වා පිත් සෙම් නසා සිරුර රකින ‘නික ගස’ බලගතු ඖෂධයක්
නික යනු සකු බසින් නිර්ගුණ්ඩි ය. කය නිර්ගුණ්ඩනය හෙවත් රක්ෂණය කරයි යනු මේ සකු නමේ අරුත යි. ශ්‍රී ලංකාවේ ගම්බද සෑම ගෙදරකම වාගේ නික පඳුරක් ඇත. ඒ බොහෝ අවස්ථාවල දී අත් බෙහෙතක් ලෙස යොදා ගත හැකි බැවිනි. එහෙත්, නූතන නගරබද වැඩි දෙනෙකු මෙයින් ගත හැකි ඵල ප්‍රයෝජන ගැන නොදන්නා බැවින්, ඒ පිළිබඳත් ඔවුන් දැනුවත් කිරීම අරමුණු කරගෙන මේ විස්තරය ඉදිරිපත් කරනු ලැබේ.
සෑම ගෙවත්තකම වවා ගත යුතු නික ගස පිරිසිදුකමේ සංකේතයකි. දෙවි දේවතාවුන් ගේ බැල්ම ඇතිවන නික ගස ගෙහිමියන්ට වාසනාව ගෙනදෙන ශාකයක් ලෙස ද ගම්බද පැරැන්නෝ විශ්වාස කළ හ.
මෙරට සෑම පළාතකම වැවෙන නික ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Vitex Negundo L වන අතර කුලය Verbenanceae (නිර්ගුණ්ඩි) වෙයි. සරස්වතී නිඝන්ඩුවෙහි දැක්වෙන ගුණ :- කල්පනා කිරීමේ ශක්තිය වඩයි. තික්ත යි. කෂටයි. කටුකයි. සැහැල්ලුයි. හිස කෙස් වඩයි. ඇසට හිතයි. රුජා ඉදිමුම් ආමවාතය, කුෂ්ඨ, අරුචි, සෙම, උණ නැති කරයි. නික දලු පණුවන් වාතය හා සෙම නස යි.
ව්‍යවහාර නාම : සිංහලෙන් : නික, දෙමළෙන් - නොච්චි - වින්දුවාරම්, සංස්කෘත බසින් සීනුවාර, සිඳුවර, නිර්ගුණ්ඩි, ඉංග්‍රීසියෙන් Chinese Chaste tree – Five Leaved chaste tree.
ප්‍රයෝජනයට ගන්නා කොටස් - සම්පූර්ණ ගසම (දලු, කොළ, මල්, මුල්, පොතු, ගෙඩි) වෙන වෙනම හෝ අවස්ථානුකූල ව සාමූහිකව හෝ යොදා ගනු ලැබේ.
මෙම ශාකයේ හැඩ රුව, මෙහි පළව ඇති ඡායාරූපයෙන් බලා ගත හැකි බැවින් ද, වැඩි දෙනෙකු දන්නා බැවින් ද උද්භිද විද්‍යාත්මක විස්තරයක් මෙහි ලා නොදැක්වේ.
දේශීය ආයුර්වේද ශාස්ත්‍රානුකූල විස්තරය : මලේ වර්ණය අනුව සුදු මල් - නිල් මල් ඇති දෙවර්ගයකි. (භාව ප්‍රකාශය) කතුරු නික හෙවත් වල් නික නමින් (නිඝණ්ඩු රත්නාකරයා) වර්ගයක් ද වෙයි.
ගුණකර්ම : රස, තිත්ත, කටුක කෂා ය. ගුණ - ලඝු ය. රුක්ෂ ය. වීර්ය - උෂ්ණ ය. විපාක - කටුක ය.
දෝෂ කර්ම : වාත, සෙම්, හර යි. ප්‍රධාන කර්ම : වාත හා සෙම් ශාමක යි. ශොථ හරි යි. දීපන යි. පාචන - කුෂ්ඨ, නාශක යි. ආර්තව ජනක යි. ක්‍රිමි නාශක යි. ජිවර නාශක යි. බල සහිත යි. රසායනයි. කාස - ශ්වාස හා වේදනා හර යි. ශොථ හර යි. ව්‍රණ ශෝධක යි. රෝපක යි.
