Wednesday, Sep 08th

Last update:09:39:35 PM GMT

Headlines:
You are here: ගවේෂණ අපේ උරුමය අලවල පොත්ගුල් ලෙන ගල් ගුහාව

අලවල පොත්ගුල් ලෙන ගල් ගුහාව

Alawala_5
Alawala_4
Alawala_2
Alawala_7
Alawala_1
Alawala_3

ගම්පහ අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලවල උතුර ග‍්‍රාම සේවා වසමට අයත් අලවල පොත්ගුල්ලෙන් රජමහා විහාරයට අයත් ලෙනක් ආශ‍්‍රිතව මේ දිනවල පුරා විද්‍යා කැණීමක් සිදු කෙරෙනවා. පසුගිය දිනක කැණීම් භූමියට යන්නට මටත් අවස්ථාවක් ලැබුනා. මම මගේ මිතුරන් දෙදෙනෙකු සමඟ මෙම ගිය ගමනේදී අලවල කැණීම සම්බන්ධව අලූත්ම තත්වය දැක බලාගන්නට අවස්ථාව ලැබුනා. අප එහි යන විටත් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි කැණීම් සිදුකරමින් සිටියා. ඔවුන් මෙම කාර්යයට යොදවා තිබුනේ කැළණි විශ්ව විද්‍යාල පශ්චාත් පුරා විද්‍යා ආයතනය. එම කණ්ඩායමට පුරා විද්‍යා පශ්චාත් උපාධි හදාරන සිසුන් දෙදෙනෙක් හා කැළණිය විශ්ව විද්‍යාල පුරා විද්‍යා විෂය හදාරන සිසුන 4 දෙනෙකුත් ඇතුලත් ව සිටියා. අපි ඔවුන්ගෙන් තොරතුරු විමසුවා. මුලින්ම ඔවුන්ගෙන් අපි ඇහුවේ පුරා විද්‍ය කැණීමක් කියන්නේ මොකක්ද කියලා.

පුරා විද්‍යා කැණීමක් කියලා කියන්නේ අපේ ජාතික උරුමයක සහ තොරතුරු සොයා යන ගමනක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා කොහොමද ජීවත් වුනේ. ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් මොනවද කියන එක හොයා බැලීම තමයි කැණීමකින් බලාපොරොත්තු වෙන්නේ.

අලවල පොත්ගුල් ලෙන ගල් ගුහාව පුරා විද්‍යාත්මකව වැදගත් වෙන්නේ ඇයි කියලත් දැනගන්න කැමතියි.

ප‍්‍රාග් ඵෙතිහාසික යුගය කොටස් ගණනාවකට බෙදනවා. පූර්ව ශිලා යුගය මධ්‍ය ශිලා යුගය නව ශිලා යුගය කියලා. පූර්ව ශිලා යුගයේ සාධක හමුවෙන්නේ බූන්දල පතිරාජවෙල කියන ප‍්‍රදේශයෙන්. ඒ කියන්නේ ලංකාවේ දකුණු දිග ප‍්‍රදේශයෙන්. මධ්‍ය ශිලා යුගයේ බොහෝ සාධක රත්නපුර සංස්කෘතිය කියලා සලකන රත්නපුර අවට ගල්ලෙන් වලින් තමයි හමුවෙලා තියෙන්නේ. කුරුවිට බටදොඹ ලෙන, පාහියන්ගල, කිතුල්ගල බෙල්ලෙන වගේ ස්ථාන වලින්. ඒ ඇරෙන්න වියලි කලාපයේ සීගිරිය, අලිගල, පොතාන වගේ තැන් වලත් කැණීම් කරලා තියෙනවා. නමුත් බස්නාහිර පලාතේ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයන් සිටි බවට මුල්වරට සාධක මතු කර ගන්නේ අලවල පොත්ගුල් ලෙන ආශ‍්‍රයෙන්. මේ නිසාම ගම්පහ දිස්ති‍්‍රක්කයේ වාරණ, අත්තනගල්ල රජ මහා විහාර ආදී ස්ථාන කිහිපයකද කැණීම් කරන්න දැන් කටයුතු යොදලා තියෙනවා. මෙම ලෙන්ද මධ්‍ය ශිලා යුගයට අයත් බව තමයි පිලිගැනීම.

කැණීමක් සඳහා මූලික අඩිතාලම සැකසෙන්නේ කෙසේද? අපි ඔවුන්ගෙන්  ඇහුවා.

කැණීමකට පෙර සිදු කරන්නේ ඒ භූමිය පිළිබඳ ගවේෂණයක්. මේ ලෙන පිළිබඳ මුලින්ම දැනුම් දීලා තියෙන්නේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක්. එම දැනුම් දීම හරහා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරි මහතාගේ අධීකෂණය යටතේ පශ්චාත් උපාධි හදාරන සිසුන් කණ්ඩායමක් මෙම ස්ථානය ගවේෂණය කළා. ඒ යටතේ තමයි මෙම කැණීම ආරම්භ වෙන්නේ. අදාල ප‍්‍රදේශය හැම පැත්තෙන්ම සොයලා බලලා සුදුසු ස්ථානය කුමක්ද කියලා තෝරගෙන තමයි කැණීමට යොමු වෙන්නේ. කැණීම් සිදු කරද්දී භාවිතා කරන විවෘත ක‍්‍රමය තමයි මෙම ලෙන කැණීමට යොදා ගෙන තිබෙන්නේ. ඒ කියන්නේ ගුහාවේ කැණීම කරන කොට කොයි අතකට විහිදෙන්න වෙයිද කියලා කියන්න බැහැ. ඉදිරියට යන කොට විවිද පුරා වස්තු මතු වෙන්න පුලූවන්. ඒක නිසා ඉදිරියට ව්‍යාප්ත වන විදිහට තමයි කැණීම කරන්නේ.

