Wednesday, Mar 10th

Last update:11:35:22 AM GMT

Headlines:
You are here: ගවේෂණ

ගවේෂණ

සේපාලිකා

sepalika_malaහිස් හොරි නසා කෙස් යෑම වළකන “සේපාලිකා” දිව්‍ය ඖෂධයක්.

සේපාලිකා ශාකය, වැඩි දෙනෙකු දන්නේ සුවඳවත් මල් ගසක් හැටියට ය. එහෙත්, දේශීය ආයුර්වේද වෙදකමේ දී මෙය බෙහෙවින් අගනා ඖෂධීය රුකෙකි. හිස්හොරි හා හිසේ කොරපොතු නැති කළ හැකි, හිසැ කෙස් වඩන, කෙස් ගැළවීම වළකන, උකුණන් වඳ කරන, පණු ගාය, චර්ම රෝග, උණ හා වාත අමාරු සුව කරන ඖෂධීය ශාකයක් ලෙස දේශිය වෛද්‍යවරු අගය කරති.

ශ්‍රී ලංකාවේ සෑම පළාතක ම වාගේ සරුවට වැවෙන ශාකයෙකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය, “Nyctanthes arbortristis” වන අතර කුලය oleaceae වෙයි.

අඩි 10 ක් 12 ක් පමණ උස්වන අතු, ඉති,  රිකිලි ලා පඳුරක් ලෙස, ගෙමිදුල්හි අයිනෙක වවා තිබෙන සේපාලිකා  ගස්වල මල් පිපෙන්නේ රාත්‍රී කාලයේ ය. එම මල් බොහොමයක් උදේ ගහයට වැටී තිබෙනු දැකිය හැකි ය. ඒ මල් සුදු පාට ය. මලේ නටුව ලස්සන රත් පැහැයක් ගනී. එම නටුව ඇඟිලි තුඩුවලින් පොඩිකළ විට කහපාට වෙයි. පරිසරය සුවඳවත් කරන මේ මල ප්‍රමාණයෙන් ගැට පිච්ච මලක් පමණ වෙයි.

සිංහලෙන් සේපාලිකා (ශේඵාලිකා) නමින් ද, දමිළ බසින්, පටලමල්ලි සහ මංජුපු යන නම්වලින් ද, ඉංග්‍රීසියෙන් Night Jasmin නමින්ද හඳුන්වන අතර, පර්යාය නාම ලෙස, රාජනිහාසා, නිෂිපුෂ්පිකා, සීතමංජරී, තාඹ්‍රවෘත්තිකා, ශුක්ලාංගී, රක්තවෘත්තා, රාග පුෂ්පී, මන්දාර, සුවා හා වාතාරී ආදී සකු නාමයන්ගෙන් හැඳින්වෙයි.

සුශ්‍රැත සංහිතා, අෂ්ටාංග හෘදය හා වෙනත් නිඝණ්ඩුවල ද ශේඵාලිකා පිළිබඳ විස්තර සඳහන් වෙයි. මෙම මලෙහි සුවඳ සමන් පිච්ච මලක සුවඳට සමාන ය. අඟල් 4x6 ක් පමණ කොළවල, මද ගොරෝසු ගතියක් ඇත. මුලින් වක්‍රාකාර වන කොළේ අග උල් ය. මෙහි පළ ව ඇති ඡායාරූපයෙන් එහි ලක්ෂණ බලා ගත හැකි ය. මේ කොළවල Nyctanthene නම් ක්ෂාර පදාර්ථයක් අඩංගු ය.

සේපාලිකා ඖෂධීය ගුණ ‍

ළඝු ය. රූක්ෂ ය. රසයෙන් තික්ත ය. විපාකයෙන් කටුක ය. වීර්යයෙන් උෂ්ණ ය. වාතය හා සෙම නසන ගුණයෙන් යුක්ත ය. පිත ශෝධනය කර යි. කෘමීන් නස යි. විශේෂයෙන් උකුණන් හා ඒ වැනි සතුන් වඳ කරයි. කෙස්වලට හිත යි. පිත වැඩි කරන ගුණය නිසා කුසගින්න වඩයි.

අනුලෝමන ගුණය ඇත. මේ නිසා කොළ, යුෂ, බඩගින්න ඇති කරයි. අග්ලිය දක්ව යි. රක්ත ශෝධක ය. මේ නිසා රක්ත රෝගවල දී ප්‍රයෝග කර යි.

ප්‍රයෝජනයට ගැනීම

සේපාලිකා කොළ යුෂ මී පැණි සහ ලුණු සමග බීමෙන් වට පණුවන් හා කිරිපණුවන් පතිත වෙයි. එම යුෂ ළදරුවන්ට ද දිය හැකි ප්‍රවේසම් සහිත විරේචනයකි.

සේපාලිකා කොළ යුෂ අවුන්සයක් පමණ මී පැණි සමග බීමෙන්

ආම වාතයට සන්ධි ශෝථෙට

උදරාබාධයන්ට සෑහෙන ගුණයක් ලැබෙයි. ඉහත කී යෝගය ම යෙදීමෙන් ගුණ ලැබේ. ගෘධ්‍රසි නම් දුක සේ සුවකර ගත යුතු වාත රෝගයේදී සේපාලිකා කොළ කලං 12 (වතුර පත 8 පතට සිදුවා) කෂාය කර උදේ සවස පත බාගය බැගින් බීමෙන් එම රෝගය සුව වේ. ප්‍රත්‍යක්ෂ කෂාය කි.

කාස (කැස්ස)

ශ්වාස රෝගවලදී සේපාලිකා මුලේ පොතු චූර්ණය රක්තිකා (මංචාඩි) 2 ක් බුලත් කොළ යුෂ දමා බීමෙන් ඝන වූ සෙම බුරුල් වී පිටවීමෙන් සහනයක් ලැබෙ යි.

චර්ම (හමේ) රෝගවලදී මෙකී පොතු චූර්ණය දෙහි ඇඹුලෙන් අනා බාහිර ව ආලේප කිරීමෙන් ගුණ ලැබේ.

සර්ප විසේදී ද මෙකී චූර්ණය අරත්ත අල යුෂින් බීමට දීම‍ හොඳයි.

සේපාලිකා බීජ ජලයෙන් අඹරා හිසේ ගෑමෙන්, හිස් හොරි ද, හිසේ කොරපොතුද නැති වේ. අකලට කෙස් වැටීමද මෙයි නවතී. අලුතින් හිසකෙස් වැඩීම ද වෙයි.

සේපාලිකා කොළ හා පොතු යුෂ අඹරා හිසේ ගා නෑමෙන් උකුණන්ද වඳ වෙයි.

මේ අන්දමට රෝගාබාධ ගණනාවකට ගුණ දෙන සේපාලිකා උපයෝගී කොට සංස්කරණය කරන ඖෂධ යෝග කීපයක් වෙයි.

  1. සමංශාදී තෛලය  2) ලජ්ජාල රසායනය  3) උශිරාදී ක්වාථය  4) පාඨා සමංශාදී ක්වාථය  5) චන්දානාදී චූර්ණය  6) පියුෂවල්ලි රසය 4) මෘත සංජීවනී සුරාව ඒවායින් කීපයකි.

 

නික

scan0003වා පිත් සෙම් නසා සිරුර රකින ‘නික ගස’ බලගතු ඖෂධයක්

නික යනු සකු බසින් නිර්ගුණ්ඩි ය. කය නිර්ගුණ්ඩනය හෙවත් රක්ෂණය කරයි යනු මේ සකු නමේ අරුත යි. ශ්‍රී ලංකාවේ ගම්බද සෑම ගෙදරකම වාගේ නික පඳුරක් ඇත. ඒ බොහෝ අවස්ථාවල දී අත් බෙහෙතක් ලෙස යොදා ගත හැකි බැවිනි. එහෙත්, නූතන නගරබද වැඩි දෙනෙකු මෙයින් ගත හැකි ඵල ප්‍රයෝජන ගැන නොදන්නා බැවින්, ඒ පිළිබඳත් ඔවුන් දැනුවත් කිරීම අරමුණු කරගෙන මේ විස්තරය ඉදිරිපත් කරනු ලැබේ.

සෑම ගෙවත්තකම වවා ගත යුතු නික ගස පිරිසිදුකමේ සංකේතයකි. දෙවි දේවතාවුන් ගේ බැල්ම ඇතිවන නික ගස ගෙහිමියන්ට වාසනාව ගෙනදෙන ශාකයක් ලෙස ද ගම්බද පැරැන්නෝ විශ්වාස කළ හ.

මෙරට සෑම පළාතකම වැවෙන නික ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Vitex Negundo L වන අතර කුලය Verbenanceae (නිර්ගුණ්ඩි) වෙයි. සරස්වතී නිඝන්ඩුවෙහි දැක්වෙන ගුණ :- කල්පනා කිරීමේ ශක්තිය වඩයි. තික්ත යි. කෂටයි. කටුකයි. සැහැල්ලුයි. හිස කෙස් වඩයි. ඇසට හිතයි. රුජා ඉදිමුම් ආමවාතය, කුෂ්ඨ, අරුචි, සෙම, උණ නැති කරයි. නික දලු පණුවන් වාතය හා සෙම නස යි.

ව්‍යවහාර නාම : සිංහලෙන් : නික, දෙමළෙන් - නොච්චි - වින්දුවාරම්, සංස්කෘත බසින් සීනුවාර, සිඳුවර, නිර්ගුණ්ඩි, ඉංග්‍රීසියෙන් Chinese Chaste tree – Five Leaved chaste tree.

ප්‍රයෝජනයට ගන්නා කොටස් - සම්පූර්ණ ගසම (දලු, කොළ, මල්, මුල්, පොතු, ගෙඩි) වෙන වෙනම හෝ අවස්ථානුකූල ව සාමූහිකව හෝ යොදා ගනු ලැබේ.

මෙම ශාකයේ හැඩ රුව, මෙහි පළව ඇති ඡායාරූපයෙන් බලා ගත හැකි බැවින් ද, වැඩි දෙනෙකු දන්නා බැවින් ද උද්භිද විද්‍යාත්මක විස්තරයක් මෙහි ලා නොදැක්වේ.

දේශීය ආයුර්වේද ශාස්ත්‍රානුකූල විස්තරය : මලේ වර්ණය අනුව සුදු මල් - නිල් මල් ඇති දෙවර්ගයකි. (භාව ප්‍රකාශය) කතුරු නික හෙවත් වල් නික නමින් (නිඝණ්ඩු රත්නාකරයා) වර්ගයක් ද වෙයි.

ගුණකර්ම : රස, තිත්ත, කටුක කෂා ය. ගුණ - ලඝු ය. රුක්ෂ ය. වීර්ය - උෂ්ණ ය. විපාක - කටුක ය.

දෝෂ කර්ම : වාත, සෙම්, හර යි. ප්‍රධාන කර්ම : වාත හා සෙම් ශාමක යි. ශොථ හරි යි. දීපන යි. පාචන - කුෂ්ඨ, නාශක යි. ආර්තව ජනක යි. ක්‍රිමි නාශක යි. ජිවර නාශක යි. බල සහිත යි. රසායනයි. කාස - ශ්වාස හා වේදනා හර යි. ශොථ හර යි. ව්‍රණ ශෝධක යි. රෝපක යි.

පැරැණි රෝගයක්

නික ඖෂධ සඳහා යෝග ගණනාවක් ඇතත්, ඒවාට වඩා ගුණ එහෙත්, පැරැණි වෙදවරු, රහසිගතව යෙදීම නිසා සැඟවී ඇති, විශ්මය ජනක චිකිත්සා දස්කම් දැක්විය හැකි සෙම් රෝග, මුළුමනින් ම පාලනය කළ හැකි, ඒ යෝගය මෙසේ ය. නික ගසේ පංචාගයම සමභාගව ගෙන තමන්ට අවශ්‍ය අන්දමට කෂාය සිඳුවා ඒ කෂායට තලතෙල් දමා මද ගින්නේ දිය සිදෙන තුරු පැසවා ගන්නේ ය. මෙයට කල්ක දැමීමක් නො කෙරේ. මෙය කාශ, ශ්වාස සහ පීනස ඇතුළු සියලුම සෙම් රෝගවලට ද හිසරදයට, කර්ණ ශුලයට, සියළුම වාත රෝග, පිත් රෝගවලට ඒකාකාරව වහා ගුණ දෙන ඖෂධයෙකි. තුන් දොසින් සෑදෙන සෑම රෝගයකට ම ගුණ දෙන, මේ යෝගය “කෝකටත් තෙල” යනුවෙන් පැරැන්නෝ හැඳින් වූයේ ද එබැවිනි.

