Monday, Dec 22nd

Last update:11:56:26 AM GMT

Headlines:
You are here: ගවේෂණ කෙටි කථා

කෙටි කථා

භූමිතෙල් ගඳ

වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් “ගුලේජි” ඉමහත් ප්‍රීතියට පත්වූවාය. ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ කළාය. ඇය වෙළඹ දුටුවේ සිය මවුපියන්ගේ නිවසෙහි ඉදිරිපස ද්වාරය ලෙසිනි.

ගුලේරීගේ මවුපියන්ගේ නිවස පිහිටා තිබෙන්නේ චම්බා නම් ගමෙහිය. ඇය විවාහයෙන් පසු සැමියාගේ නිවස පිහිටි ලකර්මන්දි ගම්මානයට පැමිණියාය. එය ඉතා උස් බිමක පිහිටා තිබේ. එම උස් බිමේ සිට කවාකාරව පහළට යමින් තම උපන්ගමට යා යුතුය.  තනිකමක් දැනෙන සෑම මොහෙතකම ඇය තම සැමියා සමඟ එම කවාකාර මාවත දැකිය හැකි ස්ථානයට එයි. සූර්යාලෝකයෙන් දිදුලන සිය ගම්මානය දෙස ඇය බලා සිටින්නේ ඉමහත් අභිමානයෙනි.

වාර්ෂිකව එළඹෙන  අස්වනු මංගල්‍යයේ දී ගුලේරි හට තම දෙමව්පියන් හා දින කිහිපයක් ගත කරන්නට අවසර ලැබේ. මෙවර ද ඇයගේ පියා, නාටු නම් වූ විශ්වාසවන්ත සේවකයා ඒවා ඇත්තේ සිය දියණිය වූ ගුලේරි ගෙන්වා ගැනීමටය. ඇයගේ යෙහෙළියන් දෙදෙනා ද විවාහ වී චම්බා ගමෙන් බොහෝ ඇත පෙදෙසක ජිවත් වුවද ඔවුහු ද එකම දිනයේ ගමට පැමිණෙති. ඔවුහු එකිනෙකා අත් බැඳ මහමඟ ඇවිදිති. අස්වනු මංගල්‍යය සඳහා ඇඳුම් ගැනීමට පොළට යති. හිස් ආවරණ සාළුව නැවත පාට ගන්වා, කැඳ දමා සෝදා වේලා, මිනිරන් කුඩු සහ පබළුවලින් අලංකාර කර ගනිති. වීදුරු වළලු සහ රිදී පැහැ තෝඩු මිලයට ගනිති.

ගුලේරි අස්වනු ගෙට ගන්නා දිනය එනතුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. ගිම්හාන සුළග, මෝසම් වැහි අඳුර ආකාශයෙන් මකා දමද්දී ඇය දිනපතා උදෑසන තමාගේ දිනචරියාවට අයත් යුතුකම් ඉටු කරන්නේ බලාපොරොත්තු සිත තුළ පුරවා ගනිමිනි. ගව මහීෂාදීන්ට කෑම දීම, සැමියාට සහ ඔහුගේ දෙමාපියන් හට කෑම සකස් කිරිම, ආදී සෑම කාර්යයක්ම අතුරතුරදී දෙමව්පියෝ තමා කැටුව යන්නට කවුරුන් හෝ එවතියි සිතයි.

දැන් නැවතත් ඇයට ගමට යන්නට අවස්ථාව උදා වී තිබේ. ඇය අසීමිත ප්‍රීතියෙන් වෙළඹ අතගෑවාය. පියාගේ සේවකයා වූ නාටු දයාබරව පිළිගත්තාය. පසුදින පිටත්වීම සඳහා සූදානම් වූවාය. ඇයගේ චිත්ත ප්‍රීතිය වචනයෙන් ප්‍රකාශ නොකළද සියල්ල ඇයගේ ශෝභා සම්පන්න වූ මුහුණේ ඇදී තිබුණි. ඇයගේ සැමියා ඇය දෙස බලා උරමින් සිටි ගඩුගුඩාව ඉවතට ගෙන දෙනෙත් පියා ගත්තේය. එක්කෝ ගඩුගුඩාවට දැමූ දුම්කොළ වලින් හැමූ අප්‍රසන්න සුවඳ හෝ තම බිරිඳගේ මුහුණ දෙස බැලීමෙන් ඇති වූ අපහසුතාව එයට හේතුව විය හැක.

“ඔයා චම්බා පොළට එනවා නේද? අනේ එක දවසක් හරි එන්න” ඇය සැමියාට කන්නලව් කළාය. ඔහු දුම් උරනය ඉවත තැබුවද කිසිවක් නොකීවේය.

“ඇයි ඔයා මොකුත් නොකියන්නේ” ඇය මඳක් තරහින් ඇසුවාය.

“මං ඔයාට කියන්නමයි හිටියේ” ඔහු ඇය දෙසට හැරී කීවේය.

“එපා මං දන්නව ඔයා කියන්න යන දේ... මට තේරෙනව. ඔයා විතරක් අවුරුද්දකට සැරයක් ගමට යන්නේ ඇයි කියලනේ?

හොඳයි, මෙච්චර කාලයක් මං ඔයාට යන්න එපා කිවවේ නෑනේ? ඔහු ඇයගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නාය.

“එහෙනම් ඇයි ඔයා මේ සැරේ විතරක් මාව නවත්තන්න හදන්නේ?

මේ වතාවෙ විතරක්වත්.... ඔහු ඉල්ලා සිටියේය. “ඔයාගේ අම්මවත් මොකුත් කිව්වෙ නැහැනෙ. ඇයි ඔයා හරස් වෙන්නේ? ගුලේරි හිතුවක්කාර ළදැරියක සේ තර්ක කළාය. “මගේ අම්මා.. “මනක්” යමක් කියන්නට උත්සාහ කළද කියාගන්නට නොහැකිව වේදනාවෙන් නිශ්ශබ්ද වූයේය.

එම දිගු රාත්‍රිය අවසානයේ ගුලේරි හිමිදිරියේම සූදානම් වූවාය. ඇයට දරුවන් සිටියේ නැත. එසේ හෙයින් රැගෙන යන්නේ කෙසේද හෝ තබා යන්නේ කෙසේද යන ප්‍රශ්න ඇයට තිබුණේ නැත. නාටු සෑදලය සකස් කොට වෙළඹ සූදානමින් තැබුවේය. ගුලේරි මනක්ගේ දෙමව්පියන් වැඳ සමුගනිද්දී ඔවුහු ඇයගේ හිසට අත තබා ආශිර්වාද කළහ.

“මාත් මගට එන්නං” ‘මනක්’ කීවේය.

ගුලේරි අධික ප්‍රීතියෙන් ගමන ආරම්භ කළාය. ඇය ඔහුගේ බටනලාව සිය සාළුවෙහි ඔතා සගවා ගත්තාය.

බාජිරි ගම පසු කරද්දී ගුලේරි සගවා ගත් බටනලාව‍ ගෙන  ඔහු අත තබා “එන්න මෙය වාදනය කරන්න” යි කීවාය. නමුත් මනක් සිතුවිලි අතර, අතරමං වී සිටියෙන් ඇය කියූ කිසිවක් නොඇසුණි.

“ඇයි ඉතින් ඔයා වාදනය කරන්නේ නැත්තේ”?

ඇය සුපුරුදු තොදොල් බසින් අසුවාය. ඔහු ශෝකයෙන් ඇය දෙස බලා බටනලාව තොල් අතරේ තබා වාදනය ආරම්භ කළේය. ඉන් නිකුත් වූයේ ශෝකී විලාපයකි.

“ගුලේරි අනේ ඔයා යන්න එපා. මං මේ තවපාරක් කියන්නේ‍ හේතුවක් තියෙන නිසා. මේ වතාවේ යන්න එපා” කියමින් ඔහු ශෝකයෙන් බටනලාව  ඇය අත තැබුවේය.

“ඇයි ඉතින්... මොකක්ද හේතුව? ඔයා පොළට එන්න. එතකොට මං ඔයා එක්කම එන්නං. මං පොරොන්දු වෙනව. ඔයා එහේ ආව ගමන් මං එනව” ඇය කීවාය.

මනක් කිසිවක් කීවේ නැත.

කන්ද පා මුලදී ඇය අසුපිටින් බැස්සාය. දෙදෙනාට කතා කරන්නට ඉඩ දී නාටු, වෙළඹ මදක් ඈතට රැගෙන ගියේය. දැනට වසර හතකට ඉහත මේ පාරටම තමා මිතුරන් සමග ආ බව මනක් සිහි කළේය.‍ පොළේදී දුටු ගුලේරි ඔහුට අමතක කළ නොහැකි විය. ඔවුහු ආදරයෙන් බැදුනහ. දෙදෙනා තනිව හමු වූ එක් දිනක් මනක් සිහි කළේය.

“ඔයා හරියට කිරි වැදුණ තිරුඟු කරලක් වගෙයි.”

“කිරි වැදුණ ධාන්‍ය සොයාගෙන හරක් එනවා.” ඇය තම අත මදුවා ගනිමින් කීවාය.

“මිනිස්සු ඒවා තම්බලයි කන්නේ” ඔහු පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇගේ මුහණට එබුණේය.

“ඔයාට මාව ඕන නං මගේ තාත්තව හමුවෙන්න වේවි.”

මනාලිය වෙනුවෙන් පියාට මිලක් ගෙවීම මනක් අයත් ගම් ප්‍රදේශයේ චාරිත්‍රයකි. ඉතා ධනවත්, උගත් පුද්ගලයකු වූ ගුලේරිගේ පියා කොපමණ මුදලක් ඉල්ලාවිද යන සිතුවිල්ල ඔහු අකර්මණ්‍ය කළේය. නමුත් ගුලේරිගේ පියා කියා තිබුණේ දුව වෙනුවෙන් සතයකවත් නොගන්නා බවත්, කවදා හෝ වැදගත් පවුලක විනීත තරුණයකු ඇයට සොයා දෙන බවත් හෙයින් සියල්ල පහසු විය.

කල්පනාවේ නිමග්නව සිටි මනක්ගේ කර වටා ගුලේරිගේ අත දැවටුණේය. “මොනවටද ඔයා මේ තරම් හීන දකින්නේ?” ඇය විහිලු කළාය.

ඔහු මුනිවත රැක්කේය. වෙළඹ නොඉවසිල්ලෙන් හඩ නැඟුවාය. ඇය අසුපිටට නැග්ගාය. මොහොතක් තම සැමියා දෙස බලාසිට මදහසින් කටහඩ අවදි කළාය.

