Thursday, Oct 23rd

Last update:10:18:00 AM GMT

You are here: ගවේෂණ අපේ උරුමය ගෝලීයකරණය හමුවේ ආදිවාසීන්ගේ අනාගතය

ගෝලීයකරණය හමුවේ ආදිවාසීන්ගේ අනාගතය

vaddah
16 හා 17 වැනි සියවස්වල යුරෝපයේ ඇතිවූ කාර්මික විප්ලවයේ උණුසුම මුළු ලෝකය පුරාම විහිදී ගියේ විදුලි වේගයෙනි. ලෝකයේ සෑම රටක්ම පාහේ නව තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබද උනන්දු වීම වැලැක්විය නොහැක්කක් විය. මේ නිසා එක් තැනක ජනිත තාක්ෂණය ලෝකය පුරාම ක්ෂණිකව ව්‍යාප්ත විය. මෙය සරල වශයෙන් ගෝලීයකරණය ලෙස හදුන්වනු ලබයි. එනම් ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමයි.

මෙකී විශ්ව ගම්මාන සංකල්පය නිවැරදිව කියවීම සිදු වූවාදැයි සැක සහිතය. ලෝකයේ තැනින් තැන මතුවන අර්බුදයන් මෙසේ සැකයක් ජනිත කිරීමට හේතුවයි. එනම් ලෝකය විශ්ව ගම්මානයක් නම් එක් තැනක තිබෙන සම්පත් තවත් තැනක තිබිය යුතුය. එක් තැනක තිබෙන සංවර්ධනය තවත් තැනක තිබිය යුතුය. නමුත් එසේ සිදුව නැති බවක් පෙනේ. එදිනෙදා සිදුවීම්වලින් විද්‍යමාන වන්නේ ගෝලීයකරණය නම් වදනේ අරුත පෙර අර්ථකථනයට වඩා වෙනස් විය යුතු බවයි. එය නම් “ගෝලීයකරණය යනු පැරණි වාණිජවාදයේ අලුත් මුහුණුවර මිස අන් කිසිවෙක් නොවේ” යන්නයි.

ගෝලීයකරණය නම් අර්බුදයෙන් සමස්ත ලෝකයේ ම දේශ, නගර, ජනතාව, පරිසරය ආදිය පෙළෙන බව ලෝකය දෙස විවෘතව බලන්නෙකුට පෙනී යන කාරණයකි. මේ අර්බුදයෙන් ගැලවී සිටීම කිසිවෙක් හට නොහැකි වූ බව මෑත දශක දෙක තුන හරහා වටහා ගත හැකිය. ලෝකය පෙ‍ළන මෙකී වාණිජවාදී අර්බුදයෙන් ගහ කොළ ඇළ දොළ සතා සිව්පාවා ආශ්‍රය කරමින් ඉතා සරල ජීවිතයක් ගත කරන ආදිවාසීන්ට ද මිදිය නොහැකි වී ඇත.

ලංකාවේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති හරහා ලංකාවේ ආර්ථිකමය කටයුතුවලට පහසුවක් විය. එසේ සිදුකළ සංවර්ධන කටයුතු ලෙස මහාමාර්ග ඉදිකිරීම නව ගොඩනැගිලි යාන වාහන ගෙන්වීම් ආදිය හදුනාගත හැකිය. එසේම සංවර්ධනමය ව්‍යාපෘතිවලට ගංගා ඇළදොළ ද අයත් විය. ජලය ආශ්‍රිත කරගත් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා 1930 දශකයේදී ගල්ඔය සහ මහවැලි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරිණ.

මෙකී සංවර්ධන ව්‍යාපෘති හරහා ආදි වාසීන්ගේ ජීවිතවලට ඔවුන්ගේ සම්ප්‍රදායන්වලට මහත් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බව පසු විපරම් ඔස්සේ විද්‍යමාන විය. ස්වාභාවික පරිසරය ආශ්‍රය කරගත් මේ ජන කණ්ඩායමට තත් යුගයේ ක්‍රියාදාමය අමුතු කාරණාවක් විය.
මේ නිසා, ඒ කෙරෙහි විරුද්ධ වීමට හෝ අදහසක් යෝජනා කිරීමට ඔවුන්ට නොහැකිය. ප්‍රධානම කාරණය වූයේ මහා සමාජයේ සම්ප්‍රදායට බද්ධ වීමයි. මෙතැන් පටන් ආදිවාසීන්ගේ සම්ප්‍රදායික ජීවිත පෙර තිබූ තත්ත්වයන්ගෙන් පහත් අඩියකට වැටුණු බව ඔවුන්ගේ අදහස විය.

