Tuesday, Sep 16th

Last update:11:21:39 AM GMT

You are here: ගවේෂණ ආගමික බුද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය

බුද්ධ දර්ශනයේ ප්‍රායෝගික භාවිතය

බෞද්ධ දේශපාලන දර්ශනය මානව සමාජයට කෙතරම් හිතකරදැයි අපි මේ සාකච්ඡා මාලාව තුලින් කතා කලෙමු. මේ දර්ශනය ප්‍රායෝගිකව තම පාලන ක්‍රමයන් තුළ භාවිතා කල නායකයින් අපට ඉතිහාසයේදී හමුවේ. එවන් නායකයින් ඉතිහාසයේ පමණක් නොව වර්තමානයේද තවමත් වීරයින් ලෙස සලකන්නේය. මෙවර සාකච්ඡාවට බදුන් වන්නේ එවන් නායකයින් බුදුදහම ප්‍රායෝගිකව භාවිතා කලේ කෙසේද යන්න පිළිබදවයි.

එඩ්මන්ඩ් රණසිංහ - බෞද්ධ දේශපාලන දර්ශනය ගැන මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා විග්‍රහයක් කරලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන තේමාව යටතේ. “පුද්ගලයෙකුගේ නිදහස ඉතාමත් අගය කලයුතු, ගරු කලයුතු දෙයක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. හිතීමේ නිදහස බුදුරජාණන් වහන්සේ ගරු කලා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරුකලා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රතිපත්තිවලට ගරුකලා. ලෝකයේ තියෙන පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය හැටියට සංඝ සංවිධානය හදුන්වා දීලා තියෙනවා. එම සංවිධානය ඇතිකලේ ගිහියන්ට එය ආදර්ශයක් හැටියට ගතහැකි නිසා. ධර්මය මත ගොඩනැගෙන රාජ්‍ය වැඩකරන්නේ ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික යහපත සදහා. එවැනි රටක් තුල දේශපාලනික, ආගමික හා පෞද්ගලික නිදහස ආරක්ෂා වෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබද ගැටළු සහ හැමටම රැකියාවක් ලබාගැනීම පිළිබද ගැටළු විසදෙනවා”. ඒ වගේ රාජ්‍යයක් තමයි බෞද්ධ දේශපාලන දර්ශනය තුලින් ගොඩනැගෙන්නේ කියන දේ මහාචාර්ය මලලසේකර මහතා‍ පෙන්වා දෙනවා. මේ දර්ශනය ගැන තමයි අපිත් කතා කර කර හිටියේ. නමුත් අපි මෙතනින් එහාට යන්න ඕනේ. දර්ශනය ගැන කතා කර කර ඉදල හරියන්නේ නෑ.

බෞද්ධ රටවල් විදිහට හැදින්වෙන රටවල් බොහොමයක් ලෝකේ තියෙනවා. නමුත් කොයිතරම් දුරට ප්‍රායෝගිකව බුද්ධ දර්ශනය ඒ රටවල් වල පාලන තන්ත්‍රය සදහා භාවිතා කරගෙන තිබේද යන කාරණාව පිළිබද අවධානය යොමුකල යුතුයි. උදාහරණයක් විදිහට අපේ රට බෞද්ධ රටක්. නමුත් අපේ රට පාලනය වන්නේ බෞද්ධ දර්ශනයට අනුකූලවද කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නම් අපි කලයුත්තේ මොකද්ද?