“ඔයා දන්නවද මීට ටිකක් ඈතින් තියන නීල සූනු වනය. කවුරු හරි ඒ කැලෑව මැදින් යන එන කෙනෙකුගේ කන් බීරි වෙනවලු. ඔයා නං ඒ කැලේ මැදින් ඇවිත් තියනවා. මං කියපු කිසිම දෙයක් ඔයාට ඇහුණේ නෑ”

“ඔහා හරි ගුලේරි. ඔයා කියපු කිසි දෙයක් මට අහුනේ නෑ” කියමින් සුසුම් ලෑවේය. දෙදෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලමින් මොහොතක් සිටියහ. නොවැටහීම ඔවුන් ගොළු කළේය.

අවසානයේ “මං යනවා ඔයා ගෙදර යන්න” ගුලේරි සෙමෙන් කීවාය.

“ඔයා  මේ බටනලාව ගන්න” මනක් ශෝකයෙන් කීවේය.

“නෑ ඒක ඔයා තියාගන්න. පොළ දවසට ඔයා එහේ ඇවිත් ඕක වාදනය කරනවා නේද?” සිනාසෙමින් ඇසූ ඇය පිළිතුරක් බලාපොරොත්තු නොවී අසුට සන් කළාය. ඇයගේ දෙනෙත් හි‍රුගේ තෙදවත් ආලෝකය විහිදුවමින් තිබුණි. මනක් ඉවත බලාගත්තේය. ගුලේරි ‘චම්බා’ බලා ගමන් කලේ, මනක් ආපසු හැරී තම නිවස බලා යමින් සිටියදීය.

මනක් නිවසට ගොඩ වූයේ අප්‍රාණික සිරුරකින් සහ උදාසීන මනසකින් යුතුවය. සෝපානය මත ඇද වැටුණු ඔහු දෙනත් පියා ගත්තේය.

“මනක්, ඔයා ගෙදරින් ගිහින් කොච්චර වෙලාද? ගුලේරිගේ ගෙදරටම ගියාද?” මනක්ගේ මව කෝපයෙන් ඇසුවාය.

“නැහැ කන්ද පාමුලට විතරයි” බරවූ නාසයෙන් යුතුව මනක් කෙඳිරුවේය.

“මොකද මේ නාකි ගෑණියෙක් වගේ කොඳුරන්නේ මිනිහෙක් වගේ හැසිරියන්” ඇය තදින් කියා සිටියාය.

ඔහුට සිය මවට විරුද්ධව කතා කරන්නට වුවමනා විය. මව තවමත් කෝපයෙන් බලා සිටියි. උඹ හරියට ගෑනියෙක් වගේ. ඇයි උඹට අඩන්න බැරි තව කෙනෙක් ඉල්ලල අලුත් වෙනසකට”.

ඔහු නිහඩව අසා සිටියේය. ගුලේරි තම බිරිද වී අවුරුදු හතකි. ඇය දරුවන් වැදුවේ නැත. මනක්ගේ මව රහසිගතවම විසදුමක් සෙව්වාය. ඇය තරයේ කියා සිටියේ විවාහ දිවියේ අටවැනි අවුරුදු සැමරුමක් සිදු නොවිය යුතු බවයි. මේ වර්ෂයේ ඇයගේ අභිමතය පරිදි රුපියල් පන්සියයක් ගෙවා දෙවැනි බිරිදක් සොයා ගත්තාය. දෙවැනි බිරිද ගුලේරි දෙමවුපියන් වෙත යනතුරු බලා සිටියාය. සිය මවට හා සම්ප්‍රදායන්ට සිය සිරුර කීකරු වුවද, නව බිරිය වෙනුවෙන් ඔහුගේ හදවතෙහි ඉඩක් නොවීය. ඔහුගේ හදවත මිය ගොසිනි.

එක් හිමිදිරි උදෑසනක මනක් සුපුරුදු ලෙස සිය උදාසීන ජීවිතයේ එකම සුමිතුරා වූ පයිප්පය මුවට ළං කළේය. සිය පැරණි මිතුරකු වූ බවානි නිවස පසු කරමින් යනු දුටු මනක් මේ තරම් උදෙන්ම යන්නේ කොහිදැයි විමසීය. විශාල පොට්ටනියක් ඔහුගේ උරහිසෙහි විය.

“විශේෂ හේතුවක් නෑ මනක් අයියේ” බවානි අකමැත්තෙන් කීවේය.

“ඒකට කමක් නෑ දුම් ටිකක් උරල පලයන්” මනක් කීවේය.

බවානි පොට්ටනිය බිම තබා මනක්ගේ ගඩුගුඩාව අතට ගත්තේය.

‘මං චම්බාවට යනව මනක් අයියේ’ අවසානයේ බවානි කීවේය. මනක්ගේ හදවත පසාරු කරගෙන බවානිගේ වචන රිංගා ගියේය.

“අද පොළද?” මනක් වේදනාවෙන් ඇසුවේය.

“ඔව්. ඇයි හැම අවුරුද්දෙම එකම දවසටනේ තියෙන්නේ මතක නැද්ද?” බවානි ඇනුම්පදයක ස්වරූපයෙන් කීවේය.

“දැනට අවුරුදු හතකට කලින් අපි පොළට ගියා මතකද මනක්”

මනක් කිසිවක් නොකීවද ඔහුට දැඩි අපහසුතාවක් දැනුණි. බවානි ගඩුගුඩාව පසෙකින් තබා පොට්ටනිය කරට ගෙන මනක් දෙස නොබලාම නැගී සිටියේය. පොට්ටනියේ වූ විවරයකින් එළියට පැන තිබූ බටනලාව දෙස මනක් බවානි නොපෙනී යන තුරුම බලා සිටියේය.

පසු දින උදෑසන මනක් කුඹුරේ සිටියදී බවානි ඈතින් එනු දුටුවද, ඔහු ඉවත බලාගත්තේය. තවදුරටත් පොළ ගැන බවානි සමග කතා කරන්නට මනක්ට අවශ්‍ය නොවීය. එය එතරම්ම ඔහුට වේදනාකාරී විය. නමුත් බවානි කුඹුරේ වටයක් කැරකී විත් මනක් ඉදිරියෙන් බිම හිද ගත්තේය. බවානිගේ මුහුණ අගුරු කැබැල්ලක් මෙන් කලු වී ශෝකයෙන් බර වී තිබුණි.

“ගුලේරි මැරිලා” භවානි මෙසේ කීවේය.

“මොකක්”

“උඹ ආපහු බැන්ද බව අහල භූමිතෙල් හලාගෙන ගිනි තියාගෙන” මනක් අසීමිත වේදනාවෙන් ගොළු විය. තමගේ ජීවිතයම ගිනි ගන්නාක් මෙන් ඔහුට දැනුණි.

දින, සති, මාස ගත වී ගියේය. මනක් නිහඩව කුඹුරේ වැඩට ගියේය. කෑම බෙදා දුන් විට කෑවේය. නමුත් ඔහු සිතින් මිය ගොසිනි. ඔහුගේ දෙනෙතෙහි මෙන්ම මුහුණ පුරාම පැතිරී තිබුණේ හිස් බවකි.

“මම එයාගේ බිරිද නෙවෙයි. එයාට බදින්න සිද්ධ වුණ කෙනෙක් විතරයි. එයා මට බැදීමක් ආදරයක් නැහැ” දෙවන බිරිද සිය නැන්දණියට කීවාය.

නමුත් ඇයගේ කුසෙහි දරුවකු මෝරා ‍වැඩෙන විට මනක්ගේ මව ප්‍රීතියෙන් උද්දාමයට පත් වූවාය. ඇය මනක්ට මේ සුභාරංචිය කිවේ ඉමහත් බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු සිටියේ මව කී දේ නොවැටහුණු ආකාරයෙනි. ඔහුගේ දෙනෙත් තුළ වූයේ සුපුරුදු හිස් බවකි.

“ඔහුගේ මව තම ලේලිය සනසා පුතාගේ හැසිරීම දරා‍ගෙන සිටින්නට දිරි දුන්නාය.

“ඕව වෙනස් වේවි බලන්නකෝ තව ටික දවසක්” ඇය තම ලේලියට කීවාය.

දරුවා ඉපදුණු පසු මනක්ගේ මව අපරිමිත සෙනෙහසින් දරුවා නහවා හොදින් සරසා මනක්ගේ උකුල මත තැබුවාය. මනක් දරුවා දෙස හිස් බැලමෙන් බොහෝ වේලා බලා සිටියේය. කිසිදු හැගිමක් ඔහුගේ මුහුණේ දිස් නොවීය. නමුත්  හදිසියේ හටගත් බියකින් ඔහුගේ දෙනෙත පිරුණේය. ඔහු යටි ගිරියෙන් කෑගැසුවේය.

“මේකා ගෙනියපල්ලා” ඔහු උමතුවෙන් මෙන් කෑගැසුවේය.

“ගෙනියපල්ලා මේකව භූමිතෙල් ගදයි”

 

ඉන්දියානු ලේඛක අම්රිතා ප්‍රීතම්ගේ

Stench of Kerosene නම් කෙටිකතාවේ අනුවාදයකි.

 

උපුටා ගැනීම : මුතුහර සගරාව

විප්ලවය

මා වාට්ටුවට පය තබත්ම හෙදිය බියපත් විලසින් මා ඇමතුවාය. “ගුඩ් මෝනිං සර් අමාරු ලෙඩෙක්” ඇගේ හදිසියට වැඩි අවධානයක් යොමු නොකරම ‍මම සැහැල්ලු ලෙස පිළිතුරු දුනිමි. “ඔයාට හැමදාම අමාරු ලෙඩ්ඩු ඉන්නවා.”

“නැහැ ඩොක්ටර් මේ ලෙඩාට ඇත්තටම අමාරුයි. ඊයේ ඉදල සිහිමුර්ජාවෙලයි ඉන්නේ.” ඇගේ කටහඩේ දැඩ් සන්ත්‍රාසය මට දැනිණි.

අනන්තවත් රෝගීන් සංවඛ්‍යාවක් සහ මිනිය නොහැකි තරම් මරණ සංඛ්‍යාවක් දැක ඇති වෛද්‍යවරුන් වන අපට මෙය කලබලවීමට තරම් හේතුවක් නොවේ. මම විහිළුවෙන් දිගටම කියාගෙන ගියෙමි. “ සිහිමුර්ජාවෙලා නම් ඒක සම්පූර්ණයෙන් නතරවෙනකම් ”

මා එය විහිළුවක් ලෙස කීමට අදහස් කලත් මගේ වාක්‍යය සම්පූර්ණ කිරීමට ඉ‍ඩක් නොලැබිණි. වෛද්‍යවරයකු වුවත් පළමුවෙන් මමත් මනුෂ්‍යයෙක් වෙමි. මිනිසුන් අතර ඇති මෘදු ගුණාංග මා තුළ ද ඇත. මගේ මුහුණ වෙනස්විය ලෙඩා කොහෙද ඉන්නේ? කවුද ලෙඩා? මම විමසුවෙමි. “ඇද අංකය 12, පෙරේදා සිද්ධියෙන් අනතුරට පත්වෙච්ච කෙනෙක්”

“මොන සිද්ධියෙන්ද?” සෑම දිනකම බොහෝ දේ සිදුවෙයි. මෙයත් ඒ අතරින් එක් සිද්ධියක් වන්නට ඇත.

