පිළිබද ප්‍රශ්න පමණක් නොව පැසල්වලට ළමුන් ඇතුලත් කර ගැනීම වැනි ප්‍රශ්න වලදී පමණක් නොව යම් අපරාධයක් ගැන පොලීසිය කරන පරික්ෂා සහ ඒ පිළිබද විස්තර ලබා ගැනීමට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදෙන නීතියකින් පුළුවන් වනු ඇත. මෙවිට මුදල් පිළිබද දූෂණ පමණක් නොව වෙනත් ස්වභාවයන් උසුලන දූෂණ ඇතැයි සැකකරන කටයුතු ගැනද තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇත. විනිවිද පෙනෙන සුළු ක්‍රියාකාරීත්වය දූෂණය මර්දනය කිරිමේ සාර්ථක මගකි.


