Saturday, 20 April 2024

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔප්නැංවීමට “එක්ස්පෝ 2020” ඩුබායි හීදී

Posted On Tuesday, 20 August 2019 09:39

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2020 දී “එක්ස්පෝ 2020” ඩුබායි හි පැවැත්වෙන ප්‍ර‍දර්ශනයට සහභාගීවන්නන් සහ අනාගත සහභාගිවන්නන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක්   19 වැනි සඳුදා අපනයන සංවර්ධන මණ්ඩලයේ 3 වැනි මහළ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.



මෙම අවස්ථාව සදහා සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය,  නලින් බණ්ඩාර ජයමහ මහතා , ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍ර‍දර්ශනයට සහභාගීවන්නන් රැසක් සහභාගී වූහ.මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය   නලින් බණ්ඩාර ජයමහ මහතා,
Expo 2020 Dubai ප්‍රදර්ශනය පිළිබඳව ඔබ දැනටමත් දැනුවත්ව ඇතැයි මම විශ්වාස කරමි. මෙය සම්ප්‍රධායික වෙළඳ ප්‍රදර්ශනයකට වැඩි යමක්, එනම් මෙහිදී සමස්ථ රටක් ප්‍රදර්ශනයට ලක් කිරීමක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයි. මාස 06 කාලයක් පුරාවට, 2020 ඔක්තෝම්බර් 20 සිට 2021 අප්‍රේල් 10 දක්වා ඩුබායි හි පැවැත්වීමට නියමිත මේ ප්‍රදර්ශනය තුලින් ලංකාවේ වෙළද, සංචාරක සහ ආයෝජන යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට මුලික වශයෙන් අපේක්ෂිතයි.
ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සියලුම රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශවකරුවන් හා එක්ව සාර්ථකව ඇති කිරීමට අපගේ අමාත්‍යංශය වන සංවර්ධන උපායමාර්ග හා අන්තර්ජාතික වෙළදාම කැපවීමෙන් වැඩකරනු ඇත. අපගේ   අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙය ඉදිරියට ගෙන යාමට අපි අපේක්ෂා කරමු.


මේ සඳහා කැබිනට් අනුමැතිය දැනටමත් ලැබී ඇති අතර පසුගිය ජුලි මාසයේ 08 වන දින ඩුබායි එක්ස්පෝ කාර්යාංශය සමඟ ශ්‍රී ලංකාව නිළ සහභාගීත්ව ගිවිසුමටද අත්සන් තැබිය. එහිදී ප්‍රදර්ශනය පවත්වන භූමිය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාව හිමි විය. එය හෙක්ටයාර 438 ක භූමි ප්‍රදේශයකි.

මේ නිළ චාරිකාවට සමගාමිව එරට වාණිජ මණ්ඩල සමඟ ඵලදායි සාකච්චා පැවැත්වීමටද අවස්ථාව හිමිවිය.එහි තේමාත්මක දිස්ත්‍රික්ක(Thematic Districts), අන්තර්කන්ඩායම් ක්‍රියාකාරකම් සඳහා වෙන්වූ ස්ථාන (Group Interactions), උද්‍යාන, විනෝද ක්‍රීඩාංගන, ව්‍යාපාරික හමුවීම් සඳහා වෙන්වූ ස්ථාන ආදී නොයෙකුත් අංග ඉදිකෙරෙමින් පවතියි.

මේ සඳහා දැනටමත් රටවල් 192ට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර තිබේ. එමෙන්ම මිලියන 25කට අධික පිරිසක් මෙය නැරබීම සඳහා පැමිණෙතැයි ඩුබායි රජය අපේක්ෂා කරයි.අපට එහිදී ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියද නිරීක්ෂණයට අවස්ථාව හිමිවිය. එය වර්ග කිලෝමීටර 212, විශාල ප්‍රදර්ශන භූමියකි. ඔබ දැනටමත් දන්නා පරිදි ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය "ජලය" යන තේමාව කැටිකොටගෙන නිර්මාණය කොට ඇත. එය නිර්මාණය කරනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යන් විසිනි.


එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ශ්‍රී ලාංකික වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් නියෝජනය කරමින්, ඩුබායිහි ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලය සහ උතුරු එමිරේට්ස් හි වරලත් ගණකාධිකරණ නිලධාරීන්,එක්ස්පෝ 2020 ඩුබායි හි සාර්ථකත්වය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ අතර ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ සංගමය ද මෙම අවස්ථාවට සහභාගී විය.විදේශ කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය හරහා Expo 2020 Dubai ප්‍රදර්ශනයහි ප්‍රචාරක සහ ප්‍රවර්ධන කටයුතු කිරීමට සැලසුම් සැකසෙමින් පවතියි.

ශ්‍රී ලංකාවේ මේ සඳහා සුදානම ගැන දැනුවත් කළහොත්, දැනටමත් නිශ්චිත සැළසුම් හා ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම සඳහා මෙහෙයුම් කමිටුව මෙන්ම අවශ්‍යතා අනුව අනු කමිටු 06ක් පිහිටුවා තිබේ. ඒ වගේම පුද්ගලික හා රාජ්‍ය අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කණ්ඩායම්ද පිහිටුවා ඇත.

පුද්ගලික හා රාජ්‍ය අංශයේ හවුල් සහභාගීත්වය මොඩලයක් අනුව මෙය ක්‍රියාත්මක කිරිම අපගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අපට ඔබගේ සහයෝගය ඉදිරියේදී වඩාත් වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔපනැංවීමට ඔබගේ අවශ්‍තා සහ යෝජනා, අපි ඉතා අගය කොට සලකමු. මෙය ඔබට ඉතාමත් අනගි අවස්ථාවක් වනු නොඅනුමානයි. මෙය විදේශ රටවල ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයන් මුනගැසී ඔවුන් සමඟ අත්දැකීම්, අදහස් බෙදාහදා ගැනීමට හොඳ තෝතැන්නක් වනු ඇත. විශේෂයෙන්ම ගල්ෆ් කළාපය, යුරෝපා කොමිසම, උතුරු අප්‍රිකානු රාජ්‍යයන් ඇතුළු සියළුම රටවල් සමඟ සබඳතා දියුණු කරගැනීමට හැකිවනු ඇත. එනිසා එය ඵලදායි ලෙස යොදා ගන්නැයි මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.ඒ සඳහා රජයක් වශයෙන් අප උපරිම සහයෝගය ලබා දීමට සුදානමින් සිටියි.යැයි පැවසීය