නලූවෝද නිලියෝද ගායකයෝ ද පුහුණුවන නලූවෝ ද මෙන්ම පුලූවන් නලූවන් හදුනාගෙන නිලියන් වෙන්නට දත කන ගැහැනු දැරිවියෝ ද මේ සාජ්ජයේ කොටස් කාරයන්ය. එපමණක් නොවේ. මේ සම්මාන උළෙලට කුඩ කොඩි සේසත් අල්ලන උන්නැහේලාට මේක මහා ව්‍යාපාරයකි. ඉන්දියාවේ රුපියල් විතරක් නොව ඩොලර් හා රන් පවුම් ද මෙම සම්මාන ප‍්‍රහර්ශය ඔස්සේ ගලා යයි. මේ ගලන ගග කොතරම් ද යත් ලංකාව වැනි රටකට එය නිරිත දිය මෝසමට කලින් අකල් වැස්සක් නිසා කොළඹ නගර සභාව යටවීම හා සමානය.
අයිකොන් ගෙන්නන්නට ගොහින් හත්පොලේ ගාගන්නට හවුල් වූ සංචාරක මණ්ඩලය හෝ සංචාරක සංවර්ධන අධිකාරිය හෝ අතින් වියදම් කර මේ ඉන්දියාවේ නලූ නිලියන්ගේ සම්මාන උළෙල ලංකාවට ගෙන්වා ගන්නට මහන්සි විය. මේ හරහා ලෝක ජනතාවට ලංකාවේ යහපත් පෙනුම පෙන්නන්නට උත්සාහ කළේය. සියලූ සැරසිලි කළත් කැඩපතින් පෙනෙන්නේ තමුන්ගේම හෙලූව විනා වෙන යමක් නොවේ. අන්තිමේ දී උස්මුරුත්තාවටම වතුර ගලා සිටි ලංකාවේ මහජනතාවට අයිෆා ඔරුව පාවී ආවේය.
මුලින් ඉන්දියාවේ පරිප්පුත් එපා කී ආණ්ඩුවේ හිතවත්තු පසුව පසු වූයේ කසාය බී ගත් ආකාරයටය. පළමු වතාවේ බෝම්බ කෑල්ලක් වැදී එකෙල මෙකෙල වන්නට සිටි ශාරුක් ඒ පාඩම නිසා ද නැත්නම් වෙන එකක් දැයි නොදන්නා නමුත් නෑවිත් හිටියේය. බෝංචි කිලෝව රුපියල් දෙසියය හා කැරට් කිලෝව දෙසිය පණහ වන විට අඩුවට දීපල්ලා යැයි ඉල්ලා හිටි තුනෙන් දෙකක් දුන් මහජනතාවට අන්තිමේ දී ලැබුණේ සියයට පණහක් බදු අඩුවට සුපිරි රථවාහනය.
මේ අවනඩු වලකන්නට නම් සිරස ගත් මගම ගත යුතු බව ආණ්ඩුවට පෙන්වා දෙන්නට ඇත්තේ අයිෆා ලංකාවට එන විට එහි දෙවැනි මනමාලයා තරමට කැපී පෙනුණ අජිත් නිවාඞ් කබ්රාල්ය. දරුවනුත් සමග හෝටලයට ගොස් කොත්තුවක් කා ප්ලේන්ටියක් බී ආපසු එන තෙක් වසූදා මහගෙදර හා ප‍්‍රවීනා බලමින් හිටි බිරින්දෑවරුන්සේ ආණ්ඩුව මහජනතාවට රන්දෙපැය පෙන්වන්නට පටන් ගත්තේය.
මේ රන් දෙපැයේ මුලින් ආවේ ඉන්දියාවේ කණ්ඩායමයි. ඉන් පසුව නාමල්ගේ සිට නිවාඞ් දක්වා ආණ්ඩුවේ හැම දෙනෙක්ම අයිෆා උන්මාදයෙන් පෙළෙන්නට වූහ. නියෝජ්‍ය ඇමති ලක්ෂමන් යාපා කස කාරයා විය. රූපවාහිනිය තමුන්ම බලහත්කාරයෙන් එහෙයියාට ඇදගත්තේය. ටිකට් එකක මිළ ගැන කීවේ තොල කට ලෙව කන අතර තුරය.
