අදද හැමිල්ටන් ඇල දිගේ බෝට්ටු ගමන් කරයි. ඒවා ධීවර කර්මාන්තය හා බැඳුණු යාත‍්‍රා බව බැලූ බැල්මට පෙනේ. සිත වශී කරන සුන්දර ඇලක් පිළිබඳ හැඟීම හැමිල්ටන් ඇල කෙරෙහි ඇති නොවේ. කොළ පැහැයෙන් පෙනෙන නගරයේ අපද්‍රව්‍ය ගලා යන කාණු වලින් පෝෂණය වුණු දුගඳ හමන ඇල මාර්ගයක් අද අප ඉදිරියේ දැන් දිස්වේ. පසුගිය දවසක මීගමුවේ සංචාරයක යෙදුණු මොහොතේ අහම්බෙන් වුවත් මෙම හැමිල්ටන් ඇල කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට හේතු වූ කරුණක් යෙදුණි.
මීගමු නගර මධ්‍යයේ සිට හැමිල්ටන් ඇල පසුකර ගෙන කාමච්චෝඩ ගම දෙසට යන විට ඇල හරහා වැටී ඇති පාලම මත මොහොතක් නැවතුනේ එතැනට බොහෝ දුරට ඇල පෙනෙන නිසාත්, එහි බෝට්ටු ගමන් කරන නිසාත් නගරය මැද වූ වෙනසට ආශාවෙනි. ඈතට දිවගිය දෑස් පාලම පාමුලට ළඟා වෙද්දී දුටුවේ දියබුන් ගසමින් ජල ක‍්‍රීඩා කරන කුඩා ළමුන් පිරිසකි. කොළඹ පිටකොටුවේ වරාය අසලින් මුහුදට වැටෙන ඇල තරම් දුර්වර්ණ වූ දුගඳ හමන කැළි කසල පිරුණු හා අවට තියෙන සියළුම හෝටල්වල අපද්‍රව්‍ය බැහැර කරන මෙම ඇලේ දියබුන් ගසන දරුවන් දැක අපුලක් ඇති වුවත්, ක‍්‍රමයෙන් ළමා කාලයේ සුන්දරත්වය විඳින්නට වූයෙන් එය අමතක විය.
ළමයින් එසේ දියබුන් කෙළිද්දී, ඇල කණ්ඩියේ පිරිසක් කවරවලට පිරවූ පස් කණ්ඩිය අයිනේ තබාගෙන සෝදා හරිනු පෙනුණි. ඊට ඔබ්බෙන් කාන්තාවක් ඇල පතුලේ මඩ හා වැලි මිශ‍්‍රිත පස් ගොඩදාන අයුරු ද දැකගත හැකිවිය. පාලම අසලින් ඇලට බසින්නට හැකියාව තිබෙන අතර එම මාර්ගයේ ගොස් මේ සිදුවන්නේ කුමක්දැයි විපරම් කර බැලූවෙමි. පහළට බැසගත් පසු ඇල කණ්ඩියේ කිහිප දෙනෙකු සිටින බව දැකගත හැකිවිය. කුඩා දරුවන්, දරුවෙක් ලැබෙන්නට සිටින කාන්තාවක්, තරුණයින් හා මැදිවියේ පුද්ගලයෝ ද එතැන විය. ඔවුන්ගේ රාජකාරිය ඇල පතුලේ කිමිදී අපද්‍රව්‍ය මිශ‍්‍රිත පස් රැුගෙන ඒවා සේදීමයි. ඇල පතුලේ තැන්පත්ව ඇති කුණු සේදීම යැයි කීවද එහි වැරැුද්දක් නැත. ඔවුන් මේ කරන්නේ රත‍්‍රන් ගැරීමයි. මෙය කර්මාන්තයකි. ඇල ආශ‍්‍රිතව මේ කර්මාන්තයේ යෙදෙන විශේෂ කණ්ඩායමක් සිටියි.