“ඇසැම්බිල් පාරේ සිද්ධිය”

ඔව්. එය බරපතළ සිද්ධියකි. සෑමතැනකම සෑමකෙනෙක්ම ඒ පිළිබද කතා කරති. එහි ඇති වැරදි නිවැරදි භාවය පිළිබද වාද කරති. පෙරේදා ඉම්පාල් ආකාශවාහිනියේ සන්ධ්‍යා ප්‍රවෘත්තිවල ඒ බව නිවේදනය කළේ මෙසේ ය.

“අද සන්ධ්‍යාවේ ඇසැම්බිලි පාරට එක්රැස්වූ කණ්ඩායමක් කලහකාරි ලෙස හැසිරිණි. පොලීසිය කැරලිකරුවන් මැඩීමට බැටන් ප්‍රහාරයක් එල්ල කල අතර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය. පොලිස් නිලධාරීන් ඇතුළ කිහිප දෙනෙක් තුවාල ලැබූ බව වාර්තාවේ”

බාන්පාන්ති දාල්ගේ ගේ ප්‍රචාරක අවිය වන අනබුවා මංගල් පුවත්පත විශාල අකුරින් යුත් ශීර්ෂ පාඨ යොදා සිද්ධිය වාර්තා කළාය.

“සාමාන්‍ය පෙළපාලිකරුවන්ට පොලීසියෙන් බැටන් ප්‍රහාරයක් - කදුළු ගෑස් ප්‍රහාරයක් - වෙඩි ප්‍රහාරයක් - පැසිස්ට් රජයේ බියකරු මුහුණුවර”

පාලක පක්ෂයේ දෛනික පුවත්පත වන අඩුම්බා පාඔදම් පුවත්පතේ මෙම සිද්ධිය පිළිබද කිසිවක් සදහන් නොවෙයි.

කෙසේවෙතත් එය විශාල මහජන උද්ඝෝෂණයකි. මංගල් පුවත්පතට අනුව දහතුන් දෙනෙක් බරපතල තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය විය.

දින දෙකකට පෙර විපක්ෂය විසින් විශාල මහජන උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබීය. බඩු මිල වැඩිවීම, විරැකියාව, දූෂණය සහ ඉම්පාල් නගරයේ අතරින් පතර ඇති පොදු ඉඩම් හිතවතුන් අතර බෙදා හැරීමට එරෙහිවයි මෙම පෙළපාලිය සංවිධානය කර තිබුණේ. සටන්පාඨ සහිත පුවරු රැගත් පෙළපාලි කරුවෝ සටන් පාඨ කියමින් නගරයේ ප්‍රධාන වීදිවල සාමකාමී ලෙස ගමන් කර මන්ත්‍රණ සභා ශාලාව ඉදිරිපිටට ගොස් තව තවත් සටන් පාඨ කියන්නට වූහ. සැසිවාරයට සහභාගි වෙමින් සිටි විපක්ෂ මන්ත්‍රීවරු එය අතර මැද දී පිටතට පැමිණ පෙළපාලි කරුවන් කරන ලද ඉල්ලීම් එකහෙලාම ප්‍රතික්ෂේප කරනු ලැබීය. හතරයි තිහ පමණ වනවිට කලබලකාරී ලෙස හැසිරුණ තරුණ පිරිස මන්ත්‍රණ සභා ශාලාව වටා ඇති තාප‍්පයෙන් ඇතුළට පැන ගත්හ. ඔවුන්ව පලවා හැරීමට පොලීසිය බැටන් ප්‍රහාරයක් එල්ල කළේය. කෙසේවෙතත් එය ගින්නට පිදුරු දැමීමක් බදුවූ බැවින් නිමේෂයකින් කලබලය උග්‍ර අතට හැරිණි. කැරලිකරුවෝ මන්ත්‍රණ සභාවේ ගේට්ටුව කඩාගෙන ඇතුල්වූ බැවින් පොලීසියට කදුළු ගෑස් පමණක් නොව පතරොම්ද පාවිච්චි කිරීමට සිදුවිය. සෙනග සෑම පැත්තකටම දිව ගියහ. රෝහල් පිටුපස තිබූ විශාල ඉඩම අසාධාරණ ලෙස ටෙරිමාල් මෙරිලාල්ට වෙන් කර තිබූ අතර එහි ඉදිකිරීම් සිදුවන බව තරුණයන්ට දක්නට ලැබිණි. ඉදිකරමින් පවතින, ගොඩනැගිල්ල වෙත (සමහරු කියන පරිදි ඉදිරියේදී මෙම ගොඩනැගිල්ලේ මධ්‍යසාර පෙරන ස්ථානයක් පිහිටුවීමට අපේක්ෂිතය) කඩා පැන ගත් කෝපයට පත් තරුණයෝ තමන් අතට අසුවූ දේවල්, ගල් යකඩ කැබලි හෝ වෙනත් අතට අසුවන ඕනෑම දෙයකින් පහර දීම ආරම්භ කළහ. හේතුව දන්නේ දවියන් පමණි. සමහර පොලිස් නිලධාරීහු ද කලබලයට මැදිහත් වූහ. ටික වෙලාවක් යනතුරු එම ප්‍රදේශය යුද පිටියක් බදුවිය.

මගේ සහායක වෛද්‍ය විනෝදා පැමිණියේය. “ගුඩ් මෝනිං තාමෝ අංක 12 ඇදේ ඉන්න ලෙඩාට හුගක් අමාරුයි. ඔබතුමා බැලුවද?”

“තවම නැහැ. මම මේ දැන් ආවේ. එන්න අපි බලමු.” අපි දෙදෙනාම නැගී සිටියෙමු. ඇද ඉහපතද රැගත් හෙදිය අප පසුපස ආවාය.

හිසට වෙළුම් පටි යොදා තිබූ කාන්තාව මැහැල්ලකි. ඇගේ ඇස් නින්දේ දී මෙන් පියවී නැත. මුහුණ ඉදිමී ඇත. ඇගේ හිසේ පිටුපස ඇති වෙළුම් පටි යාන්තමින් තෙත්වී ඇත. තුවාලයෙන් තවමත් ලේ ගලනවා වෙන්නට ඇත.

“මම උදෑසන මෙහෙ එනකොට ඇය නොකඩවාම වේගයෙන් හිස සෙලෙව්වා. මුළු රාත්‍රිය පුරාම ඒ විදියට ගත කරපු බවයි පෙනුනේ. මම කළ යුත්තේ මොකක්ද කියල දන්නේ නෑ. බාහිර රෝගීන්ගේ අංශයේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇයට නිදි බෙහෙත් දුන්නා.” හෙදිය මා සමග කීවාය.

“ඇයි මට කළින් ටැලිෆෝන් කළේ නැත්තෙ?” වැඩිදුර නොහිතාම මම විමසුවෙමි. “ඊයේ සර් ගෙ ටැලිෆෝන් එක වැඩ කළේ නැහැ.”

“ඒක හරි තාමෝ” සහායක වෛද්‍ය විනෝද් තහවුරු කළේය. “අපි ඊයේ මුළු දවසෙම ඔබතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඒත් දුරකථන ක්‍රියාකරු කිව්වේ සර් ගේ දුරකථන මාර්ගය කැඩිලයි කියලා”

“ඔව්. ඒ අපේ අම්මයි මගේ දරුවගේ අම්මයි තික්ෂණ බුද්ධිය යොදවල කරපු සැලැස්මක්. මගේ දරුවට බලපාල තියෙන අපල දුරු කරන්න යාගයක් කරන්න සූදානම් කර තිබුණා. ඒක උදේ පාන්දර ඉදල හිරු බැස යන තුරු පැවැත්වෙන එකක්. යාගය පවත්වන කාලය තුළ දී පවුලේ කිසි කෙනෙකුට පිටට යන්න බැහැ කියල ජ්‍යෙතිශඥයා කියල තියෙනවා. ඒක හරිම හිසරදයක්. මේ වගේ ඇදහිලි මම විශ්වාස නොකළත් මගේ දරුවගේ අම්මටත් මගේ අම්මටත් විරුද්ධ වෙන්න මට හැටියක් නැහැ”

හිසෙහි ඇති තුවාලය හැරෙන්නට වෙනත් තුවාලයක් රෝගියාට නොමැති බවට සාක්ෂි ඇත. ඇයගේ ශරීර උෂ්ණත්වය වැඩි වී ඇත.

හෙදිය අත තිබූ ඇද ඉහපත ගෙන බැලූ මම හදිසි රෝගීන් සදහා කරන ලද ප්‍රතිකාර දෙස බැලුවෙමි. පිටගැස්මට දෙන එන්නත, මැහුම් දැමීම, තුවාල වෙලීමට දෙන එන්නත ලබා දී ඇත. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර තුවාලයේ ස්වභාවය පරීක්ෂා කිරිමට සුදුසු බව මම කල්පනා කළෙමි. එබැවින් මගේ සහායක වෛද්‍යවරයා සහ හෙදිය ඇමතුවෙමි.

“වහාම ඇගේ හිසේ එක්ස් රේ ඡායාරූපයක් අවශ්‍යයි”

දෙදෙනම හිස් සැලූහ.

මේ අතර සරළ ඇදුමකින් සැරසුන තරුණ යුවතියක් ඇද පාමුල  සිටගෙන සිටිනු මම දුටුවෙමි. සමහරවිට මා ඇයව කොහේදී හෝ දැක ඇත.

“ටයිබුන්ගෝ මගේ අම්මගේ තත්ත්වය” ඇය නතර වූවාය. ඇගේ හඩේ අව්‍යාජ බව පැහැදිළිව දක්නට ලැබිණි.

“අපි උත්සාහ කරමු. අපට පුළුවන්‍ දෙයක් කරමු” මම සුපුරුදු පිළිතුරු දුනිමි.

මගේ කාමරයට ගිය මම ඇද ඉහපත පරීක්ෂා කළෙමි. එහෙත් මම රෝගියාගේ නම නොවිමසුවෙමි. එය දුටු විගසම මම ගොළුවිමි. නම ඉනේ ලෙයිපාකලෙයි - පදිංචිය - තංගමෙයිබාන්ද් - වයස 55 යි - මගේ මනස නැමැති නිල් ආකාශයේ තාරකාවක් දැල්වී ක්‍රමයෙන් දීප්තියෙන් බබලන්නට විය. ඒ ඇයද?