අප පාඨකයන්‍ ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රකට යෝග කීපයක් මෙසේ ය.

වාතාබධ හා වේදනාවට : මුල් හෝ මුලේ පොතු හෝ කෂාය කැරැ දීම. තෛලය හෝ එබඳු වෙනත් තෛලයක් ආලේප කිරිම.

ආමවාත, ශෝථ (ඉදිමුම්) අවස්ථාවලදී : කොළ කොටා මලවා මද උණුසුමෙන් බැඳීම. මුල් හෝ කොළ හෝ කෂාය කර දීම.

ශෘධ්‍රසියට : කොළ කෂාය කරදීම කටී වායුවට : නික කොළ කැඳ පිසදීම.

දද, ව්‍රණ, (තුවාල) පිඩකා, (චර්ම රෝගවලට) : කොළ තම්බා සේදීම. යුෂ ගෙන ආලේප කිරීම. නික ගෙඩිවල ස්වරස කකාරා ගෑම. මල් අඹරා ආලේප කිරිම.

නාසාරන්ධ්‍ර ශෝථයට : දලු යුෂ කළුතර තෙලක් සමග මිශ්‍ර කොට නස්‍ය කිරිම.

රසායන යෝගයක්

ශුක්‍ර වර්ධනයට : කාමාග්නි සන්දීපන රස “නැමති මේ යෝගය ශුද්ධ රස පලම් 1 යි. ශුද්ධ ගන්ධක පලම් 1 යි, ශුද්ධ සාදිලංගම් පලම් 1 යි, මේවා අමු ඉඟුරු ඉසමෙන් භාවනා දී, අත්තන ඇට කෂායෙන් ද දින 7 ක් භාවනා දී, පසුව ස්වේත ජයන්ති (මල් සුද නික) සහ කීකිරඳිය යුෂ යථාලාභයෙන් ගෙන වෙන වෙන ම භාවනා දී ඉක්බිති, බෙහෙත වියළා වාලුකා යන්ත්‍රයෙන් දින 6 ක් පුට දී ඌර්ධව ඇති බෙහෙත් චූර්ණය ගෙන එනසාල්, සාදික්කා, කපුරු, කස්තුරි, ගම්මිරිස්, අමුක්කරා චූර්ණය සමසේ මිශ්‍ර කර ඔළිඳ ඇට 2 පමණට ගුලිකර තබාගෙන, වරකට ගුලිය බැගින් මී පැණියෙන් ගන්නේ ය. ශුක්‍ර වඩ යි. ඕජස් වඩ යි. පුෂ්ටිමත් වෙයි. බල වඩ යි. පංචේනද්‍රියන් ප්‍රාණවත් වෙයි. සියලු රෝග දුරු කර යි. රසායන යි.

 

කළුදුරු

Kaluduruහිරිවාත, වේදනා, ඉදිමුම් නසන “කළුදුරු” ප්‍රතිශක්ති ජනක යි.

ප්‍රතිශක්තිය දෙන රෝග මැඩලන, ලේ පිරිසිදු කරන, සෙම් රෝග, වාතරෝග, වේදනා හා ඉදිමුම් නසන, කෙස් ගැලවීම නවතා, තට්ටය පෑදීම වළකන, හමේ රෝග සුව කරන, ආහාර රුචිය වඩන, කුසගිනි දල්වන, කාස, ශ්වාස, පාර්ශව ශූල දුරලන, කාය උත්තේජනය ඇති කරන, “කළුදුරු” ඉතා වටිනා ඖෂධයකි.

මෙම කළුදුරු ශාකයේ ද ප්‍රභේද දෙකකි. මෙයින් ශතපුෂ්ප කුලයට අයත් Cuminum carvi Linn නම් වර්ගය අප දේශීය ආයු‍ර්වේද වෛද්‍යවරු භාවිතයට නොගනිති. ඖෂධ සඳහා යොදා ගන්නේ. වච්චනාවි කුලයට (Ranuculaceae) අයත්, උද්භිද විද්‍යා නාමයෙන් Nigella Sativa Linn නමින් හඳුන්වන වර්ගය යි. මෙය රසයෙන් කටුක ය. එමෙන් ම තික්ත ය. ගුණයෙන් ලඝු ය. රූක්ෂ ය. තීක්ෂණ ය. වීර්යයෙන් උෂ්ණ ය. විපාකයෙන් කටුක ය. මේ නිසා වා, සෙම් නසයි.

හිරි වාතයට

මෙරට පැරණි දේශීය ආයුර්වේද වෛද්‍යවරු මෙහි වාත නාශක ගුණය නිසාම හිරි වාතයට වහා ගුණ දෙන කෂායක් භාවිතා කළ හ. ඒ කෂාය මෙසේ ය. කළුදුරු, සුදුදුරු, අරත්ත අල, රසකිඳ, හාතාවාරිය අල, කටුකරඬු මුල්, අරළු, බුළු, නෙල්ලි මෙය දොළොස් කළඳට කිරාගෙන. වතුර පත 8 පතට සිඳුවා පෙරා, උදේට සව්ඳ ලුණු, සවසට මී පැණි දමා පත බාගය බැගින් කෂාය වඩි 6 ක් 7 ක් බොන්නේ ය. මෙයින් මේදයද කැපෙ යි. හිරි වාතය සුව වෙයි.

කළුදුරු, සුදුදුරු, කැකුණ මල්, මී ඉටි, සීනක්කාරන්, පල්මානික්කම්, සිවංගුරු, සාදිලංගන්, නවසාරන්, ඉඟුරු, ගොරක, සාරණ, සමභාගව ගෙන පස්තෙලෙන් අඹරා, කකාරා රෙදි ගැබෙල්ලක ගා ගෙඩිය පිට එලීමෙන් ගෙඩිය වහා ඉහිරෙයි.

ගෙඩි ඉහිරෙන්නට

ඊට ම කළුදුරු, ඔලිඳ ඇට, මදටිය ඇට, කුඹුරු ඇට, දොඩම් ඇට, ගෙරිපස්, තික්ත අබිං, සිවංගුරු, අරත්ත අල, වදකහ, දොඩම් ඇඹුලෙන් අඹරා, කාකාරා ගෙඩිය පිට ගාන්නේ ය. සුව වේ.

කැළල මැකෙන තෙලක්

පිළිස්සුම් තුවාලෙට තෙලක් : එළබිම්තඹුරු කොළ ඉස්ම බෝතල් 1 යි, පෙති තෝර කොළ ඉස්ම බෝතල් බාගය යි, තලතෙල් බෝතල් බාගය යි, දුන්තෙල් බෝතල් බාගය යි, එක්කර ලිපේ තබා, කළුදුරු, සුදුදුරු, වැල් මී, අරළු මේවා කලං 3 බැගින් ගෙන ඉටි පමණට අඹරා තෙලට යොදා මදගින්නේ දිය හිඳීයන තුරු කකාරා බා නිවා තබාගෙන, තුවාලෙට එළන්නේය. ඉක්මනින් සුව වේ. තුවාල කැලළ නොසිටී. අංග විකල නොවේ.

මැලේරියා උණට

කළුදුරු ඇට, සියුම්ව චූර්ණ කර උක් හකුරු සමග ගැනීමෙන් මැලේරියා උණ දුරු වේ.

ඉදිමුම හා වේදනා ගෙන දෙන අර්ශස් රෝගයේදී කළුදුරු දවාගත් දුම් ගුද මගට ඇල්ලීම ඉතා ගුණදායක පිළියමෙකි.

කළුදුරු අඩංගු ප්‍රසිද්ධ ක්වාථ අතර, පිප්පල්‍යාදී ක්වාථය වා, සෙම්, උණ, පිටගැස්ම, සන්නිය, තදබල සෙම් කෝප, නන්දෙඩීම, ලොමු ඩැහැ ගැන්ම, අරුචිය ආදිය සඳහා යොදන මේ ක්වාථයට ඇතුළත් ඖෂධ ද්‍රව්‍ය 28 ගෙන සිඳුවා ගත් කෂාය බෙහෙවින් ගුණදායක යැයි කියති.

කළුදුරු අඩංගු යෝගරාජ ගුග්ගුලුවද අප වෛද්‍යවරුන් අතර ප්‍රචලිත යෝගයෙකි. විවිධ වාත රෝගවලට රාස්නාදී ක්වාථයෙන් ද, පිත්ත රෝගවලට කාකෝල්‍යාදී කෂායෙන් ද, සෙම් රෝගවල දී අරග්වාදීකෂායෙන් ද, ප්‍රමේහයට දාර්වී කෂායෙන් ද, පාණ්ඩුවට ගෝමුත්‍රයෙන් ද, මේදෝ වෘද්ධියට මී පැණියෙන් ද, කුෂ්ඨාරෝගවලට කොහොඹ පොතු කෂායෙන් ද, මී විෂට පලොල් මුල් කෂායෙන් ද, නේත්‍රාබාධියන්ට ත්‍රිපල් කෂායෙන් ද, සියලු උදරාබාධයන්ට සාරණාධී කෂායෙන් ද, මේ යෝගය යොදනු ලැබේ. මේ බඳු තවත් ඖෂධ යෝග රාශියක් තිබේ.

යථාර්ථය

ඝනව වැඩී පැතිරී තිබූ රුක් ගොමු අතරින් විහිදී එන පැට්රෝල් මැක්ස් ආලෝකය ඉලක්ක කරගෙන ජයන්තන් සහ තංගරාජා ඉදිරියට පා තැබූහ. උඩැක්කිවල හඬ එන්න එන්නම වඩාත් පැහැදිලි ලෙස ශ්‍රවණය විය. ඡායාවන් ලෙස දිස්වන රුව මිනිසුන්ගේ බැව් අවබෝධ කරගත හැකි තරම් සමීපයට ඔවුහු පැමිණ සිටියහ. ජයන්තන් තංගරාජාට සමීප වී සිය දකුණතේ ඇඟිලි සමග වෙලාත්තතේය. ටිකින් ටික එම බැඳීම ශක්තිමත් විය. දෙදෙනා එහි ආසන්නයටම පැමිණියහ.

ඇටුවන් බසිමින් මහත් ප්‍රදේශයක් පුරා තම අණසක පතුරුවාගෙන සිටි ඒ විශාල නුග රුක යට ගැහැනුන්, පිරිමින්, ළමා ළපටින් දෑත් එක්කරගෙන හිස නමාගෙන සිටිති. ඔවුන් සියල්ලෝම කිසියම් අදෘෂ්‍යමාන බලවේගයකට නතුවී සිටින්නා සේය. ජයන්තන්ගේ පාදවලට කුමක්දෝ ලිස්සන සුළු යමක් පෑගුන එය සරසර හඬනගමින් වියලී කොළ අතරින් ඇදීගියේය. සැබවින්ම එය කුමක් විය හැකිද?

“මේවයි ගැරඬියො ඉන්නවා”

තංගරාජා එසේ පැවසීය

ඒ පටු වැලි පාර ඔස්සේ ඔවුහු තවදුරටත් ඉදිරියට පා තබා ගිය නමත් ජයන්තන්ගේ දෙපතුල් මුළුමනින්ම පොළොවේ ගැටුණේ නැත. ඔහු දෑතින්ම තංගරාජාගේ දකුණත අල්ලාගෙන සිටියේය.

