Thursday, 28 March 2024

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට

Posted On Friday, 14 June 2019 09:13

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට නිකුත් කිරීම අරඹයි



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීමට මේ වනතෙක් සිදුකෙරුණේ, විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්කිරීම් මතයි.

 මෙහි දී අයදුම්කරුවන්ට දිවයිනේ කවර ප්‍රදේශයක සිට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදුවීම, දිනපතා අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සහතික පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වැඩි කාලයක් ගතවීම වැනි ගැටළු මතුව තිබුණා. මේ තත්වයට පැහැදිලි විසඳුමක් ලබාදෙමින් ඩිජිටල් තාක්ෂණයේ සහාය මේ සඳහා ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

 ඒ, මෙරට අධ්‍යාපන පද්ධතිය තුළට තවත් විප්ලවීය වෙනසක් එක්කරමින් ඉතිහාසයේ පළමුවරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් නිකුත් කිරීම online ක්‍රමවේදයට සිදුකිරීමයි. අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ විශේෂ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම වෙනුවෙන් 2017ඔක්තෝබර් මස පත් කළ විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

 ඒ අනුව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීම වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අලුතින් යාවත්කාලීන කරන ලද www.donets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම අයදුම්කරුවෙකුට පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ අදාළ සහතික ඉතා පහසුවෙන් ලබාගත හැක.

 මෙම සහතික බෙදා හැරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් ද පසුගියදා  අත්සන් තැබුණු අතර ඒ අනුව, දිවයිනේ දුර බැහැර ප්‍රදේශයක සිටින අයදුම්කරුවකුට වුවද, විදේශගතව සිටින අයදුම්කරුවකුට වුවද මෙම online ක්‍රමය හරහා පැය 48කට නොඅඩු කාලයක් තුළ අදාළ සහතිකපත් ලබා ගැනීමේ පහසුකම සැලසී තිබේ.