You are here: නව පුවත් දේශපාලනය හොද අය හා හොද නැති අය

හොද අය හා හොද නැති අය

“පාර්ලිමේන්තුවට හොද මිනිස්සු එවන්න” මේ දවස්වල පුවත්පත්කතුවරුන්ගේ ඉල්ලීමක් මේක. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ සිටින සමහර ශ්‍රේෂ්ඨ දේශපාලකයින්ගෙත්. බැලූ බැල්මට පෙනෙන්නේ ඒක හොද ඉල්ලීමක් විදියටයි. ඇත්තටම ඔව්. එය හොද ඉල්ලීමක්. පාර්ලිමේන්තුවට හොද මිනිස්සු ගියොත් විතරයි හොදින් රට කරවන්න පුළුවන් වෙන්නේ.

මේ ප්‍රකාශය නිසා ජනතාවට වගකීමක් පැටවෙනවා. පාර්ලිමේන්තුවට හොද නැති මිනිස්සු යැව්වොත් ඒ හොද නැති  මිනිස්සු කරන හොද හෝ හොද නැති සෑම දෙයකටම වගකිවයුතු වන්නේ රටේ ජනතාවයි. ඇයි ඒ? ඔවුන් තෝරලා යැව්වේ ජනතාවනේ. තර්කය ගොඩනැගෙන්නේ ඔය විදියටයි.

කවුද මේ හොද නැති අය කියන්නේ? හොද නොහොද කොතනින්ද වෙන් කරන්නේ?

අපි මෙහෙම හිතමු. මෙන්න මෙහෙම කෙනෙක් ඡන්දෙ ඉල්ලනවා. මේ පුද්ගලයා මුදල් හම්බ කරන්නේ අනිසි විදියට. වංචා, දූෂණ කෙලවරක් නෑ. ස්ත්‍රී දූෂණ නිසා හිරෙත් ගිහින් තියනවා. මේ විදිහට සමාජය නරකයි කියන හැමදෙයක්ම කරපු මනුස්සයෙක්. ඒත් මේ මිනිසා දුගී දුප්පත් ජනතාවට මහා ලොකු ආදරයක් පෙන්නනවා. දුප්පත් මිනිස්සු එක්ක කතා කරනවා. ඒ අය අතරට යනවා. ඒ අයව ස්පර්ශ කරනවා. ඒ අයට සල්ලි දෙනවා. කෑම දෙනවා. ලොකු පිළිගැනීමක් දෙනවා. දුකට පිහිට වෙනවා. තමන්ගේම මිනිසුන්යැයි කියනවා. ඒ ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා. ඒ අ‍යගේ නිවාස රැකියා ප්‍රශ්නයට යම් තරමකින් හෝ පිළිතුරු දෙනවා. මේ ජනතාවට සිටින විශ්වාසවන්තම පුද්ගලයා ඔහුයි. ඒ විතරක් නෙවෙයි. ඔහු තමන්ගේ ගැලවුම්කාරයා ලෙස මේ ජනතාව දකිනවා. සරලව කිවුවොත් මේ ජනතාවට සිටින හොදම ජනතා නියෝජිතයා මේ කියපු පුද්ගලයා. ඒත් ඔහු එක්තරා පිරිසකට හොද නැති කෙනෙක්. ඒ හොද නැතිකම ඔහුට ප්‍රශ්නෙකුත් නෙවෙයි. මොකද ඔහුට ඡන්දෙ ඉල්ලන්න නාම‍යෝජනා භාර අරගෙන තියනවා. තමන්ගේ බලප්‍රදේශයේ ඉන්න ජනතාවට තමන් හොද කෙනෙක් කියන්න ඔහු දන්නවා. ඒ වගේම ඒ ජනතාව තමුන් පාර්ලිමේන්තුවට යවන බවත් ඔහු දන්නවා. ඇත්තටම ඔහු හොද නැති කෙනෙක්. එත් ඒ ජනතාවට ඔහු හොද කෙනෙක්.

