Friday, 29 March 2024

විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කනගාටුව

Posted On Wednesday, 03 October 2018 04:07

ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ඉන්දුනීසියානු ජනතාවටත්, එරට රජයටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි.


ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මැතිතුමා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම සිදුවීම අසා තමා දැඩි සේ කම්පාවට පත් වූ බවයි.

විපතට පත් සියලුදෙනා වෙත ශ‍්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් දැඩි සංවේගය පිරිනමන බව ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කර තිබේ.

මෙම අසීරු අවස්ථාවේ ඉන්දුනීසියාව සමග ශ‍්‍රී ලංකාව ද අත්වැල් බැඳගෙන සිටින බව සිය පණිවිඩයේ සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා මෙම ස්වාභාවික විපතෙන් යළි නැගී සිටීමට ඉන්දුනීසියා ජනාධිපතිතුමාටත්, රජයටත්, ජනතාවටත් සිය ආශිර්වාදය පළ කර සිටී.