විපස්සි හිමි - ලංකාව බෞද්ධ රාජ්‍යක් තමයි. අශෝක අධිරාජ්‍යයා බුද්ධ දර්ශනය පදනම් කොටගෙන රාජ්‍ය ගෙනගියා. මිනිසුන් විතරක් නොවෙයි ගහ කොළ පවා ආරක්ෂා කල යුතුයි කියලා අශෝක සෙල් ලිපිවල සදහන් වන්නේ මේ නිසයි. 13 වන ගිරි ලිපියේ සදහන් කරනවා එතුමා බුදුදහම විතරක් නෙමෙයි අනෙකුත් ආගම් වලටත් නිදහස ලබල දීලා තිබුණා. හැම මනුෂ්‍යයෙකුගේම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගේන්න අවශ්‍ය දෑ සදහා ඉඩකඩ සැලසුවා. මේ සෑම දෙයක්ම ගොඩනගල තිබුණේ බෞද්ධ ප්‍රතිපත්තීන් මත. බුදුන් වහන්සේ දේශනා කරපු විවිධ සූත්‍ර පාඨයන් තමයි එතුමා ආදර්ශ පාඨ විදිහට අරගෙන තිබුණේ. අතීත ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලනයත් මේ ආකාරයෙන්ම තමයි වුණේ. බුද්ධ දර්ශනය පදනම විදිහට තිබුණත් අන් කිසිදු ආගමකට එයින් බලපෑමක් එල්ල වුණේ නෑ. ආගම් විශාල සංඛ්‍යාවක් තිබුණත් බුදුදහම තමයි ප්‍රධානම ආගම වුණේ. ඒ නිසා තමයි වැවයි, දාගැබයි - ගමයි, පන්සලයි කියන සංකල්පය ඇති වුණේ. මේ කියන පදනම තුල ගොඩනැගුනු ජන සමාජයේ ජනතාව භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් ස්වයංපෝෂිත ජීවන රටාවක් තමයි පවත්වාගෙන ගිහිල්ල තියෙන්නේ. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශවලින් අපි අදත් දකින නටඹුන් මේ සදහා සාක්ෂි සපයනවා. අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ අද වගේම එදත් වියළි කලාප. නමුත් මේ තත්ත්වය තේරුම් ගත්තු රජවරු මහ වැව් හැදුවා. ඒ කියන්නේ ඒ කලාපයට අවශ්‍යකරන ප්‍රතිපාදනයන් සම්පූර්ණ කර දුන්නා.

ඔවුන් අදට වඩා එදා බෞද්ධ දර්ශනයේ සියළු මූලධර්මයන් අනුගමනය කළා. අද ඒ මූලධර්මයන් අනුගමනය කරන්නේ නැහැ. අද විශාල කොන්ක්‍රීට් ගොඩවල් තියෙනවා. නමුත් අනිත් අතට හැමදේම ගරා වැටිලා. දැන් බලන්න අපේ රටේ මිනිස්සු ජලයත් එක්ක ජීවත් වෙච්ච ජනකොටසක්නේ. පරාක්‍රමබාහු රජතුමා වරෙක ප්‍රකාශ කරනවා, “අහසින් වැටෙන එක දියබිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යවන්න එපා” කියලා. අද අපිට ඔය සංකල්පය අමතකවෙලා තිබුණත් අප්‍රිකාවේ රටක තවමත් මේ සංකල්පය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සංකල්ප අපිට තිබිල තියෙනවා. නමුත් මේවා ගැන කථාකරනවා විතරයි. ක්‍රියාත්මක මට්ටමට එන්නේ නෑ.

මෑත භාගයේදී අපි විශාල වශයෙන් මිථ්‍යා දෘෂ්ඨියට යොමුවෙලා තියෙනවා. අද සියළු දෙනාගේම තීරකයා වෙලා තියෙන්නේ ජ්‍යෝතීර්වේදියා. බෞද්ධ රාජ්‍යයන් කඩාගෙන වැටෙන්න හේතුව මොකද්ද කියන දේ පිළිබද අපි ගැඹුරින් තාමත් අධ්‍යයනය කරලා නෑ. නමුත් එහෙම අධ්‍යයනය කලොත් පේන දෙයක් තමයි අර කියපු මිථ්‍යා දෘෂ්ඨික අදහස් මේකට හේතුවක් වෙනවා කියලා. අපි ආයෙමත් වෛදික යුගයකට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට අධ්‍යාත්මිකව පිරිහීම බෞද්ධ රාජ්‍යයන් කඩා වැටීමට හේතුවක් වෙලා තියෙනවා.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් ඔබවහන්සේ එක තැනකදි සදහන් කලා අශෝක රජතුමා ගැන. එතුමා ගැන කථාකරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ පිළිබද ලියවෙච්ච ලිපියක් මට ලැබුණා. එහි මෙන්න මෙහෙම සදහන් වෙනවා අශෝක රජතුමා කිව්වා කියලා. “ධර්මයේ මාර්ගයෙන් ජනතාවට ආරක්ෂාව ලබාදීම. ධර්මය මාර්ගයෙන් ජනතාවට සතුට ලබාදීම. ධර්මය ඔස්සේ රට පාලනය කිරිම. අධිරාජ්‍ය ධර්මය තුලින්ම ආරක්ෂා කර ගැනීම.” මේ තමයි අශෝක රජතුමාගේ මූලික ප්‍රතිපත්තිය. මේ මත තමයි රාජ්‍ය පාලනය වුණේ. ධර්මය තමයි පදනම් වුණේ. සමහරු කියනවා අශෝක රජතුමා ජනතාව දෙස බැලුවේ බොහොම ගැඹුරු මානව චින්තනයකින් කියලා. මේ නිසා අශෝක රජතුමා ප්‍රායෝගික කෙනෙක් වුණා. බොහොම යහපත් පාලනයක් ගෙන ගියා. අශෝක රජතුමා මිනිසා දිහා බැලුවේ මූලික වශයෙන් සමාජයේ ඉන්න කෙනෙක් විදිහට. බුදුහාමුදුරුවෝ පුද්ගලයා දිහා බැලුවෙත් සමාජයේ ඉන්න කෙනෙක් විදිහට. ඒ වගේම ධර්මය කියන දේ අශෝක රජතුමා දැක්කේ සමාජයේ වගකීමක් විදිහට. අපේ රටේ කිසිදු දේශපාලකයෙක් මේ විදිහට කථා කරලා නෑ මෙ වනතාක්. එක අවස්ථාවක අශෝක රජතුමා කියලා තියෙනවා “රටවැසියෝ මාගේ දරුවෝය” කියලා. එතකොට අපිට පේනවා මේ රට, සමාජය දිහා බලන්න දර්ශනයක් තිබිය යුතුයි කියලා. මේ දර්ශනය තුල ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. නමුත් අද අපිට දර්ශනයක් තිබුණත් එය ක්‍රියාත්මක වීමක් නැහැ. මේ තත්ත්වය සාකච්ඡා විය යුතුයි. මෙය සාකච්ඡා නොවීම පිළිබද අද බොහෝ මාධ්‍යයන්ට චෝදනා එල්ල වෙනවා. මේ නිසා සමාජය බොහෝ දුක්ඛදායක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් තුළින් තමයි අළුත් දර්ශනයක් දිහා බලන්න ඕන.