මේ අමුත්තන් දෙදෙනාගේ සම්ප්‍රාප්තිය පිළිබඳව ඒ ස්ථානයේ සිටි පිරිසට කිසිදු හැඟීමක් නොවුණි. විභූති අළු තැටියක් ඇතැතිව සිටි කොළුවා ඔවුන්ව දුටුවේ ය. වටා කවාකාරව රැස්ව සිටි පිරිස අතරින් පිට වී ඔවුන් දෙදෙනා වෙතට පැමිණි ඒ කොළුවා දෙදෙනාගේම නළලේ අළු තැවරූහ. තංගරාජා කිසියම් මුදලක් ගෙන ඒ විභූති තැටියට දැම්මේය... කොළුවා නැවත කවය මැදට ගියේය.

පිරිස අතරින් තෙරපෙමින් ජයන්තන්වත් ඇදගෙන තංගරාජා ඉදිරියටම ගියේය. ඒ පිණිබිදු වැටෙන සීතල මොහොතේ පවා දහදිල වැගිරෙන නග්න උඩු කයින් යුත් මිනිසුන් දෙදෙනෙක් උඩැක්කි වයමින් සිටිති. මිටි තරබාරු සිරුරකින් ද තට්ට හිසකින් ද යුත් පූසාරි ඉතා ගොරහැඩි හඬින් ගායනාවක් කරයි. ඔහුගේ ගෙලේ නහර පිටතට නෙරා විත් තිබුණි. වම් අතේ දෙහි ගෙඩියකුත් දකුණු අතේ මන්ත්‍ර යෂ්ටියත් තබාගෙන හිස එක් පසෙකට ඇළකර දකුණු පාදය මදක් උස්සා වම් පාදයෙන් සිරුරේ මුළු බර උසුලාගෙන, උඩැක්කිවල තාලය අනුව මදක් ගත සොලවමින්, බුලත් කහට බැදුණු දත් පාමින් ඔහු නොකඩවා ගයයි. මේ දසුනෙන් අමුත්තන් දෙදෙනාගේ සිත තුළ එක්තරා බිය මුසු හැඟීමක් ජනිත කෙ‍රිණි. පූසාරිගේ ඉදිරියෙන් ශක්තිමත් සිරුරින් යුත් රූමත් කාන්තාවක් හිසකේ විහිදාගෙන ඔහුගේ ගීතයට සමගාමීව ආරූඪ බවක් පාමින් නටමින් සිටියාය. කොට හැට්ටයකින් ඇගේ තරබාරු සිරුරේ උඩ කොටස තදට සිරවී තිබුණි. පූසාරි විසින් ඉසින ලද මන්ත්‍ර ජපකළ දියරින් ඇගේ රත් පැහැ සිරුර තුළට තෙතබරිත ඇඳුම් ඇලී තිබූ අතර ශරීරාංග නෙරා විත් පැහැදිලිව දර්ශනය විය. පූසාරිගේ රේඛා මතුවුන අඳුරුවන් දෑස් යොමුව තිබුණේ ඒ දෙසටමය.

“මෑණියනේ පිංවත් නිර්මලවූ ඔබ වැඩියේ කොයි සිටදැයි කියනු මැනේ රාජිණියයි ඔබ අප වෙත හැමදාමත් ඔබ ආ මග අපටත් කියනු මැනේ මැණියනේ පිංවත් නිර්මල වූ. . .”

පූසාරි එසේ ගයන අතර කෙස් විහිදුවාගෙන නටමින් සිටි කාන්තාව හදිසියේම පැන ගොස් නුග ගස යට සිරකර තිබූ ත්‍රිශූලයක් ගෙන රැස්ව සිටයවුන් අතරට වැදුනාය. පිරිස වහා ඈත් වෙමින් ඇයට ඉඩ දුන්නෝය. වැට අයිනේ නුග ගසේ මුලක් අල්ලාගෙන සිටි තරුණයකු කෙස් වැටියෙන් අල්ලා ඇද ගෙන ගියාය. මහත් කලබලයට පත් වූ පිරිස අතර කසුකුසුවක් පැතිර ගියේය.

“කන්දවනම් අහුවුනා. අද නම් මෑණියෝ ලේසියෙන් අත්හරින එකක් නෑ”

“මම ඔය ටික කලිනුත් කිව්ව. ඔය කොල්ලා කරන නොසණ්ඩාල වැඩ මෑණියන්ට කොහොම හරි අහුවෙන බව මම නම් සහසුද්දෙන් දන්නවා.”

“කියල වැඩක් නෑ සිවලිංග අයියේ රක්ෂාවක් කරල හම්බ කරන මිනිහෙක් නම් අරක්කු ටිකක් බිව්වට වරදක් නෑ. ඒත් තමන්ගෙ ප්‍රමාණයට වෙන්න ඕන. එය කන්දවනම් අරක්කු දිවේ තියන්නේ නැතිව නිදි පැදුරෙන් නැගිටින්නේ නෑ. බීල ඇවිල්ල අර අසරණ ගෑනියෙකුට දෙන වදයක්. අම්මප මනුස්සයෙකුට බලන් ඉන්න බෑ.”

“ඒක තමයි මෑණියො මිනිහව අල්ල ගත්තෙ. ඔය ගමන නම් මිනිහ හරි මාර්ගයට ඒවි.”

“මිනිහ සති පහක් හයක් තිස්සේ මේ පැත්තෙ දකින්න හිටියෙ නෑ. මිනිස්සුන්ගෙන් හැංගිලා බේරුනාට දෙවියන්ගෙන් හැංගිලා බේරෙන්න බෑ. මෙතනට අද ඇවිල්ල මාට්ටු වුනේ ඒ නිසා.”

කන්දවනම් ජන සමූහය මධ්‍යයේ හිස නමාගෙන සිටියේ ය. ඔහු වටා ත්‍රිශූලය තමාට සිතැගි ලෙස කරකවමින් දෑත්හි පැළදි ලෝකඩ ගිගිරි වළලු සළ හඩ නන්වමින් ඈ නටන්නට වූවාය. උඩැක්කි දෙකේ හඩ ද ඉහළ නැඟුණි. පූසාරි දකුණතේ වූ දෙහි ගෙඩිය වරින් වර උඩට ඔසවා මිරිකමින් උච්ච ස්වරයෙන් ගායනා කළ අතර ඇයගේ නැටුම ද තවත් වේගවත් විය.

“මෑණියන් වහන්ස ඔබ වහන්සේ තමයි දැන් මට පිහිට වෙන්න ඉන්නෙ. මගේ මිනිහට අවවාද කරලා හොඳ මිනිහෙක් කරල දෙන්න මෑණියනේ.” පිරිස අතරේ සිටි කන්දවනම්ගේ බිරිඳ මුව අයා ප්‍රාර්ථනා කළාය. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණි.

“ඒයි. . . කන්දවනම්”

ත්‍රිශූලය බිමට තදකරමින් මෑණියෝ ඔහුව ඇමතූහ. ඔහු නිහඩවම සිටියේය.

“ ඒයි . . . මම කතා කරන කොට කතා නොකර ඉන්න උඹට මොන බලයක්ද බොල තියෙන්නේ?

ඇගේ හඬ උඩැක්කි හඩ ද ඉක්මවා ගියේය.

“ඇයි මෑණියන් වහන්ස?”

කන්දවනම් නමාගත් හිස නොඔසවාම ප්‍රශ්න කළේය.

“ආ අන්න එහෙම වරෙන්. උඹ මීට පස්සේ ‍බොනවද? හ්ම් කියාපිය! උඹ මීට පස්සෙත් බොනවද?”

මද නිහැඩියවකට පසු ඔහු අධිෂ්ඨානශීලී හඬින් පිළිතුරු දුන්නේය.

“නෑ මෑණියන් වහන්ස මීට පස්සේ මම බොන්නෙම නෑ” ඈ විභූති තැටිය අතේ තබාගෙන සිටින කොළුවා ලඟට ගොස් අතපිරෙන්නට විභූති ගෙන කන්දවනම්ගේ හිස් මුදුනේ සිට දෙපා දක්වා තැවරුවාය. ඔහුගේ පහළට නමාගෙන සිටි හිස ත්‍රිශූලයෙන් ඉහළට ඔසවා සිය දකුණත මුඛය අසලට ගෙනැවිත් ඉතිරිව තිබූ විභූති ටික ඔහුගේ මුඛයට අල්ල පිම්බාය.

“මීට පස්සේ බොන්නැද්ද ?”

“සත්තයි නෑ මෑණියන් වහන්ස”

ඇගේ කෙස් විහිදුවාලූ හිස මත තම දකුනත තබා කන්දවනම් ශපථ කළේය.

“ජයන්තන්, මේකත් එක්තරා මනෝ විද්‍යාත්මක ක්‍රමයක්. තංගරාජා ජයන්තන්ට පැවසීය.

“ඒ කියන්නෙ”

“මිනිස්සුන්ගෙ සිත් පිරිල තියෙන්නේ නොයෙක් සිතුවිලි කල්පනාවලින්. සිත ඒ සියල්ලෙන්ම මුදවල එක අරමුණකට ගන්න ඕන. ඒ වෙනුවෙන් සත්‍යවගේම බොරුව වුනත් යොදවන්න පුළුවන්. ඒ විදියට සිත තුළ නිදහස් හැඟීමක් ඇතිකරනව.

ඒ හැඟීම ආදරයෙන් හෝ විශ්වාසය තුළින් නැත්නම් බය කිරීම තුළින් වෙන්නත් පුළුවන්. එහෙම මෝහන තත්ත්වයක පවතින සිතක් තියෙන කෙනෙකුට මනෝ විද්‍යඥයො පවසන වචන ඉතාමත් පැහැදිලිව ඔහුගේ යටි සිතේ  ඒ කියන්නේ ‘සබ්කොන්ෂස් මයින්ඩ් එකේ’ ධාරණය වෙනව. ඒ වගේම තමයි. නෑ ඊටත් වඩා ගැඹුරින් යටි සිතේ ධාරණය වෙනව මේ වගේ විධානයක් දෙනකොට.

“ඒ කියන්නෙ “සෛකෝ අනාලිසිස්” මෙහේ පවතිනව. මීට පස්සේ මෙයා. . . නම මොකක්ද? ඕ . . කන්දවනම් මීට පස්සේ බොන්නෙම නෑ කියල සහතිකද? “සහතිකවම බොන්නේ නෑ” “ ඒ කියන්නෙ ලෝකේ ඉන්න හැම බේබද්දෙක්ම මෙහෙට එක්කගෙන ඇවිත් හොද මිනිහෙක් බවට පත්කරන්න පුළුවන් කියලද?

“මම එහෙම කියන්නේ නෑ. මේ හැම දෙයක්ම විශ්වාසය මත තමයි පවතින්නෙ. යන්ත්‍ර මන්ත්‍ර දේව මෑණියො ඒ මොන ජාතියක දෙවියෝ වුනත් කමක් නෑ. හදවත පිරිසදුව හිතේ කහටක් නැතුව මුළු හදින්ම විශ්වාස කරනවා නම් ඒ ඉෂ්ටාර්ථයක් වෙනවා. ඒ වගේ මුළු ලෝකෙම උනත් මිනිස්සුන්ගේ ඕනෑම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ විශ්වාසය මතම තමයි.”

“මොන විදියකින් හරි එක බේබදු මිනිහෙක්වත් හොඳ මිනිහෙක් කරන්න පුළුවන් වුණානේ. ඒ නිසා මම ඔයා කියන දේ පිළිගන්නම්. ඒක නරක පැත්තට නම් ඔය කිසි දෙයක් හරියන්නෙ නෑ.”

“ඇයි එහෙම කියන්නෙ?”

තංගරාජා ප්‍රශ්නයක් නැගුවේය.

“එහේ මිනිස්සු කිසිම දෙයක් ගැන විශ්වාසයක් නැති විදියටනේ හැසිරෙන්නෙ. තමන් ගැන විශ්වාසයක් නෑ. තමන් බැඳපු ගෑනි ගැන විශ්වාසයක් නෑ. තමන්ට ලැබුණු දරුවො ගැනවත් විශ්වාසයක් නෑ. ඒ දරුවො තමන්ට දාව ඉපදුනාද කියන එක පවා සමහර මිනිස්සුන්ට සැකයි. විශ්වාසයක් නැති එක තමයි වැඩි දෙනාගේ විශ්වාසය. හැබැයි එකම එක දෙයක් ගැන හැම දෙනාගෙම විශ්වාසයක් තියෙනවා.”

