Thursday, 28 March 2024

ඩොලරය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වන රජයේ මැදිහත් වීමෙන් විදේශ විනිමය රටින් බැහැර වීම අඩුවනු ඇත

Posted On Friday, 21 September 2018 04:44

ඩොලරය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වන රජයේ මැදිහත් වීමෙන් විදේශ විනිමය රටින් බැහැර වීම අඩුවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

නිකුත් කළ නිවේදනය මෙසේ ය.

''ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක (100% margin on LC) අවශ්‍යතාවයක් තිබිය යුතු යැයි නව රෙගුලාසියක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පනවන ලදී. තවද, ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකළ යුතු යැයි වාණිජ බැංකු හා මූල්‍ය ආයතන වෙත සීමා පනවා තිබේ.

මෙම නව රෙගුලිසි අනුව, වාහන ආනයනය කරන්නෙකු ඒ සඳහා ඇණවුම් කරන ණයවර ලිපිය බැංකුව හරහා විවෘත කරන අවස්ථාවේදීම එම වාහනයේ මුළු වටිනාකමට සමාන මුදලක් තමා විසින්ම බැංකුවේදී එක්වර තැන්පත් කිරීම අනිවාර්ය වේ.

මෙය, ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය මත ඇතිවී තිබෙන පීඩනය ලිහිල් කරනු පිණිස රජය මඟින් ගෙන ඇති එක් පියවරකි. මෙයට පෙරද රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කුඩා මෝටර් රථ මත වූ තීරුබදු ප්‍රමාණයද වැඩිකරන ලදී.

කුඩා මෝටර් රථ සඳහා වන තීරුබදු වැඩිකිරීම හේතුවෙන් එවැනි වාහන ආනයනය සීමා වූ අතර ණයවර ලිපි විවෘත කිරීමේදී ඊයේ සිට පනවන ලද සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය හේතුවෙන්ද වාහන ආනයනය සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැර වීම සැළකිය යුතු අයුරින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සියළු පියවරයන්හි අරමුණ වනුයේ ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීමය.

වෙළෙඳපළ ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාතය තීරණය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදී ඇති ආර්ථිකයන්හි එහි ඇතිවන්නා වූ තාවකාලික පීඩනය අවම කිරීම සඳහා රජයන් විසින් වරින් වර අවශ්‍ය මැදිහත් වීම් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයකි.

ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වීම ඉදිරියේ දියුණුවෙමින් පවත්නා බොහොමයක් රටවල ඩොලරයට සාපේක්ෂව එම රටවල මුදලේ අගය අවප්‍රමාණය වෙමින් පවතී. අද වනවිට එනම්, 2018 මැයි මාසයෙන් පසුව ලංකාවේ රුපියල 6% ක පමණ අවප්‍රමාණය වී ඇත.

මෙම අවප්‍රමාණ ප්‍රතිශතය අපට වඩා විශාල ආර්ථිකයක් ඇති ඉන්දියාවේ මුදලේ අවප්‍රමාණය 11% කි. පිලිපීනයේ 9% කි. ඔස්ට්‍රේලියාවේ 8% කි. එමෙන්ම, පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහොමයක ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණය වී තිබීම සුලභව දක්නට ලැබෙන සත්‍යයකි.

ඩොලරයේ අගය අඩුවීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ අවස්ථාවක්ව පැවැති යුගයක්ද තිබිණි. ශ්‍රී ලංකාවේ 2012 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල එක් මසක් ඇතුළත 14% කින් අවප්‍රමාණය විය. ඒ වනාහී ලොව අනෙකුත් රටවල ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය ශක්තිමත් වෙමින් තිබූ අවස්ථාවකදීය.