Friday, 29 March 2024

වයඹ පළාතේ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායම් යොමු කෙරේ

Posted On Wednesday, 15 May 2019 07:03

වයඹ පළාතේ තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවන තැනට වගබලාගැනීම සඳහාත් සිදුවීම් විමර්ශනය කිරීම  සඳහාත් එම ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් පොලිස් විශේෂ කණ්ඩායම් කීපයක් ම පොලිස්  මූලස්ථානය විසින් එම ප්‍රදේශවලට යොමු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන්  ගුණසේකර මහතා පවසයි.



පසුගිය දිනයේ වයඹ පළාතේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා මේ බව පැවසී ය

ඉතා පටු අරමුණු කීපයක් වෙනුවෙන් ක්‍රියා කරන සුළු අවස්ථාවාදී පිරිසක් නිසා ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් බවට පත්  වුණා. මෙය කිසිසේත්ම ජාතීන් අතර හෝ ආගම් අතර තිබෙන ප්‍රශ්නයක් නොවේ. ඉතා පටු අරමුණු කීපයක් වෙනුවෙන්  ක්‍රියාකරන අවස්ථාවාදී පුද්ගලයින් කණ්ඩායමක් හටගත් තත්ත්වයක් බව පහැදිළිව සඳහන් කිරීමට අවශ්‍යයි.

මොවුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීමනිසා මුළු දිවයිනටම පොලිස් ඇදිරි නීතිය පැනවීමට සිදු  වුණා.කුරුණෑගල,වාරියපොළ,කුලියාපිටිය,නිකවැරටිය, හලාවත සහ මිනිවන්ගොඩ කියන ප්‍රදේශවල සිදුවීම්  වාර්තා වුණා. දේපළ හානි කීපයක්ම වාර්තා වී තිබෙනවා.

පටු අරමුණු වෙනුවෙන් අවස්ථාවාදීව ක්‍රියා කරන පුද්ගලයින්ට කරුණු කීපයක් සඳහන් කරන්නට අවශ්‍යයි. මින් ඉදිරියට එවැනි ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක යෙදී සිටිය හොත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව බලය පාවිච්චි කරමින්  ඔවුන්ගේ ක්‍රියා නතර කිරීමට කටයුතු කරනවා. බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ම පොලිස්  මූලස්ථානය විසින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලිඛිත උපදෙස් ලබාදීමක් සිදු කර තිබෙනවා.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ සිදු කරන විමර්ශන වලදී මිනුවන්ගොඩ සිදුවීමට අදාළව  (13) රාත්‍රියේ ම සැකකරුවන් 9ක් අත් අඩංගුවට ගත්තා.අත් අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාම  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කිරීමට කටයුතු කළා.

වයඹ පළාතේ සිදු වූ දේපළ හානි සම්බන්ධයෙන් හා පහරදීම් ආදිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන  තිබෙනවා 60කට අධික ප්‍රමාණයක්. තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවන තැනට වගබලාගැනීම සඳහාත් සිදුවීම් විමර්ශනය කිරීම සඳහාත් එම  ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් පොලිස් විශේෂ කණ්ඩායම් කීපයක් ම පොලිස් මූලස්ථානය  විසින් එම ප්‍රදේශවලට යොමු කර තිබෙනවා. මීට අමතරව කොළඹ සිට තවත් පොලිස් කණ්ඩායමක් ක්‍රියත්මක  වෙනවා.