“තමන් හැර අනිත් හැම දෙනාම දරුනු පිස්සොය කියන එක. සමහරු ඉන්නවා කොහාමටත් සාමාන්‍ය ජනතාව පිස්සො රෑනක් කියලා විශ්වාස කරන” දෙදෙනා ඊළඟ දිනයේදී දහවල් “යාල් දේවියෙන්” කොළඹ යාම සඳහා සූදානම් වෙමින් සිටියෝය. පෙර දින රාත්‍රියේ අම්මාන් කෝවිලේදී වූ සිදුවීම සම්බන්ධ මතකය ගැමි පරිසරයට ආධුනිකයෙක් වූ ජයන්තන්ගේ සිතින් මුළුමනින්ම ඉවත් වුයේ නැත. ඔවුන්ට කෑම බැඳීම සඳහා කෙසෙල් කොළ කපන්නට ගිය තංගරාජාගේ මව අලුත් ආරංචියක් ද රැගෙන ආවාය.

“පුතා අර කන්දවනම් කොල්ලට බදු මුලාදෑනිය වත්ත ඇතුළෙදි හොඳටම තඩිබාල.”

“ඒ මොන වරදක් කළාටද?”

“පසු ගිය වාරෙ බදු මුදල් තාමත් ගෙවල නැහැයි කියල. කන්දවනම් දිය හිස්කරපු වෙල්ලාවත් අරගෙන ඇවිත් තියෙනව. මුලාදෑනි උන්නැහේ රැකගෙන ඉදල ගහල. ඒ බේබද්ද මොකුත් නොකර මුලාදෑනි උන්දැව යහතින් අතහැරිය කිව්වම පුදුමෙනුත් පුදුමයි.”

“දැන් කන්දවනම් බීම නවත්වල අම්මේ. ඊයෙ අම්මාන් කෝවිලේදී මෑණියො ඉදිරියෙ දිව්රුව බොන්නේ නෑ කියල. එයා ඊයේ ඉදල හොඳ මිනිහෙක් වෙච්ච නිසා බදු මුලාදෑනි උන්නැහේ අද භූතයෙක් වෙලා.

තංගරාජාත් ජයන්තනුත් උදෑසන එකොළහට පිටත්වන කොටිකාමම් බස්රිය අල්ලා ගැනීම සඳහා මාලි හන්දිය දෙසට යමින් සිටියහ. වදිරි හන්දිය පසුකර බේබි කඩේ අසලට එනවිට කන්දවනම් ලේ තැවරුණ පොල්ලක් ද අතැතිව උස් හඬින් අසැබි වචන කියමින් ඔවුන්ව පසුකරගෙන යන්නට විය. ඔහුගෙන් වහනය වූ මත්පැන්වල සැර දෙදෙනාගේ නාස් පුඩු පසාරු කරගෙන යන තරම්ය.

“තංගරාජා මනෝ විද්‍යාවෙ නියමයන් වුණත් පරිසරය විසින් ම තමයි නිර්මාණය කරන්නෙ”

ජයන්තන් ප්‍රකාශ කළේය.

දමිළ ලේඛක රාජ ශ්‍රී කාන්තන්ගේ කෙටිකතාවකි. ජී.ජී. සරත් විසින් පරිවර්තනය කරන ලද මෙම කෙටිකතාව නව යුගය මාසික සගරාවෙන් උපුටා ගත්තකි.

බුද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය

බෞද්ධ දේශපාලන දර්ශනය මානව සමාජයට කෙතරම් හිතකරදැයි අපි මේ සාකච්ඡා මාලාව තුලින් කතා කලෙමු. මේ දර්ශනය ප්‍රායෝගිකව තම පාලන ක්‍රමයන් තුළ භාවිතා කල නායකයින් අපට ඉතිහාසයේදී හමුවේ. එවන් නායකයින් ඉතිහාසයේ පමණක් නොව වර්තමානයේද තවමත් වීරයින් ලෙස සලකන්නේය. මෙවර සාකච්ඡාවට බදුන් වන්නේ එවන් නායකයින් බුදුදහම ප්‍රායෝගිකව භාවිතා කලේ කෙසේද යන්න පිළිබදවයි.

එඩ්මන්ඩ් රණසිංහ - බෞද්ධ දේශපාලන දර්ශනය ගැන මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා විග්‍රහයක් කරලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන තේමාව යටතේ. “පුද්ගලයෙකුගේ නිදහස ඉතාමත් අගය කලයුතු, ගරු කලයුතු දෙයක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. හිතීමේ නිදහස බුදුරජාණන් වහන්සේ ගරු කලා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරුකලා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රතිපත්තිවලට ගරුකලා. ලෝකයේ තියෙන පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය හැටියට සංඝ සංවිධානය හදුන්වා දීලා තියෙනවා. එම සංවිධානය ඇතිකලේ ගිහියන්ට එය ආදර්ශයක් හැටියට ගතහැකි නිසා. ධර්මය මත ගොඩනැගෙන රාජ්‍ය වැඩකරන්නේ ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික යහපත සදහා. එවැනි රටක් තුල දේශපාලනික, ආගමික හා පෞද්ගලික නිදහස ආරක්ෂා වෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබද ගැටළු සහ හැමටම රැකියාවක් ලබාගැනීම පිළිබද ගැටළු විසදෙනවා”. ඒ වගේ රාජ්‍යයක් තමයි බෞද්ධ දේශපාලන දර්ශනය තුලින් ගොඩනැගෙන්නේ කියන දේ මහාචාර්ය මලලසේකර මහතා‍ පෙන්වා දෙනවා. මේ දර්ශනය ගැන තමයි අපිත් කතා කර කර හිටියේ. නමුත් අපි මෙතනින් එහාට යන්න ඕනේ. දර්ශනය ගැන කතා කර කර ඉදල හරියන්නේ නෑ.

බෞද්ධ රටවල් විදිහට හැදින්වෙන රටවල් බොහොමයක් ලෝකේ තියෙනවා. නමුත් කොයිතරම් දුරට ප්‍රායෝගිකව බුද්ධ දර්ශනය ඒ රටවල් වල පාලන තන්ත්‍රය සදහා භාවිතා කරගෙන තිබේද යන කාරණාව පිළිබද අවධානය යොමුකල යුතුයි. උදාහරණයක් විදිහට අපේ රට බෞද්ධ රටක්. නමුත් අපේ රට පාලනය වන්නේ බෞද්ධ දර්ශනයට අනුකූලවද කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නම් අපි කලයුත්තේ මොකද්ද?

විපස්සි හිමි - ලංකාව බෞද්ධ රාජ්‍යක් තමයි. අශෝක අධිරාජ්‍යයා බුද්ධ දර්ශනය පදනම් කොටගෙන රාජ්‍ය ගෙනගියා. මිනිසුන් විතරක් නොවෙයි ගහ කොළ පවා ආරක්ෂා කල යුතුයි කියලා අශෝක සෙල් ලිපිවල සදහන් වන්නේ මේ නිසයි. 13 වන ගිරි ලිපියේ සදහන් කරනවා එතුමා බුදුදහම විතරක් නෙමෙයි අනෙකුත් ආගම් වලටත් නිදහස ලබල දීලා තිබුණා. හැම මනුෂ්‍යයෙකුගේම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගේන්න අවශ්‍ය දෑ සදහා ඉඩකඩ සැලසුවා. මේ සෑම දෙයක්ම ගොඩනගල තිබුණේ බෞද්ධ ප්‍රතිපත්තීන් මත. බුදුන් වහන්සේ දේශනා කරපු විවිධ සූත්‍ර පාඨයන් තමයි එතුමා ආදර්ශ පාඨ විදිහට අරගෙන තිබුණේ. අතීත ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලනයත් මේ ආකාරයෙන්ම තමයි වුණේ. බුද්ධ දර්ශනය පදනම විදිහට තිබුණත් අන් කිසිදු ආගමකට එයින් බලපෑමක් එල්ල වුණේ නෑ. ආගම් විශාල සංඛ්‍යාවක් තිබුණත් බුදුදහම තමයි ප්‍රධානම ආගම වුණේ. ඒ නිසා තමයි වැවයි, දාගැබයි - ගමයි, පන්සලයි කියන සංකල්පය ඇති වුණේ. මේ කියන පදනම තුල ගොඩනැගුනු ජන සමාජයේ ජනතාව භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් ස්වයංපෝෂිත ජීවන රටාවක් තමයි පවත්වාගෙන ගිහිල්ල තියෙන්නේ. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශවලින් අපි අදත් දකින නටඹුන් මේ සදහා සාක්ෂි සපයනවා. අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ අද වගේම එදත් වියළි කලාප. නමුත් මේ තත්ත්වය තේරුම් ගත්තු රජවරු මහ වැව් හැදුවා. ඒ කියන්නේ ඒ කලාපයට අවශ්‍යකරන ප්‍රතිපාදනයන් සම්පූර්ණ කර දුන්නා.

ඔවුන් අදට වඩා එදා බෞද්ධ දර්ශනයේ සියළු මූලධර්මයන් අනුගමනය කළා. අද ඒ මූලධර්මයන් අනුගමනය කරන්නේ නැහැ. අද විශාල කොන්ක්‍රීට් ගොඩවල් තියෙනවා. නමුත් අනිත් අතට හැමදේම ගරා වැටිලා. දැන් බලන්න අපේ රටේ මිනිස්සු ජලයත් එක්ක ජීවත් වෙච්ච ජනකොටසක්නේ. පරාක්‍රමබාහු රජතුමා වරෙක ප්‍රකාශ කරනවා, “අහසින් වැටෙන එක දියබිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යවන්න එපා” කියලා. අද අපිට ඔය සංකල්පය අමතකවෙලා තිබුණත් අප්‍රිකාවේ රටක තවමත් මේ සංකල්පය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සංකල්ප අපිට තිබිල තියෙනවා. නමුත් මේවා ගැන කථාකරනවා විතරයි. ක්‍රියාත්මක මට්ටමට එන්නේ නෑ.

