Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: Home

ගහපු බෙරේකුත් නැත බෙරේ පළුවකුත් නැත

අද වන විට ගෙවතු වගාව, කෘෂි වන වගාව, පාරිසරික ගොවිතැන පිළිබඳව රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත‍්‍රය පමණක් නොව පෞද්ගලික අංශය ද අවධානය යොමු කර තිබේ. මෙවැනි සංකල්පයන් මෙරට නව මුහණවරකින් හඳුන්වාදීමේ ගෞරවය ලංකාවේ විවිධ පළාත්වල ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධනවලටත් ඒවායේ ක‍්‍රියාකාරීන්ටත් හිමි විය යුතු ය.

කෘෂිකාර්මික ක‍්‍රියාවලිය අනුගමනය කරමින් සිටින්නේ කෘමිනාශක, වල් නාෂක, කෘත‍්‍රිම පොහාර, වැඩි දියුණු කළ බීජ හා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයෙන් සිදුකරන කෘෂිකාර්මික වැඩපිළිවෙල ය. බොහෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් ප‍්‍රවර්ධනය කරමින් සිටින කෘෂිකර්මය නම් පාරිසර හිතකාමී ගොවිතැනයි. ගැමි භාෂාවෙන්ම කියනවානම්, තෙල් බෙහෙත් පාවිච්චියක් නැති ගොවිතැන යි. කෘෂිකරම ක්ෂේත‍්‍රයට හවුල් වී සිටින පෞද්ගලික ආයතන බොහෝමයක් එක්කෝ කෘමිනාෂක, වල් නාෂක හා පොහොර අළෙවි කරන ආයතනයන් ය. නැතිනම් කෘෂි උපකරණ හෝ සේවාවන් සපයන ආයතනයන් ය.

කෙසේ වෙතත් මේ තුන්ගොල්ලම ලංකාවේ කෘෂිකර්මාන්තයට විවිධ ප‍්‍රමාණයන්වලින් බලපෑම් කරමින් සිටියි. නමුත් කණගාටුවට කාරණය වන්නේ පරිසරයට හිතැති මිනිසාට මෙන්ම සතා සිවුපාවාටත් හිතැති දියුණු කෘෂිකර්මාන්තය පිළිබඳ ජනතාව උනන්දු කිරීමට කටයුතු කරමින් සිටින රාජ්‍ය නොවන අංශයේ මැදිහත් වීම රටට දැනෙන මට්ටමක නොපැවතීම ය. අප දන්නා පරිදි, අසා ඇති පරිදි මේ පාරිසරික කෘෂිකර්මාන්තය මෙරට ජනතාව තුළ උනන්දු කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙරට තුළ කි‍්‍රයාත්මක වී ඇතත්, තැනින් තැන කුඩා මොඞ්ල් ෆාම් කිහිපයක් හා පාරිසරික ගොවීන් කිහිප දෙනෙකු පමණකි බිහි වී ඇත්තේ. ගහපු බෙරේකුත් නැත. බෙරේ පළුවකුත් නැත. කියා ඒ දේ ගැන කතා කිරීම නවත්වනවාට වඩා ඒ ගැන විවේචනාත්මක කතා බහක් ආරම්භ කරන්නේ නම් එය කාටත් වැදගත් විය හැකි ය.

අනෙක් අතට රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවයන් පිළිබ`දව මහජනතාවත් රාජ්‍යනොවන ආයතනත් ඉතා උනන්දුවෙන් කතා කරයි. ඒවා ගැන අවධානයෙන් කටයුතු කිරීම මෙන්ම, තම තමන් සමාජය වෙනුවෙන් ඉටු කරන කාර්ය භාරයන් වගකීමෙන් යුතුව ඉටු කිරීමටත් වගකීමක් ඇති බව ඔවුන්ට අමතක වී ඇත්තා සේ ය.