“නර්ස් අර තරුණියට කතා කරන්න” මම පෑන පැත්තකට දමමින් කලබලයෙන් කීවෙමි.

මදවේලාවක් අදිමදි කළ හෙදිය අනතුරුව පිටව ගියාය. මොහොතකින් ඇය යුවතියත් ඇදගෙන ආපසු පැමිණියාය. යුවතිය සැකයෙන් සහ බියෙන් යුතුව මා ඉදිරිපිට සිට ගත්තාය.

“ඉමෙම්මා ඔයාට සොයුරු සොයුරියො කී දෙනක් ඉන්නව ද?”

“අපි දෙන්නයි, මල්ලියි මායි” ඇය හිස පහත් කරගෙන පිළිතුරු දුන්නාය.

“ඔබගේ මල්ලිගෙ නම?”

“මංගලම්, එයා ජීවන් නමින් තමයි ප්‍රසිද්ධ” පැහැදිලිවම එම පිරිම ළමයාගේ නම ජීවන්. මම මද වේලාවක් සිතිවිලිවල ගිලෙමින් සිටියෙමි. පියවි තත්ත්වයට පිවිසි විගසම යුවතිය මා ඉදිරියේ සිටගෙන සිටිනු දුටුවෙමි.

“ඔයාට දැන් යන්න පුළුවන් ඉබෙම්මා” තවත් ප්‍රශ්න නොඅසාම මම ඇයට යාමට ඉඩ ඇරියෙමි.

ඇය පිටව ගිය පසු මම අවශ්‍ය සටහන් යොදා ඇද ඉහපත හෙදියට දුනිමි.

“මේක වහාම එක්ස් රේ දෙපාර්තමේන්තුවට යවන්න ඉක්මන් කරන්න”

“ඒත් ඩොක්ටර්” ඕ අදිමදි කලාය

“ඒත් මොකද?”

“ඊයෙ එක්ස්රේ ෆිල්ම් තිබුනෙ නැහැ. මට ඒ ගැන කියන්න අමතක වුනා”

මා තුළ කෝපයක් හට ගත්තේය. මේ රෝහලට සිදුව ඇත්තේ කුමක්ද? අද එක්ස්රේ ෆිල්ම් නැහැ. හෙට විදුලිය නැහැ. අනිත් දවසේ යන්ත්‍රය අබලන් කියයි. ඊටත් පස්සේ දවසේ?

“එක්ස්රේ ෆිල්ම් තිබුනත් නැතත් මට කමක් නැහැ. ඒ අයට කියන්න මේක කෙරෙන්නම ඕනයි කියලා”

ඊලග මොහොතේ මම ප්‍රකෘති තත්ත්වයට පත්විමි. රෝහලේ අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබද අසරණ හෙදියට කඩා පැන මගේ කෝපය සිට කරන්නේ ඇයි? ගිහින් බලන්න. මමකේන්ති ගත්තේ නර්ස් එක්ක නෙවෙයි. රෝහල් කළමනාකාරතිව්යේ ඉන්න කළමනාකරණ විශේෂඥයො කියල හිතාගෙන ඉන්න ලොකු මිනිස්සුත් එක්ක” මේ රෝගියා පිළිබද මගේ අති විශේෂ සැළකිල්ල දුටු වෛද්‍ය විනෝද් කුතුහලයට පත්විය.

“තමෝ ඔබතුමා දන්නවද මේ වයසක ගැහැණිය ගැන?” මා පිළිතුරු දීමට පෙර හෙදිය කතා කළා.

“සර්ගේ නෑදෑ කෙනෙක්ද?”

“හ්ම් නෑදෑයො හ්ම්”

මම එවකට ශිෂ්‍යයකු විමි.

අපේ පාසල අසළ පාර අයිනේ පිදුරු සෙවිළි කළ කුඩා තේ කඩයක් විය. වෙනත් තේ කඩ නොතිබූ බැවින් එය අප නිතර ආ ගිය තැනක් බවට පත්විය. සමහර අවස්ථාවල ගුරුවරු පවා එහි පැමිණියහ. තේ කඩය පවත්වාගෙන ගිය ඉනේ ලෙයිපාකලෙයි අප කාගේත් නැන්දා විය. ඉනේ නැන්දා. ඉනේ නැන්දා තුල කලාතුරකින් ඇතිවන ගුණාංග විය. ඇය කිසිවිටෙකත් කෝප නොවූවාය. සෑම ශිෂ්‍යයෙක්ම ඉන් ප්‍රයෝජන ලැබීය. බෙරු සහ පොකාරා ආහාරයට ගෙන තේ පානය කර පිටව යන අප ඉනේ නැන්දේ අපි වෙන දවසක ගෙවන්නම් යනුවෙන් පවසමු. ඇය එවිට මෙලෙස කියන්නීය. “ඔව් ඔව් අමතක කරන්න එපා කවුරුන් ණයට ගත්තාද? ණයට ගත්තේ මොනවාද? යන සියල්ල ඇගේ මතකයේ රැදී තිබිණ. ඇගේ කාරුණික භාවය නිසා බොහෝ සිසුහු මුදල් ගෙවූහ. ඇය තමාගේ දරුවන්ට මෙන් අපට දැනමුතුකම් දුන්නාය. අපරාධකාරයෝ වගේ හැසිරෙන්න එපා. හොදට ඉගෙන ගන්න. ස්වොත්සාහයෙන් දියුණු වෙන්න බලන්න. නරක ආශ්‍රයෙන් ඈත්වෙන්න. “කෙතරම් දගකාර ශිෂ්‍යයෙකු වුවුත් ඇය ඉදිරියේ සුවච කීකරු ළමයෙක් බවට පත්වෙන්නේය.

මානිපූර් දේශපාලන බල අරගලය ඉතා බලවත්ව පැවති කාලයයි ඒ. ප්‍රචාරක කටයුතු නිසා අප වැනි ශිෂ්‍ය නායකයන්ට සිරබාරයට පත්වීමට ද සිදුවිය. අපව මුදා හැරි විගසම ඉනේ නැන්දා මෙස් පැවසුවාය. “ළමයිනේ ඔබලා දේශපාලනය කළාට කමක් නැහැ. ඒත් අධ්‍යාපන කටයුතු අතපසු කරන්න එපා. හොදට ඉගෙන ගන්න. දේශපාලනය විතරක් කළොත් නුඹලාට කවුරුවත් ගරු කරන්නේ නැහැ”

“ඇගේ කුඩා පුත්‍රයා කලාතුරකින් තේ කඩයට පැමිණෙයි. ඒ අවස්ථාවල මෙසේ කීවාය. ඔබලා හිතනවද මගෙ පුතා ඉගෙන ගන්න හොදයි කියලා. මම බඩගින්නේ හිටියත් මට අවශ්‍ය පුතාට ඉහළටම උගන්වන්න.”

තම වයසට වඩා මේරූ කුඩා දරුවාට තම පාඨ ග්‍රන්ථවල කවි කටපාඩමින් කියවිය හැකිවිය. හේ අප ඉදිරියේ එම කවි අපූරුවට ගායනා කළේය. ප්‍රියමනාප දරුවෙක් වූ ඔහු පිළිබද අපි සියල්ලෝම දැන සිටියෙමු. තමාට දියණියක් ද සිටින බව ඉනේ නැන්දා අප සමග කීවාය. ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය. එහෙත් අපි ඇයව තේ කඩයේ දී කිසිදිනක නොදුටුවෙමු.

අපේ මැට්‍රිකියුලේෂන් විභාගය සම්පූර්ණ කිරීමෙන් බොහෝ කලකට පසුද අප සහ ඉනේ නැන්දා අතර වූ බැදිම කඩා දැමිය නොහැකිවිය. නිතරම අපි එක්ව ඇගේ තේ කඩය වෙත ගියෙමු. අපි එහිදී පොකාරා පිගානක් අනුභව කොට තේ කෝප්පයක් තොලගාමින් පැය ගණන් ගත කළෙමු.

විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිඵල අප අතර දුෂ්කර ගැටලු මතු කළේය. මා අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා සාර්ථක ප්‍රතිඵල මට ලැබී තිබිණි. වෛද්‍ය විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම තෝරා ගැනීමට මට අවස්ථාව ලැබිණි. මගේ දෙමාපියන්ගේ කැමැත්ත වූයේ දෙවැන්නටය. එවිට මට මගේම මෝටර් රථයක් සහ ගොඩනැගිල්ලක් ඉදි කර ගත හැකිය. එහෙත් මගේ දේශපාලන අරමුණ ඊට වඩා ගැඹුරු විය. මට අවශ්‍ය වූයේ නීතිඥයකු හේ කථිකාචාර්යවරයකු වීමටයි. මේ දෙකින් එකක්වත් මගේ දේශපාලන අරමුණවලට බාධාවක් නොවේ.

එක් දිනක ‍තේ පානය කරමින් සිටිය දී මම මගේ ගැටලුව ඉනේ නැන්දාට කීවෙමි. ඇය සරල විසදුමක් සතුටින් ඉදිරිපත් කළාය. “අපි ලොතරැයියක් අදිමු. ඒ අනුව තෝරා ගනිමු. එකගද?”

“ අපූරු අදහසක්” අනතුරුව ලොතරැයියෙන් මා අකමැති දෙකෙන් එකක් ජයග්‍රහණය කළේය. මට වෛද්‍ය විද්‍යාව තෝරා ගැනීමට සිදුවීම තමා ලත් ජයග්‍රහණයක් ලෙස සළකමින් ඉනේ නැන්දා සතුටුවූවාය. “මම ප්‍රාර්ථනා කළ විදියටම සිද්ධ වුනා. වෛද්‍ය වෘත්තිය තමයි ඉතා හොද රෝගීන්ට සහ අසරණයන්ට සේවය කරන්න පුළවන් ඕ කීවාය.

මගේ සිත් වේදනාව දකිමින් ඕ හේතු දැක්වූවාය. “මෝඩ ළමයෝ දේශපාලනය තියෙන්නේ ධනවත් සමෘදිධිමත් අයට. ඔබ දුප්පත් මිනිහෙක්ගෙ පුත්‍රයෙක්. දේශපාලනයට යොමුවෙලා බඩගින්නෙ මියැදෙන්න ද කල්පනාව” මා දෙස තත්ත්පර කීපයක් කෙළින් බලා සිටි ඕ දිගටම කියාගෙන ගියාය. “හොදයි ඔබ දේශපාලනයට සම්බන්ධවුවත් වෛද්‍යවරයකුවීම ඊට බාධාවක් නෙවෙයි. ඔබට රජයේ රස්සාවක් හොයන්න අවශ්‍ය නැහැ. ගෙදරදීම රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔබට කවදාවත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැහැ.”

