Friday, 19 April 2024

ඉන්දියාවේ නිෂ්පාදිත ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් දුම්රිය සේවයට එක් වේ.

Posted On Monday, 03 December 2018 07:36

ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙල යටතේ ශ්‍රි ලංකාවට ආනයනයන කල ද්විත්ව බලවේග කට්ටලයක් සහ ඩීසල් විදුලි එන්ජිමක් 2018-12-03 වන දින පෙ.ව. 10.00 කොළඹ වරායේ පිහිටි බණ්ඩාරණායක ජැටියට ගොඩබාන ලදි


මෙම ද්විත්ව බලවේග කට්ටලයේ වටිනාකම රු.බිලියන 1.8ක් පමණ වන අතර ඩීසල් විදුලි එන්ජිමේ වටිනාකම රු.මිලියන 77.8 පමණ වේ. මෙම ද්විත්ව බලවේග කට්ටලයේ මැදිරි සංඛ්‍යාව 09ක් වන අතර 03වන පන්තියේ මැදිරි 05කි. 02වන පන්තියේ මැදිරි 02ක් සහ වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි 02ක්ද මෙයට අමතරව ඇත.

 

එබැවින් මෙම ද්විත්ව බලවේග කට්ටලය මගින් විශාල සංඛ්‍යාවක් රැගෙන යා හැකි වන පරිදි දුර ගමන් සේවා සදහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. මෙයට අමතරව ආනයනය කරන ලද ඩීසල් විදුලි දුම්රිය එන්ජිම ප්‍රධාන මාර්ග වල ධාවනය සදහා යෙදවීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තු බලධාරින් අවධාරණය කරයි.


ඉන්දියානු සහන ණය වැඩ පිළිවෙල යටතේ එළඹෙන 2019 වසරේ තවත් ද්විත්ව බලවේග කට්ටල 09ක් සහ ඩීසල් විදුලි එන්ජින් 05ක් ආනයනය කර දුම්රිය සේවය සදහා යෙදවීමට සියළු කටයුතු අවසන් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරන අතර මෙම දුම්රියයන් ධාවනයට යෙදවීමෙන් පසුව මගී තදබදය අවම කිරිමට හැකි වන බවට අමාත්‍යාංශය විශ්වාසය පල කරයි. සමස්ථ ඩීසල් විදුලි එන්ජින් 06 සහ ද්විත්ව බලවේග කට්ටල 10 මිලදි ගැනීම සදහා රු. බිලියන 18ක් වැය කර ඇති බව අමාත්‍යාංශය තව දුරටත් අවධාරණය කරයි. මෙම ආනයනය කරන ලබන ද්විත්ව බලවේග කට්ටලය සහ ඩීසල් විදුලි එන්ජිම පරික්ෂණ ධාවන කටයුතු වලින් අනතුරුව කඩිනමින් මගී සේවා සදහා යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තු බලධාරින් අවධාරණය කරයි.


මෙම ද්විත්ව බලවේග කට්ටලය සහ ඩීසල් විදුලි දුම්රිය ගොඩබෑමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ වරාය සහ නාවික කටයුතු පිළිබද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යන අමාත්‍යවරුන්ද අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.