වඩාත් වේගවත් සංවර්ධනයට හා සංකීරණත්වයට පත්වෙමින් තිබෙන වර්තමාන සමාජ සන්දර්භය තුල කාන්තාවගේ භූමිකාව කෙබදු ආකාරයක් ගෙන තිබේද? මෙය අද වන විට කතිකාවට ලක් කල යුතු තේමාවක් බවට පත්ව ඇත. එයට හේතුව නම් වර්තමාන සමාජයේ ඉදිරි ගමන උදෙසා කාන්තාව වඩාත් ක්‍රියාකාරීව තම දායකත්වය දක්වමින් හිදින බැවිනි.
අතීතයේදී කාන්තාවන්ගේ කාර්යය සීමා සහිත වූවකි. ඇයට පැවරී තිබුණ රාජකාරීන් කීපයක් විය. දරුවන් හැදීම, වැඩීම, ගෙදර දොර පාලනය එකී කාර්යයන් අතර ප්‍රමඛ විය. උපතේ සිට මරණය දක්වා පුරුෂ ආධිපත්‍යයට නතුව ජීවත්වීමට ඇයට සිදුවිය. අධ්‍යාපනය, සමාජශීලී වීම, ස්වාධීන තීරණ ගැනීම ඇයගේ අයිතිවාසිකම් නොවීය. ඇය දැන සිටි ලෝකය ගමටත්, පවුලටත් සීමා විය.
දැන් ඇත්තේ එයට හාත්පසින්ම වෙනස් සමාජ තත්ත්වයකි. පවතින ආර්ථික යුද්ධය හමුවේ කාන්තාවට තවදුරටත් මුල්ලකට වී සිටිය නොහැකිය. තමා හා තම පවුලේ සාමාජිකයින් ජීවත් කරවීමට ඇයද මෙම සංග්‍රාමයට එක් විය යුතුමය. වර්තමාන කාන්තාව පිළිබද නව කතිකාව ගොඩ නැගෙන්නේ මෙකී ආර්ථික සාධකය පදනම් කර ගනිමිනි.
ශ්‍රී ලාංකික කාන්තාව මෙරට ආර්ථිකයේ ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත. වැඩිම විදේශ විනිමයක් මෙරටට උපයා දෙන්නේ ඇයයි. ඒ ඇගළුම් කර්මානත්යෙන් හා මැදපෙරදිග ගෘහ සේවයෙනි. එයට අමතරව වතු කම්කරු කාන්තාව හා විවිධ ගෘහ කර්මාන්තයන්හි නිරත කාන්තාවන්ද තම ශ්‍රමය, ශක්තිය මෙරට ආර්ථිකයේ ශක්තිමත් පදනම බවට පත්කොට ඇත. වර්තමාන සාමජය තුල ඇය අවතක්සේරුවට ලක් කල නොහැකි කාරණා අතරට ඉහතින් කී මෙම කාරණාව වඩාත් ප්‍රබල වන්නේය.
තවත් අතකින් බැලූ කල කාන්තා අධ්‍යාපනය අද ඉතා ඉහල අගයක පවතී. අකුරු ලියන්නට හා කියවන්නට පමණක් දැන සිටීම ප්‍රමාණවත් යැයි කියූ අතීත සමාජය අභියෝගයට ලක්කරමින් ඇය අධ්‍යාපනයේ හිනිපෙත්තටම නැග ඇත. මේ නිසා වෛද්‍ය, නීති, ඉදිකිරීම්, පරිපාලන වැනි සෑම ක්ෂේත්‍රයකම කාන්තාව පෙරමුණ ගෙන සිටින්නීය. එපමණකින් නොනැවතුන ඇය ආරක්ෂක සේවයන්හිද සිය දස්කම් දක්වන්නීය.
සෑම ක්ෂේත්‍රයකම කාන්තාව කැපී පෙනුනද දේශපාලනයට ඇයගේ පිවිසීම අවම අගයක් ගනී. ඒ සදහා හේතු කිහිපයක් බලපා ඇති බව පෙනේ. ප්‍රධානතම කාරණය වන්නේ කාන්තාවන් පිළිබද සමාජ ආකල්පය ඇතැම් අවස්ථාවලදී සාම්ප්‍රදායික හැඩයක් ගැනීමයි. තීරණාත්මක කාරණාවලදී කාන්තා මතය නොසලකා හරින වාතාවරණයක් ඇත. අනෙක් කාරණාව නම් දේශපාලන පක්ෂ විසින් කාන්තාවන්ට අවස්ථාවක් ලබා නොදීමයි. එමෙන්ම මූල්‍යමය සාධකයේ හිගයද ඇයගේ දේශපාලන ආගමනය වැලැක්වීමට බලපාන තවත් කරුණකි.
කෙසේ වුවත් මේ අවධිය දේශපාලනයට කාන්තාවගේ ආගමනය සිදුවිය යුතු කාලයකැයි සිතේ. කෙතරම් දියුණු සමාජයක් පැවතියද කාන්තාවන් අසාධාරණයට ලක්වීම අඩු වී නොමැත. වයස් භේදයකින් තොරව ඇය දූෂණයට ලක් වෙයි. ගෘහස්තව හිංසනයන්ට බදුන් වෙයි. මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු වූවන්ට සිදුවන අසාධාරණයන් නිමක් නැත. ඒ රටවලදීම ඔවුන් මිය යන අතර ඒවා අභිරහස් ලෙස යටපත් වෙයි. ඔවුන් වෙනුවෙන් හඩක් නගන්නට කිසිවෙක් නොමැත. මෙවන් කාරණා සම්බන්ධයෙන් සෘජු දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය වුවද විධිමත් ක්‍රියාවලියක් ඒ වෙනුවෙන් සැකසී නොමැත. බලපෑමක් කල හැකි කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුල තිබුනේ නම් කාන්තාවන් මුහුන දෙන මෙවන් ගැටළු පිළිබද වැඩි අවධානයක් යොමු කරන්නට පුළුල් අවකාශයක් පවතී.


