Friday, 29 March 2024

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම සිසු අයිතියට

Posted On Thursday, 31 January 2019 05:56

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයවන ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමට නියමිතය.



මෙය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ඉදි කරන අතර එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම බදවා ගැනීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (පුහුණු) චන්දන විදානපතිරණ මහතා පවසයි.

මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 16.85ක් පමණ මුදලක් වෙන්කර තිබෙන අතර කොරියානු එක්සිම් බැංකුව මෙයට අරමුදල් සපයයි.

කොළඹ නගරය තුළ අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම අරමුණ වී තිබෙන බවත් ශ්‍රී ලංකා තරුණ තරුණියන් උදෙසා වාත්තීය පාඨමාලාවන් රැසක් හදුන්වා දීමට නියමිත බව විදානපතිරණ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය විසින් සිදු කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදි කරන මෙම ශ්‍රී ලංකා ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සියලු පාඨමාලා සදහා තාක්ෂණ වැඩහල්, දේශන ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල පහසුකම්, ආපන ශාලා, භාෂා විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර සහ නවාතැන් පහසුකම් වලින් ද සමන්විත වන බවත් විදානපතිරණ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

පාඨමාලා 9ක් මෙම මධ්‍යස්ථානයේදී හැදෑරීමට අවස්ථාව ඇති අතර මෝටර් රථ තාක්ෂණය, ශීතකරණ හා වායු සමීකරණ තාක්ෂණය, පෑස්සුම් තාක්ෂණය, සී.එන්.ඒ. තාක්ෂණය, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ආදී පාඨමාලාවන් ඒ අතර කිහිපයකි. මේ සදහා වෘත්තීය පුහුණු අධිකාරියේ වෙබ් අඩවිය මගින් අයදුම් පත් නිකුත් කරනු ලබයි.

මෙම ශ්‍රී ලංකා ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය දැයේ තරුණ තරුණියන්ගේ අනාගත සුබ සිහින යථාර්තයක් කරමින් මාර්තු මස 31වන දින විවෘත කිරීමට නියමිත බව චන්දන විදානපතිරණ මහතා කීය.