Wednesday, 24 April 2024

Harvest - 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය අද සිට 16 දක්වා BMICHහි දී

Posted On Tuesday, 11 December 2018 08:40

නව කෘෂිකාර්මික සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන Harvest 2018 නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය  අද (11) දින සිට 16 දක්වා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.


මෙම කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන්   පෙ.ව 9.00ට ආරම්භ වේ.

අද (11) දින සිට 16 දින දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදී අංශ ගණනාවකින් මෙම ප්‍රදර්ශනය සමන්විතය.

දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලාංකික ගොවීන්ට හඳුන්වා දීමටත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණ වේ.

2018 වසරේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කැපවී කටයුතු කළ ගොවීන් , කෘෂි විද්‍යාඥයින් සහ නිලධාරීන් ඇගයීම සඳහා කෘෂි උපහාර උළෙලක් මෙම ප්‍රදර්ශනය සමාරම්භක  අද දින (11) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඔවුන් වෙත සම්මාන පිරිනැමීමටත් කටයුතු යොදා ඇත.