මෑත භාගයේදී අපි විශාල වශයෙන් මිථ්‍යා දෘෂ්ඨියට යොමුවෙලා තියෙනවා. අද සියළු දෙනාගේම තීරකයා වෙලා තියෙන්නේ ජ්‍යෝතීර්වේදියා. බෞද්ධ රාජ්‍යයන් කඩාගෙන වැටෙන්න හේතුව මොකද්ද කියන දේ පිළිබද අපි ගැඹුරින් තාමත් අධ්‍යයනය කරලා නෑ. නමුත් එහෙම අධ්‍යයනය කලොත් පේන දෙයක් තමයි අර කියපු මිථ්‍යා දෘෂ්ඨික අදහස් මේකට හේතුවක් වෙනවා කියලා. අපි ආයෙමත් වෛදික යුගයකට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට අධ්‍යාත්මිකව පිරිහීම බෞද්ධ රාජ්‍යයන් කඩා වැටීමට හේතුවක් වෙලා තියෙනවා.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් ඔබවහන්සේ එක තැනකදි සදහන් කලා අශෝක රජතුමා ගැන. එතුමා ගැන කථාකරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ පිළිබද ලියවෙච්ච ලිපියක් මට ලැබුණා. එහි මෙන්න මෙහෙම සදහන් වෙනවා අශෝක රජතුමා කිව්වා කියලා. “ධර්මයේ මාර්ගයෙන් ජනතාවට ආරක්ෂාව ලබාදීම. ධර්මය මාර්ගයෙන් ජනතාවට සතුට ලබාදීම. ධර්මය ඔස්සේ රට පාලනය කිරිම. අධිරාජ්‍ය ධර්මය තුලින්ම ආරක්ෂා කර ගැනීම.” මේ තමයි අශෝක රජතුමාගේ මූලික ප්‍රතිපත්තිය. මේ මත තමයි රාජ්‍ය පාලනය වුණේ. ධර්මය තමයි පදනම් වුණේ. සමහරු කියනවා අශෝක රජතුමා ජනතාව දෙස බැලුවේ බොහොම ගැඹුරු මානව චින්තනයකින් කියලා. මේ නිසා අශෝක රජතුමා ප්‍රායෝගික කෙනෙක් වුණා. බොහොම යහපත් පාලනයක් ගෙන ගියා. අශෝක රජතුමා මිනිසා දිහා බැලුවේ මූලික වශයෙන් සමාජයේ ඉන්න කෙනෙක් විදිහට. බුදුහාමුදුරුවෝ පුද්ගලයා දිහා බැලුවෙත් සමාජයේ ඉන්න කෙනෙක් විදිහට. ඒ වගේම ධර්මය කියන දේ අශෝක රජතුමා දැක්කේ සමාජයේ වගකීමක් විදිහට. අපේ රටේ කිසිදු දේශපාලකයෙක් මේ විදිහට කථා කරලා නෑ මෙ වනතාක්. එක අවස්ථාවක අශෝක රජතුමා කියලා තියෙනවා “රටවැසියෝ මාගේ දරුවෝය” කියලා. එතකොට අපිට පේනවා මේ රට, සමාජය දිහා බලන්න දර්ශනයක් තිබිය යුතුයි කියලා. මේ දර්ශනය තුල ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. නමුත් අද අපිට දර්ශනයක් තිබුණත් එය ක්‍රියාත්මක වීමක් නැහැ. මේ තත්ත්වය සාකච්ඡා විය යුතුයි. මෙය සාකච්ඡා නොවීම පිළිබද අද බොහෝ මාධ්‍යයන්ට චෝදනා එල්ල වෙනවා. මේ නිසා සමාජය බොහෝ දුක්ඛදායක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් තුළින් තමයි අළුත් දර්ශනයක් දිහා බලන්න ඕන.

කලින් කියපු විදිහට මේ පිළිබද භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරනවා නම් වැදගත් වෙනවා. හැබැයි අපි හිතනවා මේ සාකච්ඡා මණ්ඩපය ගෙනියන්න එකම සුදුසු තැන මාධ්‍ය කියලා. දැන් මේ හැම දෙයක්ම කරන්නේ මාධ්‍යයනේ. නමුත් මේ ගැටළු පිළිබද ගැඹුරින් සාකච්ඡා වෙන්නේ නැහැනේ. මාධ්‍ය මගින් නිරන්තරව සාකච්ඡා වන සාකච්ඡා මණ්ඩපයක් ඇතිකරගන්න පුළුවන්නම් ඒක වැදගත් වෙනවා.

දිස්නා බණ්ඩාර - ඒත් හාමුදුරුවනේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මාධ්‍ය දේශපාලනීකරණය වෙලා. හාමුදුරුවරුත් දේශපාලනීකරණය වෙලා.

විපස්සි හිමි - “වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව” අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පවා භික්ෂූන් වහන්සේලා පෙළඹිලා. එහෙමනම් ඉතින් කවුද මේවා සාකච්ඡා කරන්නේ. දැන් තියෙන්නේ නොපිට පෙරලිච්ච සමාජයක්නේ.

දිස්නා බණ්ඩාර - දැන් හාමුදුරුවනේ බෞද්ධ දර්ශනය මුළු ලෝකයේම පිළිගැනීමට ලක්වෙච්ච අවස්ථාවන් තියෙනවා. අපි කවුරුත් දන්නවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජපානයේදී කරපු ප්‍රකාශය. එතනදි මුළු ලෝකයම එක්වෙලා ජපානයට සම්බාධක පනවන්න උත්සාහ කරපු අවස්ථාවේ එතුමාගේ එක ප්‍රකාශයකින් එය නවත්වා තිබෙනවා.

විපස්සි හිමි - ඔව්. එතනදි එතුමා කියලා තියෙන්නේ “නහී වේරේන වේරානී”. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ.

දිස්නා බණ්ඩාර - ජපානයේ අනාගතය ‍සම්පූර්ණයෙන්ම වෙනස් කරපු අවස්ථාවක් ඒක.

විපස්සි හිමි - ඔව්. ජයවර්ධන මහත්තයා තුල තිබුණේ බෞද්ධ දර්ශනයනෙ. එතනදි එතුමා ඉදිරිපත්කලා මේකයි අපේ චින්තනය කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජපානය ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් බවට පත්වුණා. නමුත් මේ වගේ සංකල්ප තිබිලත් අපි අපේ පාලන තන්ත්‍රයට මේ දේවල් මුසුකර ගන්නේ නෑ. මෙතන තමයි අපට තියෙන ගැටළුව අපි හැමදාමත් කථා කලෙත්, කථා කරන්නෙත් මේ කියන සංකල්ප ප්‍රායෝගිකව අපේ කටයුතුවලට මුසුකර නොගැනීම පිළිබදව.

කටුපිළ

Katupilaපිළිකා, ගෙඩි, වණ සුවයට වටිනා ඔසුවකි.

පිළිකා සුවයට, “කටුපිළ” හොදියි යනු මේ දිනවල බොහෝ සෙයින් කියැවෙයි. මේ ශාකය පිළිකාවලට පමණක් නොව, කැඩුම් බිදුම්වල දී, ගෙඩි, වණ ප්‍රතිකාරවලදි, සර්ප විෂ වෙදකමේ දී පිලාවේ රෝගවල දී, රක්ත අර්ශස් රෝගයේ දී අක්මා ආපදාවල දී, අඛණ්ඩ වෘද්ධියේදී, ගර්භාෂ ගත ගෙඩිවල දී, දේශීය පාරම්පරික වෙදවරු ඈත අතීතයේ සිටම “කටුපිළ” යොදාගෙන ඇති බව පැරැණි වට්ටෝරුවලින් පැහැදිලි ය.

කටු පදුරු ලෙස පහතරට හැම පළාතක ම විශේෂයෙන් වියළි ශුෂ්ක ප්‍රදේශවල ඉබේ වැවෙන මෙම ශාකය, අඩි 3 ක්, 4 ක් පමණ උස් වෙයි. හීන් දෙමට ශාකයට බෙහෙවින් සමාන මෙහි ස්වභාවය මෙහි පළව ඇති ඡායාරූපයෙන් දැක්වෙයි. කටුපිළ කොළ තද හරිත පැහැයක් ගනී. ඒවා වටකුරුය. නමින් කටුපිල වුව ද ඒ කටු එතරම් තියුනු නැත. මේ ශාකයේ ලා කොළ පැහැති මල් රාශියක් කළඹක් සේ හට ගනී. ගම්මිරිස් ඇටයකට වඩා තරමක් ලොකු කටුපිල ගෙඩි පැසුණු විට සුදු පැහැයක් ගනී. එහි බීජ, අබ ඇට තරම් කුඩාය.

කටුපිළ සකුවෙන් කණටපුංඛා, ස්පිහාශත්‍රැ, කණටපුංකිකා, කණ්ටාලු, අත්‍යතුප්ලිහාරි, කාලිකා ආදී නාමයන්ගෙන හැදින්වෙයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Gymnosporia emarginata HK.F. වේ. Fiueggea Leucopyrus willd; Flacouritia nivea Moon සහ securing leucopyrus (willd) Muel ඊට අමතරව, ආදී නාම ද යෙදේ.

පිළිකාවලට

කටුපිල ගසේ පංචාගයේ සාරය මී පැණි දමා බීමට දීම ද, පංචාගය ගෙන චූර්ණ කර, පාණ්ඨ ලෙස සකස් කර දවසට තෙවරක් (කෝපිමෙන්) වත්කර බීම ද ඉතා ගුණදායක ය. කොළ, දළු ගෙන හීනටි හාලෙන් කැද පිස දීම ද ගුණ ය. මෙම කොළ ගෙන පරිප්පු සමග වැංජන පිස කෑම ද, පිළිකා සුවයට ඉවල් වේ. කටුපිල කොළ, ගස්කරල් සැබෝ කොළ, එක පමණට ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ නිවෙන්නට හැර, මී

බඩවැලේ තුවාලවලට

පැණි ප්‍රතිවාප වශයෙන් යොදා උදේ උදේ පානය කිරීමෙන්, බඩවැලේ සෑදෙන තුවාල, ගෙඩි, වණ සහ ලප සුව වේ.

ස්ත්‍රීන්ගේ ගර්භාෂගත ගෙඩි දියවී යාමටද, කටුපිළ මුල්වල හා පෝටාවැල්වල සාරය අමු කහ ඉස්ම සමග බීමට ද දෙයි.

රසායනික උපාදාන

කටුපිළ ශාකයේ තිබෙන රසායනික උපාදාන අතර, ක්වාසිට්‍රීන්, ඇල්බියුමින්, මැලියම්, රංජන පදාර්ථ, ක්ලෝරෝෆිල් ආදිය අඩංගු වේ. කටුපිලවල ඖෂධීය ගුණ කර්ම අතින සලකන විට, රසයෙන් කෂාය රස හා තිත්ත වේ. ළඝු, රුක්ෂ හා තීක්ෂණ ගුණයෙන් යුක්ත ය. උෂ්ණ වීර්ය හා කටුක විපාක සහිත යි. ප්‍රභාවයෙන් ද කටුක වේ. මේ නිසා කටුපිළ රෝග රාශියකට ගුණ දෙයි.

කටුපිළ කොළ මිටක් හා කංසා කොළ එයින් අඩක් ගෙන චූර්ණ කර, මී කිරි සමග දීමෙන් ලේ යන අර්ශස් ගුණ වේ.

ඊටම, කටුපිළ මුල්, කංසා සමග අඹරා මෝරුවෙන් බීමට දීම ගුණ යි.

අක්මාවේ රෝග නිසා වන ඉදිමුමට, කටුපිළ මුල් චූර්ණය මෝරු සමග දීම ඉතා ගුණදායකය.

ගඩුවලට

කටුපිළ කොළ, වල්ල කොළ, පොතු, බටු කරවිල කොළ, මුරුවා කොළ, මේ හැම කහ ලුණු ලා කොටා මලවා බදිනු. සියලු ගඩු සුව වෙයි.

අලවල පොත්ගුල් ලෙන ගල් ගුහාව

ගම්පහ අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලවල උතුර ග‍්‍රාම සේවා වසමට අයත් අලවල පොත්ගුල්ලෙන් රජමහා විහාරයට අයත් ලෙනක් ආශ‍්‍රිතව මේ දිනවල පුරා විද්‍යා කැණීමක් සිදු කෙරෙනවා. පසුගිය දිනක කැණීම් භූමියට යන්නට මටත් අවස්ථාවක් ලැබුනා. මම මගේ මිතුරන් දෙදෙනෙකු සමඟ මෙම ගිය ගමනේදී අලවල කැණීම සම්බන්ධව අලූත්ම තත්වය දැක බලාගන්නට අවස්ථාව ලැබුනා. අප එහි යන විටත් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි කැණීම් සිදුකරමින් සිටියා. ඔවුන් මෙම කාර්යයට යොදවා තිබුනේ කැළණි විශ්ව විද්‍යාල පශ්චාත් පුරා විද්‍යා ආයතනය. එම කණ්ඩායමට පුරා විද්‍යා පශ්චාත් උපාධි හදාරන සිසුන් දෙදෙනෙක් හා කැළණිය විශ්ව විද්‍යාල පුරා විද්‍යා විෂය හදාරන සිසුන 4 දෙනෙකුත් ඇතුලත් ව සිටියා. අපි ඔවුන්ගෙන් තොරතුරු විමසුවා. මුලින්ම ඔවුන්ගෙන් අපි ඇහුවේ පුරා විද්‍ය කැණීමක් කියන්නේ මොකක්ද කියලා.

