Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: ගවේෂණ ආගමික

ආගමික

බුද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය

බෞද්ධ දේශපාලන දර්ශනය මානව සමාජයට කෙතරම් හිතකරදැයි අපි මේ සාකච්ඡා මාලාව තුලින් කතා කලෙමු. මේ දර්ශනය ප්‍රායෝගිකව තම පාලන ක්‍රමයන් තුළ භාවිතා කල නායකයින් අපට ඉතිහාසයේදී හමුවේ. එවන් නායකයින් ඉතිහාසයේ පමණක් නොව වර්තමානයේද තවමත් වීරයින් ලෙස සලකන්නේය. මෙවර සාකච්ඡාවට බදුන් වන්නේ එවන් නායකයින් බුදුදහම ප්‍රායෝගිකව භාවිතා කලේ කෙසේද යන්න පිළිබදවයි.

එඩ්මන්ඩ් රණසිංහ - බෞද්ධ දේශපාලන දර්ශනය ගැන මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා විග්‍රහයක් කරලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන තේමාව යටතේ. “පුද්ගලයෙකුගේ නිදහස ඉතාමත් අගය කලයුතු, ගරු කලයුතු දෙයක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. හිතීමේ නිදහස බුදුරජාණන් වහන්සේ ගරු කලා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරුකලා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රතිපත්තිවලට ගරුකලා. ලෝකයේ තියෙන පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය හැටියට සංඝ සංවිධානය හදුන්වා දීලා තියෙනවා. එම සංවිධානය ඇතිකලේ ගිහියන්ට එය ආදර්ශයක් හැටියට ගතහැකි නිසා. ධර්මය මත ගොඩනැගෙන රාජ්‍ය වැඩකරන්නේ ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික යහපත සදහා. එවැනි රටක් තුල දේශපාලනික, ආගමික හා පෞද්ගලික නිදහස ආරක්ෂා වෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබද ගැටළු සහ හැමටම රැකියාවක් ලබාගැනීම පිළිබද ගැටළු විසදෙනවා”. ඒ වගේ රාජ්‍යයක් තමයි බෞද්ධ දේශපාලන දර්ශනය තුලින් ගොඩනැගෙන්නේ කියන දේ මහාචාර්ය මලලසේකර මහතා‍ පෙන්වා දෙනවා. මේ දර්ශනය ගැන තමයි අපිත් කතා කර කර හිටියේ. නමුත් අපි මෙතනින් එහාට යන්න ඕනේ. දර්ශනය ගැන කතා කර කර ඉදල හරියන්නේ නෑ.

බෞද්ධ රටවල් විදිහට හැදින්වෙන රටවල් බොහොමයක් ලෝකේ තියෙනවා. නමුත් කොයිතරම් දුරට ප්‍රායෝගිකව බුද්ධ දර්ශනය ඒ රටවල් වල පාලන තන්ත්‍රය සදහා භාවිතා කරගෙන තිබේද යන කාරණාව පිළිබද අවධානය යොමුකල යුතුයි. උදාහරණයක් විදිහට අපේ රට බෞද්ධ රටක්. නමුත් අපේ රට පාලනය වන්නේ බෞද්ධ දර්ශනයට අනුකූලවද කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නම් අපි කලයුත්තේ මොකද්ද?

විපස්සි හිමි - ලංකාව බෞද්ධ රාජ්‍යක් තමයි. අශෝක අධිරාජ්‍යයා බුද්ධ දර්ශනය පදනම් කොටගෙන රාජ්‍ය ගෙනගියා. මිනිසුන් විතරක් නොවෙයි ගහ කොළ පවා ආරක්ෂා කල යුතුයි කියලා අශෝක සෙල් ලිපිවල සදහන් වන්නේ මේ නිසයි. 13 වන ගිරි ලිපියේ සදහන් කරනවා එතුමා බුදුදහම විතරක් නෙමෙයි අනෙකුත් ආගම් වලටත් නිදහස ලබල දීලා තිබුණා. හැම මනුෂ්‍යයෙකුගේම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගේන්න අවශ්‍ය දෑ සදහා ඉඩකඩ සැලසුවා. මේ සෑම දෙයක්ම ගොඩනගල තිබුණේ බෞද්ධ ප්‍රතිපත්තීන් මත. බුදුන් වහන්සේ දේශනා කරපු විවිධ සූත්‍ර පාඨයන් තමයි එතුමා ආදර්ශ පාඨ විදිහට අරගෙන තිබුණේ. අතීත ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලනයත් මේ ආකාරයෙන්ම තමයි වුණේ. බුද්ධ දර්ශනය පදනම විදිහට තිබුණත් අන් කිසිදු ආගමකට එයින් බලපෑමක් එල්ල වුණේ නෑ. ආගම් විශාල සංඛ්‍යාවක් තිබුණත් බුදුදහම තමයි ප්‍රධානම ආගම වුණේ. ඒ නිසා තමයි වැවයි, දාගැබයි - ගමයි, පන්සලයි කියන සංකල්පය ඇති වුණේ. මේ කියන පදනම තුල ගොඩනැගුනු ජන සමාජයේ ජනතාව භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් ස්වයංපෝෂිත ජීවන රටාවක් තමයි පවත්වාගෙන ගිහිල්ල තියෙන්නේ. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශවලින් අපි අදත් දකින නටඹුන් මේ සදහා සාක්ෂි සපයනවා. අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ අද වගේම එදත් වියළි කලාප. නමුත් මේ තත්ත්වය තේරුම් ගත්තු රජවරු මහ වැව් හැදුවා. ඒ කියන්නේ ඒ කලාපයට අවශ්‍යකරන ප්‍රතිපාදනයන් සම්පූර්ණ කර දුන්නා.

ඔවුන් අදට වඩා එදා බෞද්ධ දර්ශනයේ සියළු මූලධර්මයන් අනුගමනය කළා. අද ඒ මූලධර්මයන් අනුගමනය කරන්නේ නැහැ. අද විශාල කොන්ක්‍රීට් ගොඩවල් තියෙනවා. නමුත් අනිත් අතට හැමදේම ගරා වැටිලා. දැන් බලන්න අපේ රටේ මිනිස්සු ජලයත් එක්ක ජීවත් වෙච්ච ජනකොටසක්නේ. පරාක්‍රමබාහු රජතුමා වරෙක ප්‍රකාශ කරනවා, “අහසින් වැටෙන එක දියබිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යවන්න එපා” කියලා. අද අපිට ඔය සංකල්පය අමතකවෙලා තිබුණත් අප්‍රිකාවේ රටක තවමත් මේ සංකල්පය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සංකල්ප අපිට තිබිල තියෙනවා. නමුත් මේවා ගැන කථාකරනවා විතරයි. ක්‍රියාත්මක මට්ටමට එන්නේ නෑ.

