සැන්දෑ අදුර නිවස ගිලගන්නට සැරසෙන රාක්ෂයෙකු බදුය. අවට පැතිරුනේ දැඩි නිහඩතාවයකි. නිවසේ උන් කීප දෙනොගෙන එකා දෙන්නා බැහැරව යන අයුරු මා බලා සිටියේ හැගීමකින් තොරවය. සැබවින්ම මට දැනෙන්නේ පාළුවක්දැයි මම සිතන්නට උත්සාහ ගතිමි. මට පාළුවක් දැනෙන්නට මේ මරණය හේතුවක් නොවේ.
මියගියේ මා නිවසේ තවත් එක් සේවකයෙකි. මගේ බිරිදද දරුවෝද මේ නිවසේ යහතින් ජීවත් වේ. එහෙත් මට දැනෙන මේ හැගීම මට නොතේරේ. පහදාගත නොහැකි වටහාගත නොහැකි හැගීම් සමුදායයක් හිත බරකොට ඇත.
ගුණපාල මුලින්ම මේ නිවසේදී දුටුවේ කවදාදැයි මට මතක නැත. එහෙත් මට මතක් කල හැකි අතීතයේ සෑම තැනකම ගුණපාල සිටියේය. ගුණපාලගේ අහිංසක දයාබර දෑස මට මතක් වේ. විටෙක පියෙකු මෙන්ද තවත් විටෙක සොහොයුරෙකු මිතුරෙකු මෙන්ද ඔහු මා හා බැදී සිටියේය. අම්මාත්, අප්පච්චීත්, අක්කාත්, මාත් අතර තිබූ දැඩි බැදීමට දෙවන නොවන බැදීමක් ගුණපාල හා අප අතර විය. මේ සුවිසල් නිවසේ ඔහු රියදුරු වුවුද එම තනතුරු ඉක්මවා ගිය සුවිශේෂී ස්ථානයක් ඔහුට හිමි වී තිබුණි.
“ගුණපාල කවදද අපේ ගෙදර වැඩට ආවේ.”
දිනක් ගුණපාලත් මමත් වත්තේ වැඩක නිරතවෙමින් සිටි අවස්ථාවේදී මා ගුණපාලගෙන් විමසීය.
“දවස හරියටම නිච්චියක් නෑ පුංචි මහත්තයා. මං ආවේ පුංචි සන්ධියෙදි. එතකොට ලොකු මහත්තයාත් ඒ හැටි වයසක් නෑ.”
“එතකොට කාරෙක ගෙනාව දවස මතකද?”
ඒ මොහොතේ ගුණපාලගේ මූණේ ඇදී හීන් හිනාව මට හොදට මතකය. දරුවෙකු ගැන පවසනවිට පියෙකුගේ මුහුණේ ඇදෙන්නේ එවැනි සිනාවකැයි මට දැන් සිතේ.
“ඔව්. මට හොදට මතකයි. පුංචි මහත්තයාගේ සීයා ගෙනාවේ. එදා මුළු ගෙදරම හිනාවෙන් කතාවෙන් පිරිලා. පුංචි මහත්තයාගේ තාත්තයි, මායි කාරෙක වටේ දගලපු දැගලිල්ලක්........... එහෙම දගලන්න තරම් වයසකත් නෙමෙයි මහත්තයෝ අපි හිටියේ. ඒත් ඉතින් අපි පුංචි උන් වගේ දැගලුවා.”
නොනවත්වාම කථා කරන ගුණපාලගේ දෑස දීප්තියෙන් බැබලුනේ මා කිසිදිනක දැක නැති විලසිනි.
“අපේ ලොකු මහත්තයට, ඒ කියන්නේ පුංචි මහත්තයාගේ සීයට ලොකු වුමනාවක් තිබුණා මටත් උගන්නන්න. අනේ එතුමට බුදුබව අත්වෙන්න ඕන. ඒත් මහත්තයෝ මගේ කරුමේ තරම තමයි ඉතින්. මට ඒකට හිත ගියේ නෑ. පුංචි මහත්තයාගේ තාත්තා බොහොම දස්සයි ඒ වැඩේට. බොහොම අපූරුවට ඉගෙන ගත්තා. මං ඉතින් ලොකුමහත්තයාට බය පස්සපාතයි. එතුමා කියන දේ ඉක්මවලා ගියේ නෑ. ඉතින් එතුමම තමයි මට මේ සාස්තරෙත් පුරුදු කලේ. අන්තිමට මගේ ජීවිතේම වුනේ මේ කාරෙක තමයි.”