පුරා විද්‍යා කැණීමක් කියලා කියන්නේ අපේ ජාතික උරුමයක සහ තොරතුරු සොයා යන ගමනක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා කොහොමද ජීවත් වුනේ. ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් මොනවද කියන එක හොයා බැලීම තමයි කැණීමකින් බලාපොරොත්තු වෙන්නේ.

අලවල පොත්ගුල් ලෙන ගල් ගුහාව පුරා විද්‍යාත්මකව වැදගත් වෙන්නේ ඇයි කියලත් දැනගන්න කැමතියි.

ප‍්‍රාග් ඵෙතිහාසික යුගය කොටස් ගණනාවකට බෙදනවා. පූර්ව ශිලා යුගය මධ්‍ය ශිලා යුගය නව ශිලා යුගය කියලා. පූර්ව ශිලා යුගයේ සාධක හමුවෙන්නේ බූන්දල පතිරාජවෙල කියන ප‍්‍රදේශයෙන්. ඒ කියන්නේ ලංකාවේ දකුණු දිග ප‍්‍රදේශයෙන්. මධ්‍ය ශිලා යුගයේ බොහෝ සාධක රත්නපුර සංස්කෘතිය කියලා සලකන රත්නපුර අවට ගල්ලෙන් වලින් තමයි හමුවෙලා තියෙන්නේ. කුරුවිට බටදොඹ ලෙන, පාහියන්ගල, කිතුල්ගල බෙල්ලෙන වගේ ස්ථාන වලින්. ඒ ඇරෙන්න වියලි කලාපයේ සීගිරිය, අලිගල, පොතාන වගේ තැන් වලත් කැණීම් කරලා තියෙනවා. නමුත් බස්නාහිර පලාතේ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයන් සිටි බවට මුල්වරට සාධක මතු කර ගන්නේ අලවල පොත්ගුල් ලෙන ආශ‍්‍රයෙන්. මේ නිසාම ගම්පහ දිස්ති‍්‍රක්කයේ වාරණ, අත්තනගල්ල රජ මහා විහාර ආදී ස්ථාන කිහිපයකද කැණීම් කරන්න දැන් කටයුතු යොදලා තියෙනවා. මෙම ලෙන්ද මධ්‍ය ශිලා යුගයට අයත් බව තමයි පිලිගැනීම.

කැණීමක් සඳහා මූලික අඩිතාලම සැකසෙන්නේ කෙසේද? අපි ඔවුන්ගෙන්  ඇහුවා.

කැණීමකට පෙර සිදු කරන්නේ ඒ භූමිය පිළිබඳ ගවේෂණයක්. මේ ලෙන පිළිබඳ මුලින්ම දැනුම් දීලා තියෙන්නේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක්. එම දැනුම් දීම හරහා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතාගේ අධීකෂණය යටතේ පශ්චාත් උපාධි හදාරන සිසුන් කණ්ඩායමක් මෙම ස්ථානය ගවේෂණය කළා. ඒ යටතේ තමයි මෙම කැණීම ආරම්භ වෙන්නේ. අදාල ප‍්‍රදේශය හැම පැත්තෙන්ම සොයලා බලලා සුදුසු ස්ථානය කුමක්ද කියලා තෝරගෙන තමයි කැණීමට යොමු වෙන්නේ. කැණීම් සිදු කරද්දී භාවිතා කරන විවෘත ක‍්‍රමය තමයි මෙම ලෙන කැණීමට යොදා ගෙන තිබෙන්නේ. ඒ කියන්නේ ගුහාවේ කැණීම කරන කොට කොයි අතකට විහිදෙන්න වෙයිද කියලා කියන්න බැහැ. ඉදිරියට යන කොට විවිද පුරා වස්තු මතු වෙන්න පුලූවන්. ඒක නිසා ඉදිරියට ව්‍යාප්ත වන විදිහට තමයි කැණීම කරන්නේ.

අලවල කැණීම දැන් පසුවෙන්නේ තුන්වන අදියරේ. මෙමඟින් සොයාගත් විශේෂිත දේවල් රැසක් තිබෙනවා. මානව හිස් කබල් කොටස් කිහිපයක් ලැබී තියෙනවා. මානව දත් සමඟ යටි හනුවක්, පොඩි දරුවෙකුගේ (වයස අවුරුදු 8 - 11 අතර කිරි දතක්, පළඳනා ලෙස පාවිච්චි කළ Alawala_1මෝර දතක්, මුහුදු බෙලි කටු වලින් සැදූ පළඳනා 8 ක් මෙන්ම අලියාගේ පටන් කුඩා සිවුපාවා දක්වා සත්ව අස්ථි කැබලි හමු වී තිබෙනවා. මෑත කාලීනව අලවල ලෙනෙන් මතුකර ගත් වැදගත්ම පුරා විද්‍යා සාධකය වන්නේ ව්‍යාඝ‍්‍රයෙකුගේ ඇඟිලි පුරුකක් සහිත නිය කොටසයි. ලංකාවේ ප‍්‍රාග් ඵෙතිහාසික කැණීම් අතර තෙවන වතාවටයි ව්‍යාඝ‍්‍රයෙකුගේ අස්ථි කොටස් හමුවන්නේ. මෙය මීට පෙර සොයාගත් මෝර දතටත් වඩා විශේෂිත බව ඔවුන් පැවසුවා. ලෙනෙහි මතුපිට ගල්වල ඇඹරුම් ලක්ෂණද දැකිය හැකියි. ඒ සඳහා භාවිතා කළ ඇඹරුම් ගල් ද හමු වී තිබෙනවා. එසේම කැකුණ ඇට තැලීම සඳහා භාවිතා කළ ගල් වලවල් ගල මතුපිට දැකගත හැකි වෙනවා.

Alawala_3ඉහතින් දැක්වූ ආකාරයට මෙය මධ්‍ය ශිලා යුගයට අයත් ගුහාවක් ලෙස සැලකුවත් මතුපිට පස් ස්ථර වලින් පශ්චාත් ශිලා යුගය ලෙස සැලකිය හැකි නව යුගයක සාධක මතුවන බව මහාචාර්ය ගාමිණී අධිකාරි, ආචාර්ය අර්ජුන තන්තිල යන විද්වතුන් කියනවා. ගල් ආයුධ සහ වලං කටු කැබලි මිශ‍්‍රව තිබීම ඊට හේතු සාධක ලෙස ඔවුන් ගෙනහැර දක්වනවා. නව ශිලා යුගයට, පසු යුගයක මෙම තත්වය දැකිය හැක බවත් දොරවක ලෙනෙන් මතුවුන නව ශිලා යුගයේ පුරා විද්‍යාත්මක සාධක වලට වඩා මේවා දියුණු බවත් ඔවුන් පවසනවා.

පුරා විද්‍යා කැණීමක් සිදු කිරීම රටට කොතරම් වටිනවාදැයි අපි ඔවුන්ගෙන් විමසා සිටියා. කැණීමක් සිදු කිරීමේ අරමුණ වෙන්නේ රටක පුරාවිද්‍යාත්මක වටිනාකම මතුකර ගැනීම, ජාතික උරුමය හා ජාතික අගය ගැන ජනතාව දැනුවත් කිරීම, සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය වගේ දේවල්. පශ්චාත් උපාධි ආයතනයේ වෙබ් අඩවිය මෙම තොරතුරු අන්තර් ජාලයට ගෙනයනවා. එසේම ප‍්‍රදර්ශන පවත්වා මේ සොයාගත් දේවල් ජනතාවට දැක බලා ගන්න සලස්වනවා. මෙම ප‍්‍රදර්ශන ගම් මට්ටමින් කරන්නත් ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. එසේම අලවල පොත්ගුල්  ලෙන ආශි‍්‍රතව පුරා විද්‍යා කෞතුකාගාරයක් ගොඩ නැගීමටත් රජය පියවර ගනිමින් ඉන්නවා.

ගමක කැණීමක් සිදු කරන විට ගමත් සමග සහසම්බන්ධය පවත්වා ගන්නේ කෙසේද?

පුරා විද්‍යා කැණීමක් කරද්දි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍යයි. එසේම ගම අයත් පොලිස්ථානය ග‍්‍රාම නිලධාරි තුමා සහ ගමේ සමිති සමාගම් වල පිරිස් දැනුවත් කල යුතු වෙනවා. ගම තුල අප හැසිරෙන ආකාරය මත තමයි කරන කාර්යය සාර්ථක වෙන්නේ.

අලවල පුරා විද්‍යා කැණීම් භූමියේ නවතම තතු සොයා ගිය ගමනෙ අවසානයේ ඔබට කිවයුතු විශේෂිත කරුණු කිහිපයක් තිබෙනවා. මෙය ඵෙතිහාසික ලෙනක්, ප‍්‍රාග් යුගයේ තොරතුරු වගේම ඊට පසුකාලීන රජවරුන්ගේ යුගයට ද මෙය නෑකම් කියනවා. ”ගමික තිසහ පුත ගමික ලෙනේ” යනුවෙන් බ‍්‍රාහ්මීය අක්ෂරයෙන් ලියවුණු සෙල් ලිපියක් මෙම ලෙනෙහි තිබෙනවා. ”


දේශපාලනයට බුදු දහමින් උදාහරණ

දේශපාලනය සදහා ධර්මය මුසුකර ගැනීම පිළිබද සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවකි මේ. බුදු දහමේ එන සූත්‍ර කොටස් උදාහරණයට ගෙන දක්වමින් මේ පිළිබද පැහැදිලි විස්තරයක් ගියවර සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරිණි.

බුදුන්වහන්සේ දේශනා කල මේ දහම් කරුණු එදා දේශපාලනයට මෙන්ම අද දේශපාලනයටද වලංගු වන්නකි.

විපස්සි හිමි - ඇත්ත වශයෙන්ම බුදු හාමුදුරුවෝ දේශනා කල මේ දහම් කරුණුවල තවත් පැතිකඩවල් ගොඩක් තියෙනවා. අපි මේ කියන්නේ රටක් පාලනය කරන්න බුදු දහමේ එන සරල පැතිකඩක් උපයෝගී කරගන්න පුළුවන් කියන එක. රජවරුන්ගේ ක්‍රියාදාමය අවංක වෙන්න ඕන. නැත්තං වෙන්නේ “නග්ගා රත්තං අරාජිකං” රජෙකු නැති රට නග්නය. මෙතන කියන්නේ සංකේතාත්මක රජෙක් නෙවෙයි. මේ මූලධර්ම භාවිතා කරන්න පුළුවන් කෙනෙක්.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් ඔය සේරම අඩංගු‍ වෙන්න යම් කිසි දර්ශනයක් ඕන. බටහිරින් අප ඉගෙන ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා සංකල්පයක්. මේ ක්‍රමය තුළ පාලකයෝ අපේ සේවකයො වෙනවා. ඒ වගේ දේශපාලන දර්ශනයක් බුදුදහම තුළ පෙන්නුම් කරලා තියෙනවද?

විපස්සි හිමි - බුදුහාමුදුරුවෝ දේශනා කලා පරමාධිපත්‍ය ජනතාව සතුයි කියලා. පාලකයාට තියෙන්නේ රට රැක ගන්න විතරයි. මහාසම්මතවාදය ගොඩනැගෙන්නෙත් එහෙමයි. ඔහුගේ වගකීම වුනේ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කර දීම. බුදුහාමුදුරුවෝ දේශනා කලේ රට පාලනය කරගන්න ඕන මොන ක්‍රමයකින්ද කියන දේ සදහා රජුට ධර්මයක් තියෙන්න ඕන කියලයි. ඒක තමයි රාජ ධර්මය. රජු සතර අගතියෙන් තොර වෙන්න ඕන. මේ දේවල් සියයට සියයේ ප්‍රතිශතය තුළ නෙවෙයි, නමුත් හැකිතාක් දුරට මේ දේවල් රැකගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කලා තමන් කවුද? තමන් මොනවද කරන්නේ? කියන දේ පිළිබද සැලකිල්ලෙන් පාලන කටයුතු කරන්න කියලා. එතකොට තමයි ජනතාවට යහපත සැලසෙන්නේ.