මෑත භාගයේදී අපි විශාල වශයෙන් මිථ්‍යා දෘෂ්ඨියට යොමුවෙලා තියෙනවා. අද සියළු දෙනාගේම තීරකයා වෙලා තියෙන්නේ ජ්‍යෝතීර්වේදියා. බෞද්ධ රාජ්‍යයන් කඩාගෙන වැටෙන්න හේතුව මොකද්ද කියන දේ පිළිබද අපි ගැඹුරින් තාමත් අධ්‍යයනය කරලා නෑ. නමුත් එහෙම අධ්‍යයනය කලොත් පේන දෙයක් තමයි අර කියපු මිථ්‍යා දෘෂ්ඨික අදහස් මේකට හේතුවක් වෙනවා කියලා. අපි ආයෙමත් වෛදික යුගයකට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට අධ්‍යාත්මිකව පිරිහීම බෞද්ධ රාජ්‍යයන් කඩා වැටීමට හේතුවක් වෙලා තියෙනවා.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් ඔබවහන්සේ එක තැනකදි සදහන් කලා අශෝක රජතුමා ගැන. එතුමා ගැන කථාකරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ පිළිබද ලියවෙච්ච ලිපියක් මට ලැබුණා. එහි මෙන්න මෙහෙම සදහන් වෙනවා අශෝක රජතුමා කිව්වා කියලා. “ධර්මයේ මාර්ගයෙන් ජනතාවට ආරක්ෂාව ලබාදීම. ධර්මය මාර්ගයෙන් ජනතාවට සතුට ලබාදීම. ධර්මය ඔස්සේ රට පාලනය කිරිම. අධිරාජ්‍ය ධර්මය තුලින්ම ආරක්ෂා කර ගැනීම.” මේ තමයි අශෝක රජතුමාගේ මූලික ප්‍රතිපත්තිය. මේ මත තමයි රාජ්‍ය පාලනය වුණේ. ධර්මය තමයි පදනම් වුණේ. සමහරු කියනවා අශෝක රජතුමා ජනතාව දෙස බැලුවේ බොහොම ගැඹුරු මානව චින්තනයකින් කියලා. මේ නිසා අශෝක රජතුමා ප්‍රායෝගික කෙනෙක් වුණා. බොහොම යහපත් පාලනයක් ගෙන ගියා. අශෝක රජතුමා මිනිසා දිහා බැලුවේ මූලික වශයෙන් සමාජයේ ඉන්න කෙනෙක් විදිහට. බුදුහාමුදුරුවෝ පුද්ගලයා දිහා බැලුවෙත් සමාජයේ ඉන්න කෙනෙක් විදිහට. ඒ වගේම ධර්මය කියන දේ අශෝක රජතුමා දැක්කේ සමාජයේ වගකීමක් විදිහට. අපේ රටේ කිසිදු දේශපාලකයෙක් මේ විදිහට කථා කරලා නෑ මෙ වනතාක්. එක අවස්ථාවක අශෝක රජතුමා කියලා තියෙනවා “රටවැසියෝ මාගේ දරුවෝය” කියලා. එතකොට අපිට පේනවා මේ රට, සමාජය දිහා බලන්න දර්ශනයක් තිබිය යුතුයි කියලා. මේ දර්ශනය තුල ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. නමුත් අද අපිට දර්ශනයක් තිබුණත් එය ක්‍රියාත්මක වීමක් නැහැ. මේ තත්ත්වය සාකච්ඡා විය යුතුයි. මෙය සාකච්ඡා නොවීම පිළිබද අද බොහෝ මාධ්‍යයන්ට චෝදනා එල්ල වෙනවා. මේ නිසා සමාජය බොහෝ දුක්ඛදායක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් තුළින් තමයි අළුත් දර්ශනයක් දිහා බලන්න ඕන.

කලින් කියපු විදිහට මේ පිළිබද භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරනවා නම් වැදගත් වෙනවා. හැබැයි අපි හිතනවා මේ සාකච්ඡා මණ්ඩපය ගෙනියන්න එකම සුදුසු තැන මාධ්‍ය කියලා. දැන් මේ හැම දෙයක්ම කරන්නේ මාධ්‍යයනේ. නමුත් මේ ගැටළු පිළිබද ගැඹුරින් සාකච්ඡා වෙන්නේ නැහැනේ. මාධ්‍ය මගින් නිරන්තරව සාකච්ඡා වන සාකච්ඡා මණ්ඩපයක් ඇතිකරගන්න පුළුවන්නම් ඒක වැදගත් වෙනවා.

දිස්නා බණ්ඩාර - ඒත් හාමුදුරුවනේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මාධ්‍ය දේශපාලනීකරණය වෙලා. හාමුදුරුවරුත් දේශපාලනීකරණය වෙලා.

විපස්සි හිමි - “වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව” අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පවා භික්ෂූන් වහන්සේලා පෙළඹිලා. එහෙමනම් ඉතින් කවුද මේවා සාකච්ඡා කරන්නේ. දැන් තියෙන්නේ නොපිට පෙරලිච්ච සමාජයක්නේ.

දිස්නා බණ්ඩාර - දැන් හාමුදුරුවනේ බෞද්ධ දර්ශනය මුළු ලෝකයේම පිළිගැනීමට ලක්වෙච්ච අවස්ථාවන් තියෙනවා. අපි කවුරුත් දන්නවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජපානයේදී කරපු ප්‍රකාශය. එතනදි මුළු ලෝකයම එක්වෙලා ජපානයට සම්බාධක පනවන්න උත්සාහ කරපු අවස්ථාවේ එතුමාගේ එක ප්‍රකාශයකින් එය නවත්වා තිබෙනවා.

විපස්සි හිමි - ඔව්. එතනදි එතුමා කියලා තියෙන්නේ “නහී වේරේන වේරානී”. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ.

දිස්නා බණ්ඩාර - ජපානයේ අනාගතය ‍සම්පූර්ණයෙන්ම වෙනස් කරපු අවස්ථාවක් ඒක.

විපස්සි හිමි - ඔව්. ජයවර්ධන මහත්තයා තුල තිබුණේ බෞද්ධ දර්ශනයනෙ. එතනදි එතුමා ඉදිරිපත්කලා මේකයි අපේ චින්තනය කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජපානය ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් බවට පත්වුණා. නමුත් මේ වගේ සංකල්ප තිබිලත් අපි අපේ පාලන තන්ත්‍රයට මේ දේවල් මුසුකර ගන්නේ නෑ. මෙතන තමයි අපට තියෙන ගැටළුව අපි හැමදාමත් කථා කලෙත්, කථා කරන්නෙත් මේ කියන සංකල්ප ප්‍රායෝගිකව අපේ කටයුතුවලට මුසුකර නොගැනීම පිළිබදව.

