Saturday, Jul 26th

Last update:12:37:26 PM GMT

You are here: Home

ලක් ගුවනේ සාඩම්බරය

parashut
parashut2

හරියටම මීට වසර දෙකකට ඉහත දී ජනවාරි 08 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තවත් සුවිශේෂී දිනයක් උදා වුණා. ඒ තමයි ලංකාවේ ප්‍රථම වරට පැරෂුට් බලකාය වෙනුවෙන් ගුවන් කාන්තාවන් බඳවා ගැනීමට තීරණය කරමින් නවතම පාඨමාලාව කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ ආරම්භ කිරිම. ඊට මාස කිහිපයකට පසු විසිරයාමේ උත්සවය පවත්වමින් උඩු ගුවන මත කාටත් නොදෙවෙනි ලෙස දස්කම්පාන මේ අපූරු ගුවන් කාන්තාවන් දෙස බලා ඉන්නෙකුට මොවුන් කාන්තා අභිමානය තව තවත් තීව්‍ර කරන්නට උරදුන් බව වටහා ගත හැකි වුණා. මේ අප ඔවුන් සොයා කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණු පාසල වෙත ගිය අපූරු ගමනක සුලමුලයි. මුලින්ම මෙහි කටයුතු පිළිබඳව අපට කතා කළේ ප්‍රධාන උපදේශක බලපන්ති ලුතිනන් සම්පත් පියසුන්දරයි.  


“කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ තිබෙන පැරෂුට් පුහුණු පාසල ආරම්භ කළේ 2004 වසරේ ජනවාරි 12 වෙනිදා. මේක තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබෙන එකම පැරෂුට් පුහුණු පාසල වෙන්නේ. මෙතනදි බඳවා ගැනීම් කරන්නේ ගුවන් කාන්තාවන්ගේ කැමැත්ත මතයි. රෙජිමේන්තුවල සිටින ගුවන් කාන්තාවන්ට මේ සඳහා අයදුම් කළ හැකියි. විශේෂයෙන්ම ගුවන් කාන්තාවක් ලෙස පත්වීම ලබන යුවතියන් අපි පැරෂුට් පාඨමාලාව පටන් ගන්නවා කියලා දැන්වීම් කළ පසුව, තමන්ගේ කැමැත්ත මත මේ සඳහා අයුදුම් කළ හැකියි. මේ වන විට පාඨමාලාවට අයදුම් කළ ගුවන් කාන්තාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය, යෝග්‍යතා පරීක්ෂණයක් මගින් අපි පරීක්ෂා කරනවා. ඉන්පසු ශරීර යෝග්‍යතාව තියෙන අය මේ සඳහා අපි බඳවා ගන්නවා.

පාඨමාලාවක් සඳහා එක්වතාවකට අයදුම්කරුවන් 30 හෝ 35 ක් බඳවා ගන්න පුළුවනි. මෙතනදි කාන්තාවන් සහ පිරිමින් දෙකම බඳවා ගනු ලබනවා. අපි දැනට කාන්තාවන්ට පමණක් පැරෂුට් පුහුණුවීමේ පාඨමාලා පවත්වා නැහැ. පාඨමාලා වර්ග දෙකක් තියෙනවා. මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව මාස එකහමාරක කාලයක් පවත්වනවා. මෙය වෙනත් විදිහකින් කිව්වොත් වැඩ කරන දවස් 24 ක්. අවසානයේ පුහුණු වන්නන් ගෙනියනවා අම්පාර ගුවන් හමුදා කඳවුර වෙත. එතනදී තමයි සජීවි ජම්ප්ස් අපි පුහුණු කරවන්නේ. මූලික පැරෂුට් පාඨමාලාව නිමා කරන ගුවන් කාන්තාවන්ට ඔවුනගේ කැමැත්ත පරිදි නිදහස් ආර පාඨමාලාවට බඳවා ගන්නා ගුවන් කාන්තාවන්ට මූලිකව අපි ලබාදෙන්නේ ශාරීරික යෝග්‍යතාව. එය මදිනම් අපි ඒ සඳහා සුදුසුවන අභ්‍යාස ලබාදෙනවා. ඒ සඳහා උදේ කාලයත්, එය ප්‍රමාණවත් නැතිනම් සවස් කාලයක් ශරීර යෝග්‍යතා අභ්‍යාස සඳහා අපි යොදවනවා. ඊට අමතරව පැරෂුට් භටයෙකුට අවශ්‍ය සෑම පුහුණුවක්ම අපි ලබාදෙනවා ග්රවුන්ඩ් ට්‍රේනින් කාලය ඇතුලතදී. ඒ සියල්ලෙන් සුදුසු තත්ත්වයට පත්වුනාට පස්සේ තමයි අපි ඔව්න්ව පැනීම් කටයුතුවලට අරගෙන යන්නේ. කාන්තාවන් වෙත ලබාදෙන පුහුණුවත් පිරිමින් සදහා ලබාදෙන පුහුණුවත් බොහෝදුරට එක හා සමානයි. නමුත් ඇතැම් පුහුණුවීම් අපි කාන්තාවන්ට ලිහිල් කරලා තියෙනවා.

