Thursday, 18 April 2024

දේශපාලනයට ලං.ග.ම සම්බන්ධ කරගන්න එපා - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Posted On Monday, 12 November 2018 06:23

පසුගිය වසර තුනක කාලයක් තුල මුල්‍ය වර්ධනයක් ඇතිකළ ශ්‍රී ලංකා ගනාගමන මණ්ඩලය තුලට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන අගාධයක් කරා ගෙන නොයන ලෙසට තමා සියලු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිව්ල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි .


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වසර 06 කට පසුව වැටුප් වැඩිකිරීමකින් අනතුරුව එම වැඩි වැටුප් සංකේතාත්මකව සේවකයින්ට ලබාදීම සඳහා 10 දින බත්තරමුල්ල සෙත්සිරිපාය ශ්‍රවනාගාරයේදී පැවති උත්සවයකදීය.

විශේෂයෙන් මේ පිළිබඳ වගකීම සියලුම වෘතීය සමිතිවලට තිබෙනබව පැවසූ අමාත්‍යවරයා මෙහි සිටින සැම සේවකයකුටම තමාගේ දේශපාලන මතයක් දැරීමට අයිතියක් ඇතිබවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන් තමන් වෙත නතු කරගැනීමට අයිතියක් ඇතිබවද පැවසීය.

තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා;

මම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිනවා කිසිම පොදු දේපලක් දේශපාලන කටයුතු වලට යොදා නොගන්න ලෙසට. ඒ වගේම ලංගම බස්රථ ද කිසිම අයුරකින් නොමිලේ දේශපාලන කටයුතු වලට ලබා නොදෙන ලෙසට ලංගම සභාපතිවරයාටත්, අමාත්‍යංශ ලේකම් වරයාටත් මම උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් ඕනෑම අයෙකුට, ඕනෑම පක්ෂයකට බස්රථ ලබාගැනීමට අවශ්‍ය වුවහොත් නියමිත මුදල් ගෙවා ලබාගැනීමට හැකියාව තිබෙන බව මේ අවස්ථාවේ මම පවසනවා. ඒ තුලින් අප බලාපොරොත්තු වෙනවා ලංගමයට ආදායම් වැඩිකරගැනීමට.

වසර 6 කට පසුව එනම් 2012 වසරෙන් පසුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට හැකිවීම පිළිබඳව මා අමාත්‍යවරයා වශයෙන් සතුටට පත්වෙනවා. මුදල් අමාත්යංශය විසින්ද අඩු වැටුප් ලබන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙසට චක්‍රලේඛන මගින් දන්වනු ලැබුවත් පසුගිය කාල පරිච්චේදය තුල මණ්ඩලය තුල තිබු මුල්‍ය දුෂ්කරතාවයන් නිසා වැටුප් වැඩි කිරීමට බාධාවක් වී තිබුනා. නමුත් පසුගිය වසර එකහමාරක් වැනි කාලයක් තුල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුල ක්‍රියාත්මක කරන ලද නිසි මුල්‍ය පරිපාලන ක්‍රියාවලිය සහ අවම සේවක සංඛ්‍යාවක් තුලින් වැඩි සේවාවක් සපයා වැඩි ආදායම් ලබා ගැනීම හේතුවෙන් මෙම නව වැටුප් ගෙවීමට හැකියාව ලැබුණා. ඒ අනුව රියදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු හා ආරක්ෂක යන බිම්ගත ශ්‍රේණිවල සේවයේ නියුතු සේවකයින්ගේ මුලික වැටුප රු. 14250 සිට රු. 25550 දක්වා වැඩිවී තිබෙනවා. මෙහි දෙවන අදියර යටතේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ මුලික වැටුපද මේ හා සංසන්දනාත්මකව වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ නිසා අද ලංගම සේවකයෙක් ලෙස අභිමානයෙන් යුතුව පෞද්ගලික අංශයේ සේවකයන් හා නිලධාරීන් ලබා ගන්නා වැටුපට සමාන වැටුපක් ලබා ගැනීමට අද හැකියාව ලැබී තිබෙනවා.

 

ඒ නිසා මේ ලබාගත් මුල්‍ය ජයග්‍රහණය තවදුරටත් පවත්වා ගැනීමට සියලු සේවකයින් එක්ව කටයුතු කරන ලෙස මා මෙම අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. දේශපාලනඥයන් වශයෙන් අපි එනවා, යනවා. නමුත් කුමන දේශපාලනඥයෙක් මෙම ආයතනයන් බාරගත්තද මේවා විනාශ නොකොට මේ ආයතන ගුණාත්මක භාවයෙන් යුතු මහජන සේවාවක් ලබාදීමට කටයුතු කරන ලෙසට මා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.

මෙම නව වැටුප් ක්‍රමය එළිදැක්වීම සඳහා සංඛේතාත්මකව රියදුරු, කොනොදොස්තරවරු, කාර්මික ඇතුළු බිම්ගත ශ්‍රේණිවල සේවයේ නියුතු සේවකයින් 150 දෙනෙකුට නව වැටුප් ලබාදීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 10 වන දින සෙත්සිරිපායේ පිහිටි ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ද, වෘත්තීය සමිති නායකයින් පිරිසක්ද සහභාගී වුහ