නාගයෙකු මැණිකක් රකිනා ලස ගුණපාල අපේ මොරිස් මයිනර් රථය ආරක්ෂා කලේය. ඔහු එය සේදුවේය. පිසදැම්මේය. සෑම උදෑසනකම ඔහුගේ පළමු රාජකාරිය කාරය සේදීමයි. ඔහු අප්පච්චී කාර්යාලයට රැගෙන ගියේය. අම්මා වෙළද පලට රැගෙන ගියේය. අප පාසැල් රැගෙන ගියේය. මොරිස් මයිනර් රථය ඔහුගේ ලෝකයම විය. වැඩි වේලාවක් රථය තුලටම වී සිටීමට ඔහු දැඩි කැමැත්තක් දැක්වීය. බොහෝ දහවල් කාලවල රථය නිවසේ තිබේනම් ගුණපාල ඒ තුලම නිදාගත්තේය. පුවත් පත් බැලුවේද ඒතුල සිටය.
“ගුණපාලට නෑයෝ කවුරුත් නැද්ද?”
තවත් දිනක මා ඔහුගෙන් විමසීය.
“මං දන්න තරමින් නෑ පුංචි මහත්තයෝ.”
“කවුරුහරි ඇතිනේ. ගුණපාලට මෙහෙන් යන්න හිතෙන්නැද්ද?”
“නෑ. පුංචි මහත්තයෝ මට යන්න හිත නෑ. ලොකු මහත්තයයි, නෝනයි දාලා යන්න හිතෙන් නෑ මට.”
“තව දෙයක් දාලා යන්න බෑනේ නේද?”
“ඒ මොකද්ද මහත්තයෝ...”
“ඇයි කාරෙක...”
ගුණපාල අහිංසකය. කිසි දිනක ඔහුට තරහා ගොස් සිටිනු මා දැක නැත. ඔහු කණගාටුවෙන් සිටියේද නැත.
“මනුස්සයෝ . . . ඔය හැටි ඔය වාහනේට සාත්තු කරන්න ඕන නෑ. පණ නැති දෙයක්නේ. අනික මේක කවදාහරි කැඩිලා බිදිලා යනවානේ. අනේ මන්ද බං ගුණපාල උඹට මේ කාරෙකෙන් තොර ලෝකයක් නෑනේ. . .”
ගුණපාල නිරන්තරව කාරෙක අතපත ගානු දකින් අප්පච්චී විටෙක එසේ පවසනු මට ඇසී තිබේ. එවිට ගුණපාල හිනාවෙනවා මිස වචනයකුදු නොදොඩයි. තමා කරන කර්යද නොනවත්වයි.
අප්පච්චී උසස් තනතුරක් හිමිවීම සමග අප නිවසේ බොහො දේ වෙනස් විය. පරණ කාරය විකුණාදමා නව මෝටර් රථයක් බිළදී ගැනීම සුදුසු බව අප්පච්චී තීරණය කලේය. මෝටර් රථය පිළිබද දැන්වීමක් පුවත්පතේ පළවිය. පළමු ගැණුම්කරුවා පැමිණියේය.
එහෙත් එදිනම හවස ගුණපාල රෝහල්ගත කලා මට මතකය. ඔහු අජීර්ණයකින් පීඩා වින්දේය. එහෙත් එය හදිසියේ ඇතිවූවකි. තත්ත්වය වඩාත් දරුණු විය. ගුණපාල රෝහල්ගත කලේය. ඔහුගේ මුහුණ මලානිකය. දවසට දෙකට ගුණපාල ඇදී ගියේය.
“අපි මෙයාව සම්පූර්ණයෙන් චෙක් කලා. මෙයාට තියෙන්නේ අජීර්ණයක් නෙවෙයි. මානසිකව පුංචි කම්පනයක් වෙලා. ඒ ඇතිවෙච්ච මානසික පීඩනය තමයි මෙහෙම ශරීරයේ ලෙඩක් විදියට පෙන්නන්නේ. මෙයාව හොද මානසික තත්ත්වයකින් තියාගන්න උත්සාහ කරන්න.”
