මිලින්ද මොරගොඩ පුදුම දේවල් කරයි. බොහෝ දේශපාලනඥයන් සහ ඔහු අතර ඇති වෙනස එය යැයි මම සිතමි. ඔහුට ධනය තිබේ. ධනවත් ආධාරකරුවන්ද සිටිති. නමුත් මේ කාලයේ පාර්ලිමේන්තුවට තේරෙන්නට ධනය පමණක් ප්‍රමාණවත් නොවේ. තෝරාගනු ලැබුවත් ඡන්දය ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවේ. උදාහරණයක් ගතහොත් සැම්සන් සිල්වා නිරන්තරයෙන්ම මැතිවරණය සදහා තරග කරන කෙනෙකි. ඔහු විශාල වියදමක් කරයි. නමුත් කිසිදින දිනන්නේ නැත.
මිලින්ද පෝස්ටර්, කටවුට්, බැනර්, රතිඤ්ඤා, ශබ්ද විකාශන සහ පිරිවර නොතකයි. ඡන්ද නීති නොකඩන දේශපාලකයින් කිහිපදෙනාගෙන් ඔහු ද කෙනෙක් වන්නට හැකිය. ඔහු නීතියේ පවතින අඩුලුහුඩුකම් වලින් ප්‍රයෝජන ගන්නේ ද නැත.
උදාහරණයක් වශයෙන් පෝස්ටර් ප්‍රදර්ශනය නොකලයුතු බව දේශපාලනඥයින් දනිති. එහෙත් ඔවුන්ගේ පෝස්ටර් ඇලවීමට අවකාශය තිබෙන්නේ කොතනද ඒ හැම බිත්තියක්ම විනාශ කරති. ඇතැම් අය ඉතා සියුම්ව කටයුතු කරයි. නාමයෝජනා භාරගෙන අවසාන වන්නටත් පෙර ඔවුන් මේ දේ කරති. ඒ මගින් ඔවුන් තරග බිමට එන බව කල්තියාම ඡන්දදායකයාට ඒත්තු ගන්වයි. නීතියේ නොයෙකුත් අඩුලුහුඩුකම් ඇත. ඒ හැම එකකින්ම ඔවුන් රිංගා යති. මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මිලින්ද වැඩ කරන්නේ වෙනස් ක්‍රමයකටය.
2004 දී මිලින්ද ප්‍රවෘත්ති පත්‍ර දැන්වීම් මාලාවක් පල කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ට කෙලින්ම ලිවීම හැරුණු විට වෙබ් අඩවි වලටද ඔහු දැන්වීම් පල කළේය. මුද්‍රිත දැන්වීම් විශේෂයක් විය. මේ නිසා අළුත් බවක් ඉන් ඇති විය. ඇතැම් අපේක්ෂකයින් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කිරීමට සහ ඔවුන් ජයග්‍රහණය කලේ නැතහොත් ඡන්දදායකයාට ඇතිවන අහිතකර විපාක ප්‍රකාශ කිරීමට පුවත්පත්වල ඉඩ මිළදී ගන්නා විට මිලින්ද ජනතාව හිතන්නට පෙළඹවීමට ඉතා සියුම් කියමන් පාවිච්චි කලේය.