අදවන විට ආදිවාසී ජනතාව ශාරීරික ශක්තියෙන් ඉතා දුර්වලය. ඇතැම් ආදිවාසීන් අනුන්ගෙන් යැපෙන්නන්, නැත්නම් යදින්නන් වී සිටියි. මේ තත්ත්වය ඔවුන්ට උදාවූයේ යථෝක්ත ඡේදයේ සදහන් අවිධිමත් සංවර්ධන ක්‍රියාදාමය රාජ්‍ය තන්ත්‍රයට ඇතුළත් කර ගැනීම මගින් ය.

මීට අවුරුදු 150 කට පමණ පෙර සම්පූර්ණයෙන් පාහේ සංචාරක ජීවිතයක් ගතකළ ආදිවාසීන් 1850 න් පසු මහියංගනය ආශ්‍රිතව ජීවත් වූ සිංහල පවුල් සමග දැඩි සම්බන්ධතාවයක් පවත්වන්නට විය. පසුව වැදි පරපුරද හේන් වගා ක්‍රමයට මුසුවූයේ ය. පාරිසරික සාධක පිළිබද විද්‍යාත්මක ලෙස දැනීමක් තිබී නැතත් ඔවුන් අනුගමනය කළ ක්‍රමවේදය පරිසරයට ඉතා හිතකර වූවකි.

සිංහල පවුල් සමග ආශ්‍රයෙන් ඔවුන්ගේ ජීවිතවලට හේන් වගා ක්‍රමයද ඇතුළුවූවා සේම අනෙකුත් ලක්ෂණද ආදිවාසීන්ගේ සම්ප්‍රදායට මුසුවිය. උදාහරණ ලෙස බෞද්ධාගමික සංකල්පය වැදි ජනතාවගේ ජීවිතවලට බද්ධ වීම ගත හැකිය. මේ නිසාම දඹානයේ අවට පන්සල් කිහිපයක් ඉදිවූ අතර එහි චීවරය හැදගත් දඩයමේ යෙදෙන හේන් කොටන බෞද්ධ ධර්මයේ මතුපිට ලක්ෂණ උකහා ගත් පිරිසක් බිහිවිය.

එසේම මහා සම්ප්‍රදායේ අනුවේදනීය බලපෑම් සිදුවන්නේ 1950 – 1960 ත් දශක තුළය. මේ කාලයේදී රජය රට සංවර්ධනය වූවාලෙස සැලකුවේ රටේ කැළෑ හෙළි වූ ප්‍රමාණයට සාපේක්ෂව ය. තත් යුගයේ රුපියල් 15000 කට වැඩි වැටුප් ප්‍රමාණයක් හිමි මධ්‍යම පාන්තිකයෙක් හට අක්කර 50 ක් හෝ 25 ක් ආදී බිම් කොටස් ලබාදුන්නේය. එසේ ඉඩම් ලබාගැනීමේදී වැදි ජන සම්ප්‍රදායට අනුව නිදහස පිළිබද සංකල්පය සලකමින් හූවක දුරකින් තම ඉඩම් සීමාකරගත්තේ නැත. කැළයට ඇළ දොළට කදුවැටියට ආදී ලෙස බිම්තීරද වෙන්කළේ නැත. අක්කර 50 ක් හෝ 25 ක් සීමා වූ තැන සිටම අනිත් ඉඩම මැනීම සිදු‍කළේය. එතැන් සිට කැළෑ ඉඩම් ලබාගත් පිරිස සිය ප්‍රදේශයේ එළිපෙහෙළි කළේය. එසේ ඉඩම් හෙලිකළ රජය බලාපොරොත්තු වූයේ වගා කටයුතු දිගින් දිගටම කරගෙන යෑමට නොව තමාට අවශ්‍ය වටිනා කියන දැව වර්ග ලබාගැනීමටයි. මෙහි කනගාටුදායක ම ප්‍රවෘත්තිය නම් මේ ඉඩම් එළිපෙහෙළි කිරිමට යොදාගන්නේ වැදි ජනතාවම වීමයි. ඔවුන්ට ශ්‍රමිකයන් ලෙස වැටුපක් ලබාදී හොද දැව වර්ග කැළැබිමෙන් පිටත් කළෝය. මෙසේ මේ ආකාරයේ අවුරුද්දක් හමාරක් ගත වන විට මුළු කැළෑව ම මුඩු බිමක් බවට පත්විය. මේ හරහා කැළෑව ආශ්‍රිත කොටගත් වැදි සම්ප්‍රදායික ජීවිත මහත් අර්බදකාරී තත්ත්වයකට පත් විය. තමන්ගේ එදිනෙදා ජීවිත රැක ගැනීමට මගක් නොවීය. තම ආහාර ලබා ගැනීම නිශ්චිතව පිළියෙළ නොමැති තැන මහා සම්ප්‍රදායේ ඇතැම් ලක්ෂණවලට අකමැත්තෙන් වුවද යොමු විය. අද එහි බලපෑම තදින් ඇත. වැදි පරපුරේ ඇතැම් කෙනෙක් මත්ද්‍රව්‍ය සුදුවෙහි ආදිය නියැළේනම් එකී ලක්ෂණ වැදි පරම්පරාවට බද්ධ වූයේ මෙකී සංවර්ධනය නම් ව්‍යාජය යටතේ ය. වර්තමානයේ දඹානයේ අවට ඇති කැළෑව නියම ස්වාභාවික කැළෑව නොව ඇතැම් විට හත් අටවරක් කැපුණු ප්‍රදේශයක් බවයි වැදිපරපුර නියෝජනය කරන දඹානේ ගුණවර්ධනගේ අදහස. වැදි පරපුරට සිය සම්ප්‍රදායික ලක්ෂණ ගෙනයෑමට වූ බාධාවක් ලෙස ගල්ඔය හා මහවැලි ව්‍යාපෘති බලපෑ බව ගුණවර්ධන තවදුරටත් පවසයි.