එඩ්මන්ඩ් රණසිංහ - මම හිතන්නේ එතන තමයි බෞද්ධ දේශපාලන දර්ශනය තියෙන්නේ. බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට පරමාධිපත්‍යත් ධර්මයට යටයි. පරමාධිපත්‍ය පටන්ගන්නේ ධර්මයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඉහළින් ධර්මය තියෙන්නේ. ඒ විදියේ සංකල්පයක් බෞද්ධ දර්ශනය තුළින් අපේ රටෙත් නිර්මාණය වෙලා තියෙනවා.

විපස්සි හිමි - දර්ශනය තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. නමුත් අපේ ඉතිහාසය බලපුවාම අපට පැහැදිලිව පේනවා ඒක ක්‍රියාත්මක වුන ආකාරය. උදාහරණයක් වශයෙන් වල්පොල රාහුල හාමුදුරුවෝ මේවා ක්‍රියාත්මක කරවන්න ප්‍රබල උත්සාහයක් ගත් කෙනෙක්. උන්වහන්සේගේ පොතක් තියනවා “ලංකාවේ බුදු සමයේ ඉතිහාසය” කියලා. එහි 6 වෙනි පරච්ඡේදයේ මෙහෙම සදහන් වෙනවා.

“තමන්ට බුද්ධ ආඥාවට අනුකූලව සිටින්නට හැකිවනු පිණිස නගරයද ඇතුලත්කොට සීමා බන්ධනය කරන්නට දේවානම්පියතිස්ස රජතුමා මිහිදු මා හිමියන්ට කල ආයාචනයෙහි වැදගත් අදහසක් ගැබ්ව ඇති වී ඇත”

“ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේදී එදින පටන් ක්‍රි.ව. 19 වන ශත වර්ෂයේදී සිංහල රාජ්‍ය අභාවයට ගිය දින තෙක් ලාංකික රාජ්‍යයට හිමිකම් කීමට නීතියෙන් බලය ලැබුනේ බෞද්ධයෙකුට පමණයි. ක්‍රි.ව. 10 වන ශතවර්ෂය වන විට මේ විශ්වාසය දැඩිලෙස තහවුරු වී පැවතියේද යත් ලංකාවේ රජු බෞද්ධයෙකු පමණක් නොව බෝධිසත්වයෙකු වීමද අවශ්‍ය විය. බෝධිසත්වයන් හැර අන් කිසිවෙක් ශ්‍රී ලංකාවේ රජ නොවන්නේයැයි ඔවුන්ට මේ විවරණය ලැබුනේ බුදුන්වහන්සේගෙන්යැයිද මිහිදු රජුගේ සෙල් පුවරු ලිපියෙත් සදහන් වෙනවා”

මෙයින් පැහැදිලි වෙනවා අපට ඉහළින් තිබිච්ච එකම මෙහෙයවීම තමයි ධර්මය කියලා. මේ රාජ්‍ය පාලනය තමයි පාලකයෙකුට තිබුනේ. එතනදි බෞද්ධ සංස්කෘතියත් එක්ක ගත්තම හැම පාලකයකුම බෞද්ධයෙකු විය යුතුයි කියන්නේ ආගම ප්‍රචාරය කරන්න නෙවෙයි. බුදුදහමේ සියළු මූලධර්ම අනෙකුත් සියළු ජනකොටස් වලට අදාලව ක්‍රියාත්මක කලහැකි නිසා. මේ දේවල් ක්‍රියාත්මක වෙච්ච සමාජයක් තිබුණා. අද ඒක නෑ. මේ දේ ක්‍රියාත්මක කරන්න දේශපාලන පක්ෂයකට බැරිවෙයි. මෙක ක්‍රියාත්මක කරන්න අළුත් බලවේගයක් අවශ්‍ය වෙනවා. ඒ බලවේගය ස්වාධීන කණ්ඩායමක් විය යුතුයි.

එඩ්මන්ඩ් රණසිංහ - ඔබවහන්සේ කරපු විස්තරය අනුව දැන් තියෙන මේ දේශපාලන ක්‍රමය බුදුදහම අනුව යන එකක් නෙවෙයි නේද? පක්ෂක්‍රම වලින් භේදය ඇතිවෙනවා. මිනිස්සු ඇණකොටාගන්නවා. මරා ගන්නවා. නොයෙක් දේවල් වෙනවනේ දැන්. අපි මේ පක්ෂ ක්‍රමය අයින් කරන්න ඕන. වෙනත් ක්‍රමයක් සොයාගන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුලෙත් ගහගන්නවානේ. අද කාලේ පත්තරයක් බලපුවාම තේරෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. මේ ක්‍රමය තුළ වුනත් මම හිතන්නේ බෞද්ධ දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන අයගේ වරද නිසයි මේක වෙන්නේ නැත්තේ. ඉතින් ඒ වරද හදා ගන්නත් ක්‍රමයක් නැත්නම් මොකද්ද වෙන්නේ?

විපස්සි හිමි - වරද හදා ගන්න ක්‍රමයක් නැත්තෙ නෑනේ. ක්‍රමයක් තියෙනවා. ලෝකෙ ඕනම දේකට ක්‍රමයක් තියෙනවා. රණසිංහ මහත්තයා කීවේ දේශපාලන රටාව තුළ මේක ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලනේ. ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙමනං අපට පුළුවන් වෙනවා අපි අර කලින් කීවා වගේ යම්කිසි විදියකින් කණ්ඩායමක් හදා ගන්න.

එඩ්මන්ඩ් රණසිංහ - බලවේගයක් ඇතිකරන්න ඕන.

විපස්සි හිමි - ඒ බලවේගය කිසිම පක්ෂයකට නතු වෙන්න බෑ. අපට පක්ෂ නැති කරන්න බෑ. මොන පාක්ෂිකයෙක් බලයට පත්වුනත් ඒ පාක්ෂිකයා නිරන්තරයෙන් දැනුවත් කරන ස්වාධීන මණ්ඩලයක් මෙරට ඇතිවෙන්න ඕන. ඒ ස්වාධීන මණ්ඩලය තුළ සමාජයේ සියළුම කොටස් නියෝජනය වෙන්න ඕන.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් සමාජයේ විවිධ පුද්ගලයින් මේ කණ්ඩායමට ඇතුලත් කරගන්න ගියොත් යම්කිසි තේරීමක් කළයුතු වෙනවා. නමුත් මං හිතන්නේ ඔබ වහන්සේලා වගේ ධර්මය ගැන දන්න ස්වාධීන කණ්ඩායමක් තමයි සුදුසුම.

විපස්සි හිමි - ඔව්. මොකුත්ම නැති සමාජයක ඒ වගේ කණ්ඩායමක් වුණත් ඇති. ඇත්තටම ලොකු කණ්ඩායමක් අවශ්‍ය නෑ. ඒ කණ්ඩායම කියන්නේ නිවැරදිම දේ නම් ඒක ඕනම කෙනෙකුට පිළිගන්න වෙනවනේ. හැබැයි ප්‍රශ්නෙ මේකයි. මෙතෙක් ඇතිවෙච්ච හැම කණ්ඩායමක්ම බොහොම සත්පුරුෂ භාවයෙන් තමයි පටන් ගත්තේ. ඒත් ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා හමුවේ මේ ඔක්කොම නැති වෙනවා.

දිස්නා බණ්ඩාර - හාමුදුරුවනේ ඒක මේ රටේ දේශපාලකයෝ දන්නවා. ඕනම බලවේගයක් සල්ලිවලට නතුකරග්න පුළුවන් කියලා ඒ අය විශ්වාස කරනවා. මේ නිසා මේ බලවේගය විසින් කළයුතුම දේ වන්නේ ජනතාව දැනුවත් කරන එක නේද? මේ දේවල් මෙහෙම වෙලා තියෙන්නේ ජනතාවගේ දැනුවත් භාවය නැති නිසානෙ. දැනුවත් පිරිසක් අතරින් පතර හිටියත් ඒ අයගේ හඩ එලියට එන්නේ නෑ.

විපස්සි හිමි - ඔව්. එතකොට අර ස්වාධීන කණ්ඩායමේ එක වගකීමක් තමයි ජනතාව දැනුවත් කරන එක.

එඩ්මන්ඩ් රණසිංහ - ඔව්. මේ විදිහට ජනතාව දැනුවත් කරනවා නම් ජනතා බලවේගයක් ඇතිවෙයි. ජනතාව ස්වාධීන විය යුතුයි. දේශපාලකයින් පස්සේ නොයා යුතුයි. අද වෙන්නේ මේ දේශපාලන පක්ෂ ජනතාව දක්කගෙන යනවනේ. ඔබ වහන්සේලාට අයිතියකුත් තියෙනවා ජනතාව මේ තත්ත්වයෙන් ජනතාව මුදවා ගන්න.

විපස්සි හිමි - ඇත්ත වශයෙන්ම ඒ වගේ දෙයක් අවශ්‍ය කරනවා. දැන් මේ දේ භික්ෂූන් වහන්සේලා ප්‍රාදේශීය මට්ටමින් සිදුකරනවා. ඒත් ප්‍රශ්ණය වෙන්නේ නොයෙක් නොයෙක් බලවේග එනවනේ.

දිස්නා බණ්ඩාර - ඒ වගේම හාමුදුරුවනේ මේ හඩ ප්‍රමාණවත් මදි නේද?

විපස්සි හිමි - ඔව්. ඒක ඇත්ත.

දිස්නා බණ්ඩාර - මීට වඩා ප්‍රබල සාධක විසින් ජනතාව ඩැහැගන්නවා.

විපස්සි හිමි - ඇත්තටම කිසිම බලවේගයකට යටත් නොවී භික්ෂූත්වය පිළිබද අභිමානයකින් කටයුතු කරන ස්වාධීන භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ සදහා නායකත්වය ගත යුතුය.

එඩ්මන්ඩ් රණසිංහ - වෙනම සංවිධානයක් විදිහට ආවොත් දේශපාලකයන් ඔය දේට විරුද්ධ වෙන්න පුළුවන්.

විපස්සි හිමි - ඇත්තටම ඒ වගේ දෙයක් වෙයි. මොකද හැම දෙයක්ම බලන්නේ දේශපාලන දෘෂ්ඨියකින්නේ. ඒත් ඉතිං භික්ෂූන් වහන්සේලා ක්‍රියාත්මක වෙන්න ඕන. උන්වහන්සේලා බොහොම ආදර්ශවත් වෙන්න ඕන. උන්වහන්සේලාගේ සිල්වත් බව ආරක්ෂාකර ගනිමින් මේ දේවල් සිද්ධ කරනවා නම් මේ සමාජයේ නව ප්‍රවනතාවයක් ඇතිකරන්න පුළුවන් වේවි.

බුදුදහමේ දේශපාලන සංකල්ප

දේශපාලනයට ධර්මය මුසුකරගැනීම පිළිබදව අප දිගින් දිගටම සාකච්ඡා කලෙමු. බුදු දහමේ ඉගැන්වීම් සෘජුවම දේශපාලනයට එක් කර ගත හැකි ආකාරය පිළිබදව අද සාකච්ඡාවේදී තවදුරටත් විස්තර කෙරේ.

එඩ්මන්ඩ් රණසිංහ - මේ වන විට අප දන්නවා බෞද්ධ දේශපාලන දර්ශනය සහ බටහිර දේශපාලන දර්ශනය අතර තිබෙන සමානකම් සහ වෙනස් කම්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනය බිහිවුනේ අරගල තුලින් මීට අවුරුදු 500 කට 600 කට පමණ පෙර. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනය අපට ලබාදුන්නේ අවුරුදු 2500 පමණ ඉහතදී. මිනිසාගේ විමුක්තිය සහ යහපත උදෙසා රාජ්‍යයක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියලා උන්වහන්සේ පෙන්වලා දුන්නා. සත්‍ය ගවේෂණය විතරක් නෙවෙයි සමාජයක ව්‍යුහය කෙසේ වියයුතුද කියලා පෙන්නල දුන්නා. සමාජයක් යහපත් වෙන්නනම් ‍එහි දේශපාලන ක්‍රමය යහපත් විය යුතුයි. පාලනය යහපත් වෙන්නනම් පාලකයින් යහපත් විය යුතුයි. පාලකයින් කෙසේ රට පාලනය කල යුතුද කියලා බෞද්ධ දේශපාලන දර්ශනය තුල බුදුරජාණන් වහන්සේ දේශනාකල විවිධ අවස්ථා සූත්‍ර දේශනා තුල ඇති.