ඩලස් අලහප්පෙරුම පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් ගෙන යන්නට තෝරාගත් ක්‍රමයට ප්‍රශංසා කරන දැන්වීමක් ඔහු පලකලේය. ඒ අවස්ථාවේදී මිලින්ද එක්සත් ජාතික පාක්ෂිකයෙකි. ජනතා සන්ධානයෙන් තරග කල ඩලස් මාතර දිස්ත්‍රික්කය තුල සදාචාරවත් ඡන්ද ව්‍යාපාරයක් ගෙනයන්නට, මඩ ගැසීමෙන් වැලකීමට ඔහුගේ තරගකරුවන් සමග එකගත්වයට පැමිණියේය. 2001 දී ඔහු තරගකලේ නැත. ඒ වන විට ඡන්ද සංස්කෘතිය වෙනස් වී තිබිණ. එක් එ.ජා.ප. අපේක්ෂකයෙක් මෙසේ පෝස්ටරයක් අලවා තිබුණි. “අනේ ඩලස් උඹ හිටියනම්” මිලන්ද මේ අදහස මත ක්‍රියාත්මක විය. ඔහු වෙනස් දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාව වන විට නගරයේ ඉඩ තිබූ තැන් විනාශ කිරිම ඡන්ද ව්‍යාපාරයේ කොටසක්ව තිබීම හෙලාදකිමින් ඔහු දැන්වීම් පලකළේය. දැන් මට මතක නැති වුවත් ඔහුගේ පණිවිඩ ධනාත්මක විය. ඕනෑම කෙනෙකුට එකග වීමට හැකි ඒවා විය. පක්ෂ භේද නොමැතිව මෙකී දැන්වීම්වලට ගරුකරන්නට හැකි විය. ඔහු ජයග්‍රහණය කළේය.
ඉන්පසු නොයෙක් දේවල් සිදුවිය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගණනාවක් සමග මිලින්ද ආණ්ඩුවට එක්විය. ඔහු සංචාරක ඇමතිවරයා ලෙස පත් කරනු ලැබිණ. මේ කාර්යයේදී ඔහු විධිමත්ව කටයුතු කළේය. හිටපු එ.ජා. පාක්ෂිකයෙකු වශයෙන් පුදුම උපදවන සුළු අන්දමින් ඔහු සංස්කෘතික ජීවන ක්‍රමය ආරක්ෂා කිරීමට කටයුතු කළේය. අපගේ සංස්කෘතික දායාදය විනාශ නොකර, අපගේ ජනතාවගේ සංවේදී බව හා උරුමය ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට හැකිය යන පදනම මත ඔහු ක්‍රියා කළේය.
දේශපාලන අර්බුද නිසා මිලින්ද සංචාරක අමාත්‍යංශයෙන් අධිකරණ අමාත්‍යංශයට මාරු කරනු ලැබිණ. මේ අමාත්‍යංශය එතරම් ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියක් වන අන්දමේ කටයුතු කර ජනතාවගේ සහයෝගය ලබාගන්නට එතරම් හැකි එකක් නොවීය. ඔහු වැඩ කළේය. එය පැහැදිලිය. අධිකරණ ක්‍රියාදාමය වේගවත් කොට දසදහස් ගණනකට සහනය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය.
දැන් නැවතත් ඡන්ද කාලයයි. ඔහු දැන් ඉන්නේ එතරම් යහපත් තත්ත්වයක නොවේ. එයට හේතු කිහිපයකි. ඔහු දැන් ඉන්නේ එ.ජා.ප. හි නොවේ. 2004 දී කොළඹ ජනතාවගෙන් ඔහුට ලැබුණ රැල්ල මෙවර ඔහුට ලබන්නට නුපුළුවන. ප්‍රභාකරන් අලියා ලකුණ යටතේ තරග කලානම් කැපුවත් කොළ යැයි සිතන මේ රැල්ල ඔහුට පවා ඡන්දය දෙනු ඇත. මේ අය එවැනි පැලැන්තියකි.
කොළඹ නගරය තුල තිබෙන ආසන එ.ජ.නි. සංධානයේ ආධාර කරුවන්ගේ පිරුණු ඒවා නොවේ. මේ බව මෑතදී පැවති මැතිවරණ වලින් පෙන්නුම් කරයි. දැන් මිලින්ද එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවේ. මේ අය මිලින්ද දකින්නේ පාවාදෙන්නෙකු ලෙසයි. මේ නිසා කොළඹ ජනතාව පොළඹවා ගැනීමට විශාල කාර්යයක් කල යුතුව ඇත.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවීම ඒ සමානවම ගැටළු සහිතය. ඔහුගේ වෙනම පක්ෂයක් තිබේ. “ශ්‍රී ලංකා ජාතික සංගමය” එයයි. එය අළුත්ය. ඒ පිළිබද දන්නේ අතලොස්සකි. මිලින්දව මතක තිබුණත් පක්ෂය ඔවුන්ට මතක නැති වනු ඇත.
