Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් දේශපාලනය ශක්තිමත් ගමනකට සහජීවනය අත්‍යවශ්‍යයි

ශක්තිමත් ගමනකට සහජීවනය අත්‍යවශ්‍යයි

නූතන ලෝකයේ හුදකලා සමාජයන් ඇත්නම්  ඒ අතලොස්සකි. අද සෑම සමාජයක්ම විවිධත්වයෙන් යුක්තය. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරද, ප්‍රංශයේ පැරිස් නුවරද, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරද, විවිධ භාෂා කතාකරන විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් යුක්ත ජනතාව ජීවත් වෙයි. අපේ රටේද අද දක්නට ඇත්තේ එවැනි බහුජාතික සමාජයකි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජාතීහු අපේ සමාජයේ ජීවත්වෙති.

බහුවිධ සමාජයක් තුල එකිනෙකාගේ අදහස් අවබෝධ කරගනිමින් ගැටුම් ඇති කර නොගනිමින් ජීවත් වීමට ඇති හැකියාව මිනිසා සතු උසස් ලක්ෂණයකි. මනුෂ්‍ය වර්ගයා ගෝත්‍රික බවින් මිදුණ බවට ඇති හොඳම සාක්ෂියක් ලෙසටද එය හැඳින්විය හැකිය. අනෙකාට ගරු නොකරමින් තමන් පමණකැයි සිතමින් කටයුතු කලේ ගෝත්‍රික සමාජය තුලදීය.

අපේ රටේ බහුතරය සිංහල බෞද්ධ ජනතාවය. එහෙත් දමිළ, මුස්ලිම්, ජාතීන්ද හින්දු හා කතෝලික ආගමිකයන්ද මෙරට ජීවත්වෙයි. අනෙක් ජාතිකයාගේ, අනෙක් ආගමිකයාගේ හැගීම්, පිළිබඳ අවබෝධයෙන් ඔවුන් පිළිබඳ ගෞරවයෙන් ජිවත්වන බහුතර පිරිසක් අපේ සමාජයේ වෙසෙති. සහජීවනය නැමති සංහල භාෂාවේ ඇති සුන්දරතම වචනයක් ශ්‍රි ලාංකික සමාජය තුල යථාර්තයක් බවට පත් කර ඇති බවක් පෙනේ.

එකී වචනයේ අර්ථය සුන් කරමින් ඇතැම් අවස්ථාවලදී ගැටුම් ඇති වූ බව රහසක් නොවේ. අතීතයේදී අප විසින් ගනු ලැබූ පටු තීරණ මේ සඳහා හේතුපාදක වී ඇති බව පෙනෙන්නට ඇති කාරණාවයි. පටු අවකාශයක් තුල හිඳිමින් පටු තීරණ ගත් විට ලැබෙන ප්‍රතිඵලය ඉතාම කටුක නීරස එකකි. එකී අත්දැකීමකට අපි අතීතයේදී මුහුණ දී වසර ගණනක් එහි ප්‍රතිඵලයද භුක්ති වින්දෝ වෙමු. එහෙත් අද එම තත්ත්වය වෙනස් වී ඇත. කිසිවෙකු උසස් හෝ පහත් නොවන බව මෙරට ජනාධිපතිවරයා පවා විටෙක ප්‍රකාශ කර ඇත.

අපේ රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටී. ඉදිරියට යා යුතු ගමන සැකසී ඇත්තේ දහසකුත් ප්‍රශ්ණ, ගැට‍ළු, බාධක මැදිනි. එකී ගමන වඩාත් විශ්වාසනීය එකක් බවට පත් කර ගන්නට නම් අන්‍ය ජාතිකයන් හා ආගමිකයන් අතර ඇති අවබෝධය මෙන්ම ඔවුනට කරන ගරුකිරීමද වැදගත් වන්නේ ය. අද අප දකින අත් විඳින සහජීවනය තවදුරටත් වර්ධනය වනු මිස මඳකින් හෝ පිරිහීමට ඉඩ නොතැබිය යුතුය.