 

ගුවන් භටයන් මෙන්ම ගුවන් කාන්තාවන් සඳහාත් එකම පාඨමාලාව තමයි කටුනායක ගුවන් හමුදා කඳවුරේ තිබෙන පැරෂුට් පුහුණුවීමේ පාසල තුළ හදාරන්නට ලැබෙන්නේ. මූලික පැරෂුට් පාඨමාලාව හදාරා නිම කරන ගුවන් කාන්තාවන්ට පනින්න ලැබෙන උස ප්‍රමාණය වෙන්නේ අඩි 1000 ක්. නිදහස් ආර හෙවත් ස්කයි ඩයිවින්වලදී අඩි 13500 දක්වා පනිනවා. අඩ් 3000, 3500 විතර තත්ත්වයට නිදහස්ව ආවට පස්සේ පැරෂුට් දිග ඇරගෙන පහළට එන්නට ඔවුන්ව අපි පුහුණු කරනවා. ඒ සදහා ජම්ප් මාස්ටර්ලගේ අනුදැනුම ඔවුන්ට ලැබෙනවා. මේ සඳහා කැමැත්තෙන් ඉදිරිපත්වන මූලික පාඨාමාලව හැදෑරු ගුවන් කාන්තාවන් නැවත සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා නිදහස් ආර හෙවත් ස්කයි ඩයිවින් පාඨමාලාව සඳහා තෝරා ගන්නවා. එහි පාඨමාලා කාලය මාස දෙකක් දෙකහමාරක් අතර කාලයක්. එහිදී ලබාදෙන පුහුණුවීම්වලට අමතරව ගුවන් කාන්තාවන් ජම්ප්ස් 25 ක් කළ යුතුයි. මූලික පාඨමාලාව සඳහා අදාළ වෙන්නේ ජම්ප්ස 05 ක් පමණයි.

දැනට මූලික පාඨමාලාව හැදෑරු ගුවන් කාන්තාවන් සහ පිරිමින් 409 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ශ්‍රි ලංකා යුධ හමුදාවේ සෙබලුන් 26 දෙනෙක් අපි පුහුණුවීම් කරලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නාවික හමුදාවේ 28 දෙනෙක් පුහුණු වෙලා තියෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 දෙනෙක් පුහුණු කරලා තියෙනවා. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පමණයි නිදහස් ආර පැරෂුට් පැනීමේ ගුවන් කාන්තාවන් සිටින්නේ.

මූලික පැරෂුට් පාඨමාලාව නිම කළ පැරෂුට් ගුවන් කාන්තාවන් අපට පුළුවන් යුධබිමේදී භූමියේදී ළගා වෙන්න නොහැකි අවස්ථාවලදී ගුවනින් ගොස් බිමට පතිත කරන්න. ඒ වගේම නිදහස් ආර පැරෂුට් ගුවන් කාන්තාවන් තමයි අපි බොහෝ වෙලාවට සංදර්ශන සඳහා යොදා ගන්නේ. සංදර්ශනවලට යොදා ගන්නා පරිසරය, කාලගුණ තත්ත්වය, සුළග, වැහිබර ගතිය, වලාකුළු තත්ත්වය අනුව පනින උස තීරණය කරනවා. ඒ සදහා ජම්ප් මාස්ටර්ලගේ දැනුම ලබා ගන්නවා.