ඉනේ ලෙයිපාකලෙයි ගේ දිරිගැන්වීම මත මම වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට ගියෙමි.

ග්‍රීෂ්ම නිවාඩුවට මම ගෙදර ගිය විගසම ඉනේ ලෙයිපාකලෙයි ගේ තේ කඩය වෙත ගියෙමි. නගරයේ එම ප්‍රදේශයේ අලුත් ගොඩනැගිලි ඉදිවීමත් සමග සීග්‍රයෙන් වෙනස් වෙමින් පැවතිණ. ඉනේ නැන්දාගේ තේ කඩය බොහෝ සේ වෙනස් වී ඇත. කෙසේ වෙතත් මේ වෙනස බොහෝ අයගේ යහපතට හේතු වුවත් ඇගේ පැත්තෙන් එසේ නොවීය. ජරාවාසවූ තේ කඩය දැකීමෙන් මම කම්පනයට පත්විමි. බංකු කිලිටි සහ දූවිලි පිරුණු ඒවා විය. පාරිභෝගිකයන් ක්‍රමයෙන් අඩුවෙන බව පෙන්නුම් කරමින් අහුමුළුවල මකුළු දැල් බැදී තිබිණ. ඉනේ නැන්දා තේ කඩය පිරිසිදුව තබා ගැනීමට උනන්දු නොවන බව පැහැදිලිය.

“මේ මොකද? ඉනේ නැන්දෙ?” තේ කඩයතුලට පියවර තබමින් මම විමසුවෙමි. “මොනව කරන්නද? මේ කාලෙ කැරකෙන හැටි. කාටද ඊට විරුද්ධ වෙන්න පුළුවන්.”  පාර අනිත් පැත්තේ ඇති යෝධ ගොඩනැගිල්ල පෙන්වමින් ඇය කීවාය. යෝධ ගොඩනැගිල්ලේ නාම පුවරුවේ ඇති වචන ඈතට දිස්වේ.

නවීන ආපන ශාලාව සහ හෝටලය, ඉනේ නැන්දාගේ තේ කඩය මෙතරම් ඉක්මනින් පරිහානියට පත්වූයේ ඇයි ද යන්න මට වටහා ගත හැකිවිය.

ඊලග ග්‍රීෂ්ම නිවාඩුවේදී තේ කඩය නැරඹීමට යාමට මම අවස්ථාවක් සලසා ගතිමි. මෙවර ඉනේ නැන්දා සහ ඇගේ පුතා දහදිය පෙරාගෙන තේ කඩය කඩා බිද දමනු දක්නට ලැබිණි. ඒ වන විට ජිවන් ගැටවර වියේ පසුවූ තරුණයෙකු විය.

මා දුටු ඕ වැඩ නතර කර ඉදිරියට ආවාය. “ඉබුන්ගො කවදද ගෙදර ආවෙ?”

ඇය හදිසියේම මහලු වී ඇති බව මට පෙනි‍ණි. සුපුරුදු කාන්තිය විහිදුවන සිනාවේ සළකුණකුදු නොවීය.

තේ කඩේ අලුතින් හදනවද? ඉනේ නැන්දේ. මේ පාර වඩා හොදට එකක් හදන්න. මම යහපත් ප්‍රාර්ථනයකින් යුතුව උපදෙස් දුනිමි.

“ඒක කොයිතරම් දුරට ඇත්තවෙයිද? ඉබුන්ගෝ ඉනේ නැන්දා පැවසුවාය. ඔහෙට ආරංචි නැද්ද මට මේ ඉඩමෙන් පිටවෙන්න කියපු ආරංචිය. ඒකයි මේ තේ කඩය කඩල බිදල දමන්නෙ”

“ඒත් ඇයි?”

එහෙනම් ඔහෙ දන්නේ නැහැ. ඉබුන්ගෝ. ආණ්ඩුව කියනව නගරය අලංකාර ලෙස සංවර්ධනය කරන්න ඕනලු. ඒ නිසා ඒ අය පාර අයිනෙ තියෙන සේරම ඉඩම් කට්ටි සාප්පු දමන්න පුළුවන් අයට බෙදල දීල. ඒකයි අපට මේ ඉඩමෙන් පිටවෙන්න සිද්ධවුනේ.

වරක් නීතිඥයන් පිරිසක් සමග සිටිය දී මට අසන්නට ලැබුන කරුණු කීපයක් මම ඉනේ නැන්දාට කීවෙමි. “ඇයි ඉනේ නැන්දා  ඉඩම් කෑල්ලක් අල්ලගන්නේ නැත්තෙ. අවුරුදු දහයක් පහළොවක් හිටපු ඉඩමට අයිතිවාසිකම් කියන්න නැන්දට සම්පූර්ණ අයිතිය තියෙනවා මේ ඉඩමට වෙන කාටවත් එච්චර අයිතියික් නැහැ”

මගේ අවුරුදු දහය පහළොව අමතක කරල දාන්න ඔහෙ දන්නවද? ඉනම්මා ඉබේචා, පසුගිය අවුරුදු විස්සක් විසිපහක් විතර කාලක් නුග ගහ මුල හිටපු ඉනම්මා ඉබචා. ඇයවත් එතනින් එලවල දමලා. ඒක එහෙම තමයි බෙන්ගෝ. ඒ අයගේ ප්‍රාර්ථනාව දුප්පත්කම තුරන් කිරීමලු. මද විරාමයකින් පසු ඕ නැවතත් කතා කළාය. රුපියල් දහදහසක් දෙනවයි කියනවා. කල්පනා කරල බලන්න දහදාහක්.” දිග සුසුමක් ඇගේ තොලගින් ගිලිහිණි. ඉනේ ලෙයිපාකලෙයිට සිදුව ඇති පීඩාව වෙනුවෙන් සුසුම් හෙලීම හැරන්නට මට කළ හැකි කිසිවක් නොවීය. මේ රජයේ සංවර්ධන වැඩවල ස්වභාවයයි. දුප්පත්කම තුරන්කරලීමේ වැඩවල ස්වභාවයයි.

සතියකට හෝ දෙකකට පමණ පසු ඉනේ නැන්දා පාඕනා කඩවීදියේ සමුපකාර තොග ගබඩාව ඉදිරියේ අනෙක් කාන්තාවන් සහ ළමයින් සමග පෝලිමේ සිටිනු මම දුටුවෙමි.

හිරි පොද වැටේ. එහෙත් ඒ පිළිබද කිසවෙක් නොතකති. රජයේ පාලන මිලට සීනි කිලෝ එකක් හෝ දෙකක් ලබා ගැනීම සදහා ගෙන යන නොනවතින අරගලයයි ඒ. ඔවුන්ගේ පෝලිම වැස්සට කඩා දැමිය නොහැකිවා‍ මෙන්ම දැඩි හිරු රැස්වලටද නතර කළ නොහැකි ය. හැන්දෑව හතර පහ වන විට ඔව්හු තමන් ලබාගත් සීනි කිලෝ කිහිපය විශාල සාප්පු හෝ වෙළදුන්ට විකුණා රුපියල් කිහිපයක ලාභයක් ලබති. අනතුරුව රුපියල් දෙක තුනක සහල් මිලිට ගෙන රාත්‍රිය ගත කිරිමට නිවෙස් බලා යති.

මගේ නිවාඩුව අවසානයේ එක්දිනක් මට ඉනේ නැන්දා මහපාරේ දී මුණ ගැසිණි. ඇය හිස මත පෙට්ටියක් තබාගෙන යයි. බයිසිකලය නතර කළ මම ඇය සමග කතා කළෙමි.

“ඉනේ නැන්දේ මොනවද උස්සගෙන යන්නේ?”

ඕ නතර වූවාය. “හා මේ ඔහෙද? මම මේ හිස් බෝතල් එකතු කරනවා ඒත් ඔහෙ කොහෙද ගියෙ?

මා වෙත එල්ල කළ ප්‍රශ්නයට පිළිතුරු නොදී මම ඇගේ තොරතුරු විමසීමට උනන්දුවිමි.

“සීනි ගන්න සමුපකාරෙට යන එක නතර කළා ද?” මම විමසුවෙමු.

“නැහැ ඉබුන්ගෝ. මං වගෙ නාකි ගෑණියෙකුට ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක තරුණ ගෑනුන්ගෙ වැඩක්”

මට වටහාගත හැකිවිය. සීනි සළාක ක්‍රමයට බෙදා හැරීමේදී සිදුවන අක්‍රමිකතා සහ අයථා ගනුදෙනු පිළිබද මිනිසුන් අතර කෙරෙන කතා බහ සහ ඒ පිළිබද පුවත්පත්වල පළවූ වාර්තා ද මගේ මතකයට නැගිණි. එහෙත් මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය එම මහජන පැමිණිලිවල රජය කන්දිය යුතු වුවත් ඔවුන් නෑසූ කනින් සිටීමයි. අප කතා කරමින් සිටින අතර කොහේදෝ සිට පැමිණි මෝටර් සයිකලයක් ඉනේ නැන්දාගේ ඇගේ ගෑවෙමින් නොගෑවෙමින් පසුකර ගියේය. වාසානාවකට මෙන් මම ඇයව අල්ලාගත් බැවින් ඇයට කරදරයක් නොවීය. එහෙත් ඇය එකතු කර තිබූ බෝතල් සියල්ල කුඩු පට්ටම් වී කොන්ක්‍රීට් පාරේ විසිර ගොස් ඇත. මෝටර් බයිසිකලයේ ගමන් කළ තරුණයෝ තිදෙනා ආපසු හැරී බැලීමටවත් උනන්දුවක් නොදක්වා  පැමිණි වේගයෙන්ම යන්නට ගියහ. කෝපය සහ අසරණකමමට ද දැනිණ. එම තරුණයන්ගේ අප නොදන්නා දෙමාපියන්ට සාප කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදීම හැරෙන්නට මට කල හැකි දෙයක් නොවීය. ඉනේ නැන්දාට ඇගේ මූල ධනයත් ලාභයත් දෙකම අහිමිවිය.

එම සිද්ධියෙන් පසු බොහෝ කාලයක්ම මට ඉනේ නැන්දා හමුනොවීය. එහෙත් මීට වසර ගණනාවකට පෙර මා ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදීරීම සදහා පිටරට යාමට සූදානමින් සිටි අවස්ථාවක මට අහම්බෙන් ඇය මුණ ගැසිණ. ඒ අවස්ථාවේ ඇය ලම්පාල් වෛද්‍ය විද්‍යලායේ අලුතින් ඉදිකරන ගොඩනැගිලි පරිශ්‍රයේ ගල් ඇදීමේ කම්කරු ලියක ලෙස සේවය කරමින් සිටියාය. මට ක්වරම ඇයව හදුනාගත නොහැකි විය. ඇය බෙහෙවින් වෙනස් වී ඇත. ඇගේ කම්මුල් වල ගැසී ඇති මුහුණ රැලි වැටී ඇත.

යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී කර පටියක් ද පැළද සිටින මා දැක්මෙන් ඇය තිගැස්සිණි. මා හදුනාගත් විගස ඇය දුබල සිනාවක් පාමින් කතා කළාය. “ඔව් ඒ මම තමයි. ඔහෙ ඉබුන්ගෝ, දැන් වැඩ කරනවද?”

“ඔව් මට රස්සාවක් ලැබුනා මෙහෙ”

“මට හරිම සතුටුයි. ඔහෙ මෙහෙ වැඩ කරන නිසා මට අසනීපයක් වුවත් බයක් නැහැ. ඇත්තටම මට හරි සතුටුයි”

ඇගේ මුහුණ ආලෝකමත් වූ අතර බොහෝ කලකට පසු කෙටි වෙලාවකට හෝ ඇය සතුටුවනු පෙනිණි.

එක්ස් රේ ඡායාරූපය මගේ සැකය තහවුරු කළේය. මහජන කෝපයට හේතුවන පරිදි තුවාල තුළ ගල් සහ වීදුරු කැබලි තිබිය දී මැහුම් දමා ඇති වෛද්‍යවරු මේ අන්දමින් නොසැළකිල්ලෙන් කටයුතු කර ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ. වෛද්‍යවරු වන අපි අමුතුම කොටසක් වෙමු. අසනීපයෙන් පසුවන සහ තුවාල ලබන අය අචේතනික වස්තූන් ලෙස සලකන්නේ ඇයි?

මම වහාම ඉනේ නැන්දාව ශල්‍යාගාරය තුළට ගතිමි. මම මැහුම් කපා තුවාලය නැවත විවෘත කළෙමි. කුඩා ගල් කැබලි දෙකක් ඉවතට ගෙන යළි මැහුම් දැමුවෙමි.

මට ඇය ගැන කණගාටුවක් ඇතිවිය. පෙළපාලිකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමේදී මේ අහිංසක කාන්තාව තුවාල ලබා ඇත.

ඇය ටෙරිමාල් මෙරිලාල් ඉදිකිරීම් වැඩ බිමේ සේවය කරමින් සිටින්නට ඇත. එම අවස්ථාවේ කලබල ඇතිවූ බව වටහාගෙන එම ස්ථානයෙන් පලා නොගියේ ඇයි? ඇයට ඒ සදහා ප්‍රමාණවත් කාලයක් නොතිබිණි ද?

ඉනේ නැන්දා කෙරෙහි මා දැක්වූ දැඩි උනන්දුව නිසා අනෙකුත් වෛද්‍යවරු සහ‍ හෙදියන් ද ඇයට ප්‍රතිකාර කිරීමට උනන්දු වූහ. ඔව්හු ඇයට ලබාදීමට වැඩි වටිනාකමින් යුත් බෙහෙත් වර්ග සොයා දුන්හ. සමාන්‍යයෙන් වෛද්‍යවරු එවැනි බෙහෙත් වර්ග රෝහලේ නැති බව අනෙක් රෝගීන්ට පවසති. මේ සාමූහික ප්‍රයත්නය නිසා ඉනේ නැන්දා ඉක්මනින් සුවපත් විය.

ඇයට කතා කිරිමට හැකි තරම් සුවපත් වූ පසු මම ඇයට මෙලෙස කීවෙමි.

“මීට පස්සේ පෙළපාලියක සද්දේ ඇහෙනකොට එතනින් පැනල දුවන්න”

“ඇයි?”

ඇය මවිතයෙන් විමසුවාය.

ඔල්මාදංකාරයො පෙළපාලියෙ යනවා. ඔබලා වගේ අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙනවා.

ඔබතුමාල වගේ අයට ඈත්වෙලා ඉන්න පුළුවන්. ඒත් අපට බැහැ. මටත් පෙළපාලියට සම්බන්ධවෙලා ඉදිරියට යන්න සිද්ධ වුනා. මේ වෙස්වන තත්ත්වය හමුවේ අපට ජීවත්වෙන්න ක්‍රමයක් නැහැ. භාණ්ඩ මිල රොකට් එකක වේගෙන් ඉහළ යනවා. ජිවත්වෙන්න තියෙන ක්‍රම සීමාවෙලා. කාගෙ හරි සපත්තු ලොවකෑව නම් අපටත් රුපියල් පන්දහක් දහදහක් හම්බ කර ගත්ත හැකි. දුප්පත් අපි ජීවත්වෙන්නේ කොහොම ද? බඩගින්න මරණය නම් අපිත් ඒ පෙළපාලියට එකතුවෙනවා.”

ඉනේ නැන්දාගේ වචන අපේක්ෂා භංගත්වයට පත්වූ කෙනකුගේ හඩකි. ඇගේ කටහඩ වරින්වර බිදෙන්නට විය. එතරම් බරපතල කාරණා ඉනේ නැන්දා සරල අන්දමින් විස්තර කරන අයුරු දැක මම මවිත විමි. ඇය කෙතරම් වෙනස්වී සිටි ද? එය සිදුවූයේ කෙසේ ද?

මාතෘකාව වෙනස් කිරීමේ අරමුණින් මම ඇගෙන් මෙලෙස විමසුවෙමි. “මම දැක්කෙ නැහැ ජීවන් ඔබව බලන්න එකපාරක්වත් ආවා? එයා කොහෙද?”

“හිරගෙදර එදා සිද්ධියට හිරේට ගත්ත අය අතර එයත් එක්කෙනක්”

ඇය කිසිදු කණගාටුවකින් තොරව ඒ වෙනුවට ආඩම්බරයකින් යුතුව කීවාය.

“එයා අධ්‍යාපනය නතර කෙරුවද?”

“ඇති වැඩේ මොකක්ද? බොහොම දුක් විදල සමහර දවස්වල බඩගින්නේ ඉදල බී ඒ උපාධිය නම් සම්පූර්ණ කළා.  අවුරුදු තුන හතරක් ම පුංචි රස්සාවක්වත් හොයා ගන්න උත්සාහ කළා. ඇමැතිවරුන්ට දොළ පිදේනි දෙන්නේ නැතිව කිසිම වැඩක් කරගන්න බැහැ. පන්දාහ දහදාහ දෙන්න ඕනි. මම කොහෙන්ද සල්ලි හොයන්නේ ඇය හිස සොලවමින් දිගටම කතා කළාය. ඔහෙ දන්නවද මේ ආණ්ඩුව තියෙන්නේ ධනවතුන්ට, ධනවතුන්ගේ දේපල ආරක්ෂා කරන්න ධනවතුන්ට තව තවත් හම්බකරගන්න ඉඩ සලස්වන්න. ඒත් ඒක හුග කලක් පවතින එකක් නැහැ. දුප්පත් මහජනතාව නැගි සිටීවි.  ඒ දවස වැඩි ඈතක නෙවෙයි. එය ප්‍රත්‍යක්ෂව පෙනිණි. ග්‍රීෂ්ම සෘතුවේ දැඩි උණුසුම නොතකා ලෙයිපාකලෙයි මල් පිපෙනු ඇත. තවදුරටත් ඔවුන්ව පාගාගෙන සිටීමට නොහැකිවනු ඇත. එය හෙට විය හැකිය. ඊට පසුදිනක විය හැකිය. එහෙත් එය පෙති විහිදා පුබුදනු ඇත.

“ඩොක්ටර්  කෝල් එකක්”

හෙදිය මා වෙත පැමිණ කීවාය අඩනින්දේ සිහින දකිමින් සිටි මම දුරකථනය වෙත ගොස් එය ගතිමි.

වෛද්‍ය අධිකාරිවරයා ඔහු හමුවට පැමිණෙන ලෙස මට දැන්විය.

මම ඔහුගේ කාමරයට ගියෙමි. පොලිස් නිලධාරියෙකු අසුන් ගෙන සිටි මා වාඩිගත් විගසම වෛද්‍ය අධිකාරිවරයා මා ඇමතුවේය.

“ඩොක්ටර්ගේ වාට්ටුවේ ඉන්න ඉනේ ලෙයිපාකලෙයි කියන ලෙඩාව නිදහස් කරන්න පුලුවන්ද?”

“ඒත් ඇය තවත් දවස් කීපයක් හිටියොත් හොදයි සර්. ඇයට ශක්තිය ලැබෙන තුරු” මම අහිංසක ලෙස කීවෙමි.

“අපි ඇයව නිදහස් කරමු. ඇයට විරුද්ධව වරෙන්තුවක් තියෙනවා. මේ ඇවිත් ඉන්නෙ පොලිසියෙන්” පොලිස් නිලධාරියා මා වෙත හැරුණි.

“මං හිතන්නෙ ඇය තවත් දවස් කීපයක් රෝහලේ හිටියොත් හොදයි” මම විරුද්ධත්වය පළකළෙමි.

ඇයට චෝදනා රාශියක් තියෙනවා. බලහත්කාරයෙන් ඇතුළුවීම, මංකොල්ල කෑම, දේපල ගිනි තැබීම, කුමන්ත්‍රණය කිරීම, බලහත්කාරයන් ඇතුළුවීම, මංකොල්ල කෑම, දේපල ගිනි තැබීම, කුමන්ත්‍රණය කිරීම, ඉනේ ලෙයිපාකලෙයිට එරෙහිව? මොන තරම් දරුණු විහිළුවක්ද?

මේ නීතිය පිළිබද ගැටළුවක් වෛද්‍ය අධිකාරිවරයා පැවසුවේ මුළු රටේම නීතිය සහ සාමය පවත්වාගෙන යාමේ වගකීම තමා සතුව පවතින්නාක් මෙනි. “පොලිසියෙන් අද අනිත් ලෙඩ්ඩු දෙන්නවම ගෙනියනවා”

කලින්ම තීරණයක් ගෙන ඇති බව මට පෙනී ගියේය. රෝගියාව මුදා හැරීමට මා කෙතරම් විරුද්ධ වුවත් මගේ ප්‍රධානියා ඔහුගේ උසස්වීම ලබා ගැනීමට අමාත්‍යවරයාගේ ප්‍රසාදය දිනාගැනීම සදහා පොලීසියේ උපදෙස් ඉටු කරනු ඇත. මම මගේ හෘද සාක්ෂියට එරෙහිව රෝගියා මුදා හැරීමේ ලියිවිලිවලට අත්සන් කළෙමි.

