Thursday, 25 April 2024

'' ගජ ''කුණාටුව ගැන ධීවර ප්‍රජාව අවධයෙන් සිටින්න- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Monday, 12 November 2018 06:19

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව (GAJA-ගජ) මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.5 සහ නැගෙනහිර දේශාංශ 87.4 ආසන්නයේ ස්ථානගතව පවතින බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 12 තුලදී බස්නාහිර දෙසට ගමන් කර ඉන් අනතුරුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ධීවර සහ නාවුක ප්‍රජාවගෙන්මේ පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

 

දිවයිනට නිරිත සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50දක්වා වැඩිවිය හැක. එවිට එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.