Thursday, 28 March 2024

වසර 2030 වන විට පුරවැසියන් 05 දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වඩා වැඩියි

Posted On Wednesday, 12 December 2018 05:43

සීඝ්‍රයෙන් අපේ රටේ වැඩිහිටි ජනගහණය වර්ධනය වන බවත් වසර 2030 වන විට සෑම පුරවැසියන් 05 දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වඩා වැඩි අයෙකු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වයෝවෘද්ධ හා ආබාධිත අයගේ සෞඛ්‍ය රැකවරණය ලබා දීමේ ජාතික වැඩසටහනේ කළමණාකාරිනී, වෛද්‍ය ශිරෝමි මඩුවගේ මහත්මිය පවසයි.


ඇය මේ බව පැවසුවේ අදට (12) යෙදී තිබෙන "ලෝ වැසි සැමට සෞඛ්‍යාවරණය" පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ඊයේ(11) කොළඹ වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැත් වූ වැඩමුළුවකට එක්වෙමිණි.

මෙහිදී අදහස් පළ කළ වෛද්‍යවරිය පැවසුවේ,

"අප හමුවේ ඇති මෙම අභියෝගය අභියෝගයක් ලෙස නොව වත්කමක් ලෙස අප සැළකිය යුතුයි. අපගේ වැඩිහිටි ජනගහණය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ දිස්ත්‍රික්ක වල සුවදිවි මධ්‍යස්ථාන ක්‍රියාත්මක කර තිබෙනවා. පවුල් සෞඛ්‍ය නිලධාරින්ට අමතරව වැඩිහිටි රැකවරණය වෙනුවෙන් නිලධාරින් 200 දෙනෙක් මේ වන විට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්, රජයේ රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා ආදියෙහි මෙම සුවදිවි මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. "

වසර 2030 වනවිට අප හමුවේ ඇති මෙම අභියෝගය ජය ගැනීමට සහ ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය ශිරෝමි මඩුවගේ මහත්මිය පැවසුවාය.

දැනට මෙම ක්ෂ්‍රෙත්‍රයේ අඩුපාඩු තිබුණත් ඉදිරියේදී වැඩිහිටි සෞඛ්‍ය ගුණාත්මකව ඉදිරියට ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය කටයුතු කරන බවත් සඳහන් කළ ඇය වැඩිහිටි පරපුරේ වර්ධනය අපට අභියෝගයක් නොව එය අපට වත්කමක් කරගෙන අනාගතයට මුහුණ දිය යුතු බව පැවසුවාය.

එමෙන්ම තම වැඩිහිටි දිවිය තරුණ කල සිටම සැළසුම් කිරීම තුළින් සක්‍රීය වැඩිහිටියෙකු බවට පත් විය හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආර් හනීෆා මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.