අපි සාමාන්‍යයෙන් සංදර්ශන අවස්ථාවක නිදහස් ආර ගුවන් කාන්තාවන් පන්නන්නේ අඩි 6000 ක තරම් උසකින්. නැත්නම් ඔවුන්ට පොළව පිළිබඳ අවබෝධයක් ලබා ගන්නත් නරඹන්නන්ට ඔවුන්ව හොදින් බලා ගන්නත් නොහැකි වන නිසා. ගුවන් යානය පියාසර කරන විදිහ, ගුවන් යානයෙන් ඔවුන් පනින අවස්ථාව, ගුවන් කාන්තාවන් පොළවට පතිතවීම හොදින් බලාගන්න අඩි 6000 ක උස තමයි අපි යොදා ගන්නේ. ගුවනේ සිට බිම බලද්දී අපට පනින්න තියෙන භූමිය හොදින් දිස් වෙන්නේ නැත්නම් අපි පැනීම් කටයුතු කරන්නේ නැහැ. ඊට අමතරව සුළගේ වේගය බලපාන නිසා පැයට කිලෝමීටර 15,20 කට වඩා වැඩිනම් පැනීමේ කටයුතු අපි කරන්නේ නැහැ. නැත්නම් පැනීම් කරන පුද්ගලයන්ට බොහෝ දුරට හානියක් වෙන්න පුළුවනි.

දැනට කටුනායක ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පාසලේ අණදෙන නිලධාරීතුමා ලෙස කටයුතු කරන්නේ වින්කමාන්ඩර් මහින්ද පාගොඩ මහතා. ඊට අමතරව ප්‍රධාන උපදේශක විදිහට මම කටයුතු කරනවා. පුහුණුවීම් බාර නිලධාරී ලෙස බලපන්ති ලුතිනන් සුමේධ රිටිගල කටයුතු කරනවා. බලලත් නිලධාරී ලෙස ෆ්ලයිට් සාජන් සමරසිංහ කටයුතු කරනවා. ඊටත් අමතරව සුදුසුකම්ලත් උපදේශකයන් මඩුල්ලක් සමග ශරීර අභ්‍යාස උපදේශකයන් දෙදෙනෙක්ද සිටිනවා.මේ සියලු දෙනාගේ දායක්තවය මගින් තමයි අපි පුහුණු පාසැලේ පුහුණුවීම් කටයුතු කරගෙන යන්නේ. සියලු පුහුණුවන්නන්ගේ පුහුණුවීම් කටයුතු අපි පටන් ගන්නේ උදේ 6.00 ශාරීරික අභ්‍යාස වලින්. උදේ 7.00 දක්වා එය පවත්වනවා. උදේ ආහාරය ලබා ගත්තට පස්සේ 8.30 ට නැවතත් පාසලේ උපදේශන කටයුතු පටන් ගන්නවා. ඊට පස්සේ පුහුණුවීම් කටයුතු විනාඩි 40 කොටස්වලට කඩලා කරගෙන යනවා. සාමාන්‍යයෙන් විනාඩි 40 කට වරක් විනාඩි 5 ක විවේක කාලයක් පුහුණුවෙන්නන් සදහා ලබාදෙනවා. සවස 1.30 වනවිට පහුණුවීම නවත්වනවා.

2004 වසරේ පැරෂුට් පුහුණු පාසල පටන් ගත්තට පසුව මූලික පැරෂුට් පාඨමාලාවන් 21 ක් කරලා තියෙනවා. ජම්ප් මාස්ටර් පාඨමාලාවන් එකක් කරලා තියෙනවා. පැරෂුට් ඔතන්නන්ගේ පාඨමාලාවන් 3 ක් කරලා තියෙනවා. නිදහස් ආර පැරෂුට් පැනීමේ පාඨමාලා 4 ක් කරලා තියෙනවා. මෙම පාසැලේ ප්‍රථම අණදෙන නිලධාරී තුමා ලෙස කටයුතු කරලා තියෙන්නේ ග්රූප් කපිතාන් ප්‍රියංකර පෙරේරා, ඉන් පස්සේ වින්කමාන්ඩර් එච්.එම්.එච්.ඩී. හේරත්, යන මහත්වරු දැනට වර්තමාන අණදෙන නිලධාරීතුමා ලෙස කටයුතු කරන වින්කමාන්ඩර් මහින්ද පාගොඩ සර් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. ගුවන් හමුදාපතිතුමා, ගොඩබිම් ආරක්ෂක අධ්‍යක්ෂක තුමා සහ පුහුණු අධ්‍යක්ෂතුමා ඇතුළු මේ සියලු නිලධාරින්ගේ අධීක්ෂණය සහ දායකත්වය යටතේ තමයි ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසල සහ පැරෂුට් කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්නේ.


ඡායාරූප - සුජාතා ජයරත්න