පාරිසරික කෘෂිකර්මාන්තය ගොඩනැගීම සම්බන්ධයෙන් මන්දගාමී ලෙස රාජ්‍ය නොවන අංශය ක‍්‍රියාකරමින් සිටින අතර, ඒ වටා ඒකරාශී වූ ග‍්‍රාමීය පිරිසක්  ඒ මන්දගාමී ස්වරයට තාල අල්ලමින් සිටියි. සාමාන්‍යයෙන් ඒවාට සම්බන්දව සිටින ග‍්‍රාමීය පිරිස්, ඒ මන්දගාමී විමේ වරද රාජ්‍ය නොවන සංවිධාන වෙත දමා ගසන අතර රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ අදහස ව්න්නේ, මිනිස්සු උනන්දුවෙන් වැඩ නොකරන බව ය.

මේ දෙගොල්ල ඉතාමත් තීරණාමක හා වැදගත් විෂයයක් පිළිබඳව මෙසේ කඹ අදිමින් සිටින අතර කෘමිනාශක, වල්නාශක, කෘති‍්‍රම පොහොර, යන්ත්‍රෝපකරණ හා සේවාවන් බෙදාහරින සමාගම් ලකාවේ ආණ්ඩුව හා එකතු වී මේ රටේ පොළොවත්, පරිසරයත්, මහජනයාත් විනාශ කරමින් සිටියි.

බීජ සමාගම් විසින් මහා පරිමාණයෙන් වැඩිදියුනු කළ බීජ (වැඩි දියුණු කළ බීජ ලෙස වෙළඳ පොලේ ඇති බීජ වර්ග වගා කර ඒ පල වලින් ලබා ගන්නා බීජ වලින් නැවත සශ‍්‍රීක, නැතහොත් පල දරන ශාකයක් ලබාගත නොහැක) නිපදවමින් ඒවා මහා පරිමාණයෙන් බෙදාහරිමින් සිටියි. ඒ වැඩපිළිවෙල ඉදිරියේ දී තව තවත් වර්ධනය වනවා මිසක අව වර්ධනය වීමක් සිදු නොවනු ඇත. නොබෝ දිනකින්ම ලංකාවට ආවේනික වූ බටු, මිරිස්, තක්කාලි වැනි එලවළු වර්ග පමණක් නොව අඹ, දොඩම් ඇතුළු පලතරු වර්ගත් දේශීය වී වර්ගත් නැත්තටම නැති වී යනු ඇත.

කෘමිනාශක වල්නාශකවලින් මහ පොළොවට පරිසරයට කෙරෙමින් තිබෙන හානියේ ප‍්‍රතිපල මේ වනවිටත් මහවැලි කලාපයෙන් වාර්තා වෙමින් තිබෙයි. එක ගමේ, එක පවුලේ දෙන්නා තුන්දෙනාගේ වකුගඩු නරක්  වී ඔවුන් මිය යමින් සිටියි. ඒවාට විවිධ හේතූන් ඇති බව ජනමාධ්‍යයෙන් ප‍්‍රසිද්ධ කරමින් සිටිය ද, ප‍්‍රධාන හේතුව වන කෘමිනාශක, වල්නාශක හා කෘති‍්‍රම පොහොර අධිකව භාවිත කිරීම පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැත. කතා කරන අයගේ සංකේත වැඩ ද ඒ අහිතකර තත්ත්වයන් දුරලීම සඳහා ප‍්‍රමාණවත් නැත.

ඉදිරියේ දී ඇතිවිය හැකි මහා ආහාර අර්බුදයක් පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ. නමුත් රජය විසින් දියත් කර තිබූ ‘අපි වවමු රට නගමු’ ව්‍යාපෘතිය ද රාජ්‍ය නොවන ආයතන විසින් කරගෙන යන ගෙවතු ව්‍යාපෘතිවලට නොදෙවනි විය. සෝඩා බෝතලය කැඩුවා සේ මතු වූ ව්‍යාපෘතිය උපන් ගෙයිම මිය ගියා බ`දු ය. දැන් රජය විසින් දියත් කර ඇත්තේ ‘දිවි නැගුම’ ව්‍යාපෘතිය යි. එම ව්‍යාපෘතියේ ගෙවතු වැඩසටහන් සඳහා අවශ්‍ය බීජ ද පෞද්ගලික සමාගම් වෙතින් ලබා ගන්නට ඔවුන්ට සිදුවනු නොඅනුමාන ය. රටේ ආහාර නිෂ්පාදනය ස`දහා දැනට අනුගමනය කරන බාහිර යෙදවූම් සහත, පරිසර හිකතාමී නොවන, සමාගම් හිතකාමී කෘෂිකර්මය මෙහි දී ද ප‍්‍රවර්ධනය වනු ඇත.