දේශපාලනයට බුදු දහමින් උදාහරණ

දේශපාලනය සදහා ධර්මය මුසුකර ගැනීම පිළිබද සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවකි මේ. බුදු දහමේ එන සූත්‍ර කොටස් උදාහරණයට ගෙන දක්වමින් මේ පිළිබද පැහැදිලි විස්තරයක් ගියවර සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරිණි.

බුදුන්වහන්සේ දේශනා කල මේ දහම් කරුණු එදා දේශපාලනයට මෙන්ම අද දේශපාලනයටද වලංගු වන්නකි.

විපස්සි හිමි - ඇත්ත වශයෙන්ම බුදු හාමුදුරුවෝ දේශනා කල මේ දහම් කරුණුවල තවත් පැතිකඩවල් ගොඩක් තියෙනවා. අපි මේ කියන්නේ රටක් පාලනය කරන්න බුදු දහමේ එන සරල පැතිකඩක් උපයෝගී කරගන්න පුළුවන් කියන එක. රජවරුන්ගේ ක්‍රියාදාමය අවංක වෙන්න ඕන. නැත්තං වෙන්නේ “නග්ගා රත්තං අරාජිකං” රජෙකු නැති රට නග්නය. මෙතන කියන්නේ සංකේතාත්මක රජෙක් නෙවෙයි. මේ මූලධර්ම භාවිතා කරන්න පුළුවන් කෙනෙක්.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් ඔය සේරම අඩංගු‍ වෙන්න යම් කිසි දර්ශනයක් ඕන. බටහිරින් අප ඉගෙන ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා සංකල්පයක්. මේ ක්‍රමය තුළ පාලකයෝ අපේ සේවකයො වෙනවා. ඒ වගේ දේශපාලන දර්ශනයක් බුදුදහම තුළ පෙන්නුම් කරලා තියෙනවද?

විපස්සි හිමි - බුදුහාමුදුරුවෝ දේශනා කලා පරමාධිපත්‍ය ජනතාව සතුයි කියලා. පාලකයාට තියෙන්නේ රට රැක ගන්න විතරයි. මහාසම්මතවාදය ගොඩනැගෙන්නෙත් එහෙමයි. ඔහුගේ වගකීම වුනේ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කර දීම. බුදුහාමුදුරුවෝ දේශනා කලේ රට පාලනය කරගන්න ඕන මොන ක්‍රමයකින්ද කියන දේ සදහා රජුට ධර්මයක් තියෙන්න ඕන කියලයි. ඒක තමයි රාජ ධර්මය. රජු සතර අගතියෙන් තොර වෙන්න ඕන. මේ දේවල් සියයට සියයේ ප්‍රතිශතය තුළ නෙවෙයි, නමුත් හැකිතාක් දුරට මේ දේවල් රැකගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කලා තමන් කවුද? තමන් මොනවද කරන්නේ? කියන දේ පිළිබද සැලකිල්ලෙන් පාලන කටයුතු කරන්න කියලා. එතකොට තමයි ජනතාවට යහපත සැලසෙන්නේ.

එඩ්මන්ඩ් රණසිංහ - මම හිතන්නේ එතන තමයි බෞද්ධ දේශපාලන දර්ශනය තියෙන්නේ. බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට පරමාධිපත්‍යත් ධර්මයට යටයි. පරමාධිපත්‍ය පටන්ගන්නේ ධර්මයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඉහළින් ධර්මය තියෙන්නේ. ඒ විදියේ සංකල්පයක් බෞද්ධ දර්ශනය තුළින් අපේ රටෙත් නිර්මාණය වෙලා තියෙනවා.

විපස්සි හිමි - දර්ශනය තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. නමුත් අපේ ඉතිහාසය බලපුවාම අපට පැහැදිලිව පේනවා ඒක ක්‍රියාත්මක වුන ආකාරය. උදාහරණයක් වශයෙන් වල්පොල රාහුල හාමුදුරුවෝ මේවා ක්‍රියාත්මක කරවන්න ප්‍රබල උත්සාහයක් ගත් කෙනෙක්. උන්වහන්සේගේ පොතක් තියනවා “ලංකාවේ බුදු සමයේ ඉතිහාසය” කියලා. එහි 6 වෙනි පරච්ඡේදයේ මෙහෙම සදහන් වෙනවා.

“තමන්ට බුද්ධ ආඥාවට අනුකූලව සිටින්නට හැකිවනු පිණිස නගරයද ඇතුලත්කොට සීමා බන්ධනය කරන්නට දේවානම්පියතිස්ස රජතුමා මිහිදු මා හිමියන්ට කල ආයාචනයෙහි වැදගත් අදහසක් ගැබ්ව ඇති වී ඇත”

“ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේදී එදින පටන් ක්‍රි.ව. 19 වන ශත වර්ෂයේදී සිංහල රාජ්‍ය අභාවයට ගිය දින තෙක් ලාංකික රාජ්‍යයට හිමිකම් කීමට නීතියෙන් බලය ලැබුනේ බෞද්ධයෙකුට පමණයි. ක්‍රි.ව. 10 වන ශතවර්ෂය වන විට මේ විශ්වාසය දැඩිලෙස තහවුරු වී පැවතියේද යත් ලංකාවේ රජු බෞද්ධයෙකු පමණක් නොව බෝධිසත්වයෙකු වීමද අවශ්‍ය විය. බෝධිසත්වයන් හැර අන් කිසිවෙක් ශ්‍රී ලංකාවේ රජ නොවන්නේයැයි ඔවුන්ට මේ විවරණය ලැබුනේ බුදුන්වහන්සේගෙන්යැයිද මිහිදු රජුගේ සෙල් පුවරු ලිපියෙත් සදහන් වෙනවා”

මෙයින් පැහැදිලි වෙනවා අපට ඉහළින් තිබිච්ච එකම මෙහෙයවීම තමයි ධර්මය කියලා. මේ රාජ්‍ය පාලනය තමයි පාලකයෙකුට තිබුනේ. එතනදි බෞද්ධ සංස්කෘතියත් එක්ක ගත්තම හැම පාලකයකුම බෞද්ධයෙකු විය යුතුයි කියන්නේ ආගම ප්‍රචාරය කරන්න නෙවෙයි. බුදුදහමේ සියළු මූලධර්ම අනෙකුත් සියළු ජනකොටස් වලට අදාලව ක්‍රියාත්මක කලහැකි නිසා. මේ දේවල් ක්‍රියාත්මක වෙච්ච සමාජයක් තිබුණා. අද ඒක නෑ. මේ දේ ක්‍රියාත්මක කරන්න දේශපාලන පක්ෂයකට බැරිවෙයි. මෙක ක්‍රියාත්මක කරන්න අළුත් බලවේගයක් අවශ්‍ය වෙනවා. ඒ බලවේගය ස්වාධීන කණ්ඩායමක් විය යුතුයි.