මේ කියපු  දේ අනිත් පැත්ත මෙහෙම වෙන්න පුළුවන්. තවත් පුද්ගලයෙක් ඉන්නවා ඔහුටත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. නාමයෝජනාව පිළි අරන් තියෙන්නේ. ඒත් ඔහු ජනතාව අතරට යන්නෙ නෑ. තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාවවත් ඔහුව අදුරන්නේ නෑ. ඉහත පුද්ගලයා කරපු කිසිම දෙයක් මේ පුද්ගලයා කරන්නේ නෑ. ඒ නිසා ඔහු ජනතාවට හොද කෙනෙක් නෙවෙයි. හොද නැති කෙනෙක්. ඒත් ඔහු බුද්ධිමතෙක්. ප්‍රතිපත්තිගරුකයි. නීතිගරුකයි. සමාජයටවත් රටටවත් වැරැද්දක් කරන්නේ නෑ. මුදල් හම්බකිරීම නීතිගරුකයි. රටේ තීරණාත්මක අවස්ථාවලදී ඔහු ඉතා වැදගත් පුද්ගලයෙක්. මේ කියපු කාරණා නිසා එක්තරා පිරිසකට ඔහු ඉතා හොද පුද්ගලයෙක්. ඒත් මේ එක්තරා පිරිස ඔහුගේ ඡන්ද දායකයෝ නෙවෙයි. මේ නිසා ඔහු පාර්ලිමේන්තුවට එන එකත් අභියෝගයක්.

මේ දෙදෙනාගෙන් පළමුව කී පුද්ගලයා ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එනවා. දෙවැන්නා ඉතා හොද කෙනෙක් වුනත් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ නෑ. මේකට වගකියන්න ඕන ජනතාවද? බැලූ බැල්මට නම් පේන්නෙ එහෙම තමයි. ඒත් ඒක එහෙම නෙවෙයි.

අපේ රටේ බහුතරයක් ඉන්නේ දුප්පත් මිනිස්සු. එදා වේල කන්න හොයා ගන්න දගලන මිනිස්සු. එහෙම මිනිස්සු දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වන්නේ එදිනෙදා ජීවිතය ටිකක් පහසු කරගන්න උදව්වක්. ඒක වැරැද්දක් නෙවෙයි. නැතිබැරිකම හැම දේටම වඩා දැනෙනවා. මේ කාරණාව ඒ දේශපාලකයින් දන්නවා. ඔවුන් අල්ලා ගන්නේ ජනතාවගේ ඒ නැතිබැරිකම. ඒ වගේ ජනතාවක් අර වගේ පුද්ගලයෙකුට ඡන්දය දෙන එක ගැන කාටවත් වැරැද්දක් කියන්න බෑ. එහෙම අය පාර්ලිමේන්තුවට යැව්වා කියලා මේ ජනතාවට වැරැද්දක් පටවන්න පුළුවන්ද?

එහෙමනම් පාර්ලිමේන්තුවට යවන්න ඕන කවුද කියන එක තීරණය කරන්න ඕන ජනතාවද? නැත්නම් ඊට ඉහළින් ඉන්න නායකයොද?

ඡන්දය ඉල්ලිය යුත්තේ කවුද? ‍ඒ අයට තිබිය යුතු සුදුසුකම් මොනවද කියන දේවල් කිසිතැනක සදහන් වෙලා නෑ. අද සල්ලි තියනවානම් ඕනම කෙනෙකුට ඡන්දය ඉල්ලන්න පුළුවන්. ඉතින් වැරැද්ද මේ ජරා දේශපාලන ක්‍රමයේ නෙවේද? මේ දේශපාලන පැලැන්තියේ නෙවෙයිද?

වැරදි කරන්නේ ලොකු තැන්වල ඉන්න වගකිවයුත්තෝ. ඒ වැරදි වල වගකීම මේ රටේ අහිංසක ජනතාව වෙත පැටවීම වැරදියි. පාර්ලිමේන්තුවට තේරෙන උදවිය ගැන ජනතාව වගකිව යුතුයි කියන දේත් මේ ආකාරයට බලපුවාම පිළිගන්න කොහෙත්ම බෑ.