Friday, 29 March 2024

දෙවිනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර 21දා සිට

Posted On Thursday, 19 July 2018 06:39

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය 21දා සවස 5.06 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ.
 


ඒ බව අනාවරණය කෙරුණේ දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ය. දින හයක් පුරා සන්ධ්‍යා භාගයේ දී පේළි පෙරහැර පැවැත්වේ.
 
ඒ අනුව පළමුවන පේළි පෙරහැර පිටත්වීම 21දා සවස 5.06 ට යෙදෙන සුභ මොහොතින් ද, දෙවන පේළි පෙරහැර පිටත්වීම 22දා සවස 4.02 ට යෙදෙන සුභ මොහොතින් ද, තුන්වන පේළි පෙරහැර පිටත්වීම 23දා සවස 5.10 ට යෙදෙන සුභ මොහොතින් ද, හතරවන පේළි පෙරහැර පිටත්වීම 24දා සවස 5.18 ට යෙදෙන සුභ මොහොතින් ද, පස්වන පේළි පෙරහැර පිටත්වීම 25දා සවස 4.39 ට යෙදෙන සුභ මොහොතින් ද, හයවන පේළි පෙරහැර පිටත්වීම 26දා සවස 3.39 ට යෙදෙන සුභ මොහොතින් ද සිදු කිරීමට නියමිතය.
 
ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන 27දා දින සවස 5.13 ට යෙදෙන සුභ මුහුර්තියෙන් දක්ෂිණ දිසාභිමුඛව දේවලයෙන් පිටත්ව දකුණු වාහල්කඩින් පෙරහැර මාර්ගයට පිවිස ඉතා උත්කර්ෂවත් අන්දමින් රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කෙරේ.
 
අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.
 
චන්ද්‍රබාහු නම් ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ දෙවියන්ට වූ භාරයක් ඔප්පු කරනු වස් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 761 වන වරට ය.
 
28දා සිට දින හතක් සල්පිල පැවැත්වෙන අතර අගෝස්තු 03දා දින රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිණි පාගා අගෝස්තු 04දා දින පෙ.ව. 11.00 ට දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට කෙරේ.
 
දෙවිනුවර ඓතිහාසික රාජමහා විහාරාධිපති දෙවිනුවර සුනන්ද නාහිමියන් සහ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ කේ.එච්. නන්දසිරි මහතා ඇතුළු පෙරහැර කමිටුවට සම්බන්ධ සියලු ආයතන හා නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.