එඩ්මන්ඩ් රණසිංහ - ඔබවහන්සේ කරපු විස්තරය අනුව දැන් තියෙන මේ දේශපාලන ක්‍රමය බුදුදහම අනුව යන එකක් නෙවෙයි නේද? පක්ෂක්‍රම වලින් භේදය ඇතිවෙනවා. මිනිස්සු ඇණකොටාගන්නවා. මරා ගන්නවා. නොයෙක් දේවල් වෙනවනේ දැන්. අපි මේ පක්ෂ ක්‍රමය අයින් කරන්න ඕන. වෙනත් ක්‍රමයක් සොයාගන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුලෙත් ගහගන්නවානේ. අද කාලේ පත්තරයක් බලපුවාම තේරෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. මේ ක්‍රමය තුළ වුනත් මම හිතන්නේ බෞද්ධ දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන අයගේ වරද නිසයි මේක වෙන්නේ නැත්තේ. ඉතින් ඒ වරද හදා ගන්නත් ක්‍රමයක් නැත්නම් මොකද්ද වෙන්නේ?

විපස්සි හිමි - වරද හදා ගන්න ක්‍රමයක් නැත්තෙ නෑනේ. ක්‍රමයක් තියෙනවා. ලෝකෙ ඕනම දේකට ක්‍රමයක් තියෙනවා. රණසිංහ මහත්තයා කීවේ දේශපාලන රටාව තුළ මේක ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලනේ. ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙමනං අපට පුළුවන් වෙනවා අපි අර කලින් කීවා වගේ යම්කිසි විදියකින් කණ්ඩායමක් හදා ගන්න.

එඩ්මන්ඩ් රණසිංහ - බලවේගයක් ඇතිකරන්න ඕන.

විපස්සි හිමි - ඒ බලවේගය කිසිම පක්ෂයකට නතු වෙන්න බෑ. අපට පක්ෂ නැති කරන්න බෑ. මොන පාක්ෂිකයෙක් බලයට පත්වුනත් ඒ පාක්ෂිකයා නිරන්තරයෙන් දැනුවත් කරන ස්වාධීන මණ්ඩලයක් මෙරට ඇතිවෙන්න ඕන. ඒ ස්වාධීන මණ්ඩලය තුළ සමාජයේ සියළුම කොටස් නියෝජනය වෙන්න ඕන.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් සමාජයේ විවිධ පුද්ගලයින් මේ කණ්ඩායමට ඇතුලත් කරගන්න ගියොත් යම්කිසි තේරීමක් කළයුතු වෙනවා. නමුත් මං හිතන්නේ ඔබ වහන්සේලා වගේ ධර්මය ගැන දන්න ස්වාධීන කණ්ඩායමක් තමයි සුදුසුම.

විපස්සි හිමි - ඔව්. මොකුත්ම නැති සමාජයක ඒ වගේ කණ්ඩායමක් වුණත් ඇති. ඇත්තටම ලොකු කණ්ඩායමක් අවශ්‍ය නෑ. ඒ කණ්ඩායම කියන්නේ නිවැරදිම දේ නම් ඒක ඕනම කෙනෙකුට පිළිගන්න වෙනවනේ. හැබැයි ප්‍රශ්නෙ මේකයි. මෙතෙක් ඇතිවෙච්ච හැම කණ්ඩායමක්ම බොහොම සත්පුරුෂ භාවයෙන් තමයි පටන් ගත්තේ. ඒත් ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා හමුවේ මේ ඔක්කොම නැති වෙනවා.

දිස්නා බණ්ඩාර - හාමුදුරුවනේ ඒක මේ රටේ දේශපාලකයෝ දන්නවා. ඕනම බලවේගයක් සල්ලිවලට නතුකරග්න පුළුවන් කියලා ඒ අය විශ්වාස කරනවා. මේ නිසා මේ බලවේගය විසින් කළයුතුම දේ වන්නේ ජනතාව දැනුවත් කරන එක නේද? මේ දේවල් මෙහෙම වෙලා තියෙන්නේ ජනතාවගේ දැනුවත් භාවය නැති නිසානෙ. දැනුවත් පිරිසක් අතරින් පතර හිටියත් ඒ අයගේ හඩ එලියට එන්නේ නෑ.

විපස්සි හිමි - ඔව්. එතකොට අර ස්වාධීන කණ්ඩායමේ එක වගකීමක් තමයි ජනතාව දැනුවත් කරන එක.

එඩ්මන්ඩ් රණසිංහ - ඔව්. මේ විදිහට ජනතාව දැනුවත් කරනවා නම් ජනතා බලවේගයක් ඇතිවෙයි. ජනතාව ස්වාධීන විය යුතුයි. දේශපාලකයින් පස්සේ නොයා යුතුයි. අද වෙන්නේ මේ දේශපාලන පක්ෂ ජනතාව දක්කගෙන යනවනේ. ඔබ වහන්සේලාට අයිතියකුත් තියෙනවා ජනතාව මේ තත්ත්වයෙන් ජනතාව මුදවා ගන්න.

විපස්සි හිමි - ඇත්ත වශයෙන්ම ඒ වගේ දෙයක් අවශ්‍ය කරනවා. දැන් මේ දේ භික්ෂූන් වහන්සේලා ප්‍රාදේශීය මට්ටමින් සිදුකරනවා. ඒත් ප්‍රශ්ණය වෙන්නේ නොයෙක් නොයෙක් බලවේග එනවනේ.

දිස්නා බණ්ඩාර - ඒ වගේම හාමුදුරුවනේ මේ හඩ ප්‍රමාණවත් මදි නේද?

විපස්සි හිමි - ඔව්. ඒක ඇත්ත.

දිස්නා බණ්ඩාර - මීට වඩා ප්‍රබල සාධක විසින් ජනතාව ඩැහැගන්නවා.

විපස්සි හිමි - ඇත්තටම කිසිම බලවේගයකට යටත් නොවී භික්ෂූත්වය පිළිබද අභිමානයකින් කටයුතු කරන ස්වාධීන භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ සදහා නායකත්වය ගත යුතුය.

එඩ්මන්ඩ් රණසිංහ - වෙනම සංවිධානයක් විදිහට ආවොත් දේශපාලකයන් ඔය දේට විරුද්ධ වෙන්න පුළුවන්.

විපස්සි හිමි - ඇත්තටම ඒ වගේ දෙයක් වෙයි. මොකද හැම දෙයක්ම බලන්නේ දේශපාලන දෘෂ්ඨියකින්නේ. ඒත් ඉතිං භික්ෂූන් වහන්සේලා ක්‍රියාත්මක වෙන්න ඕන. උන්වහන්සේලා බොහොම ආදර්ශවත් වෙන්න ඕන. උන්වහන්සේලාගේ සිල්වත් බව ආරක්ෂාකර ගනිමින් මේ දේවල් සිද්ධ කරනවා නම් මේ සමාජයේ නව ප්‍රවනතාවයක් ඇතිකරන්න පුළුවන් වේවි.