මීගමුව නගරය රත්රන් බඩු නිෂ්පාදනයට ප‍්‍රසිද්ධ නගරයකි. හැමිල්ටන් ඇල අවට බැලූ බැලූ අත තිබෙන්නේ ස්වර්ණාභරණ කඩ ය. අතීතයේ ද මේ තත්වය එලෙසින්ම වන්නට ඇත. ඇල දෙපස තිබෙන වසා දමා ඇති යල් පැන ගිය ගොඩනැඟිලි බොහොමයක් මීට කලකර පෙර රත‍්‍රන් බඩු සැකසූ රත්රන් කඩ ලෙස පැවතුණු ගොඩනැඟිලිය. එම රත්රන් බඩු නිෂ්පාදන කඩ තම නිෂ්පාදන කාර්යයේ අපද්‍රව්‍ය බැහැර කර තිබෙන්නේ මෙම හැමිල්ටන් ඇලටයි. මේ අපද්‍රව්‍ය අතර රත්රන් කුඩු තිබේ. ඒ වගේම භාණ්ඩ නිෂ්පාදනයේ නොගිනිය හැකි තරමේ රත්රන් කැබලි තිබේ. කරාබු බෝල වැනි අහම්බෙන් කුණු වලට එකතු වූ කොටස්ද තිබෙන්නට පුළුවන. අද කාමචචෝඩ ගමේ එක කණ්ඩායමක් රස්සාව කොට ගෙන තිබෙන්නේ මීට කලකට ඉහත ඉවතලන ඒ අපද්‍රව්‍ය වල තිබුණු රත්රන් සොයා ගැනීමයි. ඒ සොයාගන්නා රත්රන් ගුලියක් කොට සාදා රත්රන් කඩවලට විකිණීමයි.
මෙය සිදුකරන්නේ කාමච්චෝඩ ගමේ සිටින විශේෂිත කණ්ඩායමකි. ඔවුන්ගේ කණ්ඩායමට ගෙවල් වශයෙන් 14 ක් පමණ ඇත. 60-70 පමණ පිරිසක් එහි ජීවත් වෙති. ඔවුන් සියලූ දෙනා මේ රස්සාව නොකරයි. පිරිසක් පමණක් රත්රන් එකතු කිරීම සිදු කරයි. කැලණි පාලට අවට වූ නිවාස හා පැල්පත් වලට සමාන තත්වයක් මෙම නිවාස වල දැකිය හැකිය. සිංහල, මුස්ලිම්, දෙමළ ආදී ජන වර්ග මිශ‍්‍රව සිටින මෙම කණ්ඩායම සියලූ ආගම් අදහයි. සිංහල, දෙමළ භාෂා දෙකම කතා කරයි. බහුතරයක් කුඩා ළමයින් සිටියි.
හැමිල්ටන් ඇල අසල රත්රන් ගැරීම සිදුවන්නේ දෛනික රාජකාරියක් ලෙසයි. පවුලේ මව, පුතා, ලේලි, කුඩා දරුවන් සියලූ දෙනාම උදේ 9.00 ට පමණ ඇලට එයි. පැමිණ සියලූ දෙනාම එක්වී ඇලෙන් ගොඩදමන පස් හා මඩ ඇල අයිනේ ගොඩ ගසා ගනියි. ඉන් පසු එයට වතුර ඉසිමින් පස් සෝදා ගනියි. එවිට බරින් වැඩි කලූ වැලි පමණක් ඉතුරු වෙයි. මැණික් පතල් කර්මාන්තයේ ඉල්ලම් ගැරීම හා එම ක‍්‍රියාව අතර සමානකමක් තිබේ. ඊට පසු ඉතිරිවන කලූ වැලි තාච්චි වල දමා ගැරීම සිදු කරයි. එවිට කලූ වැලි ඉවත් වී රත්රන් කුඩු ඉතුරු වේ. එම කුඩු සමඟ තිබෙන අනෙකුත් ලෝහ මිශ‍්‍රිතයන් ඉවත් කර ගැනීමට ගිනි වතුර දමා රත් කරන විට රත්රන් සහ අනෙකුත් ලෝහ කැබලි වෙන් වෙන්ව හඳුනාගන්නට පුළුවනි. මෙම ගැරීමේදී රත්රන්වලට අමතරව මුදු වලට, කරාබු