මෙවැනි අවස්ථාවල්වල දී පාරිසරික කෘෂීකර්මාන්තය පිළිබ`ද දැනුම ඇති විද්වතුන්ගේ මැදිහත් වීමෙන් රජයේ කෘෂිකාර්මික වැඩපිළිවෙලවල පරිසර හිතකාමී දිසාවට නැඹුරු කිරීමට කටුයුතු කිරීම අවශ්‍ය ය. ග‍්‍රාමීය මට්ටමේ ජනතාව ද ආණ්ඩුවේ වැඩපිළවෙල ඒ හැටියට ම බාර ගන්නවා වෙනුවට ඒවාගේ ගුණදොස් පිළිබ`දව විවේචනයකින් ඒවා බාර ගැනීමත් අවංකව ක‍්‍රියාත්මක කිරීමත් වැදගත් ය. නමුත් ඒ මට්ටමට ජනතාව දැනුවත් කරන්නටත් දශක දෙකකට අධික කාලයක් මෙරට විවිධ පළාත්වල පරිසර හිතකාමී  කෘෂිකර්මය ප‍්‍රචලිත කළ ආයතනවලට පුද්ගලයින්ට නොහැකි වි තිබේ.

පාරිසරික කෘෂිකර්මාන්තය හා ‘සුළු පරිමාණ ගොවීන් නගා සිටුවීමෙන් ලෝක ආහාර ප‍්‍රශ්නය විසඳිය හැකිය’ යැයි රාජ්‍ය නොවන ක්ෂේත‍්‍රයෙන් ඉදිරිපත් වන අදහස ඉතා වැදගත් එකකි.l

සරල සමාජ ක‍්‍රමයක් පැවැති කාලයේ ලංකාව වැනි රටවල් ආහාර අතින් ස්වයපෝෂිත වූයේ ද එවැනි කෘෂිකාර්මික භාවිතාවන් තුළිනි. නමුත් අතිශයින් සංකීර්ණ වී ඇති අද සමාජ ආර්ථික දේශපාලනික රටාව තුළ හා ජනගහණය දිනෙන් දින වර්ධනය වෙන තත්වයක් තුළ එවැනි වැඩපිළිවෙලකින් ලෝක ආහාර ප‍්‍රශ්නය ජය ගත හැකි ද යන කාරණය පිළිබ`දව යමකු තුළ කුකුසක් පහළ විය හැකි ය.

මෙතෙක් මේ සංකීර්ණ රටාව සඳහා අහාර නිෂ්පාදනය කිරීමට දැනට අනුගමනය කෙරෙන මහා පරිමාණ කෘෂිකාර්මික වැඩපිළිවෙලට (හරිත විප්ලවය මගින් හඳුන්වා දුන්) නොහකි වී ඇති බව ද පෙනෙන්නට තිබේ. සාගින්න නිසා, ආහර හි`ගකම නිසා ලොව පුරා මිනිසුන් දහස් ගණනින් මිය යන්නේ එබැවිනි.

ජාතික මට්ටමින් සුළු පරිමාණ කෘෂිකරමාන්තය නගාසිටුවා ආහාර පිළිබඳ ප‍්‍රශ්ණය නිරාකරණය කරන්නට ඒ පිළිබඳව උනන්දුවන ආයතන හා පුද්ගලයින්ට රටේ ආහාර නිශ්පාදන අධිකාරී බලය ටික කලකට හෝ  බාර කිරීමට රජය ක‍්‍රියා කරන්නේ නම් වැදගත් ය.