බුදුදහමේ දේශපාලන සංකල්ප

දේශපාලනයට ධර්මය මුසුකරගැනීම පිළිබදව අප දිගින් දිගටම සාකච්ඡා කලෙමු. බුදු දහමේ ඉගැන්වීම් සෘජුවම දේශපාලනයට එක් කර ගත හැකි ආකාරය පිළිබදව අද සාකච්ඡාවේදී තවදුරටත් විස්තර කෙරේ.

එඩ්මන්ඩ් රණසිංහ - මේ වන විට අප දන්නවා බෞද්ධ දේශපාලන දර්ශනය සහ බටහිර දේශපාලන දර්ශනය අතර තිබෙන සමානකම් සහ වෙනස් කම්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනය බිහිවුනේ අරගල තුලින් මීට අවුරුදු 500 කට 600 කට පමණ පෙර. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනය අපට ලබාදුන්නේ අවුරුදු 2500 පමණ ඉහතදී. මිනිසාගේ විමුක්තිය සහ යහපත උදෙසා රාජ්‍යයක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියලා උන්වහන්සේ පෙන්වලා දුන්නා. සත්‍ය ගවේෂණය විතරක් නෙවෙයි සමාජයක ව්‍යුහය කෙසේ වියයුතුද කියලා පෙන්නල දුන්නා. සමාජයක් යහපත් වෙන්නනම් ‍එහි දේශපාලන ක්‍රමය යහපත් විය යුතුයි. පාලනය යහපත් වෙන්නනම් පාලකයින් යහපත් විය යුතුයි. පාලකයින් කෙසේ රට පාලනය කල යුතුද කියලා බෞද්ධ දේශපාලන දර්ශනය තුල බුදුරජාණන් වහන්සේ දේශනාකල විවිධ අවස්ථා සූත්‍ර දේශනා තුල ඇති.

විපස්සි හිමි - ඔව්. සූත්‍රපිටකය තුල එවැනි අවස්ථා බොහොමයක් තියෙනවා. ඒවා ගැඹුරින් කල්පනා කරලා ඒ මූලධර්ම දේශපාලනයට මුසුකර ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. එක්තරා දවසක් බුදුන් වහන්සේ කොසොල් රටේ එක්තරා ප්‍රදේශයක විවේක සුවයෙන් වැඩ සිටිනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේට සිතුවිල්ලක් පහල වෙනවා. රජ කෙනෙකුට, විනාශ නොකරමින්, නොකරවමින්, නොබිනමින්, නොබිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමින් රාජ්‍ය කල හැකිද? කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම සිතුවේ රාජ්‍ය පාලකයින්ගේ විවිධ අත්තනෝමතික ක්‍රියා නිසා රටවැසියා විවිධ හිංසාවන්ට ලක්වෙන නිසා. අංගුත්තර නිකායේ රාජ සූත්‍රයේ මාර සංයුත්තයේ මේ පිළිබද සදහන් වෙනවා. ඒ වගේම තවත් සූත්‍ර කිහිපයක් මේ අවස්ථාවේදී අපට මතක් වෙනවා. එක් තැනක සදහන වෙනවා “තස්මිං භික්ඛවේ සමේ රාජාණෝ අධම්මිකා හොංතී රාජ යුත්තාපි තස්මිං සමේ අධම්මිකා හොංතී” ඒ කියන්නේ යම් අවස්ථාවක රජතුමා අධර්මික වුනොත් රාජ පුරුෂයින් අධාර්මික වෙනවා කියලා. මේක සදහන් වෙන්නේ අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේ. හැම වෙලාවකම පාලකයා ආදර්ශමත් වෙන්න ඕන. ආදර්ශ කියන්නේ සංස්කෘත වචනයක්. ඒකේ තේරුම කැඩපත කියන එකයි. පුද්ගලයා හැමවෙලාවෙම කැඩපතක් බවට පත්වෙන්න ඕන. අනිත් අය තමන්ගේ හරි වැරදි තේරුම් ගන්නේ ඒ කැඩපත දිහා බලලා. අද වෙලා තියෙන්නේ හැම තැනම අනුශාසනා කරන එක විතරයි. නමුත් අපට අද අවශ්‍ය කරන්නේ ආදර්ශමත් රාජ්‍ය නායකයෙක්. ඒ වගේම තවත් තැනක කියනවා “යධා රාජාණෝ ධම්මිකා හොංති තධා රාජ යුත්තාපි ධම්මිකා හොංතී” යම් කාලයක රජවරුන් ධාර්මික වෙනවානම් අනිත් අයත් ධාර්මික වෙනවා කියලා කියනවා. මෙතනදි සදහන් වෙන්නේ රාජ්‍ය පාලනයේ මූලාරම්භය පිළිබදවයි. ඒ කියන්නේ පාලකයා යහපත් විය යුතුයි කියලා. නමුත් අද මේ වගේ තත්ත්වයක් අපේ රටේ දක්නට නෑ. මේ අය දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා. ලස්සන ලස්සන ප්‍රකාශ ඉදිරිපත් කරනවා විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා යම්කිසි රටක සලකුණ ඒ රටේ රජතුමයි කියලා. බුදුහාමුදුරුවෝ මේ දේවල් දේශනා කලේ, නිර්වාණ මාර්ගය ලබාගන්න නම් ඒ සදහා හොද යහපත් පාරිසරික පද්ධතියක් අවශ්‍ය කරන නිසා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ සුදුසු ප්‍රදේශයක වාසය කරන්න කියලා. මේ පරිසරය නිර්මාණය කරන්න පුළුවන් පාලකයින්ට. බුදුහාමුදුරුවෝ දේශනා කලා “ඉස්සරිය බලා රාජාණෝ” ඓශ්චර්යය යම්තාක් පවතීද ඒ තාක් රජුගේ බලයයි. රජවරු බලයට කැමතියි. ඒ බලය නිවැරදි විදිහට පාවිච්චි කරන්න ඕන. නැත්නම් සමාජය දූෂණයට ලක්වෙනවා.

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි බුදුදහමේ තියෙන සංකල්ප දේශපාලනයට එක්කරන්න පුළුවන්ද කියන දේ. ඇයි බැරි. අපි ගැඹුරින් හිතන්න අවශ්‍ය නෑ. සරලව ගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කලා සොරකම් කරන්න එපා කියලා. ගොඩක් අය හිතන්නේ ‍සොරකම් කියන්නේ ගෙයක් බිදින එකක් වගේ දේවල් කියලා.

දිස්නා බණ්ඩාර - නමුත් දේශපාලකයින් කරන මහා පරිමාණ සොරකම් ගැන හිතෙන්නේ නෑ.