ජනාධිපතිවරයාට සහයෝගය දී තමන්ගේ කාර්යය නිහඩව ඉටුකල කෙනෙක් හැටියට මතක තිබෙනවාට වඩා ඔහු පක්ෂය හැරගිය කෙනෙකු හැටියට ඔවුන් සිතනු ඇත. ජනතාව අතරට යන්නට අළුත් මගක් සොයා ගන්නට සිදු වන්නේය. ඔහු එය ඉටුකර ඇත. 2004 ඔහු ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් ඇත. අළුත් දේශපාලනයකට හඩගා තිබේ. මේ හඩ ඉදිරිපත්කර ඇත්තේ යහපත් සුබවාදී පාලනයක් උදෙසා රජය පොළඹවන හා දිරිගැන්වීමට යන ප්‍රකාශනයකිනි.
එක කරුණක් නිසා නොවේ නම් මෙය තවත් ඡන්ද උප්පරවැට්ටියක් ලෙස මම සලකමි. මිලින්ද මෙය නොකර සිටිය යුතුව තිබුණි. පාර්ලිමේන්තුවට යන්නට තවත් විවිධ මාර්ග තිබේ. එමෙන්ම ඔහුට සැහැල්ලුව කටයුතු කරගෙන යාමට හැම හැකියාවක්ම තිබුණද ඔහු වඩාත් දුෂ්කර මාර්ගය තෝරාගෙන තිබේ.
ඔහු දිනුවද පැරදුනද කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද දායකයෙකුටම ලැබුණ මේ ප්‍රකාශය කියවිය යුතුය. මතකයේ තබාගත යුතුය. උපුටා ගත යුතුය. අවුරුදු ගණනාවකට එය ප්‍රයෝජනවත් වනු ඇත. වැදගත් සියළුම කරුණු ඊට අඩංගුය. ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ලම ඊට ඇතුලත්ය. ඉතා වැදගත් ලෙස විග්‍රහ කොට ඇත. සරල මෙන්ම ඉතා පැහැදිළිය.
මම වෙනත් තැනක ලියා ඇති පරිදි මෙම ඡන්දය ඉතාම නීරසය. එය කරුණුවලින් තොර එකකි. මේ ඡන්දයේ මගේ කැමැත්ත එක් කරුණක් කෙරෙහි පමණි. එය නම් එ.ජ.නි.ස. 2/3 වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇද්ද නැද්ද සහ වැදගත් පුද්ගලයින් තෝරා පත්වේවිද යන කාරණාව පමණි. මෙවර මැතිවරණය හරවත් එකක් කරන්නට මිලින්ද උත්සාහ කරයි. ඔහුගේ ප්‍රකාශනය ඕනෑකමින් කියවන්නෝ පොහොසත්, ශක්තිමත් බාහු ඇත්තෝ, කපටියන්, ප්‍රතික්ෂේප කොට යහපත් මිනිසුන් සහ කාන්තාවන් තෝරාගන්නට ඉඩ තිබේ.
එය එසේ වෙනවානම් මිලින්ද ජයග්‍රහණය නොකලත් ඔහුට ආඩම්බර විය හැකිය. ඔහු එ.ජා.පක්ෂයෙන් ඉවත් වූ විට යම් කැලලක් ඇති විය. මම හිතන හැටියට මේ ප්‍රකාශනය ඔහු යලිත් නිර්දෝශී පුද්ගලයෙකු බවට පත්කළේය. ඒ ප්‍රකාශනය ඔහු තේරී පත්වීමට සෑහේද කියා මම නොදනිමි. ඇත්ත වශයෙන්ම ඔහු වෙනස් දෙයක් කරන්නේය. ඒ මග ඔහුගේ පෞරුෂයට අනුකූලය.
මාලින්ද සෙනෙවිරත්න විසිනි