අලවල කැණීම දැන් පසුවෙන්නේ තුන්වන අදියරේ. මෙමඟින් සොයාගත් විශේෂිත දේවල් රැසක් තිබෙනවා. මානව හිස් කබල් කොටස් කිහිපයක් ලැබී තියෙනවා. මානව දත් සමඟ යටි හනුවක්, පොඩි දරුවෙකුගේ (වයස අවුරුදු 8 - 11 අතර කිරි දතක්, පළඳනා ලෙස පාවිච්චි කළ මෝර දතක්, මුහුදු බෙලි කටු වලින් සැදූ පළඳනා 8 ක් මෙන්ම අලියාගේ පටන් කුඩා සිවුපාවා දක්වා සත්ව අස්ථි කැබලි හමු වී තිබෙනවා. මෑත කාලීනව අලවල ලෙනෙන් මතුකර ගත් වැදගත්ම පුරා විද්‍යා සාධකය වන්නේ ව්‍යාඝ‍්‍රයෙකුගේ ඇඟිලි පුරුකක් සහිත නිය කොටසයි. ලංකාවේ ප‍්‍රාග් ඵෙතිහාසික කැණීම් අතර තෙවන වතාවටයි ව්‍යාඝ‍්‍රයෙකුගේ අස්ථි කොටස් හමුවන්නේ. මෙය මීට පෙර සොයාගත් මෝර දතටත් වඩා විශේෂිත බව ඔවුන් පැවසුවා. ලෙනෙහි මතුපිට ගල්වල ඇඹරුම් ලක්ෂණද දැකිය හැකියි. ඒ සඳහා භාවිතා කළ ඇඹරුම් ගල් ද හමු වී තිබෙනවා. එසේම කැකුණ ඇට තැලීම සඳහා භාවිතා කළ ගල් වලවල් ගල මතුපිට දැකගත හැකි වෙනවා.

ඉහතින් දැක්වූ ආකාරයට මෙය මධ්‍ය ශිලා යුගයට අයත් ගුහාවක් ලෙස සැලකුවත් මතුපිට පස් ස්ථර වලින් පශ්චාත් ශිලා යුගය ලෙස සැලකිය හැකි නව යුගයක සාධක මතුවන බව මහාචාර්ය ගාමිණී අධිකාරි, ආචාර්ය අර්ජුන තන්තිල යන විද්වතුන් කියනවා. ගල් ආයුධ සහ වලං කටු කැබලි මිශ‍්‍රව තිබීම ඊට හේතු සාධක ලෙස ඔවුන් ගෙනහැර දක්වනවා. නව ශිලා යුගයට, පසු යුගයක මෙම තත්වය දැකිය හැක බවත් දොරවක ලෙනෙන් මතුවුන නව ශිලා යුගයේ පුරා විද්‍යාත්මක සාධක වලට වඩා මේවා දියුණු බවත් ඔවුන් පවසනවා.

පුරා විද්‍යා කැණීමක් සිදු කිරීම රටට කොතරම් වටිනවාදැයි අපි ඔවුන්ගෙන් විමසා සිටියා. කැණීමක් සිදු කිරීමේ අරමුණ වෙන්නේ රටක පුරාවිද්‍යාත්මක වටිනාකම මතුකර ගැනීම, ජාතික උරුමය හා ජාතික අගය ගැන ජනතාව දැනුවත් කිරීම, සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය වගේ දේවල්. පශ්චාත් උපාධි ආයතනයේ වෙබ් අඩවිය මෙම තොරතුරු අන්තර් ජාලයට ගෙනයනවා. එසේම ප‍්‍රදර්ශන පවත්වා මේ සොයාගත් දේවල් ජනතාවට දැක බලා ගන්න සලස්වනවා. මෙම ප‍්‍රදර්ශන ගම් මට්ටමින් කරන්නත් ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. එසේම අලවල පොත්ගුල්  ලෙන ආශි‍්‍රතව පුරා විද්‍යා කෞතුකාගාරයක් ගොඩ නැගීමටත් රජය පියවර ගනිමින් ඉන්නවා.

ගමක කැණීමක් සිදු කරන විට ගමත් සමග සහසම්බන්ධය පවත්වා ගන්නේ කෙසේද?

පුරා විද්‍යා කැණීමක් කරද්දි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍යයි. එසේම ගම අයත් පොලිස්ථානය ග‍්‍රාම නිලධාරි තුමා සහ ගමේ සමිති සමාගම් වල පිරිස් දැනුවත් කල යුතු වෙනවා. ගම තුල අප හැසිරෙන ආකාරය මත තමයි කරන කාර්යය සාර්ථක වෙන්නේ.

අලවල පුරා විද්‍යා කැණීම් භූමියේ නවතම තතු සොයා ගිය ගමනෙ අවසානයේ ඔබට කිවයුතු විශේෂිත කරුණු කිහිපයක් තිබෙනවා. මෙය ඵෙතිහාසික ලෙනක්, ප‍්‍රාග් යුගයේ තොරතුරු වගේම ඊට පසුකාලීන රජවරුන්ගේ යුගයට ද මෙය නෑකම් කියනවා. ”ගමික තිසහ පුත ගමික ලෙනේ” යනුවෙන් බ‍්‍රාහ්මීය අක්ෂරයෙන් ලියවුණු සෙල් ලිපියක් මෙම ලෙනෙහි තිබෙනවා. ”