විපස්සි හිමි - ඔව්. සොරකම කියන එක සමාජයේ ව්‍යාප්ත වෙන පැතිකඩවල් හොයන්න ඕන. විවිධ විවිධ අයට ලස්සනට සොරකම් කරන්න පුළුවන්. යම් ව්‍යාපෘතියක් ඇතිකරපුවහම ඒ ව්‍යාපෘතියට යන වියදමට වඩා කී ගුණයක් අපතේ යනවද? අපි මුලින් කිව්ව වගේ මේ දේවල්වල විනිවිදභාවය නෑ. මේ වගේ අවස්ථාවලදී සොරකම ඉතාම ලස්සනට සිද්ධ‍වෙලා තියෙනවා. මේ අය හිතන්නේ නෑ මේක අකුසලයක් කියලා. පළමුවෙන්ම මේ අයට කුසල් අකුසල් උගන්වන්න ඕන. පන්සිල් පදවල මුලින්ම තියෙන්නේ සතුන් මරන්න එපා කියලා. ඒත් දේශපාලනමය වශයෙන් සිද්ධවෙන ඝාතන කොයිතරම්ද? මේවා බරපතල අකුසලයන්. පාලකයෝ නිවැරදි වෙන්න ඕන. පාලකයා කියන්නේ ජනාධිපති විතරක් නෙවෙයි. ග්‍රාමසේවකගේ ඉදන් ඉහලට ඉන්න සියළුම පාලකයින් නිවැරදි වෙන්න ඕන.

අනිත් එක ශ්‍රමය. අපි කොච්චරනම් ශ්‍රමය අපතේ හරිනවද? යම්කිසි පුද්ගලයෙකුගේ ශ්‍රමය ඒ පුද්ගලයාගේ කායික මානසික ජීවිතයට හානියක් නොවන විදිහට යොදාගන්න ඕන. අද එහෙම ගන්නේ නෑ. වැරදි විදිහට ශ්‍රමය ලබාගැනීම පවක්. ඒ නිසා මේ පාලකයින්ට නිතර නිතර කුසලාකුසල ධර්ම ගැන අවබෝධයක් ලබාදිය යුතුයි.

මේ කරුණු වලින් අපට පැහැදිලි වෙනවා බුදුදහමේ තිබෙන යම් යම් සංකල්ප කොහොමද පාලනයට සම්බන්ධ කර ගන්නේ කියලා. මේක ඉතාම සරල කාරණාවක්.

එඩ්මන්ඩ් රණසිංහ - මේ ප්‍රශ්න මේ විදිහට සමාජයේ කිසිම තලයක සාකච්ඡා වෙන්නේ නෑ. දේශපාලකයෝ සාකච්ඡා කරන්නෙත් නෑ. රටේ ජනතාව සාකච්ඡා කරන්නෙත් නෑ.

දිස්නා බණ්ඩාර - මාධ්‍යවල සාකච්ඡා වෙන්නෙත් නෑ.

එඩ්මන්ඩ් රණසිංහ - ඔව්. මං හිතන්නේ ඒ සාකච්ඡාව ගෙනියන්න හොදම පිරිස තමයි ඔබවහන්සේලා. ඔබ වහන්සේලාට ඒ සාකච්ඡාව පටන්ගන්න පුළුවන්.

දිස්නා බණ්ඩාර - හාමුදුරුවනේ ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී බුදුන් වහන්සේ දේශනාකරලා තියෙනවා. බුදුදහම දේශපාලනයට මුසු කරගත යුතු අන්දම. බුදුහාමුදුරුවෝ වෙනමම දේශනාකරලා තියෙනවා දසරාජධර්ම කියලා කොටසක්. ඒ වගේම ලිච්ඡවී රජදරුවන්ට දේශනා කරපු සප්ත අපරිහානී ධර්ම.

එඩ්මන්ඩ් රණසිංහ - ඒ වගේම ඔබ වහන්සේ එදා සදහන් කලා රජවරු පිලිපැදිය යුතු කාරණා කිහිපයක් පිළිබදව.

විපස්සි හිමි - ඔව්. බුදුන්වහන්සේ ඒ පිළිබද දේශනා කරලා තියෙනවා. ඥාති බලි, අත්ති බලි, පුබ්බ පේත බලි, රාජ බලි, දේවතා බලි. මේක අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතයේ පත්තකම්ම සූත්‍රයේ සදහන් වෙනවා. මෙහිදී ඥාති බලි කියන්නේ නෑයන් සදහා සංග්‍රහ කරන්න ඕන. හැබැයි ඥාතීන් කියලා බුදුදහමේ හදුන්වන්නේ හුදෙක් ලේ ඥාතීන්ම නෙමෙයි. “විශ්වාසා පරමා ඥාතී”“බෞද්ධ ශිෂ්ඨාචාරයේ මූලධර්ම සහ වංශකතාව” කියන පොතේ මේ බව සදහන් වෙනවා. සත්පුරුෂ පුද්ගලයෝ තමයි ඥාති කියන්නේ. රාජ්‍ය පාලනයේදී සමස්ථ ජනතාවම ඥාතීන්. ජනතාවට සංග්‍රහ කරනවා කියන්නේ ඒ අයට පහසුවෙන් ජීවත්වෙන්න පුළුවන් පසුබිම සකස් කරනවා කියන එක. සතර සංග්‍රහ වස්තු වලත් ඒක තමයි සදහන් වෙන්නේ. මහාචාර්ය චන්දිම විජය බණ්ඩාර සහ ආචාර්ය එච්.එම්. මොරටුගම ඉතාම පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තියෙනවා දේශපාලන දර්ශනයට බුදුදහම එක්කර ගන්නේ කොහොමද කියලා.

මහා සුදස්සන සූත්‍රයේ මෙන්න මේ විදිහට සදහන් කරනවා. “අන්නං අන්නත්ථි කස්ස” ආහාර ප්‍රශ්ණ විසදන්න ඕන. “පානං පානත්ථි කස්ස” ජල ප්‍රශ්ණය විසදන්න ඕන. “යානං යානත්ථි කස්ස”“වත්ථං වත්ථත්ථි කස්ස” ඇදුම් පැලදුම් ප්‍රශ්ණ විසදන්න ඕන. “ඉත්තිං ඉත්තිත්ථි කස්ස” පවුල් ප්‍රශ්ණ විසදන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දේවල් පෞද්ගලිකව අනුගමනය කලයුතු දේවල්.‍ නමුත් මේවා පොදු සංස්ථාවක පොදුවේ ක්‍රියාවට නංවන්න පුළුවන්. දැන් පේනවනේ දේශපාලනයට ධර්මය මුසුකර ගන්නවා කියන එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි කියලා. ගමනා ගමන ප්‍රශ්ණය විසදන්න ඕන.

ආගම මුසු නව දේශපාලන ක්‍රමයක්

අප ගියවර ලිපියෙන් සාකච්ඡා කලේ දේශපාලනයට ධර්මය එක් කර ගනිමින් නව දේශපාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීම පිළිබදවය. ඒ පිළිබද පාඨක ඔබෙන් ලද ප්‍රතිචාර ඉමහත්ය. මෙවර සාකච්ඡාවට පාදක වන්නේද එම තේමාවයි.