වලට ඇල්ලීමට භාවිතා කළ කපා ඔප දැමුණු මැණික් ගල් ද හමුවේ. ඔවුන් පවසන ආකාරයට ඒවාද එකතු කර විකුනන්නට පුළුවන. රත්රන් හා අනෙකුත් ලෝහ වෙන් කර ගත් පසු රසදිය මිශ‍්‍ර කොට රත්රන් කැබලි හා කුඩු එක ගුලියක් සේ එකතු කරගනු ලැබේ. පසුව පොල් කටු අඟුරු භාවිතයෙන් සිදු කරගනු ලබන රත් කිරීම මඟින් රත්රන් ගුලියක් සාදා ගනු ලැබේ. ඉන් පසු මෙය රත්රන් කඩයකට විකුණා මුදල් කර ගැනීම සිදුවේ. රත්රන් කඩයට ගෙනයන තෙක් සියලූ ක‍්‍රියාකාරකම් සිදුවන්නේ ඇල කණ්ඩිය මත වීම මෙහි ඇති විශේෂත්වයයි. ඔවුන් කියන ආකාරයට සෑම දිනකම සිදුකරන මෙම ගැරීම මගින් විශාල වශයෙන් වාසි අත් වූ දවස් ද තිබේ. එක් තරුණයෙකුට පසුගිය සමගේ පවුල් 2 1/2 ක් පමණ රත්රන් කැබැල්ලක් හමු වී ඇති අතර ඒ නිසා ඇති වූ ගැටුමකින් එම තරුණයා මියගොස් ඇත. එසේම ඇල බිත්තිය අවට හාරා පස් සේදීම මගින් අවට ගොඩනැඟිලි ගියා බැසීමේ තත්වයක් ද උද්ගත වී ඇත. මේ සියල්ල සිදුවන්නේ පාලම යන ඇල කණ්ඩියේ වීම අපූර්ව කතාන්දරයකි.
කෙසේ වුවත් රත්රන් සොයන මේ ජීවිතවල කිසිදු එළියක් දකින්නට නොමැත. ඇල කණ්ඩිය අසලම පැදුරු කඩමාල්ලක නිදාගෙන මේ ඇලෙන්ම නාගෙන උදේ පටන් හවස් වනතුරු කූණු වතුරේ ගත කරන ජීවිත වලට සනීපාරක්‍ෂාව පිළිබඳව ගැටලූවක් ඇති නොවන්නේ ඒවාට හුරුවීම නිසාම බව ඔවුහු කියති. එසේම Acid (ගිනිවතුර) භාවිතා කරමින් රසායනික ප‍්‍රතික‍්‍රියා සිදු කරන මොවුන්ට ඉන් පිටවන විෂ වායු ආඝ‍්‍රාණය වීම හානියක් ලෙස නොසලකයි. නමුත් එහි ගිය අපට එම දුම වැදීම අහිතකර බව ඔවුහු පවසා සිටියහ.
ඔවුන් අතර යාපනය, ගම්පොල ආදී ප‍්‍රදේශවලින් පැමිණි අය ද සිටිති. ආර්.එම්. කාන්ති ට දැන් වයස අවුරුදු 57 කි. විවාහ වී වසර 39 ක් වේ. ඇය ආවේ ගම්පොල ප‍්‍රදේශයෙනි. ඇය විවාහ වන විටත් සැමියා මේ රස්සාව කර තිබේ. අද සැමියා නැත. ඇය රත්රන් ගරයි. ඉන් කියවෙන්නේ දීර්ඝ ඉතිහාසයක් රන්රන් ගැරීමට තිබෙන බවයි. මැණික් ගරන රත්නපුරේ ජනතාව භුක්ති විඳින සතුටම මොවුන් රත්රන් ගුලි සාදා භුක්ති බිඳිති. රත්රන් සෙව්වත් සෑදුවත් ඔවුන්ගේ පොහොසත්කම ඉතාම පුංචි ය. මහා බලාපොරොත්තු නැති මේ ජීවිත ගැන විනිශ්චයක් දීමට අප සුදුසු ද යන්න මම මගෙන් ම ප‍්‍රශ්න කළෙමි.