ඇය ඉදිරියේ සිටගෙන මම ප්‍රවෘත්තිය ඇයට කීවෙමි. “ඉනේ නැන්දෙ දැන් යන්න පුළුවනි” ඇයට සියල්ල කිව යුතුයැයි මම දෙගිඩියාවෙන් පසුවිමි. එහෙත් ඕ ඉක්මන් වූවාය. “මෙච්චර ඉක්මනට” අනතුරුව ඇය සිනාසෙමින් කතා කළාය. “හොදයි එහෙම නම් මම අද ඉදල හිරගෙදර විවේක ගන්නවා” මදක් පසුබෑ මම කතා කළෙමි. “කොහොමද දන්නේ ඉනේ නැන්දෙ?”

“ඊයෙ අහන්න ලැබුනා” ඇගේ මුහුණේ පසුතැවීමක් නැත. ගෙවී යන හැම මොහොතකම ඇගේ සිනා මුහුණ වර්ධනය විය.

ඉක්මනින්ම අවශ්‍ය ලියකියවිලිවල කටයුතු සම්පූර්ණ කෙරිණ. ඉනේ ලෙයිපාකලෙයි අනෙකුත් රෝගීන්ගෙන් සමුගත්තාය. තම දියණියගේ වාරුවෙන් ඇය පිටතට ආවාය. ඇය කෙළින්ම මා ඇමතුවාය. “ඉබුන්ගෝ ආයුබෝවන්”.

ඊට පිළිතුරු වශයෙන් මම කිසිවක් නොකීවෙමි. එහෙත් මම ඉනේ නැන්දා පසුපසින් තරමක් ඈතට වී ගමන් කළෙමි.

පොලිස් රථයක් රෝහලේ දොරටුව ඉදිරිපිට නතර කර ඇත. අනිත් රෝගීන් දෙදෙනා දැනටමත් දොරටුව ඉදිරියට පැමිණ සිටිති. ඉනේ ලෙයිපාකලෙයි පැමිණෙනු දුටු ඔව්හු ඇය එනතුරු නතර වූහ.

ඇය ඔවුන් සිටි පැත්තට යනවිට කොහෙන්දෝ සිට මතුවූ පිරිමි ළමයි දෙදෙනෙකු සහ ගැහැණු ළමයෙක් රෝගීන් තිදෙනාට මල්මාල පළදවා පිළිගත්හ. ඊළග මොහොතේ සටන් පාඨවල හඩ දෝංකාර දෙන්නට විය. විප්ලවයට ජයවේවා!

මගේ සිරුරේ හිරිගඩු පිපිණ. ශිෂ්‍ය‍යකුව සිටි කාලයේ සිටම පැවති බොහෝ කාලයක් යටපත්ව තිබූ මගේ හැගීම් නැවත පණ ගැන්විණි.

විප්ලවයට ජයවේවා!

සිංහල අනුවාදය බොබී ජී. බොතේජු. නව යුගය සගරාවෙන් උපුටා ගැණුනි.

යථාර්ථය

ඝනව වැඩී පැතිරී තිබූ රුක් ගොමු අතරින් විහිදී එන පැට්රෝල් මැක්ස් ආලෝකය ඉලක්ක කරගෙන ජයන්තන් සහ තංගරාජා ඉදිරියට පා තැබූහ. උඩැක්කිවල හඬ එන්න එන්නම වඩාත් පැහැදිලි ලෙස ශ්‍රවණය විය. ඡායාවන් ලෙස දිස්වන රුව මිනිසුන්ගේ බැව් අවබෝධ කරගත හැකි තරම් සමීපයට ඔවුහු පැමිණ සිටියහ. ජයන්තන් තංගරාජාට සමීප වී සිය දකුණතේ ඇඟිලි සමග වෙලාත්තතේය. ටිකින් ටික එම බැඳීම ශක්තිමත් විය. දෙදෙනා එහි ආසන්නයටම පැමිණියහ.

ඇටුවන් බසිමින් මහත් ප්‍රදේශයක් පුරා තම අණසක පතුරුවාගෙන සිටි ඒ විශාල නුග රුක යට ගැහැනුන්, පිරිමින්, ළමා ළපටින් දෑත් එක්කරගෙන හිස නමාගෙන සිටිති. ඔවුන් සියල්ලෝම කිසියම් අදෘෂ්‍යමාන බලවේගයකට නතුවී සිටින්නා සේය. ජයන්තන්ගේ පාදවලට කුමක්දෝ ලිස්සන සුළු යමක් පෑගුන එය සරසර හඬනගමින් වියලී කොළ අතරින් ඇදීගියේය. සැබවින්ම එය කුමක් විය හැකිද?

“මේවයි ගැරඬියො ඉන්නවා”

තංගරාජා එසේ පැවසීය

ඒ පටු වැලි පාර ඔස්සේ ඔවුහු තවදුරටත් ඉදිරියට පා තබා ගිය නමත් ජයන්තන්ගේ දෙපතුල් මුළුමනින්ම පොළොවේ ගැටුණේ නැත. ඔහු දෑතින්ම තංගරාජාගේ දකුණත අල්ලාගෙන සිටියේය.

මේ අමුත්තන් දෙදෙනාගේ සම්ප්‍රාප්තිය පිළිබඳව ඒ ස්ථානයේ සිටි පිරිසට කිසිදු හැඟීමක් නොවුණි. විභූති අළු තැටියක් ඇතැතිව සිටි කොළුවා ඔවුන්ව දුටුවේ ය. වටා කවාකාරව රැස්ව සිටි පිරිස අතරින් පිට වී ඔවුන් දෙදෙනා වෙතට පැමිණි ඒ කොළුවා දෙදෙනාගේම නළලේ අළු තැවරූහ. තංගරාජා කිසියම් මුදලක් ගෙන ඒ විභූති තැටියට දැම්මේය... කොළුවා නැවත කවය මැදට ගියේය.

පිරිස අතරින් තෙරපෙමින් ජයන්තන්වත් ඇදගෙන තංගරාජා ඉදිරියටම ගියේය. ඒ පිණිබිදු වැටෙන සීතල මොහොතේ පවා දහදිල වැගිරෙන නග්න උඩු කයින් යුත් මිනිසුන් දෙදෙනෙක් උඩැක්කි වයමින් සිටිති. මිටි තරබාරු සිරුරකින් ද තට්ට හිසකින් ද යුත් පූසාරි ඉතා ගොරහැඩි හඬින් ගායනාවක් කරයි. ඔහුගේ ගෙලේ නහර පිටතට නෙරා විත් තිබුණි. වම් අතේ දෙහි ගෙඩියකුත් දකුණු අතේ මන්ත්‍ර යෂ්ටියත් තබාගෙන හිස එක් පසෙකට ඇළකර දකුණු පාදය මදක් උස්සා වම් පාදයෙන් සිරුරේ මුළු බර උසුලාගෙන, උඩැක්කිවල තාලය අනුව මදක් ගත සොලවමින්, බුලත් කහට බැදුණු දත් පාමින් ඔහු නොකඩවා ගයයි. මේ දසුනෙන් අමුත්තන් දෙදෙනාගේ සිත තුළ එක්තරා බිය මුසු හැඟීමක් ජනිත කෙ‍රිණි. පූසාරිගේ ඉදිරියෙන් ශක්තිමත් සිරුරින් යුත් රූමත් කාන්තාවක් හිසකේ විහිදාගෙන ඔහුගේ ගීතයට සමගාමීව ආරූඪ බවක් පාමින් නටමින් සිටියාය. කොට හැට්ටයකින් ඇගේ තරබාරු සිරුරේ උඩ කොටස තදට සිරවී තිබුණි. පූසාරි විසින් ඉසින ලද මන්ත්‍ර ජපකළ දියරින් ඇගේ රත් පැහැ සිරුර තුළට තෙතබරිත ඇඳුම් ඇලී තිබූ අතර ශරීරාංග නෙරා විත් පැහැදිලිව දර්ශනය විය. පූසාරිගේ රේඛා මතුවුන අඳුරුවන් දෑස් යොමුව තිබුණේ ඒ දෙසටමය.

“මෑණියනේ පිංවත් නිර්මලවූ ඔබ වැඩියේ කොයි සිටදැයි කියනු මැනේ රාජිණියයි ඔබ අප වෙත හැමදාමත් ඔබ ආ මග අපටත් කියනු මැනේ මැණියනේ පිංවත් නිර්මල වූ. . .”

පූසාරි එසේ ගයන අතර කෙස් විහිදුවාගෙන නටමින් සිටි කාන්තාව හදිසියේම පැන ගොස් නුග ගස යට සිරකර තිබූ ත්‍රිශූලයක් ගෙන රැස්ව සිටයවුන් අතරට වැදුනාය. පිරිස වහා ඈත් වෙමින් ඇයට ඉඩ දුන්නෝය. වැට අයිනේ නුග ගසේ මුලක් අල්ලාගෙන සිටි තරුණයකු කෙස් වැටියෙන් අල්ලා ඇද ගෙන ගියාය. මහත් කලබලයට පත් වූ පිරිස අතර කසුකුසුවක් පැතිර ගියේය.

“කන්දවනම් අහුවුනා. අද නම් මෑණියෝ ලේසියෙන් අත්හරින එකක් නෑ”

“මම ඔය ටික කලිනුත් කිව්ව. ඔය කොල්ලා කරන නොසණ්ඩාල වැඩ මෑණියන්ට කොහොම හරි අහුවෙන බව මම නම් සහසුද්දෙන් දන්නවා.”

“කියල වැඩක් නෑ සිවලිංග අයියේ රක්ෂාවක් කරල හම්බ කරන මිනිහෙක් නම් අරක්කු ටිකක් බිව්වට වරදක් නෑ. ඒත් තමන්ගෙ ප්‍රමාණයට වෙන්න ඕන. එය කන්දවනම් අරක්කු දිවේ තියන්නේ නැතිව නිදි පැදුරෙන් නැගිටින්නේ නෑ. බීල ඇවිල්ල අර අසරණ ගෑනියෙකුට දෙන වදයක්. අම්මප මනුස්සයෙකුට බලන් ඉන්න බෑ.”

“ඒක තමයි මෑණියො මිනිහව අල්ල ගත්තෙ. ඔය ගමන නම් මිනිහ හරි මාර්ගයට ඒවි.”

“මිනිහ සති පහක් හයක් තිස්සේ මේ පැත්තෙ දකින්න හිටියෙ නෑ. මිනිස්සුන්ගෙන් හැංගිලා බේරුනාට දෙවියන්ගෙන් හැංගිලා බේරෙන්න බෑ. මෙතනට අද ඇවිල්ල මාට්ටු වුනේ ඒ නිසා.”