“නෑ යකුන් අදහමින් ඒ මොහොතේ අවශ්‍යතා සදහා කැළෑවෙන් අවශ්‍ය ප්‍රමාණය ප්‍රයෝජනයට ගන්නා ඉතාසරල දිවිපෙවෙතක් ගත කළ ආදි වාසී ජනතාව හට අද මහත් අසීරු කාලයක් බවට පත්වෙලා. මේ ජන පිරිසගේ බොහෝ ලක්ෂණ ගිලිහී තිබුණත් ඔවුන් නෑ යකුන් කෙරෙහි පවත්වාගෙනයන විශ්වාස යම්කිසිදිනක බිදුණහොත් වැදි පිරිස යනුවෙන් පිරිසක් මිහිමත නැහැ. මේ පිරිසද උපන්නා ගින්දරගොඩක ජිවත් වී අඩාවැලපෙමින් මිය යන පිරිසක් බවට පත්වෙලා ඉවරයි.” දඹානේ ගුණවර්ධන පැවැසුවේ වේදනා භරිතවය.
රටේ තොටේ කිසිදු ප්‍රශ්නයක් තමාට අදාළ නොවෙතත් තම වැදි පරපුර ඉදිරියට ගෙනයාමට අභියෝගය ඉතාමත් බරපතළ කාරණාවක් වී ඇති අයුරු අප සමග සාකච්ඡාවට එක් වූ ඌරු වරිගේ නායක ඇත‍්තෝ පැවසුවේ ඉතා සංවේගයෙනි. සැලසුම් සහගත ප්‍රවේශයක් ජීවිතවලට නැති නිසා ශාරීරික වශයෙන් දුර්වලව සිටින ඔවුන් හට අද වනවිට නීතිමය ප්‍රශ්න එල්ල වී ඇති අයුරු වැදි නායකතුමා විසින් පැහැදිලි කෙ‍රිණි.

අද වනවිට දඩයම් කිරිම මීයක් කැඩීම ආදිය අධිකරණයට යාමට තරම් බලවත් වරදක් වී ඇත. අධිකරණය මගින් ප්‍රශ්න කරන්නේ නීතිමය වශයෙන්, වනාන්තරයේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම හෝ එහි යම් ක්‍රියාකාරකමක් කිරිම තහනම් බව මිස සම්ප්‍රදායට උරුම තිබෙන ලක්ෂණ නොවෙයි. මේ තත්ත්වය උඩ පැවැත්මට තර්ජනය වී ඇති නිසා බාහිර සමාජයේ ලක්ෂණ කෙමෙන් කෙමෙන් වැදි පරපුරේ සම්ප්‍රදායට කාන්ද වී වැදි සම්ප්‍රදාය වැදි පරපුරටම ආගන්තුක වන ස්වභාවයක් මතුව එයි. මෙලෙස මතුව ඇති ගෝලීයකරණමය තත්ත්වයන් ඔස්සේ අවුරුදු 37000 කට උරුමකම් කී අපේ අතීත මානවයා තව දශකයක් දෙකක් යනවිට අපට අහිමි වේදැයි යන කනගාටුදායක කාරණය අප ඉදිරියේ ඇත. මෙය අපගේ උරුමය විශ්වාස කරන අගය කරන්නන්ගේ හදවත සලිත කරවන ප්‍රශ්නයක් ව පවතී.
සටහන - රාජිත විජේසේකර