වෛද්‍යවරයාගේ තීරණය එය විය. අප්පච්චී වහා කාරණය වටහා ගත්තේය. ගිලන් ඇද මත අසරණව වැතිර සිටින ගුණපාල වෙත ගිය අප්පච්චී
“මං කාරෙක විකුණන් නෑ ගුණපාල.” යැයි කීවේ මහා දයාවෙනි. අප්පච්චීගේ දෑත සිය දුබල අතකින් අල්ලාගත් ගුණපාල මොහොතක් අප්පච්චී දෙසම බලා සිටියේය. ඔහුගේ දෙනෙත් අගින් රූරා වැටුන කදුළු දෙකොපුල් දිගේ ඔහේ ගලා ගියා මට මතකය.
මේ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ නිවසට නව මෝටර් රථයක් පැමිණියද පැරණි මෝටර් රථය පරණ පුරුදු තැනම තිබුණි.
ගුණපාල මේ නව මෝටර් රථය නොරිස්සුවේය. එහෙත් නව මෝටර් රථයෙන් අප්පච්චී කාර්යාලයට ගෙන යෑම ඔහු ප්‍රතික්ෂේප නොකලේය.
කාලය බොහෝ දෑ අතීතයට රැගෙන ගියේය. මගේ අම්මාත් අප්පච්චීත් මිය ගියේය. අක්කා විවාහයෙන් පසු විදේශ රටක පදිංචියට ගියාය. අප්පච්චීගේ පෙරැත්තයෙන් ගැලවෙන්නට බැරි තැන ගුණපාල සිසිලින් සමග විවාහ විය. අප්පච්චී මියගියේ ගුණපාල විවාහ වී වසර තුනකට පමණ පසුය. ඒ මොහොතේ පටන් ගුණපාලගේ සිතේ අප කෙරෙහි වූ බැදීම වඩා දැඩි වන්නට විය.
මමත් බිරිදත් වසර තුනකට විදේශ ගතවීමට තීරණය කළෙමු. අප පරිහරණය කළ නව මෝටර් රථය විකුණා දැමීමට අප තීරණය කලේය. ඒ බව දැනගත් ගුණපාලගේ සතුට නිම්හිම් නැති විය.
“ඒක හොදා මහත්තයෝ. ගෙදරකට කාර් දෙකක් මොකටද? අනික ඉතින් මහත්තයලා ගියාට පස්සෙ තව අවුරුදු දෙක තුනක් යනකම් මේ ගෙදර අපි ඉන්නෙ අපි දෙන්න විතරනේ. . .”
අපේ ගමනමලු ගුවන් තොටුපලට ගෙනයෑමට තරම් ගුණපාලගේ මෝටර් රථය ප්‍රමාණවත් නොවීය. ඒ ගැන ගුණපාල කතාකලේ කනස්සල්ලෙනි.
“මේක ටිකක් ඉඩ මදිනේ මහත්තයෝ. . .”
“ආ ඒකට කමක් නෑ ගුණපාල අපි වෑන් එකක් හයර්කර ගන්නම්.”
“මහත්තයලා වෑන් එකේ යන්න එහෙනම්. මං කාරෙකේ පිටිපස්සෙන් එන්නම්.”
“ගුණපාල ඕන නෑ. අපි යන්නම්. . .”
ගුණපාල හිනැහුනා පමණි. ඔහු නොවරදාම එන බව මම දනිමි. අප රැගත් වෑන් රථය පිටුපස ගුණපාලගේ කළු පාට මයිනර් රථයද ගුවන් තොටුපල දක්වාම පැමිණියේය.
“මගේ මහත්තයලා පරිස්සමින් ගිහින් එන්න. මේ හැම දෙයක්ම මං බලා ගන්නම්. . .”
ගුවන් තොටුපලේදී ගුණපාල මිමිණුවේ මාගේ දෑතින්ම අල්ලා ගෙනය. පුංචිම සන්දියේ මගේ අතින් අල්ලා පාසලට ගෙන ගියාට පසු මතක ඇති කාලෙකින් ඔහු මගේ සුරතින් ඇල්ලුවේ එදාය. ගුණපාලගේ ඇසේ දිලිසුන කදුලක් වඩාත් සමීපව මට පෙනුනි. අප නොපෙනී යන තුරුම ඔහු බලාසිටින්නට ඇත.
