Friday, 19 April 2024

අභ්‍යන්තර ගුවන් තොටුපල 06 ක් කඩිනම් සංවර්ධනයට

Posted On Tuesday, 25 September 2018 07:24

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වඩාත් ක්‍රමවත් කිරීමට අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වන රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොග්ගල හා දිගන යන ගුවන් තොටුපලවල් වඩාත් ඵලදායී ලෙස ගුවන් සේවාව සදහා යොදවා ගැනීමට ක්‍රම උපායන සැලැස්මක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.


මෙහිදී රත්මලාන ගුවන් තොටුපල භූමියෙන් අක්කර 25 ක පමණ භූමි භාගයක් දැනට භුක්ති විඳින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් නැවත ලබාගෙන එහි සිවිල් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට කටයුතු ආරම්භ කර ඇත.

මේ සඳහා දැනට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 750 කට අධික මුදලක් ගුවන් හමුදාවට, නව අංගණ ඉදිකිරීම සඳහා ගෙවීමට එකඟ වී ඇති අතර එයින් දැනටමත් රුපියල් මිලියන 250 ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇත. ඒ අනුව ගුවන් හමුදාව 2018 දෙසැම්බර් 31 ට පෙර එකී ඉඩම් කොටස හා ගොඩනැගිලි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත භාරදීමට අවශ්‍ය කටයුතු කරන බව ගුවන් හමුදා බළධාරීන් මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයාට දැන්වීය.

රත්මලාන ගුවන් තොටුපල මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා පෞද්ගලික ජෙට් ගුවන් යානා ගොඩබැස්සවීමේ ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දෙන ලද අතර, ගුවන් යානා මෙහෙයුම් සඳහා අවශ්‍ය නව තාක්ෂණ උපකරණ මිලදී ගැනීමටත්, නව සංඥා කුළුණක් ගොඩනැංවීමටත්, අමතර ගුවන් යානා නවතා තැබීමට අංගණයක් ඉදිකිරීමටත් දැනටම සැලසුම් ඉදිකොට ඇති බව මෙහිදී හෙළි විය.

මෙහිදී පෞද්ගලික ජෙට් යානා මෙහෙයවීමේ පර්යන්තයක් ස්ථාපිත කිරීමට තරඟකාරී මිල ගණන් කැඳවා ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි. ප්‍රාදේශීය ගුවන් තොටුපල සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙන සීගිරිය ගුවන් තොටුපලේ ධාවන පථය පිළිසකර කිරීම සඳහා ඉක්මන් පියවර ගත යුතු බවත්, කොග්ගල ගුවන් තොටුපලේ ධාවන පථයද අලුත්වැඩියා කල යුතු බවටද තීරණය විය.

පලාලි ගුවන් තොටුපල කිසිම ලෙසකින් සංවර්ධනය කිරීමට විදේශ රටකට ලබා නොදිය යුතු බවත්, A 320 ගුවන් යානා ගොඩබැස්සවිය හැකි තත්ත්වයට ධාවන පථය දීර්ඝ කොට ප්‍රතිසංස්කරණය කිරීමට දැනටමත් සිවිල් ගුවන් සේවා අධිකාරිය හා සංචාරක මණ්ඩලය අවශ්‍ය මුදල සපයා දීමට එකඟ වී ඇති අතර අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයන් නොපමාව සිදුකොට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකල යුතු බවත් අමාත්‍යවරයා දැන්වීය.

මේ සඳහා දැනටමත් සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඒකාබද්ධ සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

පසුගිය රජය මගින් ආරම්භ කොට නවතා දමා ඇති දිගන ගුවන් තොටුපල පිලිබඳව පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳවද වාර්තාවක් සකස් කරන ලෙසද, දැනටම රුපියල් මිලියන 197 ක් වියදම් කර ඇති මෙම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැකිද යන්න පිළිබඳවද විද්වත් කමිටුවක් මගින් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

 

පියාසර පාසල් වලට මුහුණ දීමට සිදුවී ඇති ගැටළු පිළිබඳව හා යල් පැන ගිය ගුවන් සේවා නීති රීති සොයා බලා ඒවා වෙනස් කිරීමට පියවර ගත යුතු බවද, එසේ නොකළහොත් කලාපයේ අනෙකුත් රටවල් සමගතරඟකාරී ලෙස පියාසර පාසල් පවත්වාගෙන යාමට නොහැකි බව අමාත්‍යවරයා පෙන්වාදෙන ලදි.

 

ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමඟ අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතා හඳුනාගනිමින් අභ්‍යන්තර ගුවන් තොටුපලවල් දියුණු කිරිමේ කටයුතු මේ වසර තුළ ආරම්භ කළ යුතු බවට අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා ඇතුලු සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන් තොටුපල සමාගමේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.