Wednesday, 24 April 2024

ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි- රාජ්‍ය උත්සවය ජනවාරි මස 05 වනදා

Posted On Wednesday, 12 December 2018 05:46

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කොට ඇත. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය 2019 ජනවාරි මස පස් වැනි (05) දින පෙරවරු 9.00 ට මාතලේ අළුවිහාරයේ දී මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.


මෙම රාජ්‍ය උත්සවයට සිව් දිගින් වැඩම කරවන මහා සංඝයා වහන්සේලා 2000ක්, අන්‍ය ආගමික නායකයින්,විදේශීය තානාපතිවරුන් ,පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්,බෞද්ධ සංවිධාන නියෝජිතයින් ඇතුළු හාරදහසකට පමණ ආරාධනය කෙරෙනු ඇත.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ,ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සවස පැවැත්විනි.

එයට මාතලේ අළුවිහාරයේ ආචාර්ය ඉනාමළුවේ නන්දරතන හිමියන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල ,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්. එම්. පී.  හිටිසේකර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ නිලධාරීහු ද සහභාගි වූහ.


ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස දැනට ප්‍රකාශයට පත් කළ ද යුනෙස්කෝව සමඟ සාකච්ඡා කොට ඉදිරි කාලයේ දී එය ලෝක උරුමයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙහි දී පැවසීය.