සිංහ වංශයේ කර්මාන්ත කරුවෝ පල්ලම් බැස්සාහ. සියරට දේ සිය සැප දේ යැයි නොකියන්නට පරෙස්සම් වූ ඔවුහු බොහොම නම්බුකාර අන්දමට බලා සිටියේ අනෙකුත් සමාගම් ලොතරුයි අදින්නාක් මෙන් අයිෆා ගේට්ටුවට උඩින් බලාගෙන ඉන්නට ටිකට් කුසපත් අදින අන්දමය.
පාරේ මල් හිටෙව්වේය. වෙසක් අහවර නමුත් ආයෙත් බකට් පත්තු කළේය. හෝටල් නිකම් දුන්නේය. කන්ඩ ද බොන්ඩ ද රට ඇතුලත ඇවිදින්නට හෙලිකොප්ටර් සවාරි ද පමණක් නොව කිසිවෙකු එහෙම ආවේ නැතත් සුඛෝපභෝගී දුම්රියක් ද ගුවන් තොටුපලේ සිට පටන් ගත්තේය එපමණක් නොවේ. ක‍්‍රිඩාංගනයක් සම්පූර්ණයෙන්ම වායු සමනය කළ රගහලක් බවට පත් කළේය. ය. අපේ දරු පවුල් රන් දෙපැය බලනවාට දත්මිටි කෑ කලා විද්වත්හු ඇතිකල බද්දෙන් හැදු ටෙලි ගම්මානයත් පෙන්නුවේය. මේවා දැකලා අයිෆා සම්මාන ගන්නට පැමිණි ඉන්දියාවේ නලූ දරු දැරිවියන්ට හොදටම හිත පිරෙන්නට ඇතිවාට සැක නැත.
අන්තිමේ දී දෙමළ ඩයස්පෝරාව හරහට හිටියේය. ඇතැමෙකුට සෞඛ්‍ය ප‍්‍රශ්න මතු විය . තවත් කෙනෙක් ආවේම නැත. ආවා නමුත් තවත් නලූවෝ වැඩිය මූණ නොපෙන්වා සිටින්නට වගබලා ගත්හ.
අයිෆා අහවරය. අපේ රටේ නැති වාද බේධ ඇතිවී තිබේ. එයට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් දෙකකි. වර්ජනය කළා අගෙයි කියන්නට මෙන්ම අන්තිම මොහොතේ එහෙම කරපු එක අන්තිම නරකයි කියන්නට ද කණ්ඩායම් දෙගොඩ බෙදී සිටී.
මේ ආවේ සම්මාන උළෙලක් පවත්වන්නට ශාලාවක් කුලියට ගන්න බව අමතක කළ අපි මුලූ මංගල්ලයම අපේ වියදමින් සංවිධානය කළේය. පෝරුව ගැසුවා පමණක් නොව අශ්ටකත් කියෙව්වේය. පෝරුවෙන් බසින විට පොල් බිද චාරිත‍්‍ර කළා පමණක් නොව අපේ ඈයින්ට විනා නොදන්නා කිසිවෙකුට ටටා බායි කියන්නට ලංවෙන්ටවත් ඉඩ නුදුන්නේය.
දැන් කොහෙල්ලැ ගුලිය ඇලවි ඇත්තේ අප හැම දෙනාගේම අත්වලය. සම්මාන උත්සවයකට ශාලාව කුලියට ගත් උන්නැහේලාගෙන් ලංකාවේ හොද නම පින්තාරු කර ගැනීමේ කොන්තරාතුවත් කර ගන්නට යාමෙන් සිදුව ඇත්තේ අබග්ගයකි. ඇටිකෙහෙල් කැ අන්දමට ම තවත් කාලය ගත කිරීම නොවටී. මෙහෙව් අත්දැකීම් අපට යස පාඩම් බව හිතාගෙන ඉස්සරහ බැලීම සුදුසුය.