කලින් කියපු විදිහට මේ පිළිබද භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරනවා නම් වැදගත් වෙනවා. හැබැයි අපි හිතනවා මේ සාකච්ඡා මණ්ඩපය ගෙනියන්න එකම සුදුසු තැන මාධ්‍ය කියලා. දැන් මේ හැම දෙයක්ම කරන්නේ මාධ්‍යයනේ. නමුත් මේ ගැටළු පිළිබද ගැඹුරින් සාකච්ඡා වෙන්නේ නැහැනේ. මාධ්‍ය මගින් නිරන්තරව සාකච්ඡා වන සාකච්ඡා මණ්ඩපයක් ඇතිකරගන්න පුළුවන්නම් ඒක වැදගත් වෙනවා.

දිස්නා බණ්ඩාර - ඒත් හාමුදුරුවනේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මාධ්‍ය දේශපාලනීකරණය වෙලා. හාමුදුරුවරුත් දේශපාලනීකරණය වෙලා.

විපස්සි හිමි - “වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව” අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පවා භික්ෂූන් වහන්සේලා පෙළඹිලා. එහෙමනම් ඉතින් කවුද මේවා සාකච්ඡා කරන්නේ. දැන් තියෙන්නේ නොපිට පෙරලිච්ච සමාජයක්නේ.

දිස්නා බණ්ඩාර - දැන් හාමුදුරුවනේ බෞද්ධ දර්ශනය මුළු ලෝකයේම පිළිගැනීමට ලක්වෙච්ච අවස්ථාවන් තියෙනවා. අපි කවුරුත් දන්නවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජපානයේදී කරපු ප්‍රකාශය. එතනදි මුළු ලෝකයම එක්වෙලා ජපානයට සම්බාධක පනවන්න උත්සාහ කරපු අවස්ථාවේ එතුමාගේ එක ප්‍රකාශයකින් එය නවත්වා තිබෙනවා.

විපස්සි හිමි - ඔව්. එතනදි එතුමා කියලා තියෙන්නේ “නහී වේරේන වේරානී”. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නෑ.

දිස්නා බණ්ඩාර - ජපානයේ අනාගතය ‍සම්පූර්ණයෙන්ම වෙනස් කරපු අවස්ථාවක් ඒක.

විපස්සි හිමි - ඔව්. ජයවර්ධන මහත්තයා තුල තිබුණේ බෞද්ධ දර්ශනයනෙ. එතනදි එතුමා ඉදිරිපත්කලා මේකයි අපේ චින්තනය කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජපානය ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් බවට පත්වුණා. නමුත් මේ වගේ සංකල්ප තිබිලත් අපි අපේ පාලන තන්ත්‍රයට මේ දේවල් මුසුකර ගන්නේ නෑ. මෙතන තමයි අපට තියෙන ගැටළුව අපි හැමදාමත් කථා කලෙත්, කථා කරන්නෙත් මේ කියන සංකල්ප ප්‍රායෝගිකව අපේ කටයුතුවලට මුසුකර නොගැනීම පිළිබදව.