කන්දවනම් ජන සමූහය මධ්‍යයේ හිස නමාගෙන සිටියේ ය. ඔහු වටා ත්‍රිශූලය තමාට සිතැගි ලෙස කරකවමින් දෑත්හි පැළදි ලෝකඩ ගිගිරි වළලු සළ හඩ නන්වමින් ඈ නටන්නට වූවාය. උඩැක්කි දෙකේ හඩ ද ඉහළ නැඟුණි. පූසාරි දකුණතේ වූ දෙහි ගෙඩිය වරින් වර උඩට ඔසවා මිරිකමින් උච්ච ස්වරයෙන් ගායනා කළ අතර ඇයගේ නැටුම ද තවත් වේගවත් විය.

“මෑණියන් වහන්ස ඔබ වහන්සේ තමයි දැන් මට පිහිට වෙන්න ඉන්නෙ. මගේ මිනිහට අවවාද කරලා හොඳ මිනිහෙක් කරල දෙන්න මෑණියනේ.” පිරිස අතරේ සිටි කන්දවනම්ගේ බිරිඳ මුව අයා ප්‍රාර්ථනා කළාය. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණි.

“ඒයි. . . කන්දවනම්”

ත්‍රිශූලය බිමට තදකරමින් මෑණියෝ ඔහුව ඇමතූහ. ඔහු නිහඩවම සිටියේය.

“ ඒයි . . . මම කතා කරන කොට කතා නොකර ඉන්න උඹට මොන බලයක්ද බොල තියෙන්නේ?

ඇගේ හඬ උඩැක්කි හඩ ද ඉක්මවා ගියේය.

“ඇයි මෑණියන් වහන්ස?”

කන්දවනම් නමාගත් හිස නොඔසවාම ප්‍රශ්න කළේය.

“ආ අන්න එහෙම වරෙන්. උඹ මීට පස්සේ ‍බොනවද? හ්ම් කියාපිය! උඹ මීට පස්සෙත් බොනවද?”

මද නිහැඩියවකට පසු ඔහු අධිෂ්ඨානශීලී හඬින් පිළිතුරු දුන්නේය.

“නෑ මෑණියන් වහන්ස මීට පස්සේ මම බොන්නෙම නෑ” ඈ විභූති තැටිය අතේ තබාගෙන සිටින කොළුවා ලඟට ගොස් අතපිරෙන්නට විභූති ගෙන කන්දවනම්ගේ හිස් මුදුනේ සිට දෙපා දක්වා තැවරුවාය. ඔහුගේ පහළට නමාගෙන සිටි හිස ත්‍රිශූලයෙන් ඉහළට ඔසවා සිය දකුණත මුඛය අසලට ගෙනැවිත් ඉතිරිව තිබූ විභූති ටික ඔහුගේ මුඛයට අල්ල පිම්බාය.

“මීට පස්සේ බොන්නැද්ද ?”

“සත්තයි නෑ මෑණියන් වහන්ස”

ඇගේ කෙස් විහිදුවාලූ හිස මත තම දකුනත තබා කන්දවනම් ශපථ කළේය.

“ජයන්තන්, මේකත් එක්තරා මනෝ විද්‍යාත්මක ක්‍රමයක්. තංගරාජා ජයන්තන්ට පැවසීය.

“ඒ කියන්නෙ”

“මිනිස්සුන්ගෙ සිත් පිරිල තියෙන්නේ නොයෙක් සිතුවිලි කල්පනාවලින්. සිත ඒ සියල්ලෙන්ම මුදවල එක අරමුණකට ගන්න ඕන. ඒ වෙනුවෙන් සත්‍යවගේම බොරුව වුනත් යොදවන්න පුළුවන්. ඒ විදියට සිත තුළ නිදහස් හැඟීමක් ඇතිකරනව.

ඒ හැඟීම ආදරයෙන් හෝ විශ්වාසය තුළින් නැත්නම් බය කිරීම තුළින් වෙන්නත් පුළුවන්. එහෙම මෝහන තත්ත්වයක පවතින සිතක් තියෙන කෙනෙකුට මනෝ විද්‍යඥයො පවසන වචන ඉතාමත් පැහැදිලිව ඔහුගේ යටි සිතේ  ඒ කියන්නේ ‘සබ්කොන්ෂස් මයින්ඩ් එකේ’ ධාරණය වෙනව. ඒ වගේම තමයි. නෑ ඊටත් වඩා ගැඹුරින් යටි සිතේ ධාරණය වෙනව මේ වගේ විධානයක් දෙනකොට.

“ඒ කියන්නෙ “සෛකෝ අනාලිසිස්” මෙහේ පවතිනව. මීට පස්සේ මෙයා. . . නම මොකක්ද? ඕ . . කන්දවනම් මීට පස්සේ බොන්නෙම නෑ කියල සහතිකද? “සහතිකවම බොන්නේ නෑ” “ ඒ කියන්නෙ ලෝකේ ඉන්න හැම බේබද්දෙක්ම මෙහෙට එක්කගෙන ඇවිත් හොද මිනිහෙක් බවට පත්කරන්න පුළුවන් කියලද?

“මම එහෙම කියන්නේ නෑ. මේ හැම දෙයක්ම විශ්වාසය මත තමයි පවතින්නෙ. යන්ත්‍ර මන්ත්‍ර දේව මෑණියො ඒ මොන ජාතියක දෙවියෝ වුනත් කමක් නෑ. හදවත පිරිසදුව හිතේ කහටක් නැතුව මුළු හදින්ම විශ්වාස කරනවා නම් ඒ ඉෂ්ටාර්ථයක් වෙනවා. ඒ වගේ මුළු ලෝකෙම උනත් මිනිස්සුන්ගේ ඕනෑම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ විශ්වාසය මතම තමයි.”

“මොන විදියකින් හරි එක බේබදු මිනිහෙක්වත් හොඳ මිනිහෙක් කරන්න පුළුවන් වුණානේ. ඒ නිසා මම ඔයා කියන දේ පිළිගන්නම්. ඒක නරක පැත්තට නම් ඔය කිසි දෙයක් හරියන්නෙ නෑ.”

“ඇයි එහෙම කියන්නෙ?”

තංගරාජා ප්‍රශ්නයක් නැගුවේය.

“එහේ මිනිස්සු කිසිම දෙයක් ගැන විශ්වාසයක් නැති විදියටනේ හැසිරෙන්නෙ. තමන් ගැන විශ්වාසයක් නෑ. තමන් බැඳපු ගෑනි ගැන විශ්වාසයක් නෑ. තමන්ට ලැබුණු දරුවො ගැනවත් විශ්වාසයක් නෑ. ඒ දරුවො තමන්ට දාව ඉපදුනාද කියන එක පවා සමහර මිනිස්සුන්ට සැකයි. විශ්වාසයක් නැති එක තමයි වැඩි දෙනාගේ විශ්වාසය. හැබැයි එකම එක දෙයක් ගැන හැම දෙනාගෙම විශ්වාසයක් තියෙනවා.”

“තමන් හැර අනිත් හැම දෙනාම දරුනු පිස්සොය කියන එක. සමහරු ඉන්නවා කොහාමටත් සාමාන්‍ය ජනතාව පිස්සො රෑනක් කියලා විශ්වාස කරන” දෙදෙනා ඊළඟ දිනයේදී දහවල් “යාල් දේවියෙන්” කොළඹ යාම සඳහා සූදානම් වෙමින් සිටියෝය. පෙර දින රාත්‍රියේ අම්මාන් කෝවිලේදී වූ සිදුවීම සම්බන්ධ මතකය ගැමි පරිසරයට ආධුනිකයෙක් වූ ජයන්තන්ගේ සිතින් මුළුමනින්ම ඉවත් වුයේ නැත. ඔවුන්ට කෑම බැඳීම සඳහා කෙසෙල් කොළ කපන්නට ගිය තංගරාජාගේ මව අලුත් ආරංචියක් ද රැගෙන ආවාය.

“පුතා අර කන්දවනම් කොල්ලට බදු මුලාදෑනිය වත්ත ඇතුළෙදි හොඳටම තඩිබාල.”

“ඒ මොන වරදක් කළාටද?”

“පසු ගිය වාරෙ බදු මුදල් තාමත් ගෙවල නැහැයි කියල. කන්දවනම් දිය හිස්කරපු වෙල්ලාවත් අරගෙන ඇවිත් තියෙනව. මුලාදෑනි උන්නැහේ රැකගෙන ඉදල ගහල. ඒ බේබද්ද මොකුත් නොකර මුලාදෑනි උන්දැව යහතින් අතහැරිය කිව්වම පුදුමෙනුත් පුදුමයි.”

“දැන් කන්දවනම් බීම නවත්වල අම්මේ. ඊයෙ අම්මාන් කෝවිලේදී මෑණියො ඉදිරියෙ දිව්රුව බොන්නේ නෑ කියල. එයා ඊයේ ඉදල හොඳ මිනිහෙක් වෙච්ච නිසා බදු මුලාදෑනි උන්නැහේ අද භූතයෙක් වෙලා.

තංගරාජාත් ජයන්තනුත් උදෑසන එකොළහට පිටත්වන කොටිකාමම් බස්රිය අල්ලා ගැනීම සඳහා මාලි හන්දිය දෙසට යමින් සිටියහ. වදිරි හන්දිය පසුකර බේබි කඩේ අසලට එනවිට කන්දවනම් ලේ තැවරුණ පොල්ලක් ද අතැතිව උස් හඬින් අසැබි වචන කියමින් ඔවුන්ව පසුකරගෙන යන්නට විය. ඔහුගෙන් වහනය වූ මත්පැන්වල සැර දෙදෙනාගේ නාස් පුඩු පසාරු කරගෙන යන තරම්ය.

“තංගරාජා මනෝ විද්‍යාවෙ නියමයන් වුණත් පරිසරය විසින් ම තමයි නිර්මාණය කරන්නෙ”

ජයන්තන් ප්‍රකාශ කළේය.

දමිළ ලේඛක රාජ ශ්‍රී කාන්තන්ගේ කෙටිකතාවකි. ජී.ජී. සරත් විසින් පරිවර්තනය කරන ලද මෙම කෙටිකතාව නව යුගය මාසික සගරාවෙන් උපුටා ගත්තකි.

ගුණපාල

සැන්දෑ අදුර නිවස ගිලගන්නට සැරසෙන රාක්ෂයෙකු බදුය. අවට පැතිරුනේ දැඩි නිහඩතාවයකි. නිවසේ උන් කීප දෙනොගෙන එකා දෙන්නා බැහැරව යන අයුරු මා බලා සිටියේ හැගීමකින් තොරවය. සැබවින්ම මට දැනෙන්නේ පාළුවක්දැයි මම සිතන්නට උත්සාහ ගතිමි. මට පාළුවක් දැනෙන්නට මේ මරණය හේතුවක් නොවේ.