එඩ්මන්ඩ් රණසිංහ - එංගලන්තයේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන විලියම් පිට් කියල තියෙනවා නීතිය අවසන් වන තැන අඥාදායකත්වය අවසන් වන බව. ඒ වගේම ජෝන් වොලී කියන රාජ්‍ය තාන්ත්‍රිකයා කියලා තියෙනවා දේශපාලනය හා සදාචාරය  වෙන් වෙන්ව සලකන්නවුන් මින් එකක් ගැනවත් කිසිදාක කිසිම අවබෝධයක් නොලබනු ඇත කියලා. ඒ රටවලිනුත් අපේම කලාපයෙනුත් අපට අපේ දේශපාලන ක්‍රමය ගොඩනගා ගන්න ඕන ධර්මය මොකද්ද කියන දේ පිළිබදව අදහසක් ගන්න පුළුවන්. රාධක්‍රිෂ්ණන් මහාචාර්ය වරයා කියපු දෙයක් තියනවා. ධර්මයෙන් තමයි සමාජය බැදල තබන්නේ කියලා. “ධර්ම ඒවා හාතෝ හන්තී ධම්මෝ රක්ෂිතා” මේක සංස්කෘත පාඨයක්.

විපස්සි හිමි - ඔව්. බුදුහාමුදුරුවන්ගේ දේශනාවලත් මේ කරුණ සදහන් කරලා තියෙනවා. ඒ දේශනාවන් පදනම් කොට ගෙන තමයි මේ සංකල්පනාවන් ගොඩනැගිල තියෙන්නේ. අපට ඉතා අවශ්‍ය කරුණ මූලික සිද්ධාන්තයන් ත්‍රිපිටකය තුල තියෙනවා. “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී” ධර්මය කියන්නේ යුතුකම මනුස්සකම් කියන දේවල්. ඒ දේවල් රැකෙනවා කියන්නේ තමන් රැකෙනවා කියලා. තමන් රැකෙනවා කියන්නේ සමස්ථයම රැකෙනවා කියන එක. එහෙම රැකීමක් අද වෙන්නේ නෑ. අපි හිතන්නේ තමන්ගේ සුඛ විහරණය සදහා සියළුම භෞතික සම්පත් තමන් ගන්න ඕන කියලා. මේ දේවල් ගන්නෙම වැරදි සිතු‍විල්ලෙන්. මේකෙන් වෙන්නේ සමාජ ‍විනාශයක්මයි.

එඩ්මන්ඩ් රණසිංහ - ධර්මය තමයි අප මෙහෙයවන බලවේගය. අපි මේ සාකච්ඡා මාලාවෙන් කථාකරපු දේවල් දිහා බලපුවහම පේනවා ධර්මය මත දේශපාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමේ හැකියාව අපේ රටට තියෙනවා කියලා. අපි කොහොමද මේක කරන්නේ.


දිස්නා බණ්ඩාර - එතනදි මගේ අදහස නම් මේ දේ කරන්න එක් බලවේගයක් සිටිය යුතුය. මේ සාකච්ඡා මාලාව තුල අපි කීව වගේ එහෙම පිරිසක් ඉන්නවා නම් ඒ භික්ෂූන් වහන්සේලා විතරයි. අපේ වගේ රටක ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ භික්ෂූන් වහන්සේලාට විතරයි.


විපස්සි හිමි - ඒකම තමයි මගේ අදහසත්.


එඩ්මන්ඩ් රණසිංහ - එහෙම බලවේගයක් ඇති වෙයිද? ප්‍රශ්ණය එතනයි තියෙන්නේ.


විපස්සි හිමි - ඔව් ඒක තමයි ප්‍රශ‍්නෙ


එඩ්මන්ඩ් රණසිංහ - වෙනසක් අවශ්‍යයි කියලා ඉස්සෙල්ලා ජනතාවට හිතෙන්න ඕනේ. ඒකටත් යම්කිසි සමාජ දේශපාලන අවබෝධයක් ඕනනේ. එතකොට මේක නිතරම ජනතාව අතර කිදාබහින්න ඕන. රතකොට මේ වෙනස ඇතිකරන්නේ කොහොමද?


දිස්නා බණ්ඩාර - මේ රටේ විශාල පිරිසක් ඒකට එකතු වෙන්න ඕන. ජනතාව, භික්ෂුන් වහන්සේලා, ජනමාධ්‍ය, විශ්ව විද්‍යාල පද්ධතිය, ආදී වශයෙන්.


විපස්සි හිමි - ඕව්. ඒක ඇත්ත. කෙනෙක් නායකත්වය ගන්න ඕනේ. ඒ නායකයා අධ්‍යාත්මික නායකයෙක් වෙන්න ඕනේ. ලංකාව තුල ඒ අධ්‍යාත්මික නායකත්වයේ නියමුවා භික්ෂූන් වහන්සේ. අනිත් එක අපි නිතර නිතර කියපු දෙයක් තමයි දේශපාලන නායකත්වයට බෞද්ධ දර්ශනය ආවා කියලා අනෙක් ආගමික පදනම් බිද වැටෙන්නේ නෑ. අනෙකුත් පාක්ෂිකයන්ගේ හැලහැප්පීම් ඇතිවන්නේ නෑ. හේතුව බුද්ධ දර්ශණය තුල කොහෙත්ම මිනිස්සු මරන්න කියලා නෑ. නමුත් යම් ‍යම් දේවල්වලට දඩුවම් දෙන්න ඕනේ. භික්ෂූන් වහන්සේලා රජකම් කරන්න යන්නේ නෑ. භික්ෂූන් වහන්සේලා රජවරු හදපු එකයි කලේ. අදටත් අවශ්‍ය ඒකයි.


එඩ්මන්ඩ් රණසිංහ -
දැන් මෙහෙම බලවේගයක් හැදුන කියමුකෝ. එතකොට දේශපාලනය කරන අය හිතන්න පුළුවන් අපි ඒ අයට විරුද්ධ වෙනවා කියලා. ඒ ගැනත් යම්කිසි අවබෝධයක් ඇතිකරන්න ඕන වෙනවා. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවනේ. මේක ජනතාවටද අරමුණු කරන්නේ දේශපාලකයින්ටද කියලා.


දිස්නා බණ්ඩාර - මං හිතන්නේ ජනතාවට අරමුණු කරන එක තමයි වැදගත්ම හා ලේසිම දේ.
විපස්සි හිමි - ඔව්. පරමාධිපත්‍ය රජු මත නෙමෙයි ජනතාව මතයි රදා පවතින්නේ. ඒක ත්‍රිපිටකයෙන් තහවුරු වන කරුණක්. භික්ෂූන් වහන්සේලා මෙහෙම කටයුතු කරනකොට බාධා පැමිණෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී නම්‍යශීලීව කටයුතු කරන්න ඕනේ. යම්කිසි රටක් ගොඩනැගීමේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ ඉතිහාසය දිහා බලලයි. අපට ඉතිහාසය අමතක කරන්න බෑ.