විපස්සි හිමි - ඔව්. සූත්‍රපිටකය තුල එවැනි අවස්ථා බොහොමයක් තියෙනවා. ඒවා ගැඹුරින් කල්පනා කරලා ඒ මූලධර්ම දේශපාලනයට මුසුකර ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. එක්තරා දවසක් බුදුන් වහන්සේ කොසොල් රටේ එක්තරා ප්‍රදේශයක විවේක සුවයෙන් වැඩ සිටිනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේට සිතුවිල්ලක් පහල වෙනවා. රජ කෙනෙකුට, විනාශ නොකරමින්, නොකරවමින්, නොබිනමින්, නොබිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමින් රාජ්‍ය කල හැකිද? කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම සිතුවේ රාජ්‍ය පාලකයින්ගේ විවිධ අත්තනෝමතික ක්‍රියා නිසා රටවැසියා විවිධ හිංසාවන්ට ලක්වෙන නිසා. අංගුත්තර නිකායේ රාජ සූත්‍රයේ මාර සංයුත්තයේ මේ පිළිබද සදහන් වෙනවා. ඒ වගේම තවත් සූත්‍ර කිහිපයක් මේ අවස්ථාවේදී අපට මතක් වෙනවා. එක් තැනක සදහන වෙනවා “තස්මිං භික්ඛවේ සමේ රාජාණෝ අධම්මිකා හොංතී රාජ යුත්තාපි තස්මිං සමේ අධම්මිකා හොංතී” ඒ කියන්නේ යම් අවස්ථාවක රජතුමා අධර්මික වුනොත් රාජ පුරුෂයින් අධාර්මික වෙනවා කියලා. මේක සදහන් වෙන්නේ අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේ. හැම වෙලාවකම පාලකයා ආදර්ශමත් වෙන්න ඕන. ආදර්ශ කියන්නේ සංස්කෘත වචනයක්. ඒකේ තේරුම කැඩපත කියන එකයි. පුද්ගලයා හැමවෙලාවෙම කැඩපතක් බවට පත්වෙන්න ඕන. අනිත් අය තමන්ගේ හරි වැරදි තේරුම් ගන්නේ ඒ කැඩපත දිහා බලලා. අද වෙලා තියෙන්නේ හැම තැනම අනුශාසනා කරන එක විතරයි. නමුත් අපට අද අවශ්‍ය කරන්නේ ආදර්ශමත් රාජ්‍ය නායකයෙක්. ඒ වගේම තවත් තැනක කියනවා “යධා රාජාණෝ ධම්මිකා හොංති තධා රාජ යුත්තාපි ධම්මිකා හොංතී” යම් කාලයක රජවරුන් ධාර්මික වෙනවානම් අනිත් අයත් ධාර්මික වෙනවා කියලා කියනවා. මෙතනදි සදහන් වෙන්නේ රාජ්‍ය පාලනයේ මූලාරම්භය පිළිබදවයි. ඒ කියන්නේ පාලකයා යහපත් විය යුතුයි කියලා. නමුත් අද මේ වගේ තත්ත්වයක් අපේ රටේ දක්නට නෑ. මේ අය දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා. ලස්සන ලස්සන ප්‍රකාශ ඉදිරිපත් කරනවා විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා යම්කිසි රටක සලකුණ ඒ රටේ රජතුමයි කියලා. බුදුහාමුදුරුවෝ මේ දේවල් දේශනා කලේ, නිර්වාණ මාර්ගය ලබාගන්න නම් ඒ සදහා හොද යහපත් පාරිසරික පද්ධතියක් අවශ්‍ය කරන නිසා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ සුදුසු ප්‍රදේශයක වාසය කරන්න කියලා. මේ පරිසරය නිර්මාණය කරන්න පුළුවන් පාලකයින්ට. බුදුහාමුදුරුවෝ දේශනා කලා “ඉස්සරිය බලා රාජාණෝ” ඓශ්චර්යය යම්තාක් පවතීද ඒ තාක් රජුගේ බලයයි. රජවරු බලයට කැමතියි. ඒ බලය නිවැරදි විදිහට පාවිච්චි කරන්න ඕන. නැත්නම් සමාජය දූෂණයට ලක්වෙනවා.

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි බුදුදහමේ තියෙන සංකල්ප දේශපාලනයට එක්කරන්න පුළුවන්ද කියන දේ. ඇයි බැරි. අපි ගැඹුරින් හිතන්න අවශ්‍ය නෑ. සරලව ගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කලා සොරකම් කරන්න එපා කියලා. ගොඩක් අය හිතන්නේ ‍සොරකම් කියන්නේ ගෙයක් බිදින එකක් වගේ දේවල් කියලා.

දිස්නා බණ්ඩාර - නමුත් දේශපාලකයින් කරන මහා පරිමාණ සොරකම් ගැන හිතෙන්නේ නෑ.

විපස්සි හිමි - ඔව්. සොරකම කියන එක සමාජයේ ව්‍යාප්ත වෙන පැතිකඩවල් හොයන්න ඕන. විවිධ විවිධ අයට ලස්සනට සොරකම් කරන්න පුළුවන්. යම් ව්‍යාපෘතියක් ඇතිකරපුවහම ඒ ව්‍යාපෘතියට යන වියදමට වඩා කී ගුණයක් අපතේ යනවද? අපි මුලින් කිව්ව වගේ මේ දේවල්වල විනිවිදභාවය නෑ. මේ වගේ අවස්ථාවලදී සොරකම ඉතාම ලස්සනට සිද්ධ‍වෙලා තියෙනවා. මේ අය හිතන්නේ නෑ මේක අකුසලයක් කියලා. පළමුවෙන්ම මේ අයට කුසල් අකුසල් උගන්වන්න ඕන. පන්සිල් පදවල මුලින්ම තියෙන්නේ සතුන් මරන්න එපා කියලා. ඒත් දේශපාලනමය වශයෙන් සිද්ධවෙන ඝාතන කොයිතරම්ද? මේවා බරපතල අකුසලයන්. පාලකයෝ නිවැරදි වෙන්න ඕන. පාලකයා කියන්නේ ජනාධිපති විතරක් නෙවෙයි. ග්‍රාමසේවකගේ ඉදන් ඉහලට ඉන්න සියළුම පාලකයින් නිවැරදි වෙන්න ඕන.

අනිත් එක ශ්‍රමය. අපි කොච්චරනම් ශ්‍රමය අපතේ හරිනවද? යම්කිසි පුද්ගලයෙකුගේ ශ්‍රමය ඒ පුද්ගලයාගේ කායික මානසික ජීවිතයට හානියක් නොවන විදිහට යොදාගන්න ඕන. අද එහෙම ගන්නේ නෑ. වැරදි විදිහට ශ්‍රමය ලබාගැනීම පවක්. ඒ නිසා මේ පාලකයින්ට නිතර නිතර කුසලාකුසල ධර්ම ගැන අවබෝධයක් ලබාදිය යුතුයි.

මේ කරුණු වලින් අපට පැහැදිලි වෙනවා බුදුදහමේ තිබෙන යම් යම් සංකල්ප කොහොමද පාලනයට සම්බන්ධ කර ගන්නේ කියලා. මේක ඉතාම සරල කාරණාවක්.

එඩ්මන්ඩ් රණසිංහ - මේ ප්‍රශ්න මේ විදිහට සමාජයේ කිසිම තලයක සාකච්ඡා වෙන්නේ නෑ. දේශපාලකයෝ සාකච්ඡා කරන්නෙත් නෑ. රටේ ජනතාව සාකච්ඡා කරන්නෙත් නෑ.

දිස්නා බණ්ඩාර - මාධ්‍යවල සාකච්ඡා වෙන්නෙත් නෑ.

එඩ්මන්ඩ් රණසිංහ - ඔව්. මං හිතන්නේ ඒ සාකච්ඡාව ගෙනියන්න හොදම පිරිස තමයි ඔබවහන්සේලා. ඔබ වහන්සේලාට ඒ සාකච්ඡාව පටන්ගන්න පුළුවන්.

දිස්නා බණ්ඩාර - හාමුදුරුවනේ ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී බුදුන් වහන්සේ දේශනාකරලා තියෙනවා. බුදුදහම දේශපාලනයට මුසු කරගත යුතු අන්දම. බුදුහාමුදුරුවෝ වෙනමම දේශනාකරලා තියෙනවා දසරාජධර්ම කියලා කොටසක්. ඒ වගේම ලිච්ඡවී රජදරුවන්ට දේශනා කරපු සප්ත අපරිහානී ධර්ම.

එඩ්මන්ඩ් රණසිංහ - ඒ වගේම ඔබ වහන්සේ එදා සදහන් කලා රජවරු පිලිපැදිය යුතු කාරණා කිහිපයක් පිළිබදව.

විපස්සි හිමි - ඔව්. බුදුන්වහන්සේ ඒ පිළිබද දේශනා කරලා තියෙනවා. ඥාති බලි, අත්ති බලි, පුබ්බ පේත බලි, රාජ බලි, දේවතා බලි. මේක අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතයේ පත්තකම්ම සූත්‍රයේ සදහන් වෙනවා. මෙහිදී ඥාති බලි කියන්නේ නෑයන් සදහා සංග්‍රහ කරන්න ඕන. හැබැයි ඥාතීන් කියලා බුදුදහමේ හදුන්වන්නේ හුදෙක් ලේ ඥාතීන්ම නෙමෙයි. “විශ්වාසා පරමා ඥාතී”“බෞද්ධ ශිෂ්ඨාචාරයේ මූලධර්ම සහ වංශකතාව” කියන පොතේ මේ බව සදහන් වෙනවා. සත්පුරුෂ පුද්ගලයෝ තමයි ඥාති කියන්නේ. රාජ්‍ය පාලනයේදී සමස්ථ ජනතාවම ඥාතීන්. ජනතාවට සංග්‍රහ කරනවා කියන්නේ ඒ අයට පහසුවෙන් ජීවත්වෙන්න පුළුවන් පසුබිම සකස් කරනවා කියන එක. සතර සංග්‍රහ වස්තු වලත් ඒක තමයි සදහන් වෙන්නේ. මහාචාර්ය චන්දිම විජය බණ්ඩාර සහ ආචාර්ය එච්.එම්. මොරටුගම ඉතාම පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තියෙනවා දේශපාලන දර්ශනයට බුදුදහම එක්කර ගන්නේ කොහොමද කියලා.

මහා සුදස්සන සූත්‍රයේ මෙන්න මේ විදිහට සදහන් කරනවා. “අන්නං අන්නත්ථි කස්ස” ආහාර ප්‍රශ්ණ විසදන්න ඕන. “පානං පානත්ථි කස්ස” ජල ප්‍රශ්ණය විසදන්න ඕන. “යානං යානත්ථි කස්ස”“වත්ථං වත්ථත්ථි කස්ස” ඇදුම් පැලදුම් ප්‍රශ්ණ විසදන්න ඕන. “ඉත්තිං ඉත්තිත්ථි කස්ස” පවුල් ප්‍රශ්ණ විසදන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දේවල් පෞද්ගලිකව අනුගමනය කලයුතු දේවල්.‍ නමුත් මේවා පොදු සංස්ථාවක පොදුවේ ක්‍රියාවට නංවන්න පුළුවන්. දැන් පේනවනේ දේශපාලනයට ධර්මය මුසුකර ගන්නවා කියන එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි කියලා. ගමනා ගමන ප්‍රශ්ණය විසදන්න ඕන.

පිටුව 1 / 2