වසර 3 ක් ඉක්ම ගිය පසු අපි නැවතත් ලංකාවට පැමිණියෙමු. එදා ගුණපාල යුවලගේ සිත්වල දෝරෙ ගැලූ සතුට ඔවුන්ගේ අවිහිංසක මුහුණුවලින් මොනවට පෙනුණි. බොහෝ කාලයක් ගෙවී ගියේය. පුංචි පුතු අපේ පවුලට එක්විය. කාලය බොහෝ දෑ වෙනස්කොට තිබුණි. එහෙත් එක් දෙයක් වෙනස් නොවීය. ඒ ගුණපාලගේ හිතේ අප කෙරෙහි හා මෝටර් රථය කෙරෙහි තිබූ බැදිමයි. වසර ගණන් ගෙවී ගියේය. සිසිලින් අප අතැර ගියාය. ඒ වෙනුවට තරුණ මෙහෙකාරියක් අප නිවසට පැමිණියාය. එහෙත් අපගේ පරණ මොරිස් මයිනර් මෝටර් රථයත්, ගරාජයත්, ගුණපාලගේ කාමරයත්, ඔහුගේ හිතත් තවමත් එලෙසමය.
“පුතා මහත්තයා ලොකු උණහම ඉස්කෝලේ එක්ක යන්නේ මම”
ගුණපාල උදම් ඇනුවේය. ඔහු මගේ පුතු ඇමතූයේ පුතා මහත්තයා යනුවෙනි. එහෙත් මපුතු පාසැල් ගෙනයන්නට ගුණපාලට නොහැකි විය. හදිසියේම ගුණපාල අසනීප විය. රෝහල්ගත කළ ඔහු දරුණු පිළිකා රෝගයකට ගොදුරු විය. පිළිකා රෝහලේ වසරක පමණ කාලයක් ප්‍රතිකාර ගැනීමට ගුණපාලට සිදුවිය. අවසානයේදි ගුණපාල ගෙදර ගොස් තබාගන්නැයි වෛද්‍යවරයා අපට දැන්වීය. වසර ගණන් අපට සේවය කල මිනිසා ඔහුය. ඔහු අප ජීවිත වලට සෙවණ දුන් මහා වෘක්ෂයක් වැනිය. කිසිදු විටෙක අප කිසිවෙකු විසින් ඔහුගේ සිත බිදදමා නැත. ඔහු අපගේ ඥාතියෙකි. ලේ නෑකමක් නොතිබුණද හදවතේ බැදීම එයට වඩා ශක්තිමත්ය. අවසානයේදී ගුණපාල අප නිවසට පැමිණියේ ජීවය මිරිකා හල කෙසෙල් කදක් පරිද්දෙනි.
එක් දිනක් ගුණපාලගේ තත්ත්වය බොහෝ අසාද්‍ය විය. ඔහුට අවශ්‍ය වූයේ මට කථා කිරීමටයි. මාත් මගේ බිරිදත් ඔහුගේ ගිලන් සයනය වෙත පියනැග්ගේ අප්‍රමාණ හිත් වේදනාවක් හිතේ තෙරපාගෙනය. ඔහු මගේ බිරිදගේ දෑතින් අල්ලා ගත්තේය.
“පුංචි නෝනේ. මගේ පුංචි මහත්තයව බලාගන්න.”
මගේ බිරිදගේ දෙනෙත් කදුලෙන් පිරෙනු මා දුටුවේය. අනතුරුව ඔහු මට කතා කලේය.
“පුංචි මහත්තයා” ඔහු ඉතා අපහසුවෙන් වචන එක්
“පුංචි මහත්තයා මගේ කාරෙක බලාගන්න.”
ලෝකය එක් මොහොතකට නතර වූවා යැයි මට සිතුනි. පපුව පසාරු කරමින් ඇදී ආ කදුළු බිදු දෙනෙත් වලින් එලියට පැන්නා මට මතකය. ගුණපාලගේ ඒ වචන ඒ මොහොතේදීත්, අදත්, මට ගෙනෙන්නේ අදහාගත නොහැකි හැගීමකි. විශ්මයකි.
සටහන - දිස්නා බණ්ඩාර