දිස්නා බණ්ඩාර - ඇත්තටම හාමුදුරුවනේ මේ යන දේශපාලන ක්‍රමය ගැන ජනතාවට ප්‍රසාදයක් නෑ. වසර 60 කට ආසන්න දේශපාලන ගමන්මග පිළිබද ජනතාව තෘප්තිමත් නෑ. මං හිතන්නේ මේ මොහොත තමයි හොදම අවස්ථාව වෙනසක් අවශ්‍ය කරන.

විපස්සි හිමි - ඇත්‍තටම ඔව්. ඒ වාතාවරණය ඇතිකරන්න පිරිසක් ඉන්නවද කියන එකත් ගැටළුවක් තමයි. ඇත්තටම අපි හණමිටිය කරතියාගෙන යන ජාතියක්නේ. අපට අවශ්‍ය වන්නේ ප්‍රබුද්ධ විචාරශීලී ගමනක් යන්න පුළුවන් පිරිසක්. එහෙම කණ්ඩායමක් ඇති වුනොතින් අපට පුළුවන් මේවා නිවැරදි කරන්න.  දේශපාලනයේ පක්ෂ පාට මොනවත් තැකිය යුතු නෑ. නමුත් රාමුව තිබිය යුත්තේ ධර්මය මතයි.

එඩ්මන්ඩ් රණසිංහ - මහාචාර්ය රාධක්‍රිෂ්ණන් ඉන්දියාවේ තත්ත්වය විග්‍රහකරන මාහාචාර්ය වරයෙක්. ඔහු කියනවා The unities not one of physical geography ඒ කියන්නේ භූගෝලීය වශයෙන් සමගියක් නෙවෙයි. It belongs to the realm of ideas. ඒක අදහස් වලින් වෙන දෙයක්. It in matter of men’s minds and harts. රාධක්‍රිෂ්ණන් මහාචාර්යවරයා කියන්නේ මනසයි හදවතයි තුලින් ගැටළුවක් විසදන්න පුළුවන් කියලා. ඔහු මෙහෙමත් කියනවා. If we don’t change our minds we can not change anything. අපට මනස වෙනස් කරගන්න බැරිනම් කිසි දෙයක් වෙනස්කර ගන්න බැහැ. මහාචාර්ය රාධක්‍රිෂ්ණන් ඉන්දියාවේ තත්ත්වය විග්‍රහ කරලා මේ වගේ අදහස් දක්වලා තියෙනවා. මේ විදියට දාර්ශනිකව අදහස් ප්‍රකාශ කරපු මහාචාර්යවරුන් අපේ රටේ ඉන්නවද කියල දන්නේ නැහැ. නමුත් ඒ විදියට කියන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා සංඝ සමාජය ඇතුලේ ඉන්නවා කියලා මට හිතෙනවා.

විපස්සි හිමි - ඇත්තටම සමාජ සදාචාරාත්මක ලිපි ලේඛන ලාංකික විද්වතුන් විසිනුත් ලියලා තියෙනවා. නමුත් ඒක දාර්ශණික පදනමක පිහිටලා නැති බවයි පෙනෙන්නේ. රාධක්‍රිෂ්ණන් මහාචාර්යවරයා බුදුදහමත් එක්ක ගලපලනේ ‍ලියලා තියෙන්නේ. නමුත් ලංකාව තුල මේ වගේ තත්ත්වයක් තිබිල නෑ.

එඩ්ම්න්ඩ් රණසිංහ - තවත් තැනක එතුමා මෙහෙම කියලා තියෙනවා. We need a new approach. Respect for the basic values of spirit is the only antidote to the distempers of our society social economic and political. කියලා. සමාජයේ තියෙන ප්‍රශ්ණවලට එකම පිළියම තමන්ගේ අධ්‍යාත්මය සකස්කිරිම කියලා එතුමා කියනවා. දැන් මේක කියවලා අදහසක් අරගෙන බලන්න ඕන අපේ සමාජයට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අද භික්ෂු සංස්කෘතිය තුල ඉන්නවා දාර්ශණිකව බලන්න පුළුවන්, බොහොම පුළුල්ව හිතන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා.

විපස්සි හිමි - කොටහේනේ පඤ්ඤාකීර්ති කියන හාමුදුරුවෝ ලියලා තියෙනවා ආගම සහ සමාජය කියලා පොතක්. එහි සදහන් කරනවා ධර්මය දේශපාලනයට මුසුකර ගන්නේ කොහොමද කියන දේ පිළිබදව. හේන්පිටගෙදර ඥාණසීහ හිමියන්ටත් මේ පිළිබද දර්ශණයක් තියෙනවා. ඒ වගේම හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, ධම්මාලංකාර හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු ආගම සමාජයත් එක්ක එකතුකර ගෙන තියෙනවා. ඒ ක්‍රියාදාමය මේ වන විට බිද වැටිලයි තියෙන්නේ. අපි දැක්කයා රණසිංහ මහත්තයා රාධක්‍රිෂ්ණන් මහාචාර්යවරයාගේ අදහස් ගැන කියනකොට බුදු හාමුදුරුවන්ගේ දර්ශණයම තමයි මේ කියන්නේ කියන දේ. බුද්ධ ධර්මය දැන් යටපත් වෙලානේ තියෙන්නේ. අපි මැණික් හාරනවා වගේ මේ ධර්මය ඔපමට්ටම් කරලා ගන්න ඕන. අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ.

එඩ්මන්ඩ් රණසිංහ - අන්න එතන තමයි හාමුදුරුවනේ ගැටළුව තියෙන්නේ. සමහර විට අපි මේ කියන අදහස් බලලා මේ ගැන උනන්දුවෙන අය ඉන්නවා ඇති. මේ කටයුතු කරන්නත් ඕනැයි කියලා හිතන අයත් ඇති. කටයුතු කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ඒ සදහා උත්සාහයක් ගන්නනේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගියේ. නමුත් භික්ෂූන්වහන්සේලාට කරන්න තිබුන කාර්ය භාරය නෙමෙයි වෙන්නේ. ඒකෙන් වුනේ එදා ඒ රැල්ලත් එක්ක ආපු පිරිස . . . .

විපස්සි හිමි - අද අතරමං වෙලා.

එඩ්මන්ඩ් රණසිංහ - ඒත් එක්කම නායකත්වය කෙරෙහි විශ්වාසයත් බිද වැටිලා.

විපස්සි හිමි - නායකත්වය කෙරෙහි විශ්වාසය බිද වැටුණේ ඇයි? අපට ඒ නායකත්වය සුදුසු නැති නිසා. අපි කියන්නේ භික්ෂූන් වහන්සේලාට.

සටහන - Editor