Thursday, 28 March 2024

කාන්තාවන් විදේශ ගතකිරීමේදි ගත යුතු පවුල් පසුබිම් වාර්තාව නිසා මාෆියාවක් නිර්මාණය වෙලා

Posted On Thursday, 06 September 2018 09:04

කාන්තාවන් විදේශගත කිරීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන එම නීතියට අනුව කටයුතු කළත් ජාවාරම්කරුවන් පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමට නොහැකි කාන්තාවන් විදේශ ගතිරීමේ මාෆියාවක් නිර්මාණය කරගෙන ඇති බවත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත සංගමයේ සභාප ති ඒ.එල්.ඒ. හස්ලාම් මහතා පැවසීය.


ජාවාරම්කරුවන් පවුල් පසුබිම් වාර්තාව ලබාගත නොහැකි කාන්තාවන් සංචාරක වීසා පත් හා වෙනත් නීති විරෝධී ක්‍රම මගින් විදේශ ගතකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ පවුල් පසුබිම වාර්තාව නිසා බවද ඔහු සදහන් කරයි.

විදේශගත වන කාන්තාවන් සදහා පවුල් පසුබිම වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කරනු ලැබුවේ 2013 වසරේදීයි. මෙම පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය කිරිමට හේතුවූයේ වසය අවුරුදු 5ට අඩු දරුවන් සිටන මව්වරුන් විදේශගතකිරීම අඩාල කිරීම අරමුණු කරගෙනයි. එහෙත් ඒ සමග සිදුවූයේ ජාවාරකම්කරුවන්ට ජාවාරම් කිරීමට අවස්ථාවක් ලැබීමයි. මෙය බොහෝ තානාපති කාර්යාලවලටද ගැටලුවක් වී ඇත. තවද රැකියාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවූ විට විදේශ ගත කළ තැනැත්තා හෝ රටට ගෙන්වාගත් වගකිව යුතු විදේශ රැකියා නියෝජිත ආයතනයක්ද නොමැතිවීම නිසා බොහෝ කාන්තාවන් අපහසුතාවයට ලක්වෙයි

බොහෝ අවස්ථාවලදී නීත්‍යානුකූලව පවුල් පසුබිම් වාර්තාවක් ලබාගැනීමට සුදුසුකම් නොලබන අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරු වංචනික කටයුතුවල යෙදෙන තැරැව්කරුවන් හරහා ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව හොර රහසේ විදේශගතවේ. එවැනි අවස්ථාවලදී කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබදව මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු ඇතිවන අතර එය මැඩ පවත්වාගැනීම සදහා හරින් ප්‍රනාන්දු ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.  අර්බුදකාරී පවුල් පසුබිම් වාර්තාව වෙනුවට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමගින් වෙනත් ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යයි. තවද විදේශගතවන ශ්‍රමිකයින්ගේ පවුල්වල ආරක්ෂාව හා සුභසාධනය මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ද විශය භාර ඇමැති හරින් ප්‍රනාන්දු ඇමැතිතුමා මෙන්ම නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතාද කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇත.

වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විද්ශ ගත කිරීමට බලපත්‍ර ලත්විදේශ රැකියා නියෝජිත ආයතනද කිසිදු කැමැත්තක් නොදක්වන අතර යම් ආයතනයක් එසේ කරනු ලබයි නම් ඔවුන් නීතියේ රැහැනට හසුකරගෙන ඔවුන්ට දැඩි දඩුවම් ලබාදී එවැනි ආයතනවල බලපත්‍ර අහෝසි කළ යුතුය.

මෙවැනි වංචනික ක්‍රම මගින් විදේශගතවන කාන්තාවන්ටද එරටදී නිසි රැකියාවක් හා වැටුප් නොලැබෙන අතර අතරමංවී නැවත මෙරටට පැමිණෙන අවස්ථාවලදී ඇතැම් කාන්තාවන් සත්‍ය වසන් කර අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමත්, ඇතැම් මාධ්‍ය ඒවා උලුප්පා වාර්තා කිරීමත් මගින් සමාජය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබද වැරදි ආකල්පයක් ඇතිවන බවත් එමගින් විදේශ රැකියා කර්මාන්තය පිරිහීමට ලක්වීම කණගාටුදායක කාරණයකි.