Thursday, 18 April 2024

දරුවාගේ පළමු ප්‍රතිශක්තිකරණය මව්කිරයි - විශේෂඥ වෛද්‍ය යූ.ඩි.පී. රත්නසිරි

Posted On Wednesday, 25 July 2018 05:37

දරුවෙකුගේ පෝෂණය හා පළමු ප්‍රතිශක්තිකරණය මව්කිරි බවත් එය දරුවාගේ අයිතිවාසිකමක් මෙන් ම දරුවාගේ එම අයිතිවාසිකම සැපිරීම මවගේ මෙන් ම පවුලේ සෙසු පුද්ගලයින්ගේ යුතුකමක් බවත් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩි.පී. රත්නසිරි මහතා පැවසීය.
 


ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) ජාතික මව්කිරිදීමේ සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
 
පළමු මාස 06තුළ මව්කිරි පමණක් දීම හරහා 50%ක් පමණ ළමා මරණ වළක්වාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් අනුව අනාවරණය වී තිබෙන බවත් පෙන්වාදෙන වෛද්‍යවරයා මව්කිරි දීම නිසා මවක් රෝග රැසකින් ආරක්ෂාවන බවත් පෙන්වා දුන්නේය.
 
එමෙන් ම ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01දා සිට 07දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ම "මව්කිරි සුවබර දිවියක පදනම" යන්න මෙවර තේමාව බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, වසංගත රෝග විද්‍යාඥ, පබා පලිහවඩන මහත්මිය මෙහිදී සඳහන් කළාය.
 
පෝෂණය, ආහාර සුරක්ෂිතතාවය සහ දිළිඳුබව තුරන්කිරීමේ තිරසර සංවර්ධන ඉලක්කයන්ට ලඟාවීමත් සඳහා මවුකිරිදීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබලදීම වැඩිදියුණු කිරීමේ සහ පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙහිදී වෛද්‍යවරිය විසින් පැහැදිලි කරන ලදී.