පැරැණි රෝගයක්
නික ඖෂධ සඳහා යෝග ගණනාවක් ඇතත්, ඒවාට වඩා ගුණ එහෙත්, පැරැණි වෙදවරු, රහසිගතව යෙදීම නිසා සැඟවී ඇති, විශ්මය ජනක චිකිත්සා දස්කම් දැක්විය හැකි සෙම් රෝග, මුළුමනින් ම පාලනය කළ හැකි, ඒ යෝගය මෙසේ ය. නික ගසේ පංචාගයම සමභාගව ගෙන තමන්ට අවශ්‍ය අන්දමට කෂාය සිඳුවා ඒ කෂායට තලතෙල් දමා මද ගින්නේ දිය සිදෙන තුරු පැසවා ගන්නේ ය. මෙයට කල්ක දැමීමක් නො කෙරේ. මෙය කාශ, ශ්වාස සහ පීනස ඇතුළු සියලුම සෙම් රෝගවලට ද හිසරදයට, කර්ණ ශුලයට, සියළුම වාත රෝග, පිත් රෝගවලට ඒකාකාරව වහා ගුණ දෙන ඖෂධයෙකි. තුන් දොසින් සෑදෙන සෑම රෝගයකට ම ගුණ දෙන, මේ යෝගය “කෝකටත් තෙල” යනුවෙන් පැරැන්නෝ හැඳින් වූයේ ද එබැවිනි.
අප පාඨකයන් ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රකට යෝග කීපයක් මෙසේ ය.
වාතාබධ හා වේදනාවට : මුල් හෝ මුලේ පොතු හෝ කෂාය කැරැ දීම. තෛලය හෝ එබඳු වෙනත් තෛලයක් ආලේප කිරිම.
ආමවාත, ශෝථ (ඉදිමුම්) අවස්ථාවලදී : කොළ කොටා මලවා මද උණුසුමෙන් බැඳීම. මුල් හෝ කොළ හෝ කෂාය කර දීම.
ශෘධ්‍රසියට : කොළ කෂාය කරදීම කටී වායුවට : නික කොළ කැඳ පිසදීම.
දද, ව්‍රණ, (තුවාල) පිඩකා, (චර්ම රෝගවලට) : කොළ තම්බා සේදීම. යුෂ ගෙන ආලේප කිරීම. නික ගෙඩිවල ස්වරස කකාරා ගෑම. මල් අඹරා ආලේප කිරිම.
නාසාරන්ධ්‍ර ශෝථයට : දලු යුෂ කළුතර තෙලක් සමග මිශ්‍ර කොට නස්‍ය කිරිම.
රසායන යෝගයක්
ශුක්‍ර වර්ධනයට : කාමාග්නි සන්දීපන රස “නැමති මේ යෝගය ශුද්ධ රස පලම් 1 යි. ශුද්ධ ගන්ධක පලම් 1 යි, ශුද්ධ සාදිලංගම් පලම් 1 යි, මේවා අමු ඉඟුරු ඉසමෙන් භාවනා දී, අත්තන ඇට කෂායෙන් ද දින 7 ක් භාවනා දී, පසුව ස්වේත ජයන්ති (මල් සුද නික) සහ කීකිරඳිය යුෂ යථාලාභයෙන් ගෙන වෙන වෙන ම භාවනා දී ඉක්බිති, බෙහෙත වියළා වාලුකා යන්ත්‍රයෙන් දින 6 ක් පුට දී ඌර්ධව ඇති බෙහෙත් චූර්ණය ගෙන එනසාල්, සාදික්කා, කපුරු, කස්තුරි, ගම්මිරිස්, අමුක්කරා චූර්ණය සමසේ මිශ්‍ර කර ඔළිඳ ඇට 2 පමණට ගුලිකර තබාගෙන, වරකට ගුලිය බැගින් මී පැණියෙන් ගන්නේ ය. ශුක්‍ර වඩ යි. ඕජස් වඩ යි. පුෂ්ටිමත් වෙයි. බල වඩ යි. පංචේනද්‍රියන් ප්‍රාණවත් වෙයි. සියලු රෝග දුරු කර යි. රසායන යි.


